මානව ඉතිහාසය දෙස බැලුවොත් පැහැදිලි වන කරුණක් තමයි අතීතයේ රාජ්‍යයන් පාලනය කළවුන්ගෙන් බහුතරයක් දෙන පුරුෂයින් බව. නමුත් රජවරු පමණක් නෙවෙයි, රැජිණියන් පවා රාජ්‍යයන් දක්ෂ ලෙස පාලනය කර තිබෙනවා. ඇතැම් රජවරුන්ට ආවේණික පුරුදු හෝ විශේෂ චරිත ලක්ෂණ ඔබ අසා ඇති. නමුත් ඉතිහාසයේ විසූ අමුතුම රැජිණියන් පිළිබඳව ඔබ අසා තිබෙනවාද? මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි රැජිණියන් කිහිප දෙනෙක් පිළිබඳව තොරතුරුයි.
මේරි රැජිණ (1867 – 1953)
වත්මන් බ්‍රිතාන්‍ය මහ රැජිණියගේ මිත්තණිය වන මේරි රැජිණ රට වැසියකුගේ නිවසක් වෙත ගිය අවස්ථාවකදී ඇගේ සිත්ගත් යමක් තිබුණොත් ඇය එම භාණ්ඩය කෙසේ හෝ ලබාගන්නට පුරුදු වී සිටි තැනැත්තියක්. ඇය තම සිත්ගත් භාණ්ඩය දෙස බොහෝ වේලාවක් බලා සිටියහොත් ඉන් ඇඟවෙන්නේ ඇය ඊට ප්‍රිය කරන බවයි. එම ඉඟිය වැටහී නිවෙස් හිමියා එය රැජිණ වෙත ලබා නොදුනහොත් අවලාද නැගීමට ඈ පුරුදු වී සිටි බවයි කියැවෙන්නේ. කෙසේ හෝ නිවෙස් හිමියාගෙන් එය ලබා ගන්නට නොහැකි වුවහොත් තමා සිත්ගත් භාණ්ඩය සොරකම් කිරීමට මේරි රැජිණගේ පුරුද්දයි.
එලිසබත් රැජිණ (1709 – 1762)
රුසියාව පාලනය කළ රැජිණක් වන මැය ප්‍රිය කළේ තම දෙපා ප්‍රදර්ශණය කිරීමටයි. එකල තිබූ ඇඳුම් විලාසිතාවන්ට සහ සංස්කෘතියට අනුව කාන්තාවන්ට තම දෙපා පෙන්විය හැකි ආකාරයේ ඇඳුම් ඇඳීය හැකි වූයේ නැහැ. ඊට පිළියමක් වශයෙන් එලිසබත් රැජිණ යෙදූ පිළියම වන්නේ Cross dressing හෙවත් විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳ බාල් නර්ථන උත්සව පැවැත්වීමයි. එහිදී කාන්තාවන් පිරිමි ඇඳුම් ඇඳි අතර පුරුෂයින් කාන්තා ඇඳුම් ඇඳ උත්සවයට පැමිණියා. තම දෙපා පෙන්වීමට එලිසබත් රැජිණ කටයුතු කළේ එලෙසයි.
(න්)සින්ගා රැජිණ (1583 – 1663)
වර්තමානයේ ඇන්ගෝලාව නමින් හැඳින්වෙන රාජ්‍යය පාලනය කළ මෙම රැජිණ පෘතුගීසි ආක්‍රමණයන්ගෙන් සිය දේශය බේරා ගැනීමට කටයුතු කළ රැජිණක්. ඇගේ පාලන කාලය තුළ වසර හතළිහක් මුළුල්ලේම පෘතුගීසීන් හට තම දේශ සීමාවට ඇතුල් වීමට ඉඩ නොදී සිටීමට ඈ සමත් වුණා. ඇය සතු නොසිඳෙන ආශාව වූයේ පුරුෂ සේවනයයි. මේ සඳහා ඇයටම වෙන්වුනු “පුරුෂ අන්තඃපුරයක්”ද තිබී ඇති බවයි ඉතිහාසය පවසන්නේ.
කෙසේ වෙතත්, දිනපතා රාත්‍රියේ අන්තඃපුරය තුළ ඇවිද ගොස් තමාට අවශ්‍ය පුරුෂයා තෝරා ගැනීමට මැලි වූ ඇය ඒ වෙනුවට කළේ දිනපතා රාත්‍රියට අන්තඃපුරයේ පුරුෂයින් දෙදෙනෙකු ගෙන ඉන් එක් පුරුෂයකු මිය යන තෙක් දෙදෙනාට සටන් වැදීමට අණ කිරීමයි. සටනින් ජය ලබන්නා සමග රාත්‍රියේ යහන් ගත වන (න්)සින්ගා රැජිණ පසු දින උදෑසන ඔහුවද මරා දමනු ලැබුවා. වයස අවුරුදු 75ක් පමණ වනතුරුම මෙම පුරුද්දෙහි නියැළුනු ඇය ඉන් අනතුරුව තම අන්තඃපුරයේ සිටි බාලම “බිරියක” හා විවාහ වුණා.
වික්ටෝරියා රැජිණ (1819 – 1901)
බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජිණිය නම් විවිධ ආශාවන් සහ පුරුදු තිබූ තැනැත්තියක්. තම පවුලේ කෙනෙකු මියගිය විට ඉතා දීර්ඝ කාලීන ශෝක සමයන් නම් කරන්න ඇය පෙළඹී සිටි බවයි කියැවෙන්නේ. රැජිණගේ මාමා කෙනෙකු මියගියත් වසරක පමණ ශෝක කාලයක් පැණවීමට ඈ කටයුතු කොට තිබෙනවා.
එපමණක්ද නොවෙයි, වික්ටෝරියා රැජිණ එකල නීති විරෝධී නොවූ කොකේන් සහ ඕපියම් වැනි මත්ද්‍රව්‍ය ලබා ගැනීමටත් ඇබ්බැහියක් දක්වා තිබෙනවා. ඇය භාවිතා කිරීමට ඇබ්බැහි වී සිටි තවත් එක් ද්‍රව්‍යයක් වන්නේ ක්ලෝරෆෝමුයි. සිය සත්වන දරුවා බිහි කිරීමේදි තමාට ලබා දෙන ලද ක්ලෝරෆෝම් වල සුවඳ ප්‍රිය කළ වික්ටෝරියා රැජිණ ඇගේ මීළඟ දරු උපත් වලදීද ක්ලෝරෆෝම් ලබාදෙන ලෙස අණ කොට තිබෙනවා.
කැතරින් රැජිණ (1729 – 1796)
රුසියාව පාලනය කළ රැජිනක් වන මැයද ලිංගික සේවනය සඳහා විටින් විට විවිධ පුරුෂයින් ආශ්‍රය කළ තැනැත්තියක්. තමා ප්‍රිය කරන පුරුෂයකු සමග මද දිනක් ගත කිරීමෙන් අනතුරුව තවත් පුරුෂයකු සේවනයට ගැනීමට ඈ පුරුදුව සිට තිබෙනවා. නමුත් රාජ්‍ය පාලන කටයුතු සමග කාලය ගත කිරීමට සිදුවන නිසා තමා යහන්ගත වීමට තෝරා ගන්නා පුරුෂයින් වෙත තමා සැබවින්ම ඇල්මක් දක්වාවිද යන්න සොයාබලන්නට කැතරින් රැජිණට කාලය තිබුණේ නෑ. මේ නිසා, තමන් වෙනුවෙන් නිදි වැදීමට සුදුසු පුද්ගලයින් තෝරා දීම පිණිස ඉදිරිපත් වී ඇත්තේ බෲස් සිටුවරිය නැමති ඇගේ මිතුරියයි. සිටුවරිය විසින් රැජිණ ප්‍රිය කරන පුද්ගලයින් සමග යහන්ගත වීමෙන් අනතුරුව ඔවුන් රැජිණගේ කෙටි කාලීන පෙම්වතුන් වීමට සුදුසුදැයි තීරණය කරනු ලැබ තිබෙනවා.
කැතරින් රැජිණ මිය ගියේද අශ්වයෙකු සමග සංසර්ගයෙහි යෙදීමට තැත් කිරීමේදී අශ්වයාගේ පා පහරක් කෑමෙන් යැයි මතයක් පැවතුනද, ඇය සැබවින්ම මිය ගියේ මහළු වියේදී රෝගාතුර වීමෙනුයි. මෙම පුරාවෘත්තය ඇතැම් විට කැතරින් රැජිණියගේ ඇවතුම් පැවතුම් උපහාසයට ලක් කිරීම පිණිස ගෙතූවක් විය හැකියි.
කවරයේ ඡායාරූපය ඇතුළු සියළුම සේයා උපුටා ගැනීම – grunge.com
තොරතුරු උපුටා ගැනීම – grunge.com වෙබ් අඩවියේ “Queens who were really weird” ලිපිය ඇසුරිනි.