නාසි හමුදාවේ ඇතැම් ජෙනරාල්වරුන් ද ඇතුළු නාසි හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් 1944 වසරේ ජූලි 20 වන දා හිට්ලර් ඝාතන සැලසුමක් දියත් කරන්නේ, නායකයාව ඝාතනය කර ජර්මනියේ බලය අල්ලා ගැනීමට යි. නැගෙනහිර ප්‍රෂියාවේ පිහිටි රහසිගත බංකරයක් තුළ බෝම්බයක් පුපුරවා ජර්මන් නායකයාව මරා දැමීමට සියළු දේ සැලසුම් කෙරුණා.
නමුත් මෙම කුමන්ත්‍රණය අසාර්ථක වෙන අතර, කුමන්ත්‍රණයට මුල් වූ ඉහළ නිලධාරීන් සියළු දෙනා ඝාතනයට ලක්වෙනවා. අත් අඩංගුවට පත් වීමට අකමැති වූ නිළධාරීන් පිරිසක් සියදිවි නසා ගැනීමට පෙළඹෙනවා. මෙම අසාර්ථක කුමන්ත්‍රණයට සම්බන්ධ වූවන් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන මරා දැමීමත්, ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කිරීමත්, හා රැකියා වලින් ඉවත් කිරීමත් සිදු කරනවා. තව ද කුමන්ත්‍රණයට කිසිදු සම්බන්ධතාවක් නොමැති කොමියුනිට්ස්වාදී නායකයින් හා සාමාජිකයින් පැහැරගෙන මරා දැමීම සිදු කරන්නේත් මෙම අසාර්ථක ඝාතන ප්රයත්නයෙන් පසුව යි.
පරාජයේ අදුරු සෙවණැලි
1944 වසරේ මැද භාගය වන විට නාසි හමුදාව අල්ලාගෙන සිටි ප්‍රදේශ කරා දැවැන්ත යුධ පෙරමුණු ලෙස ඇදී ආ රතු හමුදාව, හිට්ලර්ගේ හමුදා විසින් අල්ලාගෙන සිටි බොහෝ ප්‍රදේශ නැවතත් සෝවියට් ආණ්ඩුව සතු කරගන්නවා. වේගයෙන් ඇදී ආ රතු හමුදාව හේතුවෙන් ජර්මානු හමුදා නැගෙනහිර සටන් පෙරමුණේ දී දරුණු පරාජයන්ට මුහුණ දෙනවා.
යුධ හමුදාවේ සිටි ජෙනරාල්වරුන් කිහිපදෙනෙක් ඉවත් කර, ඒ සඳහා අළුතින් ජෙනරාල්වරු පත් කර යැවුන ද අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට නාසි ජර්මනියට හැකියාව ලැබෙන්නේ නෑ. නැගෙනහිර යුධ පෙරමුණෙන් නාසි හමුදා ඩිවිෂණ කිහිපයක් ඉවත්කර ගැනීමට සිදු වන්නේ 1944 වසරේ ජුලි මස මුල යි. එබැවින් නැගෙනහිර යුධ පෙරමුණ පරීක්ෂා කිරීම සදහා හිට්ලර් ජූලි මාසයේ 12 වන දා පර්සියාව බලා පිටත් වෙනවා.
මෙම තත්ත්වය අනුව ජර්මනියට පරාජය උරුම වන බව හිට්ලර්ට පහදා දීමට නැගෙනහිර යුධ පෙරමුණේ නායකයන් වූ කර්ට් සයිට්ස්ලර් හා හයින්ස් ගුඩේරියාන් ඇතුළු ජෙනරාල්වරුන් විසින් උත්සාහ කරනු ලැබුවත්, හිට්ලර් එය තැකීමකට ගන්නේ නෑ.
හිට්ලර් ඝාතනය කිරීමේ අවශ්‍යතාවය
කිසිදු තේරුමක් නැතිව සෙබළ ජීවිත දහස් ගණනක් විනාශ කරමින්, යුධ ජෙනරාල්වරුන්ගේ උපදෙස් නොසලකා හරිමින් තම මතයට වැඩ කරන හිට්ලර් විසින් ජර්මනියට අඳුරු අනාගතයකට ඇද දමමින් සිටියා. එම උපකල්පනය නිසා උසස් හමුදා නිළධාරීන් කිහිපදෙනක් හිට්ලර් ඝාතනය කර, නාසි පක්ෂය තහනම් කර, රටේ බලය අල්ලා ගැනීම සඳහා කුමන්ත්‍රණයක් සැලසුම් කරනවා. ඒ ඔස්සේ ඔවුන්ගේ අරමුණ වන්නේ මිත්‍ර පාර්ශවයෙන් ජර්මනියට වන බරපතල විනාශය නැවැත්වීම යි.
මෙයට නායකත්වය දෙනු ලබන්නේ හිටපු මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ලුඩ්විග් බෙක්. මෙම කුමන්ත්රණයේ අනෙකුත් ප්‍රධාන නායකයන් වන්නේ ජෙනරාල් ෆ්රිඩ්රික් ඔල්බ්රිච්, මේජර් ජෙනරාල් හෙනින් වොන් ට්රේස්කොව්, හා ලුතිනන් කර්නල් ක්ලෝස් ශෙන්ක් වොන් ස්ටෝෆන්බර්ග් යන ඉහළ නිළධාරීන් පිරිස යි.
Operation Valkyrie හරහා පාලන බලය ලබා ගැනීමට උත්සාහ කිරීම
1944 වසරේ මැද භාගය වන විට ජර්මනිය ක්‍රමක්‍රමයෙන් පරාජය ලබනමින් සිටියා. ජර්මනිය තුළ සිටින විදෙස් ශ්‍රමිකයන් හා සිරකරුවන් විසින් ජර්මනියේ අභ්‍යන්තර නොසන්සුන්තාවයක් නිර්මාණය කිරීමට ඇති ඉඩකඩ වැළක්වීම සඳහා, ජර්මනිය තුළ සිටින අතිරේක හමුදා භට ඛණ්ඩ යොදාගනිමින් හමුදා සැලැස්මක් සැකසීම සිදු වෙනවා.
හිට්ලර් විසින් අනුමත කරන ලද හමුදා සැලැස්මක් වූ මේ මඟින් ජර්මනිය තුළ කැරැල්ලක් හටගත් විට එය පාලනය කර, රටේ නාසි බලය ස්ථාවර කිරීමට හැකි යි. එය හඳුන්වන ලද්දේ Operation Valkyrie නමින්. මෙය භාරව කටයුතු කරන්නේ ලුතිනන් කර්නල් ස්ටෝෆන්බර්ග් නම් හමුදා නිළධාරියා යි. ලුඩ්විග් බෙක් ඇතුළු පිරිසගේ අරමුණ වන්නේ හිට්ලර් ඝාතනය කිරීමෙන් පසු වැල්කිරී මෙහෙයුම හරහා ජර්මනියේ බලය අල්ලා ගැනීම යි.
වෘක ලෙන තුළ පුපුරා ගිය බෝම්බය
ජුලි 20 වන දා හිට්ලර් ඇතුළු ජර්මන් ජෙනරාල්වරුන් 20කට අධික ප්‍රමාණයක් නැගෙනහිර ප්‍රෂියාවේ ජර්මානු රහස් තිප්පොළක් වූ වෘක ලෙනට ඇතුල් වන්නේ නැගෙනහිර යුධ පෙරමුණේ කටයුතු පිළිබඳව සමාලෝචනය කිරීමට යි. මේ සඳහා අතිරේක භට කණ්ඩායම් ප්‍රධානියා ලෙස කටයුතු කළ ලුතිනන් කර්නල් ස්ටෝෆන්බර්ග්ට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා.
ඒ සඳහා සහභාගී වන ඔහු, තම ලියකියවිලි අඩංගු බෑගය තුළට කාල බෝම්බයක් ඇතුළු කර එය ජෙනරාල්වරුන්ගේ සාකච්ජා මේසය පාමුල තබා ස්වල්ප මොහොතකින් එම ස්ථානයෙන් පිට වෙනවා. ඔහු පිට වී මොහොතකට පසුව බෝම්බය පුපුරා යන අතර ඉන් ජෙනරාල්වරු 4 දෙනෙක් මරණයට පත් වූවත්, සුළු තුවාල ලබා සිටි හිට්ලර් මරණයෙන් ගැලවෙනවා.
අසාර්ථක වූ බලය අල්ලා ගැනීම
බෝම්බය පුපුරා යාමත් සමඟ හිට්ලර් මරණයට පත් වූ බව උපකල්පනය කරන ස්ටෝෆන්බර්ග්, වහා ගුවන් මඟින් බර්ලින් වෙත පැමිණ කුමන්ත්රණයේ අනෙකුත් නායකයන්ට මේ බව දන්වා සිටිනවා. නමුත් බෝම්බ ප්‍රහාරය හමුවේ හිට්ලර් මිය නොගිය බවත්, ඔහු එදින හවස එම ප්‍රදේශයට පැමිණි ඉතාලියේ පාලක මුසලොනිව පිළිගෙන සාකච්ජා පැවැත්වූ බවත් වෘක ලෙනේ සිට බර්ලිනයට ආරංචි වීමට වැඩි වෙලාවක් ගත වන්නේ නැත.
මුල දී කුමන්ත්‍රණ කරුවන් සමග කටයුතු කළ නමුත් එය අසාර්ථක වූ බව දැනගත්, අතිරේක භට හමුදාවේ අණදෙන නිලධාරියා වූ ෆ්රීඩ්රික් ෆ්‍රොම්, බර්ලින් මූලස්ථානයේ සිටින කුමන්ත්රණකරුවන් වහාම අත් අඩංගුවට ගැනීමට නියෝග කරනවා. මෙහි දී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් සිදුවන අතර කුමන්ත්රණයේ නායකයා වූ ජෙනරාල් බෙක් සියදිවි නසා ගන්නවා. ෆ්රීඩ්රික් ෆ්‍රොම් විසින් ස්ටෝෆන්බර්ග් ඇතුළු අනෙකුත් කුමන්ත්‍රණ නායකයින් අත් අඩංගුවට ගෙන, එවලේම පවත්වන ලද යුධ අධිකරණ විනිශ්චයකින් පසුව රාත්‍රී කාලයේ දී වෙඩි තබා ඝාතනය කරනවා. පසුව මෙයට සම්බන්ධ යයි පවසා නාසි පාලනය විසින් ෆ්රීඩ්රික් ෆ්‍රොම් ද මරා දමනවා.
ගෙස්ටපෝව විසින් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන අතර, කුමන්ත්‍රණයට ඉතා කුඩා දෙයකින් හෝ සම්බන්ධ වූ හමුදා නිළධාරීන් හා ඔවුන්ගේ පවුල් මරණයට පත්කිරීම හා සිරගත කිරීම සිදු කරනවා. මෙම කුමන්ත්‍රණය හේතුවෙන් පුද්ගලයන් 4000කට අධික ප්‍රමාණයක් මරාදැමුණු හෝ සියදිවි හානිකර ගත් අතර, තවත් පුද්ගලයන් 7000ක් පමණ සිරගෙට නියම වූ බව, ජර්මනිය යටත් වූ පසු 1946 වසරේ නියුරම්බර්ග් යුධ අධිකරණයට පැමිණි මරණයෙන් දිවි ගලවාගත් නාසි නිළධාරීන් විසින් ප්‍රකාශ කරනවා.
කවරයේ ජායාරූපය – The Most Influential Images of All Time