GTK+ සහ Qt කියන්නේ මෘදුකාංග සංවර්ධකයන් පාවිච්චි කරන ආයුධ (toolkits) එකතුවක්. ඒවායෙන් තමයි මෘදුකාංගයේ පෙනුම සහ අත්දැකීම මොනවගේ ද කියන එක තීරණය කරන්නේ. අතුරුමුහුණතට අවශ්‍ය බොත්තම්, toolbars, sliders, සහ මෙනු ඇතුළු අපිට දකින්න ලැබෙන හැම දෙයක්ම එහි අඩංගු වෙනවා.
මේ Toolkits නිසා developersලාට වෙලාව ඉතිරි වෙනවා. අලුතින් මෘදුකාංගයක් හදන හැම වෙලාවක දීම එයට යොදන සෑම බොත්තමකම පෙනුම, ප්‍රමාණය, එය ක්ලික් කරද්දී සිදුවන වර්ණ වෙනස්වීම් ආදී හැම දෙයක්ම හදනවා වෙනුවට මේ වගේ toolkit එකක් පාවිච්චි කළාම ඒ සඳහා යෙදිය යුතු කාලය ඉතිරි කරගන්නට පුළුවන්. එවිට, නිපදවන මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය, ඉන් පරිශීලකයාට ලබාගත හැකි පහසුකම් වෙනුවෙන් තමන්ගේ අවධානය වැඩිපුර යොදන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.
Qt හැදුණු හැටි
1991දී Haarvard Nord සහ Eirik Chambe-Eng විසින් Qt සැකසීම අරඹනු ලැබුවා. එහි නම, “cute” හෙවත් ‘හුරුබුහුටි’ ලෙස යි ඔවුන් අරුත් ගැන්වූයේ. ඒ වන විට Xt නමින් X toolkit එකක් Unix පරිගණක සඳහා තිබුණා.
අනතුරුව Nord සහ Chambe-Eng දෙදෙනා එක්ව Quasar Technologies නම් ආයතනය ඇරඹූවා. එය පසුව Throll Tech, Throlltech වැනි නම් ලබා අවසානයේ The Qt Company යන නම ලැබුවා. Throll Tech ලෙස නම් තිබූ කාලයේ දී එනම් 1995දී ඔවුන් ලිනක්ස් සඳහා මූලාශ්‍ර කේතය (source code) විවෘත කර දෙනු ලැබුවා. නමුත් එය නිදහස් මෘදුකාංග පදනම විසින් දක්වා තිබූ “නිදහස්” යන්නට අනුකූල වූයේ නැහැ. මන්ද, එම කේතයට වෙනස්කම් කිරීමෙන් පසු තමන්ගේම වෙළුමක් බෙදාහැරීමට එම බලපත්‍රයෙන් අවසර ලබා දී තිබුණේ නැති නිසා යි. එම බාධාව ඉවත් කරමින් පූර්ණ නිදහසක් ලබා දුන්නේ 2000 වර්ෂයේ දී Throlltech ලෙස නම තිබිය දී යි.
GTK+ ආවේ GIMP වලට
Peter Mattis විසින් එතෙක් කල් GIMP හෙවත් GNU Image Manipulation Program නමැති ලිනක්ස් සඳහා වූ ඡායාරූප සංස්කාරකයෙහි තිබුණු අතුරුමුහුණත වෙනස් කරන්නට GIMP Toolkit එක හැදුවා. එය නැවත සකස් කිරීමෙන් පසුව එම toolkit එක GTK+ නමින් 1998 දී නිකුත් කෙරුණා. Qt මෙන් නොව, මෙහි ආරම්භයේ පටන්ම ඕනෑම කෙනෙක්ට එය වෙනස් කරන්නට, යළි සකසන්නට සහ එය බෙදාහරින්නට අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයක්.
Qt විවිධ අංශවලින් සම්පූර්ණ බවක් සහ අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි බවින් යුතු වූ නමුත් මුල් කාලයේ දීම GTK+ වටා එක්රොක් වූ පිරිස් දකින්නට ලැබුණා. දැනට එය GNOME පදනම විසින් සංවර්ධනය කරමින් පවතින අතර The Qt Company නමැති වෙළඳ ආයතනය විසින් Qt හි සංවර්ධන කටයුතු සිදු කරනවා. එසේ තිබියදීත්, මේ එකකවත් එකිනෙකට පරයා යන නිදහස් (Free) බවෙහි වෙනසක් නම් දකින්නට නැහැ.
මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංගවල GTK බහුල යි
ඔබ මෑතකදී ලිනක්ස් වෙළුමක් පාවිච්චි කරන්නට පටන් ගත්තා නම්, ඔබ බොහෝ විට ඒ අත් වින්දේ GTK මත පදනම් වුණු වැඩතල සැලසුමක් විය හැකියි. මන්ද, දැනට තිබෙන බහුතරයක් ඒවා GTK+ තම ප්‍රධාන අතුරුමුහුණත ලෙස පාවිච්චි කරන නිසා යි.
GNOME සැලකුවහොත්, එය වැඩිපුර දකින්නට ඇති ලිනක්ස් බෙදාහැරුම් වන උබුන්ටු, ෆෙඩෝරා, සහ ඩේබියන් ආදියේ මූලික වැඩතලය ලෙස දකින්නට තිබෙනවා. ඒ හැරුණු කොට අවශ්‍ය නම් MATE සහ Xfce වැනි පැරණි, සරල (බරින් අඩු) අතුරුමුහුණත් ද අපට යොදාගන්නට අවස්ථාව තිබෙනවා.
මේවායෙහි භාවිතා වන මෘදුකාංග පවා වැඩි වශයෙන් GTK මත පදනම් වුණු desktopවලට ගැලපෙන ලෙසයි පැමිණෙන්නේ. Firefox, Thunderbird, LibreOffice, සහ GIMP ආදී නිතර භාවිතා වන සහ පෙරනිමියෙන් ලැබෙන ඒවා එලෙස සකසන ලද ඒවා යි. GTK+ මෘදුකාංග විවිධ අංශ වලින් පුළුල්ව පැතිර තිබෙනවා. GNOME සඳහා විශේෂයෙන් සකසන ලද ඒවා GTK මත පදනම්වුණු වැඩතල සඳහා නොගැලපෙන බවක් දැරිය හැකියි. ඒ, GNOME සතු Human Interface සැලසුම් මාර්ගෝපදේශනයන්හි (Design guidelines) මෙනු තීරු භාවිතා නොකරන ලෙස දක්වා තිබීම ආදී වෙනස් සැලසුම් ශිල්පක්රම භාවිතා කිරීම නිසා යි. තවත් නූතනයේ ප්‍රසිද්ධියට පත්වෙමින් යන ලිනක්ස් බෙදාහැරුමක් elementaryOS සඳහා සැකසූ මෘදුකාංග වෙනත් වැඩතලවල ක්‍රියා කරන්නේ නැහැ.
Qt සහිත වැඩතල සහ මෘදුකාංග
ලිනක්ස් සඳහා වූ සියළු විශේෂාංගයන්ගෙන් පිරි පැරණිම වැඩතල ආකාරයක් වන KDE Plasma desktop එක Qt මත පදනම් වූවක්. ඒ, GNOME එන්නටත් පෙර යි. පසුකාලීනව උබුන්ටු සංවර්ධක ආයතනය වන Canonical වෙතින් ආ Unity8 ද Qt යොදාගත්තා.
බහුතරයක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති බෙදාහැරුම්වල මෙය අඩු වශයෙන් භාවිතා වන අතර බොහෝ Qt මෘදුකාංග ද Plasma desktop එක සඳහා සකසනු ලැබූ අතර ඒවා KDE සංරචක (components) ද පදනම් කරගනු ලබනවා. මේ නිසාම tweak කිරීමේ දී සියළුම මෘදුකාංග වලට බලපාන ලෙස හෝ අපට අවශ්‍ය තනි මෘදුකාංගයක් වෙත පමණක් වන පරිදි යොදා ගන්නට හැකිවුණා. තවත් සැහැල්ලු සහ සරල වැඩතලයක් ලෙස LXQt හඳුන්වාදෙන්නට පුළුවන්.
Ubuntu Touch, TeamViewer, Spotify, ලිනක්ස් මෙහෙයුම් පද්ධති පෙන් ඩ්‍රයිව් එකකට දාගන්නට සහාය වන UNetbootin, ඔෆිස් පැකේජයක් වන WPS Office වැනි ප්‍රසිද්ධ මෘදුකාංග Qt Toolkit එක පාවිච්චි කරනවා. මේ හැම එකක්ම KDE වලට ම සීමා වී නැහැ. VLC ප්ලේයරය, Scribus වැනි මෘදුකාංග ඕනෑම වැඩතලයක් මත පාවිච්චියට ගත හැකියි.
දැන් ලොකු වෙනසක් නැහැ
තාක්ෂණිකමය වශයෙන් GTK+ සහ Qt අතර වෙනස්කම් බොහොමයක් තිබුණත්, ඒවා බලපාන්නේ මෘදුකාංග සංවර්ධකයන්ට පමණ යි. නූතනයේ මේවා යොදාගෙන සකසන ලද මෘදුකාංගයක් පරිශීලකයෙක් වශයෙන් වෙනස හඳුනාගැනීම මඳක් අපහසු යි. VLC, Scribble ආදිය ඊට හොඳ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. සූක්ෂමව අතුරුමුහුණත සැලසුම් කිරීම නිසා GTK+ මෘදුකාංග Qt මත පදනම් වුණු Plasma desktopවලත් ගැටළුවක් නැතිව පාවිච්චි කරන්නට පුළුවන්. ඒ වගේම, Qt ඒවා GNOME මත ගැටළුවකින් තොරව භාවිතා කරන්නට පුළුවන්.
ඇතැම් අවස්ථාවලදී මේ වෙනස්කම් පිටතට එන වෙලාවල් තිබෙනවා. මෙහෙයුම් පද්ධතිය සතු File Open කිරීමට ඇති Dialogue box එක වෙනුවට නුපුරුදු එකක් දකින්නට ලැබීම, මෙහෙයුම් පද්ධතියට tweaks එක් කළාම ඒවා ඇතැම් මෘදුකාංගවලට බල නොපෑම වැනි සුලු ගැටළු දකින්නට ලැබෙනවා. අවසාන වශයෙන් සලකද්දී මෘදුකාංග සඳහා පරිශීලකයකු වශයෙන් මෙය එතරම් සැලකිය යුතු දෙයක් නොවූවත් තමාගේ ප්‍රියතම desktop environment එක තෝරාගනිද්දී එහි GTK+ ද Qt ද කැමති යන්න පිළිබඳව එහි පෙනුම අනුව ඔබට සලකා බලන්නට සිදු වෙනවා.