ලෝක ඉතිහාසයේ විවිධාකාර හමුදා මෙහෙයුම් සිදුව තිබෙනවා. ඇතැම් අවස්ථාවල විශේෂ බලකායන්ට අදාළ සෙබලුන් සතුරු බල ප්‍රදේශයේ සැතපුම් ගණන් ඈතට ගොස් සතුරු ඉලක්කවලට පහරදීම පිළිබඳ අප අසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පැවති සිවිල් යුද්ධ වාතාවරණය තුළත් එවන් ප්‍රහාරයන් පිළිබඳ වාර්තා වුණා ඔබට මතක ඇති.
1862 අප්‍රේල් 12 වනදා, දුම්රිය එන්ජිමක් පැහැරගෙන සිදු කරන ලද ප්‍රහාරය ඇමරිකන් සිවිල් යුධ සමයේ වීර කතාවක් ලෙස සැළකෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් සේවය කළ ජේම්ස් ජේ. ඇන්ඩෲස් නම් වූ ඔත්තුකරුවකු, එක්සත් ජනපදයෙන් කැඩුණ ඇමරිකානු සංයුක්ත ජනපදයට (Confederate States of America) එරෙහිව මෙම මෙහෙයුම සැලසුම් කර ක්‍රියාත්මක කළා.
පසුබිම
ඇමරිකා එක්සත් ජනපදයේ උතුරුදිග ජනපද සහ දකුණු දිග ජනපද අතර වහල් මෙහෙය සම්බන්ධයෙන් මතුවූ මතභේද දුරදිග යාමත්, ඒ සමඟම 1860 ජනාධිපතිවරණයෙන් ඒබ්‍රහම් ලින්කන් ජයගැනීමත් සමඟ දකුණේ ජනපද සමහරක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වෙන් වීමට තීරණය කළා.
මෙසේ බෙදීගිය ජනපද 1861 මුලදී ඇමරිකා සංයුක්ත ජනපද ලෙස වෙනම රාජ්‍යයක් පිහිටවූවා. එයට දකුණේ ජනපද එකොළහක් අයත් වූ අතර ටෙනිසී ද එවැනි එක් ජනපදයක් වුණා.
1862 පෙබරවාරි මාසයේදී ටෙනිසී ප්‍රාන්තයේ අගනුවර වූ නෑෂ්විල් නගරය එක්සත් ජනපද හමුදා යටතට පත් වුණා. එය සංයුක්ත ඇමරිකා ජනපදවලින් එකක අගනුවරක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලාගත් පළමු අවස්ථාව වුණා.
මෙසේ නෑෂ්විල් ප්‍රදේශයේ සිය බලය තහවුරු කරගත් පසු එක්සත් ජනපද හමුදාවලට අවශ්‍ය වූයේ චැටනූගා ප්‍රදේශය අල්ලා ගැනීමයි. චැටනූගා යනු වැදගත් දුම්රිය මංසන්ධියක් වූ අතර එය හරහා මිසිසිපි ප්‍රදේශය සංයුක්ත ජනපදවල නැගෙනහිර ප්‍රදේශය සමඟ සම්බන්ධ කළ එකම දුම්රිය මාර්ගය වැටී තිබුණා. එනිසා, චැටනූගා ප්‍රදේශය අල්ලාගත්තේ නම් එම ප්‍රදේශ දෙක අතර ගමනාගමනය අඩාල වීමෙන් සංයුක්ත ජනපදවලට විශාල පහරක් වැදීමට හැකියාව තිබුණා.
කෙසේ නමුත් පසෙකින් ටෙනිසී නදියෙන් ද පසෙකින් ද කඳුකරයෙන් ද ආරක්ෂිත චැටනූගා ප්‍රදේශය අල්ලා ගැනීම පහසු වූයේ නැහැ. මේ අතර ඇට්ලන්ටාවේ සිට අමතර හමුදා අවශ්‍ය පරිදි චැටනූගා දෙසට එවීමටද සංයුක්ත ජනපදවලට හැකියාව තිබුණා.
ඇන්ඩෲස්ගේ මෙහෙයුම සැලසුම් කළේ ඇට්ලන්ටා සහ චැටනූගා අතර දුම්රිය ගමන් කඩාකප්පල් කිරීමේ අදහසිනුයි.
සැලසුම
මධ්‍යම ටෙනිසී ප්‍රදේශයේ එක්සත් ජනපද හමුදා නායක මේජර් ජෙනරාල් ඕර්ම්ස්බි එම්. මිචෙල් හමුවූ ඇන්ඩෲස් සිය සැලසුම ඔහුට හෙළි කළා. මේ අනුව ඔවුන් දුම්රියක් පැහැරගෙන එයින් ගමන් කරමින් තමන් පසු කරන අතරමග දුම්රිය පීළි, පාලම්, ටෙලිග්‍රාෆ් කාර්යාල ආදී වැදගත් සියලු යටිතල පහසුකම්වලට හානි සිදු කරමින් දුම්රිය ගමනාගමනය ඇණ හිටවන්නට සැලසුම් කළා. මේ සඳහා විලියම් කැම්බල් හන්ටර් නම් තවත් සිවිල් පුද්ගලයකු සහ ඔහායෝ ප්‍රාන්ත පාබල රෙජිමේන්තු තුනක සෙබලුන් 22 දෙනකු ඉදිරිපත් වුණා. මේ පිරිස ඇන්ඩෲස්ගේ ප්‍රහාරකයින් (Andrews’ Raiders) නමින් හැඳින්වුණා.
ඇන්ඩෲස් සිය පිරිසට 1861 අප්‍රේල් 10 වනදා මධ්‍යම රාත්‍රිය වනවිට ජෝර්ජියාවේ මරියෙටා වෙත පැමිණීමට උපදෙස් දුන්නා. නමුත් අධික වැසි හේතුවෙන් මෙම හමුව දිනකින් පමා කිරීමට සිදු වුණා. එවිට ද පිරිසෙන් දෙදෙනකුට එහි ළඟාවීමට හැකි වූයේ නැහැ. මෙම ප්‍රදේශය මෙකල පැවතියේ සංයුක්ත ජනපද පාලනයේ බව මෙහිදී සිහි තබාගත යුතු කරුණක්. එනම් ඔවුන් කටයුතු කරමින් සිටියේ සතුරු බල ප්‍රදේශවලයි. මෙහිදී සියලු හමුදා සාමාජිකයන් ද සිවිල් ඇඳුමින් සැරසී සිටියා.
එකල දුම්රිය ගමනාගමනයේදී ගල් අඟුරු සහ ආහාරපාන සඳහා එය නිතර නැවැත්විය යුතු වුණා. මෙසේ ඇට්ලන්ටාවෙන් පැමිණෙන සාමාන්‍ය මගී දුම්රිය අප්‍රේල් 12 දහවල බිග් ෂැන්ටි (වර්තමාන කෙනෙසෝ) නගරයේදී නවත්වනු ලැබුණා. ඇන්ඩෲස්ගේ පිරිස දුම්රිය එහි නැවතූ පසු එය පැහැරගත්තා.
දුම්රිය කාලසටහනට අනුව සිදු කළ ප්‍රහාරයක්
දුම්රියේ කොන් දොස්තරවරයා වූ විලියම් ඇලන් ෆුලර් සහ තවත් දෙදෙනකු දුම්රිය පසුපස ලුහු බඳින්නට වුණා. මුලින්ම ඔවුන් පාගමනින් ගිය අතර පසුව අනෙක් පසින් පැමිණි දුම්රියක් නවතාගෙන එයින් ද ටික දුරක් එය ලුහු බැඳ ගියා. එකල එම මාර්ගයේ දුම්රියක සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර 24 ක් පමණ වු අතර සැපයුම් ලබා ගැනීමට සහ කඩාකප්පල්කාරී කටයුතු සඳහා දුම්රිය නවතන්නට වූ හෙයින් ලුහු බඳින්නන් ද ඉතා වැඩි ඈතක වූයේ නැහැ. එමෙන්ම පැහැරගත් දුම්රිය සාමාන්‍ය මගී දුම්රියක් වූ හෙයින් එය නියමිත කාලසටහනට අනුව දිව යා යුතු වුණා. එසේ නොවුණහොත් අනෙක් පසින් එන දුම්රිය හේතුවෙන් ඉදිරි මග අවහිර වීම ඊට හේතුවයි.
ඇන්ඩෲස්ගේ පිරිස ටෙලිග්‍රාෆ් කාර්යාල විනාශ කරමින් ඉදිරියට ගිය හෙයින් දුම්රිය පැහැර ගැනීම පිළිබඳ චැටනූගාහි පිරිසට දැන්වීමේ හැකියාවක් වූයේ නොවූ හෙයින් ෆුලර්ගේ පිරිසට ලුහු බඳිනු හැර විකල්පයක් වූයේ නැහැ.
කෙසේ නමුත් ඉන්ධන අවසන් වූ හෙයින් චැටනූගා නගරයෙන් සැතපුම් 18 ක් ඈතින් දුම්රිය නවතා දැමූ ඇන්ඩෲස්ගේ පිරිස විසිර ගියා. ඔවුනගේ බලාපොරොත්තුව වූයේ එක්සත් ජනපද පාලන ප්‍රදේශ වෙත පළා යාමයි. එහෙත් සතුරු ප්‍රදේශය තුළදී මීළඟ සති දෙක තුළදී ඔවුන් කොටු කරගනු ලැබුණා.
නඩු විභාග
මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සිවිල් පුද්ගලයන් ඔත්තුකරුවන් වීම ආදී චෝදනා මත නඩු විභාගයකට ලක් කෙරුණා. හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිවිරෝධී ලෙස යුධ කටයුතුවල නිරත වීමේ චෝදනාව ඇතුලු චෝදනා ගොනු කෙරුණා. ඇතමෙක් යුධාධිකරණ හමුවට පණවනු ලැබුණා.
මරණ දඬුවම නියම කරන ලද ඇන්ඩෲස් 1862 ජූනි 7 වනදා ඇට්ලන්ටාවෙදී එල්ලා මරා දැමුණා. තවත් සත් දෙනකු ජූනි 18 වනදා එල්ලා මරා දැමුණ අතර තවත් අට දෙනෙක් 1862 ඔක්තෝබර් 16 වනදා පළා යාමට සමත් වුණා. ඉතිරි පිරිස සිරකරුවන් හුවමාරු කිරීම් යටතේ නිදහස් කෙරුණා.
Cover Image: ඇන්ඩෲස්ගේ මෙහෙයුම (Public Domain)