ඔන්න ආයෙත් ඩෙංගු පැතිරෙන්න පටන් අරන්. මොන තරම් ඩෙංගු මර්ධන සති ප්‍රකාශයට පත් කළත්, නගර සභාවෙන් ඇවිත් මදුරු මර්ධන දුම් ගහලා ගියත් ඒ ගොඩක් විසඳුම් තාවකාලික බව පෙනෙන්න තියෙනවා. පහු ගිය මාස හතක වගේ කාලයක් ඇතුළත ලංකාව පුරාම ඩෙංගු නිසා රෝහල් ගත කිරීම්, සහ මිය යාම් වාර්තා වීමේ ඉහළ යාමක් දකින්න තිබුණා. විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල මේ තත්ත්වය වසංගත මට්ටමට ලඟා වෙලා තියෙන්නේ. හැබැයි තවමත් මේ ගැන මහජන අවධානය ප්‍රමාණවත්ව යොමු වෙලා තියෙන බවක් නම් පෙනෙන්න නැහැ.
නිතර සිදු කරන වැටලීම් වලින් ඩෙංගු මදුරු කීටයන් බෝ වන ස්ථාන පිරිසිදු නොකරන නිවාස සහ ආයතන වලට එරෙහිව නඩු දමද්දී වුණත් බොහෝ දෙනා මේ ප්‍රශ්නයෙන් ස්ථිරව මිදෙන්න හිතන පාටක් නැහැ. ගෙදර වත්ත පිරිසිදු කරලා තියාගන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවොත් ගොඩක් දෙනා කියන්නේ වෙලාව නැහැ කියලා. නගරබදව ජීවත් වෙන අය නගර සභාව වෙලාවට කුණු ඉවත් කරන්නේ නැහැ කියලත් මැසිවිලි කියනවා. කාගේ අතේ වැරැද්දක් තිබුණත් අවසාන ප්‍රතිඵලය අපි කාටත් මේකේ විපාක විඳින්න සිදු වෙන එකයි. රජය කොයි තරම් ප්‍රතිපාදන වෙන් කරත්, නීති සැකසුවත්, මහජනතාවගේ සහයෝගය ලැබෙන්නේ නැති නම් කවදාවත් ඩෙංගු තුරන් කරන්න වෙන්නේ නෑ. එක එක වැඩසටහන් තියලා තාවකාලිකව ඩෙංගු පැතිරෙන එක අඩු කර ගත්තත් ආපහු වැහි කාලයක් ආපු ගමන් ඩෙංගු හිස ඔසවන්න පටන් ගන්නවා. මොකද ඒ වෙලාවට පිරිසිදු කරලා පස්සේ වැඩේ අත ඇරලා දාන එක තමයි වැඩි දෙනාගේ ක්‍රමය.
ඩෙංගු රෝගය පැතිරෙන එකට දීර්ඝ කාලීන විසඳුමක් දෙන්න අවශ්‍යයි නම් අපිට තියෙන එකම ක්‍රමය ධරණීය විදිහට අපේ යුතුකම් ඉෂ්ට කරන එක. ඩෙංගු මර්ධන සතියේ වත්ත පිරිසිදු කරලා ඊට පස්සේ මදුරුවන් බෝ වෙන තැන් හැදෙන්න ඉඩ දෙනවා නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ. ඒ කටයුතු කාලාන්තරයක් පුරාවට කළොත් විතරයි මේ ප්රශ්නය පිටු දකින්න පුළුවන්.
ඩෙංගු කියන්නේ මරණය පවා ඇති කරන්න පුළුවන් දරුණු රෝගයක්. ඩෙංගු රෝගය බෝ වෙන්න පුළුවන් එකම ක්‍රමය ඩෙංගු වෛරස් වාහක මදුරු විශේෂයක දෂ්ට කිරීමකට ලක් වීම. (වෙනත් ක්‍රම වලින් ඩෙංගු පැතිරෙන්නේ නැහැ) මේ ඩෙංගු වෛරසයට වාහකයන් විදිහට ක්‍රියා කරන මදුරුවන් වර්ග දෙකේ විද්‍යාත්මක නම් වෙන්නේ “ඊඩිස් ඊජිප්ටායි – Aedes aegypti” සහ ඊඩිස් ඇල්බෝපික්ටස් – Aedes Albopictus”.
ඩෙංගු මදුරුවන් ක්‍රියාකාරී වෙන්නේ හවස් කාලයේ විතරයි කියලා ඉස්සර මතයක් තිබුණත් නවතම විද්‍යාත්මක පරීක්ෂණ අනුව මොවුන් මුළු දවස පුරාම ක්‍රියාකාරීව සිටින බව හඳුනා ගෙන තිබෙනවා. මදුරු දෂ්ටනයෙන් රෝගය බෝ වුණා නම් දින කිහිපයක් තුළ රෝග ලක්ෂණ ඇති වෙනවා. ප්‍රධානම රෝග ලක්ෂණය වෙන්නේ අධික උණ තත්වය. මීට අමතරව සන්ධි හා මාංශ පේශි වල දැඩි වේදනාව, හිස රදය, හමේ පැල්ලම් හට ගැනීම සහ ඔක්කාරයට ඒම කියන රෝග ලක්ෂණත් මතු වෙනවා. කල් පවතින අධික උණත් එක්ක මේ රෝග ලක්ෂණ පහළ වුණොත් කල් යවන්නේ නැතිව වහාම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගන්න.
මග හරවා ගැනීම
වෙනත් බොහෝ වෛරස වගේම ඩෙංගු බෝ කරන වෛරසයත් බෙහෙත් දීල හරි, ප්‍රතිශක්තිකරණ ඖෂධ විදලා හරි සුව කරන්න බැහැ. මනුෂ්‍ය ශරීරයකට මේ වෛරසය ඇතුළු වුණාම දැනට කරන්න පුළුවන් එකම දේ ස්වභාවිකව ප්‍රතිදේහ නිපදවෙන්න ඉඩ හරින එක විතරයි. නමුත් විවේක ගැනීම, පහසුවෙන් දිරවිය හැකි ආහාර සහ දියර වර්ග වැඩිපුර ගැනීම වගේ බාහිර ක්‍රියාකාරකම් වලින් ශරීරය තුළ ප්‍රතිදේහ නිපදවෙන්න තියෙන හැකියාව ඉහළ නංවා ගන්න පුළුවන්.
කොහොම වුණත් ඩෙංගු පැතිරෙන එක වළක්වන්න තියන පහසුම සහ හොඳම ක්‍රමය වෙන්නේ රෝග වාහක මදුරුවන් බෝ වීම පාලනය කරන එකයි.
නීතිමය තත්වය
ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගය පැතිරී යන එක වළක්වන්න අවශ්‍ය නීතිමය ව්‍යුහය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. කලිනුත් කිව්වා වගේ ඔබ ජීවත් වෙන ස්ථානය හෝ ඔබේ ව්‍යාපාරික ස්ථානය අවට පිරිසිදුව තබා ගැනීම ඔබේ වගකීමක්. ඔබේ හිමිකම තියෙන තැනක ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන ඇති බව ඔප්පු වුණොත් ඔබට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත්, වරදකරු වුණොත් දඩ සහ සිර දඬුවම් නියම කරන්නත් රජයට පුළුවන්. 2007 අංක 11 දරන මදුරුවන් බෝ වැළැක්වීමේ පනත යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට නිවෙස් අවට පරීක්ෂා කරන්නත්, මදුරුවන් බෝ වන ස්ථාන ඇත්නම්, හිමිකරුවන්ට හෝ භාරකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නත් බලතල පවරලා තියෙනවා. මුලින්ම මේ වගේ ස්ථාන හඳුනා ගත්තාම හිමිකරුවන්ට දැනුම් දීමක් කරනවා සතියක් ඇතුළත අදාළ ස්ථාන පිරිසිදු කරන්න කියලා. එම කාලය ඇතුලත පිරිසිදු කරේ නැතිනම් රුපියල් 25,000ක දඩයක් නියම කරනවා. ඉන් පසු තවත් වතාවක් වැරදිකරු වුණොත් උසාවියට ඉදිරිපත් කරලා රුපියල් 50,000ක දඩයකුත්, ඇතැම් විට සිර දඬුවමකුත් නියම කරනවා.
ඩෙංගු පැතිරෙන එක වළක්වා ගන්න සරල ක්‍රම 5ක්
හැම වෙලාවකම රෝගයක් බෝ වෙන්න තියෙන හැකියාව අඩු කර ගන්න එක රෝගය වැළඳුණාට පස්සේ විසඳුම් හොයනවාට වඩා පහසුයි. බොහෝ විට වියදමත් ඉතා අඩුයි. පරිසරය පිරිසිදුව තියා ගන්න එක ඔබේ යුතුකමක් කියලා නිතරම හිතන්න. එකෙන් ඔබට ප්‍රතිකාර වලට යන වියදමත්, සිදු වන කරදරයත් අඩු කර ගන්න පුළුවන් වේවි.
1. මදුරුවන් බිත්තර දමන ස්ථාන සහ බෝ වෙන්න ඉඩ තියෙන ස්ථාන විනාශ කරන්න.
නිවාස අවට වැසි ජලය එකතු වෙන්න පුළුවන් හිස් භාජන, සිර වුණු වැහි පීලී, පාලුවට ගිය මල් පෝච්චි වගේ දේවල් තියනවාද කියන එක ගැන සැළකිලිමත් වෙන්න. හිස් බාල්දි සහ වෙනත් භාජන නිතරම යට පැත්තට හරවලා තියන්න. ඉටි රෙදි වගේ දේවල් තියෙනවා නම් නැමුම් පාරවල් අතරේ වුණත් වතුර එක් රැස් වෙන්න පුළුවන්. සතියකට වතාවක්වත් තමන් ජීවත් වෙන නිවස අවට පිරිසිදු කරන්න පුළුවන් නම් මේ වගේ ගැටළු බොහොමයක් මගහරවා ගන්න පුළුවන්. කීටයන් බෝ වෙන එක වළක්වන්න ජලය එක් රැස් වන තැන් නිතර පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යයි.
2. කුණු ඉවත් කරද්දී පිළිගත්, සෞඛ්යාරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න.
නිවැරදිව අපද්‍රව්‍ය බැහැර කරන එක මදුරුවන් බෝ වෙන එක වළක්වන්න තියෙන ප්‍රධානම පියවරක්. හැමදාම ගෙදර එකතු වෙන කුණු කසල නිවැරදිව සහ ආරක්ෂිතව බැහැර කරන්න. මෝසම් වැසි කාලයේදී මේ ගැන වඩාත් අවධානයෙන් කටයුතු කරන්න අවශ්‍යයි. හැම වෙලාවකම හොඳින් වැසිය හැකි කුණු බඳුන් හරි, සිදුරු නැති කුණු බෑග් හරි පාවිච්චි කරන්න. නගර සභාවෙන් කුණු එකතු කරනවා නම් ඔවුන්ට ගැනීමට තබන කුණු බෑග් සතුන්ට අදින්න බැරි වෙන විදිහට ඉහළින් එල්ලා තිබ්බොත් කුණු විසිරිලා යන්න තියෙන අවස්ථාව අඩු කර ගන්න පුළුවන්. හිස් ටින්, යෝගට් කෝප්ප වගේ දේවල් තලලා පොඩි කරලා කුණු එකට දමන්න. පරිසරය පිරිසිදුව තබාගත්තොත් ඔබට නියත වශයෙන්ම ඩෙංගු තර්ජනයෙන් මිදෙන්න පුළුවන්.
3. මදුරු විකර්ෂක හා ආරක්ෂිත ඇඳුම් පාවිච්චි කරන්න.
මදුරු විකර්ෂක වෙළඳපොලෙන් මිලට ගන්න වගේම නිවසේදීම සාදා ගන්නත් පුළුවන්. නිතරම ශරීරයේ බාහිරට විවෘතව තියෙන තැන් වල මේ ද්‍රව්‍ය ආලේප කරලා තියා ගත්තාම මදුරු දෂ්ටන වලින් වැළකෙන්න පුළුවන්. (ඔබට යම් ද්‍රව්‍ය වලට අසාත්මිකතාවන් තියෙනවද කියන එක වෛද්‍යවරයෙකු මගින් පරීක්ෂා කරවා ගන්න) දිග අත් සහ කකුල් දිගට ඇති ඇඳුම් අඳින්න පුළුවන් නම් එයිනුත් දෂ්ටන වලට ලක් වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඇඳුම් අඳිනකොට නිතරම සුදු හෝ ලා පැහැති ඇඳුම් අඳින්න පුළුවන් නම් මදුරුවන් ආකර්ෂණය අඩු වෙනවා. නිවාස හොඳින් ආලෝකමත් කරලා තියා ගන්න එකත්, බිත්ති හා වහල සඳහා සුදු තීන්ත පාවිච්චි කරන එකත් මදුරුවන් ඇතුළු වෙනත් බොහෝ සතුන්ගෙන් බේරෙන්න හොඳ උපක්‍රම.
4. ගප්පි වැනි කුඩා මාළුන් ඇති කරන්න.
නිවසේ පොකුණක් හරි වෙනත් වතුර පිරුණු ස්ථානයක් හරි තියෙනවා නම් ඒවාට ගප්පින් යොදන එක ඩෙංගු මදුරුවන් බෝ වෙන එක වළක්වන්න හොඳ ක්‍රමයක්. බොහෝ පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා ගප්පින් යෙදීමෙන් වතුරේ ගුණාත්මක බවට හානියක් වෙන්නේ නැති බව. මේ නිසා විවිධ රසායනික ද්‍රව්‍ය යොදනවාට වඩා ගප්පින් බෝ කරන එක ඉතාම සරල, ලාභදායි, දීර්ඝ කාලීන විසඳුමක්. විසිතුරු මාළු විකුණන තැනකින් ඉතා අඩු මිලකට හරි, ළඟ පාත වතුර ගලා යන තැනකින් හරි පහසුවෙන්ම ගප්පින් සොයා ගන්න පුළුවන්.
5. දැනුවත්භාවය වැඩි කර ගන්න දායක වෙන්න.
නිතරම වටපිටාව පිරිසිදුව තියා ගන්න එක ගැන සමාජය දැනුවත් කරන්න ඔබේ යුතුකම් කොටස ඉටු කරන්න. මේ වගේ සමාජය දැනුවත් කරන අධ්‍යාපනික වැඩසටහන් වලින් මදුරුවන් බෝ වෙන තැන් විනාශ කරන්න පොදු ජනතාවගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගන්න පුළුවන්. ඩෙංගු වගේම වෙනත් ඕනෑම වසංගත රෝග තත්වයක් පාලනය කර ගන්න නම් හැසිරීමේ වෙනස් කම් කර ගන්න කැමති ජන සමාජයක් සිටීම වැදගත් පියවරක් කියන එක තමයි බොහෝ විද්වතුන්ගේ මතය. පිරිසිදු පරිසරයක ජීවත් වෙන එකෙන් ඩෙංගු විතරක් නෙවෙයි, සෞඛ්‍යට තර්ජනයක් විය හැකි සෑම ගැටළුවක්ම අවම වෙනවා.
ඩෙංගු නිසා ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ සෞඛ්‍යය වගේම ජීවිතත් නැති වෙන හැටි ප්රවෘත්ති මගින් අපිට දිනපතා අහන්න ලැබෙනවා. මේ නිසා තනි තනිවත්, සාමූහිකවත් ක්‍රියාත්මක වෙලා මේ ප්රශ්නය පිටුදකින්න ක්‍රියා කරන එක පුරවැසියන් වන අපේ යුතුකමක් වගේම වගකීමක්. පුංචි වෙනස් කමක් වුණත් ප්‍රමාණවත්. හැම දෙනාම පුංචි වෙනස්කමක් කළොත් එයින් රටට දැනෙන වෙනස්කමක් ඇති වෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
කවරයේ පින්තුරය: මිනාලි හපුතන්ත්‍රි