Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

90 දශකයේ දී කෙටිදුර ධාවන ශූරයන්ට අභියෝග කළ නැමිබියානුවා

90 දශකය ආරම්භ වන විට ලෝක මලල ක්‍රීඩා පිටියේ කෙටිදුර ධාවන තරග ඉසව්වල වැඩි දස්කම් දක්වූයේ ඇමරිකානු කෙටිදුර ධාවන ශූරයන්. ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය, ඔලිම්පික් උළෙල වැනි ක්‍රීඩා තරගාවලි හි දී පිරිමි මීටර් 100, සහ 200 ඉසව්වල දී ඇමරිකානුවන් සෑමවිට ම පෙරමුණ ගත්තා. නමුත් එලෙස කෙටිදුර ධාවන පිටියේ පැවති ඇමරිකානු ආධිපත්‍යයට අභියෝග කළ හැකි ක්‍රීඩකයෙකු මලල ක්‍රීඩාවට ප්‍රසිද්ධ නැති අප්‍රිකානු රටක් වූ නැමිබියාවෙන් බිහි වුණා. ෆ්රෑන්ක් ෆ්රෙඩ්‍රික්ස් නම් වූ එම නැමිබියානු කෙටිදුර ධාවන ශූරයා එදා සැබවින් ම ලෝක මලල ක්‍රීඩා පිටියේ සුපිරි දස්කම් දක්වමින් ඔහුගේ රටට විශාල ගෞරවයක් ගෙන ආවා. එසේනම්, එම ක්‍රීඩකයා ලෝක මලල ක්‍රීඩා පිටියේ දැක්වූ සුපිරි දස්කම් පිළිබඳ ව මතකය අපි නැවතත් ආවර්ජනය කරමු.

ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලි ඉතිහාසයේ ෆ්රෙඩ්‍රික්ස්ගේ දස්කම්

1991 වසරේ සිට 1997 වසර දක්වා පැවති ලෝක ශූරතා තරගාවලිවල පිරිමි මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 3ක් දිනාගත් ෆ්රෙඩ්‍රික්ස්, එම සෑම වසරක ම පිරිමි මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේ දී පරාජයට පත් වුණා. 1999 වසරේ ලෝක ශූරතා තරගාවලියේ දී ද හොඳින් තරග වදිමින් සිටි ෆ්රෙඩ්‍රික්ස්ට තරගාවලිය අතරතුර ඇති වූ ආබාධ තත්ත්වය නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවෙනවා. ඉන් අනතුරුව 2003 වසරේ ප්‍රංශයේ දී පැවති ලෝක ශූරතා තරගාවලිය සඳහා ෆ්රෙඩ්‍රික්ස් මීටර් 200 ඉසව්වෙන් තරග කළ ද එහි දී ඔහුට දස්කම් දැක්වීමට නොහැකි වුණා.

1991 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

මීටර් 200 ඉසව්ව

ජපානයේ දී පැවති මෙම තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් තරගය සඳහා ඉතා පහසුවෙන් සුදුසුකම් ලැබීමට ෆ්රෙඩ්‍රික්ස්ට හැකි වුණා. මෙම ඉසව්වේ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ඇමරිකාවේ ලෙරෝයි බුරේල් සහ අවසන් පූර්ව තරගයේ දී බ්‍රිතාන්‍යයේ ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි පරාජය වීම නිසා මෙම ඉසව්වේ අවසන් තරගයේ උණුසුම මඳක් අඩු වුව ද ඇමරිකාවේ මයිකල් ජොන්සන්, කැනඩාවේ ඇට්ලී මාහෝන්, බ්‍රසීලයේ රොබ්සන් සිල්වා වැනි ක්‍රීඩකයන් අවසන් තරගයට සුදුසුකම් ලැබුවා. එදා එම ප්‍රබල ක්‍රීඩකයන් සමග ප්‍රබල සටනක නිරත වූ ෆ්රෙඩ්‍රික්ස්, අවසානයේ දී මයිකල් ජොන්සන්ට පමණක් පසුපසින් සිටිමින් තත්පර 20.34ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත්තේ සිය රටට විශාල ගෞරවයක් ලබාදෙමිනුයි.

මීටර් 200 ඉසව්වේ ජයග්‍රාහකයන් (gettyimages)

මීටර් 100 ඉසව්ව

මෙම ඉසව්වේ අවසන් තරගය සඳහා ෆ්රෙඩ්‍රික්ස් සුදුසුකම් ලැබූව ද අවසන් පූර්ව තරගවල දී ඇමරිකානු ක්‍රීඩකයන් වූ කාල් ලුවිස්, ලෙරෝයි බුරේල්, හා ඩෙනිස් මිචෙල් මෙන්ම බ්‍රිතාන්‍ය ක්‍රීඩක ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි ද තත්පර 10ට අඩු කාලයක් වාර්තා කර තිබූ නිසා අවසන් තරගය ෆ්රෙඩ්‍රික්ස්ට ලෙහෙසි පහසු වුණේ නැහැ. මෙම තරගාවලියට මාස 2කට පමණ පෙර මෙම ඉසව්වේ අවසන් තරගයට ඉදිරිපත් වූ ලෙරෝයි බුරේල්, තත්පර 9.90ක කාලයක් වාර්තා කරමින් මෙම ඉසව්වේ ලෝක වාර්තාව පිහිට වූ බැවින් ඔහු පිළිබඳ ව සියලුම දෙනාගේ අවධානය යොමුව තිබුණා. සියලු දෙනා ම සිතූ පරිදි ඉතාමත් ම තියුණු අවසන් තරගයක් වූ මෙම තරගය තත්පර 9.86කින් අවසන් කළ කාල් ලුවිස්, ලෝක වාර්තාවක් සමග රන් පදක්කම දිනාගන්නා විට බුරේල් සිය හොඳම කාලය වූ තත්පර 9.88ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගත්තා. ලෝකඩ පදක්කම දිනූ ඩෙනිස් මිචෙල් ද තත්පර 9.91ක් වූ ඔහුගේ හොඳම කාලය වාර්තා කළ අතර, ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි තත්පර 9.92කින් අවසන් කරමින් යුරෝපා වාර්තාවක් ද, ෆ්රෙඩ්‍රික්ස් තත්පර 9.95කින් අවසන් කරමින් නව අප්‍රිකානු වාර්තාවක් ද පිහිටුවනවා.

මීටර් 100 ඉසව්වේ ආරම්භය (gettyimages)

1993 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

මීටර් 200 ඉසව්ව

ජර්මනියේ දී පැවති මෙම තරගාවලියේ දී දක්ෂ ලෙස මීටර් 200 ඉසව්ව යටතේ තරග කළ ෆ්රෙඩ්‍රික්ස් ඇමරිකානුවන් වූ කාල් ලුවිස්, මයිකල් මාෂ්, සහ බ්‍රිතාන්‍යයේ ජෝන් රෙගිස් වැනි ප්‍රබල ක්‍රීඩකයන් සමග අවසන් තරගයට එක් වුණා. එහි දී සියල්ලන්ගේ ම බලාපොරොත්තුව වූයේ කාල් ලුවිස්ගේ ජයග්‍රහණය වුවත්, ෆ්රෙඩ්‍රික්ස් ඔවුන් සියලුදෙනා ම මවිතයට පත් කරමින් තත්පර 19.85ක කාලයක් වාර්තා කරමින් තරගාවලි වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගන්නවා.

ෆ්රෙඩ්‍රික්ස් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව (gettyimages)

මීටර් 100 ඉසව්ව

මෙම ඉසව්වේ අවසන් තරගයේ දී කාල් ලුවිස්, ඩෙනිස් මිචෙල් වැනි ඇමරිකානුවන්, සහ 1992 බාර්සිලෝනා ඔලිම්පික් උළෙලේ මීටර් 100 රන් පදක්කම දිනාගත් බ්‍රිතාන්‍යයේ ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි සමග තරග කිරීමට ෆ්රෙඩ්‍රික්ස්ට සිදුවුණා. එදා එම අවසන් තරගයේ දී විශිෂ්ට ධාවනයක යෙදුණු ක්‍රිස්ටි, තත්පර 9.87ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගන්නා විට තත්පර 10.03කින් තරගය නිම කළ  ෆ්රෙඩ්‍රික්ස්ට 6 වන ස්ථානය හිමි වුණා.

1995 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

මීටර් 200 ඉසව්ව

1995 වසරේ ස්වීඩනයේ දී පැවති මෙම තරගාවලියේ අවසන් තරගයේ දී තත්පර 19.79ක කාලයක් වාර්තා කරමින් නව තරගාවලි වාර්තාවක් සමගින් මයිකල් ජොන්සන් රන් පදක්කම දිනාගත් අතර, තත්පර 20.12ක කාලයකින් තරගය නිම කළ ෆ්රෑන්ක් ෆ්රෙඩ්‍රික්ක්ස්ට රිදී පදක්කම හිමි වුණා.

මීටර් 100 ඉසව්ව

මීටර් 100 අවසන් තරගයේ දී කැනඩාවේ ඩොනවන් බේලි තත්පර 9.97ක කාලයක් වාර්තා කරමින් පහසුවෙන් ම රන් පදක්කම දිනා ගනු ලැබුවා. එහි දී කැනඩාවේ ම බෘනි සුරින් සහ ට්‍රිනිඩෑඩ්හි අටෝ බෝල්ඩන් තත්පර 10.03කින් තරගය නිම කරමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිද්දී තත්පර 10.07කින් තරගය නිම කළ ෆ්රෙඩ්‍රික්ස්ට සිව්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවෙනවා.

1997 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය

මීටර් 200 ඉසව්ව

ග්‍රීසියේ දී පැවති මෙම තරගාවලියේ මීටර් 200 ඉසව්ව තත්පර 20.03කින් නිම කළ ට්‍රිනිඩෑඩ් හි ක්‍රීඩක අටෝ බෝල්ඩන්, රන් පදක්කමට හිමිකම් කියන විට තත්පර 20.23කින් තරගය නිම කළ ෆ්රෙඩ්‍රික්ස්ට රිදී පදක්කම හිමි වුණා.

මීටර් 100 ඉසව්ව

මෙම ඉසව්වේ රන් පදක්කම තත්පර 9.86කින් තරගය නිම කළ ඇමරිකාවේ මොරිස් ග්‍රීන්ට හිමිවන විට කැනඩාවේ ඩොනවන් බේලි, තත්පර 9.91කින් තරගය නිම කරමින් රිදී පදක්කමට හිමිකම් කීව ද ලෝකඩ පදක්කම සඳහා ඇමරිකාවේ ටීම් මොන්ටිගොමරි සහ ෆ්රෙඩ්‍රික්ස් අතර තියුණු තරගයක් ඇති වුව ද, අවසානයේ තත්පර 9.94ක කාලයක් වාර්තා කළ මොන්ටිගොමරි ෆ්රෙඩ්‍රික්ස් වාර්තා කළ තත්පර 9.95ක කාලය අභිබවා ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ ෆ්රෙඩ්‍රික්ස්ගේ දස්කම්

1992 බාර්සිලෝනා සහ 1996 ඇට්ලන්ටා යන ඔලිම්පික් තරගාවලි සඳහා සහභාගි වූ ෆ්රෙඩ්‍රික්ස් එහි දී මීටර් 100 සහ 200 ඉසව්වලින් රිදී පදක්කම් 4ක් දිනා ගත්තා. නැමිබියානු ඔලිම්පික් ඉතිහාසයේ ඔවුන්ගේ රට වෙනුවෙන් පදක්කම් දිනා ඇති එකම ක්‍රීඩකයා ෆ්රෑන්ක් ෆ්රෙඩ්‍රික්ස්. එම නිසා ෆ්රෙඩ්‍රික්ස් ඔහුගේ රටට ලබාදුන් ගෞරවය සුළුපටු එකක් නොවේ.

1992 බාර්සිලෝනා ඔලිම්පික් තරගාවලිය

මීටර් 200 ඉසව්ව

මෙම තරගයේ දී තත්පර 20.13කින් තරගය නිම කළ ෆ්රෙඩ්‍රික්ස් රිදී පදක්කම දිනා ගන්නා විට ඇමරිකාවේ මයිකල් මාෂ්ට රන් පදක්කම හිමිවෙනවා.

මීටර් 200 ඉසව්වේ අවස්ථාවක් (gettyimages)

මීටර් 100 ඉසව්ව

බ්‍රිතාන්‍යයේ ලින්ෆෝර්ඩ් ක්‍රිස්ටි තත්පර 9.96කින් තරගය නිමකර මෙම ඉසව්වේ රන් පදක්කම ලබාගත් අතර, තත්පර 10.02කින් තරගය නිම කළ ෆ්රෙඩ්‍රික්ස්ට රිදී පදක්කම හිමිවුණා.

මීටර් 100 තරගයේ අවසන් මොහොත

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලිය

මීටර් 200 ඉසව්ව

1996 ඇට්ලන්ටා ඔලිම්පික් තරගාවලියේ දී ඇමරිකාවේ මයිකල් ජොන්සන් තත්පර 19.32ක කාලයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනාගත් නිසා ෆ්රෙඩ්‍රික්ස්ගේ රන් සිහිනය ගිලිහී ගිය ද, ඔහු තත්පර 19.68ක ඉතාමත් හොඳ කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනා ගන්නවා.

මීටර් 200 ඉසව්වේ පදක්කම් ලබාගත් අවස්ථාව

මීටර් 100 ඉසව්ව

මෙම ඉසව්ව තත්පර 9.84ක කාලයක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් සමගින්  කැනඩාවේ ඩොනවන් බේලි ජයගත් නිසා තත්පර 9.89කින් තරගය නිම කළ ෆ්රෙඩ්‍රික්ස්ට රිදී පදක්කමින් සෑහීමකට පත්වීමට සිදුවුණා.

මීටර් 100 ඉසව්වේ අවසානය (gettyimages)

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ඉතිහාසයේ ෆ්රෙඩ්‍රික්ස්ගේ දස්කම්

1994 වසරේ සිට 2002 වසර දක්වා පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලි සඳහා සහභාගි වූ ෆ්රෙඩ්‍රික්ස්, 1994 සහ 2002 තරගාවලිවල දී මීටර් 200 ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් අතර, 1994 තරගාවලියේ මීටර් 100 ඉසව්වෙන් ලෝකඩ පදක්කම සහ 1998 තරගාවලියේ මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තා.

1994 වසරේ තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එය සමරමින් (gettyimages)
2002 වසරේ රන් පදක්කම දිනාගත් අවස්ථාව (gettyimages)

90 දශකය පුරාවට ම ලෝක කෙටිදුර ධාවන පිටියේ සිටි ප්‍රබලම ක්‍රීඩකයන්ට අභියෝග කර ෆ්රෑන්ක් ෆ්රෙඩ්‍රික්ස් දැක්වූ දස්කම් ඔහුගේ රට වූ නැමිබියාවට විශාල ගෞරවයක් වුණා. එම නිසා ම ෆ්රෙඩ්‍රික්ස් නැමිබියානු ඉතිහාසයේ අමරණීය වීරයෙකු ලෙස සැමදා වැජඹෙනු ඇත.

කවරයේ ඡායාරූපය: ෆ්රැන්ක් ෆ්රෙඩ්‍රික්ස් (Sports Discourse)

Related Articles