ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය හෙවත් ISIS සංවිධානය 2011 න් පසු සිරියාවෙහි ස්ථාපිත වීමට පටන් ගත් අතර, 2013 සිට එහි සැලකිය යුතු ප්‍රදේශයක් පාලනය කළා. 2014 දී ඔවුන් ඉරාකයේ ද විශාල ප්‍රදේශයක් අල්ලා ගත්තා. එතැන් පටන් එම සංවිධානය බලාපොරොත්තු වූයේ එම ප්‍රදේශය මූලික කරගෙන ඉස්ලාමීය කලිෆාතයක් (Caliphate) ගොඩනැගීම යි. මෙහි දී ඔවුන් විවිධ රටවල ඉස්ලාමීය අන්තවාදීන්ට තම කලිෆාතයට පැමිණෙන ලෙස ආරාධනා කළා. මෙම පිරිස් යොදාගෙන ඔවුන් එක් එක් ප්‍රදේශ සඳහා වෙනම ම සංවිධාන ද පිහිටවූවා. මෙයින් එක් ප්‍රධාන සංවිධානයක් වූයේ කටීබා නුසන්ටාරා ලිද් දවුලා ඉස්ලාමියා (Katibah Nusantara Lid Daula Islamiyah) හෙවත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ මැලේ කොදෙව් සටන් ඒකකය යි.
2015 සිට ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලන ප්‍රදේශයන් වෙත එල්ල වූ ප්‍රහාර හමුවේ එම සංවිධානය තීරණයකට පැමිණියා. ඒ අනුව එතෙක් තම පාලන ප්‍රදේශයන් වෙත පැමිණෙන ලෙස විදේශික සටන්කාමීන්ට ලබා දුන් උපදෙස් ඔවුන් වෙනස් කළා. ඔවුනගේ නව උපදේශය වූයේ තම තමන්ගේ රටවල රැඳෙමින් ම ඉස්ලාමීය කලිෆාතය සඳහා සටන් කරන ලෙස යි. මේ අතර ඉරාකයට සහ සිරියාවට පැමිණි ඇතැම් සටන්කාමීන් ද ආපසු තම තමන්ගේ උපන් රටවල් කරා පිටව ගියා. මෙසේ දහස් ගණනක් සටන්කාමීන් විවිධ රටවල් කරා ආපසු පිටව ගියා.
මේ අතර, විශාල සුන්නි මුස්ලිම් ජනගහනයක් සිටින ප්‍රදේශයක් වන හෙයින් ඉන්දුනීසියාව, මැලේසියාව, සහ පිලිපීනයේ දකුණුදිග මින්ඩනාඕ දූපත සහ අවට දූපත් කෙරෙහි විශේෂ අවධානයක් ISIS සංවිධානය විසින් යොමු කෙරුණා.
කටීබා නුසන්ටාරා සංවිධානය පිහිටුවීම
ලොව පුරා ISIS සංවිධානයේ සාමාජික සංවිධාන කොටස් දෙකකට වර්ග කළ හැකියි. එක් කණ්ඩායමක් නම් සංවිධානය ඉරාකයේ සහ සිරියාවේ ප්‍රදේශ පාලනය කරන අතරතුර ඔවුනගේ කලිෆාතය ගොඩනැගීමේ සටන සඳහා සහාය දීමට පැමිණි විදේශික සටන්කාමීන්ගේ සාමාජිකත්වයෙන් ඉරාකයේ දී සහ සිරියාවේ දී පිහිටවා ගත් සංවිධාන යි. කටීබා නුසන්ටාරා ද එවැන්නක්. අනෙක් සංවිධාන වර්ගය වන්නේ වෙනත් ප්‍රදේශයන් හි ම උපත ලබා එම ප්‍රදේශයන් හි ක්‍රියාත්මක වන සංවිධාන යි. ඒ සඳහා හොඳම උදාහරණයක් වන්නේ පිලිපීනයේ අබු සයාෆ් සංවිධානය යි. එය ISIS සංවිධානය පිහිටුවීමට ද පෙර පටන්ම ක්‍රියාත්මක වූ සංවිධානයක්. නමුත්, දැනට එය ISIS සංවිධානයට සහාය පළ කරනවා.
ඉරාකයේ සහ සිරියාවේ ISIS පාලන ප්‍රදේශ කඩා වැටෙද්දී, කටීබා නුසන්ටාරා වැනි සංවිධාන තම සටන්කාමීන් උපන් බිම් වෙත සිය කටයුතු ගෙන ගියා.
කටීබා නුසන්ටාරා සංවිධානය පිහිටුවන ලද්දේ 2014 සැප්තැම්බර් 26 වන දා සිරියාවේ අල්-ෂදාදි ප්‍රදේශයේ දී යි. එහි නායකයා ලෙස සැලකුණේ අබු ඊබ්‍රහීම් අල්-ඉන්දුනීසි නමැත්තෙක්. කටීබා නුසන්ටාරා හි ප්‍රධාන පෙළේ සාමාජිකයන් බොහෝ දෙනා ඉන්දුනීසියානුවන් වන බවට විශ්වාස කෙරෙන අතර, මැලේසියානුවන් ද කිහිපදෙනෙකු ඒ අතර වේ යයි විශ්වාස කෙරෙනවා.
බඳවා ගැනීම්
කලින් ද සඳහන් කෙරුණ පරිදි, මුල් කාලයේ ඔවුන් කටයුතු කළේ ඉරාකයේ සහ සිරියාවේ සටන් කෙරෙහි යි. එහෙයින් එකල ඔවුන් මැලේ කොදෙව් දෙසින් සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සාහයන් හි නිරත වුණා. ජාතික ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් උනන්දු වන කලාපීය රටක් වන සිංගප්පූරුව මේ පිළිබඳ විශේෂ අවධානයකින් සිටියා. 2015 දී සිංගප්පූරුවේ ෂැංග්‍රිලා ආරක්ෂක කතිකාවත සඳහා සහභාගී වූ එරට අගමැති ලී සියෙන් ලූන්ග් කටීබා නුසන්ටාරා පිළිබඳව අනතුරු ඇඟවූයේ මේ අයුරින්.
“අග්නිදිග ආසියාව ISIS සංවිධානය සාමාජිකයන් බඳවා ගන්නා ප්‍රධාන ස්ථානයකි. ඉන්දුනීසියානුවන් 500කට වඩා වැඩි පිරිසක් මෙම ත්‍රස්ත කණ්ඩායමට මේ වන විටත් බැඳී අවසන්. තවත් දුසිම් ගණනක පිරිසක් මැලේසියානුවන් ද සංවිධානයට බැඳී ඇත. මේ තත්ත්වය කෙතරම් භයානක ද යත් සංවිධානය මෙම කලාපයේ වෙනමම ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. එය නමින් කටීබා නුසන්ටාරා හෙවත් මැලේ කොදෙව් සටන් ඒකකය යි.
මෑතක දී ISIS සංවිධානය විසින් පළ කරන ලද ප්රචාරක වීඩියෝ පටයක දැක්වුණේ මැලේ බස කතා කරන ළමුන් ISIS සංවිධානය විසින් පාලනය කරනු ලබන ප්‍රදේශයක දී අවි පුහුණුව ලබන අයුරු යි. මේ අතරම සිරියානුවෙකුගේ හිස ගසා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක මැලේසියානුවන් දෙදෙනකු සිටිනු හඳුනාගනු ලැබීය. මැලේසියානු පොලිසිය විසින් ISIS සංවිධානයට බැඳීම සඳහා රටින් පිටවීමට සූදානම් වූ බව කියන තවත් පිරිස් අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර එරට සන්නද්ධ අංශ සාමාජිකයෝ පවා වූහ.”
2015 දී ම සිදුකරන ලද තවත් ඇස්තමේන්තුවකට අනුව ඒ වෙද්දී කටීබා නුසන්ටාරා සංවිධානයෙහි ඉන් දුනීසියානුවන් 700ක් සහ මැලේසියානුවන් 200ක් සිටියා. සිංගප්පූරුවෙන් ද සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සාහයක් එකල සිටම පැවතුණා. සිංගප්පූරු අගමැතිවරයා ඒ පිළිබඳව ද සිය කතාවේ දී සඳහන් කළා.
“සිංගප්පූරුව යනු සාමකාමී, සමාජයට හොඳින් අන්තර්ග්‍රහණය වූ මුස්ලිම් ජනකායක් ජීවත්වන රටකි. එසේ තිබිය දී පවා ISIS සංවිධානයට බැඳෙනු පිණිස කිහිපදෙනෙකුම මෙරටින් පිටව ගොස් ඇත. තවත් කිහිපදෙනකු එසේ පිටවීමට පෙර රඳවා ගැනීමට සිංගප්පූරු ආරක්ෂක අංශ සමත් වූහ.”
අග්නිදිග ආසියාවේ ISIS සාමාජිකයින්
වර්තමාන තත්ත්වය එකල තත්ත්වයට වඩා වෙනස් වී තිබෙනවා. දැන් සංවිධානය ගෝලීය වශයෙන් විවිධ ප්‍රදේශයන් හි ප්‍රහාර සිදුකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. 2015 වන විට සංවිධානයට සහාය දක්වන විවිධ සංවිධාන 30ක් පමණ අග්නිදිග ආසියාතික කලාපයේ තිබුණා. පිලිපීනයේ ද මෙවන් සංවිධාන කිහිපයක් වනවා.
මෑතකාලීන ව අග්නිදිග ආසියාතික කලාපයේ ISIS ක්‍රියාකාරීත්වය පෙන්නුම් කළ අවස්ථා ලෙස 2016 ජකර්තා ප්‍රහාරය, 2017 පිලිපීනයේ මරාවි හි සටන් සහ පිලිපීනයේ කතෝලික දේවස්ථානයන් වෙත එල්ල වූ ප්‍රහාර ආදිය සඳහන් කළ හැකියි. 2019 මාර්තු මාසයේ දී පිලිපීනයේ ISIS නායකයා ලෙස හැඳින්වූ තැනැත්තා හමුදා මෙහෙයුමක දී ඝාතනය වුණා.