Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොල්ගහවෙල ගිය ගමන් බලන්න

කොළඹ ඉඳන් කුරුණෑගල දක්වා යන A5 මාර්ගයේ එක් සන්ධිස්ථානයක් තමයි පොල්ගහවෙල. කොළඹ නගරයේ සිට කිලෝමීටර 74ක් පමණ ඊසාන දෙසින් පොල්ගහවෙල පිහිටා තිබෙනවා. මහඔය මේ ආසන්නයෙන් ගලාගෙන යන්නේ ප්‍රදේශයට දියවර සපයමින්. පොල්ගහවෙල කලක පටන්ම ප්‍රකටව තිබුණේ එහි පිහිටි දුම්රිය ස්ථානය නිසයි. අදත් අප අතරින් බොහෝ දෙනෙක් පොල්ගහවෙල පසුකර බොහෝ ගමන් ගියත් ඒ අවට පිහිටි නැරඹිය යුතු තැන් ගැන අවධානය යොමුකරන බවක් පේන්නෙ නැහැ. අපි බලමු මේ අවට තියෙන දැකබලාගත යුතු තැන් මොනවද කියලා.

දුම්රිය හන්දිය

පොල්ගහවෙලට පැමිණි දුම්රියක්- wikipedia.org

පොල්ගහවෙල දුම්රිය ස්ථානයට අවුරුදු 100කට වඩා ඉතිහාසයක් තිබෙනවා. එහි පැරණිම දෙමහල් ගොඩනැගිල්ලක් අදත් දැකගත හැකියි. ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් උතුරුදිග දුම්රිය මාර්ගය වෙන්කරන හංදිය, පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පිහිටුවා තිබෙනවා. මේ දුම්රිය නැවතුම්පොළ වේදිකා 5කින් සමන්විත යි.

පැරණි දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල- panoramio.com, Malinda Prasad

කොටුව සිට දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගය මහනුවර, මාතලේ, නාවලපිටිය, සහ බදුල්ල කරා දිවෙන අතර උතුරුදිග දුම්රිය මාර්ගය අනුරාධපුරය, යාපනය දක්වා දිව යනවා. ඉංග්‍රීසින් විසින් කොළඹ සිට පොල්ගහවෙල හරහා කුරුණෑගලට 1820 දී කරත්ත පාරක් ඉදිකළා. ඒ, ඔවුන්ගේ වෙළෙඳ බෝගයන් ප්‍රවාහනයට පහසුවීමට යි. පසුව මෙම මාර්ගය තාර දැමූ ප්‍රධාන පාරක් වුණා.

කලකට පෙර පොල්ගහවෙල නගරය තිබුණේ දැන් තිබෙන අයුරින් කුරුණෑගල පාර අද්දර නොවේ. දුම්රිය නැවතුම අසලින් දිවෙන කෑගල්ල පාර දෙපසයි. පරණ නගරය අදටත් ඒ අවට දී දැකගත හැකියි.

යෝගමුවා කන්ද

නගරය පිටුපසින් පැතිරෙන යෝගමුවා කන්ද- කුසුම්සිරි විජයවර්ධන

නගරය පිටුපසින් හරිත ප්‍රාකාරයක් සේ ඇදීයන කන්ද ඔබ අනන්තවත් දකින්න ඇති. එහි පිහිටා ඇති සම්ප්‍රේෂණ කුලුණු දකින්නත් ඇති. ඈතට වනාන්තරයක් සේ පෙණුනත් අඩි 800ක් පමණ ඉහළට දිවෙන මේ කන්ද අද විශාල වශයෙන් ජනාවාස වූ ප්‍රදේශයක්. ඈපාකන්ද නම් ගම්මානය මෙහි පිහිටා තිබෙනවා. කන්ද මුදුනට යන තෙක් මහාමාර්ග ඉදිකර තිබෙනවා.

යෝගමුවා කන්දට යන අතරතුර- කුසුම්සිරි විජයවර්ධන

නගරය පසුකර මද දුරක් ගොස් උසාවිය අසලින් වමට ඇති මාර්ගය යෝගමුවා කන්ද දෙසට ඇදී යනවා. කන්ද මුදුනේ ගල්පර්වතය මත කුඩා විහාරයක් ද පිහිටා තිබෙනවා. මෙහි තැනින් තැන වනවදුලු දැකගත හැකියි.

යෝගමුවා කන්ද විහාරයේ බෝධි වෘක්ෂය- කුසුම්සිරි විජයවර්ධන

වට්ටාරම

යෝගමුවා කන්දේ සිට ආපසු පොල්ගහවෙලට පැමිණ කෑගල්ල පාරේ කි. මී. 4ක් දුර ගෙවා වට්ටාරම රජමහා විහාරයට පැමිණිය හැකියි. එය අයත්වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව මැතිවරණ කොට්ඨාසයට යි. වට්ටාරම ශ්‍රී අරහත්ත මලියදේව රජමහා විහාරය වසර දෙදහස් තුන්සියයකටත් වඩා අතීතයකට දිවයන පුදබිමක්. අපේ රටේ අවසන් මහරහතන් වහන්සේ වන මලියදේව හිමියන් වැඩ විසූයේ යැයි කියන්නේ මෙම විහාරයේ යි.

අතීතයේ පටන් අද දක්වාම වෙසක්-පොසොන් සමයේ බස්නාහිර පළාතේ සිට අනුරාධපුර, පොළොන්නරු වටවන්දනාවේ යන වන්දනා නඩවල පළමු නැවතුම්පොළ වන්නේ වට්ටාරම රජමහා විහාරය යි.

සිංහල බෝධිවංශයේ සඳහන් ආකාරයට ශ්‍රී මහා බෝධින් වහන්සේගෙන් හටගත් අංකුර තිස්දෙක අතුරෙන් එක් බෝධි අංකුරයක් මෙහි රෝපණය කර තිබෙනවා.

වට්ටාරම ප්‍රතිමා- කුසුම්සිරි විජයවර්ධන

පුරාණ නටබුන් රාශියක් වට්ටාරම විහාරයේ දී දැකගත හැකියි. පැරණි කළුගල් උළුවහු කොටස්, ගල්කණු ආදිය විහාර බිමේ තැන තැන තිබෙනවා. නූතන විහාරය, මහනුවර යුගයට අයත් කුඩා විහාරය, දාගැබ, බෝධි වෘක්ෂය මෙහි කැපී පෙනෙන පූජනීය අංග යි. දාගැබට නුදුරින් පිහිටි පැරණි ගොඩනැගිල්ලක අවශේෂ හඳුන්වන්නේ මලියදේව හිමි වැඩසිටි මලියමහා පාය ලෙසින්.

ක්‍රි.ව.1744 දී විජයසුන්දර ලෙව්කේ අදිකාරම විසින් මෙහි පිහිටි කුඩා විහාරගෙය ඉදිකර වූ බව පැවසෙනවා. එය ඉදිරිපසින් හේවිසි මණ්ඩපයක් දක්නට ලැබෙනවා. මෙම විහාරගෙට ඇතුළුවන ස්ථානයේ දකුණෙන් ටැම් ලිපියක් ද ඉදිරිපස සිරිපතුල් ලාංඡනය ද දක්නට ලැබෙනවා.

වට්ටාරම විහාරයේ පිහිටි පොහොය සීමාව පැරැණි හා නව සංඝාවාසය ඉදිරිපස පිහිටා තිබෙනවා. අද ද ඒ පොහොය සීමාව ගල්කණුවලින් සීමා මායිම් වෙන්කර ඇති අන්දම දැකගත හැකියි. කැටයම් සහිත පැරැණි දැව උළුවස්සකින් අලංකාර කළ පොත්ගුල ද අවුරුදු 100ක් පමණ පැරණි දෙමහල් ගොඩනැගිල්ලක්. මෙම දැව උළුවස්සට කෘත්‍රිම තීන්ත ආලේප කිරීම නිසා පුරාවිද්‍යාත්මක අගයට හානිවී තිබෙනවා.

පැරණි දාගැබ

සංරක්ෂණය කළ දාගැබ කුසුම්සිරි විජයවර්ධන

විහාරයට අයත් පොල්වතු යායක් මැද පිහිටි පැරණි දාගැබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2012 වසරේ දී කැණීම් කළා. එය මේ වන විට සංරක්ෂණය කර තිබෙනවා. එහි තිබූ දාගැබ් ගොඩැල්ල නිදන් හොරුන් හාරා තිබූ බව කැණීම් කිරීමේ දී හෙළිවුණා. ගැමියන් එම ස්ථානය හැඳින්වූයේ කොටවෙහෙර නමින්. දාගැබ අටපටටම් වේදිකාවක් මත ඉදිකර තිබෙනවා. ඒ අවට තැන්තැන්වල ගල්කණු මතුව තිබෙනවා.

පනලිය ගෝඨාභය ලෙන්

පොල්ගහවෙලින් කෑගල්ල පාරට හැරී කි. මී. 7ක් ගමන් කර පනලිය ගමට පැමිණිය යුතුයි. මෙම විහාරය ගෝඨාභය රජ සමයේ ඉදිකළ බවයි ජනප්‍රවාද පවසන්නේ. කටාරම් කෙටූ ලෙන් කිහිපයක් මෙහි පිහිටා තිබෙනවා. ගල්පඩි නගිමින් කඳුබෑවුමේ පිහිටි විහාරයට ළඟාවිය යුතු යි.

බඹරගල ලෙන්

බඹරගල ලෙන් වෙහෙර- කුසුම්සිරි විජයවර්ධන

බඹරගලට පිවීසීමට නම් පොල්ගහවෙල නගරයට පිවිසීමට මඳක් පෙර හමුවන යන්ගල්මෝදර හන්දියෙන් හැරී යා යුතුයි. නාරම්මල වඩුවාව පාරේ ගමන් කර බඹරගල හන්දියෙන් හැරී, අතුරු පාරක මඳදුරක් ගමන් කරන විට බඹරගල කන්ද පාමුලට පැමිණිය හැකියි. කිලෝමීටරයකට ආසන්න දුරක් ඇදී යන ගල්පර්වතයේ බඹර වද නිතර දැකගත හැකි නිසා එයට බඹරගල යන ලැබී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මී සෙල්ලිපියක් මෙම ලෙනකින් හමුවීමෙන් පෙනෙන්නේ බොහෝ කලක පටන් මෙහි බෞද්ධ භික්ෂූන් වැඩවාසය කළ බව යි.

විහාරයේ මකර තොරණ- කුසුම්සිරි විජයවර්ධන

අද මෙහි ලෙන් විහාරයේ දක්නට ලැබෙන්නේ මහනුවර සම්ප්‍රදායේ පසු කාලයට අයත් ප්‍රතිමා සහ බිතුසිතුවම් ය. විහාරයට යාබදව ලෙන තුළ කුඩා දාගැබක් ද ඉදිකර තිබෙනවා. කඳු තරණය කර ගල්පර්වතය මතට පිවිසි විට වයඹ තැනිතලාවේ රමණීය දර්ශනයකින් නෙත පිනවා ගත හැකියි. මේ අවට වනවදුලු සහිත සුන්දර පරිසරයක් පිහිටා තිබෙනවා.

රෑනගල රජමහා විහාරය

රෑනගල මත සිට-amazing lanka.com, Ashan geeganage

බඹරගලත් බලාගෙන වඩුවාව  පසුකරගෙන ඉදිරියට ගොස් නුංගමුව හන්දියෙන් වදාකඩ පාරේ ගමන් කර තවත් අපූරු ඓතිහාසික බිමකට යාමට පුළුවන්. ඒ රෑනගල යි. පොළෝ මට්ටමේ සිට අඩි 800ක් පමණ ඉහළට ඇදීයන රෑනගල මත මෑතක දී හිටි බුද්ධ ප්‍රතිමාවක් ඉදිකර තිබෙනවා. ඒ අසලම ප්‍රතිමා මන්දිරය ද දැකගත හැකියි. පුරාණයේ දඹදෙනියේ සිට කුරුණෑගලට හා මහනුවරට තිබූ පැරණි මාවත මේ අසලින් වැටී තිබූ බව පැවසෙනවා. විහාරයට නුදුරින් මහනුවර යුගයට අයත් පැරණි අම්බලමක් පිහිටා තිබෙනවා. එය පුරාවිද්‍යා ස්මාරකයක්.

රෑනගල අම්බලම- amazing lanka.com

විහාරය පිහිටි පර්වතයට නැගීමට ගලේ කැපූ පියගැට සකස් කර තිබෙනවා. මෙහි පර්වතය මත රෑන් ඇඳ තිබූ නිසා (රේඛා) රෑනගල යයි නම් වූ බවයි ගැමියන් කියන්නේ.

සේරුවාගල

සේරුවාගල විහාරය- කුසුම්සිරි විජයවර්ධන

පොල්ගහවෙල සිට වදාකඩ පාරේ ගමන් කිරීමෙන් පිවිසිය හැකි තවත් පර්වතයක් තමයි, මේ. මෙහි විශේෂත්වය නම් විශාල තැනිතලාවක් ලෙස පර්වතය පැතිරී තිබීමයි. මෙම ගල අක්කර ගණනාවක් පුරා තැනිතලාවක් සේ විහිදී යනවා. සේරුවාගල රජමහා විහාරය පර්වතය මත පිහිටා තිබෙනවා. සංඝාවාසය ඇත්තේ පර්වතය පාමුලයි. විහාර මන්දිරය සහ දාගැබත්, පැරණි නටබුන් රැසකුත් පර්වතය මත දකින්න පුළුවන්. විහාර මන්දිරය මහනුවර යුගයේ ලක්ෂණ සහිතයි. දාගැබ සහ බෝධි වෘක්ෂය ද ඒ අසල පිහිටා තිබෙනවා.

පර්වතය මත නටබුන් ගොඩැල්ල- කුසුම්සිරි විජයවර්ධන

මේ පූජනීය ගොඩනැගිලි වටා යන සේ තැනූ ප්‍රාකාරයක් දැකගත හැකියි. මේ ස්ථානයට නුදුරින් පර්වතය මත ‍තිබෙන මාලිගාතැන්න කියන ප්‍රදේශය පුරා විසිරුණු ගඩොල් කැබලි හා පස් ගොඩැලි දැකගත හැකියි. එය පැරණි දාගැබක අවශේෂ බවයි පෙනෙන්නේ.

වංගු හත

වංගු හතේ එක් වංගුවක්- කුසුම්සිරි විජයවර්ධන

පොල්ගහවෙල සිට බුලුගොල්ල හන්දියෙන් හැරී රඹුක්කන දක්වා ගමන් කිරීමේ දී හමුවන සුන්දර අත්දැකීමක් තමයි, වංගු හත. අඩි දහසක පමණ කඳු බෑවුමක් හරහා මාර්ගය ඇදී යන්නේ සුප්‍රකට දහඅට වංගුව සිහිපත් කරන වංගු හතක් පසුකරමින්. මෙහිදී අවට කඳුවල කදිම දසුනක් දැකබලාගැනීමටත් ඉඩ ලැබෙනවා.

මේවාට අමතරව පුහුරිය මලියදේව ලෙන් විහාරය, අල්ගම සංඝරාජ විහාරය, උඩපොල සපුමල් බණ්ඩාර දේවාලය ආදී පැරණි ස්ථාන රැසක් ද පොල්ගහවෙල අවට පිහිටා තිබෙනවා.

ආශ්‍රිත මූලාශ්‍ර:

ඓතිහාසික සහ පුරාණ ස්මාරක – කුරුණෑගල දිස්ත්‍රික්කය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ගවේෂණ  2 කලාපය – පුරාවිද්‍යා දෙපා.

කවරය

වට්ටාරම මලියමහ පාය – කුසුම්සිරි විජයවර්ධන

Related Articles