හිටපු ටියුනීසියා ජනාධිපති සීන් එල් අබිදිනේ බෙන් අලී පසුගිය සැප්තැම් බර් 19 වන දා මියගියා. ඔහු මියගියේ සෞදි අරාබියේ දී යි. ඒ වනවිට බෙන් අලීගේ වයස අවුරුදු 83ක් වුණා.
බෙන් අලී ඉතිහාසගත වන්නේ ටියුනීසියාවේ දෙවන ජනාධිපති ලෙස පමණක් නොවේ. ඊට වඩා ඔහු වැදගත් වන්නේ අරාබි වසන්තයට වක්‍රාකාරයෙන් මූලික වූ අයකු වීම යි. කුඩා නගරයකින් හටගත් විරෝධතා ව්‍යාපාරයක් අගනගරය කරා පැමිණීමෙන් පසු ඔහුට රටින් පළා යාමට සිදු වුණා. එතෙක් එළවා දැමිය නොහැකියැ යි විශ්වාස කෙරුණ ඒකාධිපතියකු මෙසේ එළවා දැමීමට ටියුනීසියානුවන් සමත් වීම හේතුවෙන් අනෙක් රටවල ජනතාව දිරිමත් වූ අතර, එය කලාපය පුරා උද්ඝෝෂණ පැතිර යාමට හේතුවක් වුණා. ඇතැම් විට බෙන් අලී බලයෙහි රැඳී සිටියා නම් අරාබි වසන්තය සිදු නොවීමට හෝ වූවාට වඩා බොහෝ අඩු වැදගත්කමකින් යුතුව නිම වීමට ඉඩ තිබුණා.
බුද්ධි නිලධාරී
බෙන් අලී 1936 දී උපන්නේ එවකට ප්‍රංශ ටියුනීසියාවේ සූස් නගරයේ දී යි. ඔහු පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට සමත් වූයේ නැහැ. 1958 දී ටියුනීසියාවේ යුධ හමුදාවට බැඳුණ ඔහු වැඩිපුර කටයුතු කළේ බුද්ධි කටයුතුවල යි.
ඔහු 1970 දශකයේ කලක් ජාතික බුද්ධි අධ්යක්ෂ ලෙස කටයුතු කළා. 1984 දී නැවතත් එම තනතුරට පත් වූ ඔහු 1986 දී අභ්‍යන්තර කටයුතු ඇමති ලෙස පත්ව 1987 ඔක්තෝබරයේ අගමැති ධුරයට පත් වුණා.
බලය අල්ලා ගැනීම
ටියුනීසියාවේ පළමු ජනාධිපතිවරයා වූයේ හබීබ් බොගීබා යි. ටියුනීසියාව නිදහස ලද පසු 1956 දී එහි පළමු අගමැතිවරයා වූ ඔහු 1957 දී එහි රජු බලයෙන් පහ කර ජනාධිපති තනතුරට පත් වුණා. බොගීබා ඒකාධිපති පාලනයක් ගෙනගියා.
1980 දශකය වනවිට බොගීබා බොහෝ දෙනා සැක කිරීමට පටන් ගනිමින් සිටියා. ඉස්ලාමීය කණ්ඩායම්වල වර්ධනය ද ඊට හේතු වුණා. මේ අතර බොගීබා පාලනය ජනතාවට ද තිත්ත වෙමින් පැවතුණා.
අගමැති ධුරයට පත් ව ස්වල්ප දිනකින්, 1987 නොවැම්බර් 7 වනදා බෙන් අලී, ලේ නොසෙල්වූ කුමන්ත්‍රණයක් මඟින් බලය අල්ලා ගත්තා. ඔහු ජනතාවට නව ආරම්භයක් පොරොන්දු වුණා. බොගීබා පාලනයෙන් හෙම්බත්ව සිටි ජනතාවගෙන් බහුතරයක් මෙම නව වෙනස පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටියා.
බලාපොරොත්තු කඩවීම
කෙසේ නමුත් බෙන් අලී යටතේ විශාල වෙනසක් සිදු වූයේ නැහැ. රටේ තනි පක්ෂ පාලනය වැඩි වෙනසකට භාජනය වූයේ නැහැ. කල් යාමේ දී වෙනත් දේශපාලන පක්ෂ කිහිපයකට ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණ ද ඒ ඉතා සීමා සහිත අවකාශයක් තුළ යි. ටියුනීසියාව නාමමාත්‍රව බහුපක්ෂ දේශපාලනයක් පැවති රාජ්‍යයක් ලෙස සැලකිය හැකියි.
මේ අතර බෙන් අලී තම පවුල සහ හිතමිතුරන් වටා බලය මෙන්ම ධනය ද කේන්ද්‍ර කරගැනීමට කටයුතු කළා. රටේ ප්‍රධාන ව්‍යාපාර බොහොමයක් පවුලේ අය හෝ සමීප හිතවතුන් අත පැවතුණා. මේ අතර දේශීය මාධ්‍ය ආයතන භාවිතා කරමින් බෙන් අලී සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට ද කටයුතු කළා.
මේ අතර බටහිර රටවල් සමග ද ඔහු යහපත් සබඳතාවක් පවත්වා ගැනීමට සමත් වුණා. මෙහිදී විශේෂයෙන්ම වැදගත් වූයේ ප්‍රංශය සමග වූ සබඳතාව යි. ප්‍රංශය විශේෂයෙන්ම අප්‍රිකාවේ සිය පැරණි යටත් විජිත සමග සාමාන්‍යයෙන් යහපත් සබඳතාවක් පවත්වා ගත් රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධ යි. බෙන් අලීගේ පාලනය ඒකාධිපති ස්වරූපයක් ගන්නා බව දැන දැනම ප්‍රංශය ඊට සහාය දැක්වූවා. බෙන් අලීගේ තර්කය වූයේ තමන් ටියුනීසියාවට ස්ථාවරත්වය ගෙන එන බව යි. තමන් නොමැති වුවහොත්, ඉස්ලාමීය ව්‍යාපාර, විශේෂයෙන්ම අරාබිකරයේ බොහෝ රටවල පැතිර තිබෙන “මුස්ලිම් සහෝදරත්වය” සමග සම්බන්ධ ව්‍යාපාර හිස ඔසවනු ඇති බවයි.
බලයෙන් ඉවත් කිරීම
බෙන් අලී ජනප්‍රියත්වයෙන් පහළ වැටෙමින් සිටිය ද ඔහු බලයෙන් නෙරපනු ලැබෙනු ඇතැ යි වැඩි දෙනෙක් බලාපොරොත්තු වූයේ නැහැ. ඔහු පමණක් නොව, අරාබිකරයෙහි කාලාන්තරයක් තිස්සේ බලය අල්ලාගෙන සිටි ඒකාධිපතීන් එකකු හෝ පළවා හරිනු ඇතැ යි විශ්වාස කිරීමට තරම් හේතුවක් තිබුණේ නැහැ. සියල්ල වෙනස් වූයේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් යයි කිව හැකියි.
2010 දෙසැම්බර් 17 වන දා මධ්‍යම ටියුනීසියාවේ කුඩා නගරයක් වන සිදි බූසිද්හි පදික වේදිකා වෙළෙන්දකු වූ මොහොමඩ් බෝඅසීසි සිය සිරුරට ගිනි තබාගත්තා. ඒ ඔහුගේ කරත්තය රජයේ නිලධාරීන් විසින් සිය භාරයට ගැනීම හේතුවෙන්. සිය පවුල නඩත්තු කිරීමට කලෙක පටන් වෙළෙඳාමේ නිරත වූ ඔහුට නිතර පොලිසිය හා නිලධාරීන් හිරිහැර කළා. නමුත් 2010 දෙසැම්බර් 17 වන දා ඔහුට එය තව දුරටත් දරාගත නොහැකිව ඔහු මෙම දරුණු පියවරට ගියා.
තමන්ගේ තුවාල හේතුවෙන් 2011 ජනවාරි 4 වන දා බෝඅසීසි මියගියා. එහෙත් ඒ වෙද්දී ඔහුගේ සිද්ධිය නිසා ඇති වූ විරෝධතා රැල්ල නොසිතූ වේගයෙන් පැතිරෙමින් තිබුණා. මුල දී සිදි බූසිද්හි මතුවූ විරෝධතා පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා. කෙමෙන් කෙමෙන් ප්‍රධාන නගරවල ද විරෝධතා හට ගන්නට පටන් ගත්තා.
බෙන් අලී මෙම විරෝධතා මර්ධනය කිරීමට උත්සාහ කළ ද ජනතාව වීදි බැස එහි පාලනය අතට ගන්නට වුණා. 2011 ජනවාරි 13 වනදා බෙන් අලී යම් යම් ප්‍රතිසංස්කරණ කරන බව ප්‍රකාශ කළා. නමුත් ඔහු පවතින තත්ත්වයෙහි මූලික සාධක කිසිවක් වෙනස් කිරීමට සූදානම් වූයේ නැහැ. ඔහු උත්සාහ කරමින් සිටියේ තවත් කාලය ලබාගැනීමට බව පෙනෙන්නට තිබුණා. එහෙත් ඔහුගේ අතින් පාලනය ගිලිහෙමින් තිබුණා. හමුදා අංශයන් ද ඔහුට අවනත නැති බව දිස් වූයෙන් බෙන් අලී ජනවාරි 14 වන දා රටින් පළා ගියා. ඔහුට ප්‍රංශයට ඇතුල් වීමට අවසර ලැබුණේ නැහැ. ඒ අනුව ඔහු සෞදි අරාබියට පිටත්ව ගියා.
බලයෙන් පහ කිරීමෙන් පසුව ඔහුට එරෙහිව ටියුනීසියාවේ දී දූෂණ චෝදනා පිළිබඳ නඩු පවරන ලද අතර ඔහු නොමැතිව කරන ලද නඩු විභාගයන්හි දී ඔහුව වරදකරු ද කරනු ලැබුණා. එහෙත් මියයන තෙක්ම ඔහු ඒ කිසිදු දඬුවමක් වින්ඳේ නැහැ.
කෙසේ වෙතත් 2011 ජනවාරි 14 වනදා බෙන් අලී බලයෙන් පහ වීමත් සමග අරාබිය පුරා නව ප්රබෝධයක් පැන නැගුණා. සති කිහිපයකදී ඊජිප්තු ඒකාධිපති හොස්නි මුබාරක් ද බලයෙන් පහ වීමත් සමග අරාබි වසන්තය සමස්ථ අරාබිකරයම පාහේ වෙළාගත්තා. එයින් හටගත් අවි ගැටුම් ඇතැම් රටවල තවමත් පවතිනවා.