පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ෂාර්ලට්ස්විල් (Charlottesville) නගරයේ සිදු වූ අන්ත දක්ෂිණාංශික රැළිය සහ එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වයන් හේතුවෙන් එරට අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් පිළිබඳ කතිකාවතක් නැවත නිර්මාණය වුණා.
අගෝස්තු 11 සහ 12 දෙදින තුළ මෙම දක්ෂිණාංශික රැළියට සහ ඊට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රති-රැළියට සහභාගී වූවන් අතර ගැටුම් ඇතිවීමත්, එම ප්‍රති-රැළියට සහභාගී වූවන් පිරිසක් යටකරගෙන මෝටර් රථයක් ධාවනය කරනු ලැබීමෙන් එක් කාන්තාවක මියගොස් තවත් 19 දෙනකු තුවාල ලැබීමත් හමුවේ මෙම සාකච්ඡාව වඩා තීව්ර වුණා. එමෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උදාසීනභාවය පිළිබඳ රිපබ්ලිකන් පාක්ෂිකයන් සමහරෙක් පවා ඔහුව දැඩි ලෙස විවේචනය කළා.
අන්ත දක්ෂිණාංශිකයන් යනු කවුද?
දේශපාලන විද්‍යාවේදී භාවිතා වන බොහෝ වචන ප්‍රවේශමෙන් භාවිතා කළ යුතුයි. අපට බොහෝ ප්රමුඛව දේශපාලනයේදී හමුවන වදන් දෙකක් ලෙස වාමාංශික සහ දක්ෂිණාංශික යන වදන් සැළකිය හැකියි. මෙහිදී වාමාංශික යනු සමාජවාදී අදහස් දරන කොටස් වශයෙන් හඳුනා ගැනෙනවා. එහි ද අන්ත වාමාංශික කොටස් සහ මධ්‍ය වාමාංශික කොටස් තිබෙනවා. අන්ත වාමාංශික කොටස් යනු කිසිදු ආකාරයේ ලිහිල් බවකින් තොරව කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ලෙස හඳුනාගත හැකියි.
විවෘත ආර්ථිකයට පක්ෂ, ප්රජාතන්ත්රවාදී ක්‍රමයට අනුගත වූ කොටස් අප හඳුනාගන්නේ මධ්‍ය දක්ෂිණාංශිකයන් ලෙසයි. කිසිදු ආකාරයක සුබසාධන කටයුත්තකට පක්ෂ නොවන දේශපාලන පක්ෂ ද ඇතැමුන් විසින් අන්ත දක්ෂිණාංශික පසට තල්ලු කර දමනවා. නමුත් අන්ත දක්ෂිණාංශිකයන් ලෙස අප සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ ජාතිකවාදී, ඇතැම් විට උග්‍ර ජාතිවාදී, කණ්ඩායම් සහ පුද්ගලයනුයි. මේ බොහෝ කොටස් ඇත්තෙන්ම විවෘත ආර්ථිකයට එතරම් පක්ෂ නැහැ.
කෙසේ නමුත් අන්ත දක්ෂිණාංශික යයි සැළකෙන විවිධ ආකාරයේ කණ්ඩායම් රැසක් තිබෙනවා. නව නට්සිවාදීන් ඉන් එක් උග්‍ර අන්ත දක්ෂිණාංශික කණ්ඩායමක් වනවා.
ෂාර්ලට්ස්විල් සිද්ධියේ වැදගත්කම
ෂාර්ලට්විල් නගරයේ විරෝධතාවට මූලික හේතුව ලෙස සළකන ලද්දේ නගරයේ පිහිටි ජෙනරල් රොබර්ට් ඊ. ලී ගේ ප්‍රතිමාවක් ඉවත් කිරීමට ගත් තීරණයයි. රොබර්ට් ඊ. ලී යනු ඇමරිකානු සිවිල් යුධ සමයේදී වහල් මෙහෙය රැක ගැනීම උදෙසා සටන් කළ දකුණුදිග ප්‍රාන්තවල ප්‍රධාන හමුදා නිලධාරියා වුණා. ඔහුගේ ප්‍රතිමාව ඉවත් කිරීම ධවල අධිපතිවාදීන් (White Supremacists) හෙවත් සුදු ජාතිකයන් අන් සියල්ලන්ටම වඩා උසස් යැයි පිළිගන්නන් ඇතුලු අන්තවාදී දක්ෂිණාංශිකයන් ගේ කෝපයට හේතු වුණා.
ෂාර්ලට්විල් රැළියේ තේමාව වූයේ “Unite the Right” (දකුණ එක්සත් කරමු) යන්නයි. සාමාන්‍යයෙන් අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල පොදු ලක් ෂණයක් වන්නේ එම විවිධ කණ්ඩායම් අතර එකමුතුවක් නොමැතිකමයි. එහෙත් ෂාර්ලට්විල් රැළියට මෙම විවිධ කණ්ඩායම් රාශියක් එක් වී සිටියා.
මෙම කණ්ඩායම් අතර නව නට්සිවාදීන් ද පැහැදිලිව දකින්නට සිටි අතර රැළියේ භාවිතා වූ සටන් පාඨ අතර Blood and Soil (ලේ සහ භූමිය) වැනි නට්සි සටන් පාඨ ද ඇසෙන්නට ලැබුණා.
ඇමරිකාවේ නව නට්සි කණ්ඩායම්
ඇමරිකාවේ නට්සිවාදය තවමත් පැවතීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස ඇතැම් විචාරකයන් දකින්නේ දෙවන ලෝක යුද්ධයට පෙර සිටම දෙරට සමාන අදහස් දරන කණ්ඩායම් අතර ඇතිව තිබූ සම්බන්ධයයි. ඇඩොල්ෆ් හිට්ලර් 1933 දී ජර්මනියේ බලයට පැමිණි පසු අනුගමනය කළ යුදෙව්වන් වෙන්කොට දැමීමේ ක්‍රියාවලියට ඇමරිකාවේ කලු ජාතිකයන් සහ සුදු ජාතිකයන් වෙන්කර තැබීමට භාවිතා වූ නීති ඉවහල් වූ බව සඳහන්. විශේෂයෙන්ම 1935 දී සම්මත වූ නියුරම්බර්ග් නීති සඳහා ඇමරිකාවේ ජිම් ක්‍රෝ නීති ඉවහල් වූ බව පැවසෙනවා.
හිට්ලර් බලයට පැමිණ සුළු කලකින් 1933 මැයි මාසයේදී නව ජර්මනියේ මිතුරෝ නම් සංවිධානයක් ඇමරිකාවේ ස්ථාපිත කෙරුණා. ඒ ජර්මන් රජයේ ද අනුග්‍රහයෙන්. පසු කලෙක මෙය ජර්මන් ඇමරිකන් බුන්ඩ් හෙවත් ජර්මන් ඇමරිකන් ෆෙඩරේශනය බවට පත් වුණා. එය 1941 දී ඇමරිකාව ලෝක යුද්ධයට සම්බන්ධ වනතුරු පැවතුණා.
දෙවන ලෝක යුද්ධයෙන් පසු වසර කිහිපයකින් යළිත් ඇමරිකාවේ නට්සි සංවිධාන බිහි වුණා. (හිට්ලර්ගේ නට්සිවාදීන් පරාජය කළ පසු බිහිවන නට්සි සංවිධාන සාමාන්‍යයෙන් නව – නට්සිවාදී සංවිධාන ලෙස හැඳින්වෙනවා). මේ අතර මූලිකම වූ සංවිධානයක් වූයේ 1959 දී බිහි වූ ඇමරිකන් නට්සි පක්ෂයයි. මෙය පසුව විවිධ කණ්ඩායම්වලට කැඩී ගිය අතර ඉන් කිහිපයක්ම ඇමරිකන් නට්සි පක්ෂය යන නම භාවිතා කළා.
මේ වනවිට ඇමරිකාවේ විශාලම නව නට්සිවාදී සංවිධානය ලෙස සැලකෙන ‘ජාතික සමාජවාදී ව්‍යාපාරය’ බිහි වූයේ 1974 දීයි. එම වසරේදීම විලියම් පියර්ස් විසින් පිහිටවන ලද ජාතික සන්ධානය ද කලක් ප්‍රබල නට්සි සංවිධානයක් වුණා. පියර්ස් 2002 දී මියගිය අතර ඉන් පසු එම ව්‍යාපාරය කෙමෙන් කෙමෙන් දියවී ගියා.
මෑත කාළයේ නව – නට්සිවාදී සහ පොදුවේ අන්ත දක්ෂිණාංශික සංවිධාන ඇමරිකාවේ වර්ධනය වීමට හේතු කිහිපයක් බලපෑවා. 2008 ජනාධිපතිවරණය බැරක් ඔබාමා විසින් ජයගත් අවස්ථාවේ ඇමරිකානු සමාජයේ වෙනසක් පිළිබඳ ඇතැමුන් උදම් ඇනුවත්, කලු ජාතිකයකු ජනාධිපති ධූරයට පත්වීම කෙරේ ඇතැම් සුදු ජාතිකයන් අප්‍රසාදය පළ කළා. මේ අවස්ථාවේ ධවල අධිපතිවාදීන් සංඛ්‍යාත්මකව වැඩි වීමක් දක්නට තිබුණා. එමෙන්ම කාලයක් තිස්සේ පැවති නරක ආර්ථික තත්ත්වය ද මෙම ප්‍රවණතාවයට හේතු වුණා.
ඇමරිකාවේ ක්‍රියාත්මක Southern Poverty Law Center සංවිධානයට අනුව මේ වනවිට ඇමරිකාවේ නට්සි සංවිධාන 99 ක් ක්‍රියාත්මකයි. ඒවා බොහොමයක් ෂාර්ලට්ස්විල් රැළියට සහභාගී වුණා.
සළකුණු සහ සටන් පාඨ
ෂාර්ලට්ස්විල් රැළියේදී නව නට්සිවාදීන් පැහැදිලිව පෙන්නුම් කෙරුණේ ඔවුනගේ සළකුණු සහ සටන් පාඨ අනුසාරයෙනුයි. ඒ අතර ජාතික සමාජවාදී ව්‍යාපාරය විසින් භාවිතා කරන රූනික් අක්ෂරයක් වන ඔතාලා හි සළකුණ, සහ හිට්ලර්ගේ එස්.එස්. විශේෂ හමුදාවේ අණදෙන නිලධාරියා වූ හයින්රිච් හිම්ලර් භාවිතා කළ කලු සූර්යයා ද වුනා. මේ අතර ඇතැම් නව නට්සිවාදීන් හෙල්මට් පැළඳ පැරාමිලිටරි භටයන් මෙන් රැළියට පැමිණ සිටියා.
කළින් සඳහන් කළ “ලේ සහ භූමිය” යන සටන් පාඨය භාවිතා කරන ලද්දේ (පෙරටුගාමී ඇමරිකාව) සංවිධානය විසිනුයි. මෙම සටන් පාඨය බිහිවූයේ ජර්මන් නට්සිවාදීන් අතරයි. පුද්ගලයකුගේ නුමුහුන් ජාතිකත්වය ඔහුගේ ලේ ඥාතිකම් ඔස්සේ සහ භූමියට ඇති අයිතිය ඔස්සේ සනාථ කළ හැකිය යන සිද්ධාන්තය මත පදනම් ව මෙම සටන් පාඨය නිර්මාණය වුණා.
විලියම් පියර්ස් ජීවත්ව සිටි සමයේ ජර්මනියේ විශාලම නව – නට්සි පක්ෂය වන ජාතික ප්රජාතන්ත්රවාදී පක්ෂය සමඟ සබඳතා පැවැත්වූවා. නමුත් වර්තමාන ඇමරිකන් නව – නට්සි සංවිධාන සහ ජර්මනියේ නව – නට්සිවාදී සංවිධාන අතර සම්බන්ධය පිළිබඳ එතරම් පැහැදිලිව දිස්වන්නේ නැහැ.
Cover Image: රොබර්ට් ඊ. ලී ප්‍රතිමාව අසළ අන්ත දක්ෂිණාංශික විරෝධතාකරුවන් පිරිසක්. පින්තූරයේ මධ්‍යයට දකුණින් පෙණෙන N.S.M. අකුරු සහිත ධජය ජාතික සමාජවාදී ව්‍යාපාරයේ ධජය ය. එහි දිස්වන සංකේතය ඔතාලා රූනික් අක්ෂරයයි. (Getty Images)