Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රුසියාවේ ජනමත විචාරණය අප්‍රේල් මාසයේ දී

රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හඳුන්වා දී ඇති සංශෝධන කිහිපයක් පිළිබඳ ජනමත විචාරණයක් අප්‍රේල් 22 වන දා එරට පවත්වනු ලබනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ 1993 දී සිදුකෙරුණ ජනමත විචාරණයෙන් පසු එරට ජනමත විචාරණයක් සිදුකෙරෙන පළමු අවස්ථාව මෙය යි.

ජනාධිපති ව්ලදිමීර් පුටින් රුසියාවට ව්‍යවස්ථා සංශෝධන හඳුන්වා දීම පිළිබඳ මෙම ජනවාරි මාසයේ දී එරට පාර්ලිමේන්තුව අමතා සිදුකරන ලද කතාවේ දී ප්‍රකාශ කළා. එම සංශෝධන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් ද ඔහු විසින් පත් කෙරුණා. පසුව, පුටින් විසින් එම යෝජනා එරට පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.

කියවන්න​: රුසියාවේ අගමැති ඉල්ලා අස්වීම- පුටින්ගේ අලුත්ම පියවර​

පුටින්ගේ විවේචකයන් කියා සිටින්නේ මෙම යෝජනාවලිය, පුටින්ගේ බලය 2024න් පසුව ද පවත්වා ගැනීමට ඉවහල් වන බව යි. කෙසේ වෙතත්, මෙම පියවර ජනාධිපති ධුරයේ බලය යම් ප්‍රමාණයකට සීමා කර, පාර්ලිමේන්තුවේ බලය ඉහළ නැංවීමේ අරමුණින් සිදුවන බව රුසියානු රජයේ අදහස වනවා.

සංශෝධන

සමස්තයක් ලෙස ගත් විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දහ හතරක් සංශෝධනය වීමට නියමිත යි.

රුසියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජාත්‍යන්තර නීතියට වඩා ඉහළින් පවතින්නේ ය යන කොන්දේසිය ඇතුළත් කිරීම මේ අතරින් එක් සංශෝධනයක් වනවා. එමෙන්ම රාජ්‍ය ඩූමාව හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය අගමැතිවරයා පත් කළ යුතු වනවා. දැනට පවතින ක්‍රමය යටතේ ජනාධිපති විසින් නම් කෙරෙන අගමැතිවරයාට සිය කැමැත්ත හෝ අකමැත්ත හෝ පළ කිරීම පමණක් ඩූමාවට කළ හැකියි. එමෙන්ම උප අගමැතිවරුන්, ෆෙඩරල් ඇමතිවරුන් ද ඩූමාව විසින් තෝරාගනු ඇති අතර ජනාධිපතිවරයාට එම පත් වීම් ප්‍රතික්ෂේප කළ නොහැකි වනු ඇති.

ව්ලදිමීර් පුටින් (AP)

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් වන තනතුරු දරන ජනාධිපති, අගමැති සහ ඇමතිවරුන්, විනිසුරුවරුන් හා ප්‍රාන්තවල ප්‍රධානීන් ආදීන් සිය ධුරයන් දරන කාලය තුළ විදෙස් රටක පුරවැසිභාවය හෝ පදිංචි වීමේ අවසරය නොමැති අයෙකු විය යුතු බවට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කිරීමට යෝජනා කෙරෙනවා. එමෙන්ම ජනාධිපති ධුරය දරන්නා ජීවිත කාලයේම කිසිදු අවස්ථාවක පිටරටක පුරවැසිභාවය හෝ පදිංචි වීමේ අවසරය හිමි අයෙකු නොවිය යුතු යි.

ජනාධිපති ධුර අපේක්ෂකයකු, එම ධුරයට තරග කිරීමට පෙර එක දිගට දස වසරක් ඇතුළුව වසර 25ක් රුසියාවේ ජීවත් වූ අයෙකු ද විය යුතු බවට සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුල් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

මේ අතර විනිසුරුවරුන් පත් කිරීම සහ විශේෂයෙන්ම ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රණ මණ්ඩලය වන ෆෙඩරේෂණ කවුන්සිලයට ලැබෙන බලය වැඩි කිරීමේ යෝජනාවක්, නව පනතක් සම්මත වූ පසු එයට ජනාධිපති අත්සන් තැබීමට පෙර එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පරික්ෂා කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට අවස්ථාව ලැබෙන යෝජනාවක් ආදිය ද නව සංශෝධන අතර වනවා.

දැනට රුසියානු ජනාධිපතිවරයාට පිටපිට දෙවරකට වඩා එම ධුරයට පත් විය නොහැකියි. මෙහි “පිටපිට” යන කොන්දේසිය ඉවත් කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එනම්, යම් අයෙකුට ජනාධිපති ධුරය දැරීමට හැකියාව පවතිනු ඇත්තේ දෙවරක් පමණයි.

මොස්කව් ක්‍රෙම්ලීනය (Russian Presidential Press Office)

මීට අමතරව දැනට උපදේශක මණ්ඩලයක් ලෙස පවතින රාජ්‍ය කවුන්සිලයේ කාර්යභාරය බලාත්මක කිරීමේ යෝජනාවක් ද ඇතුළත්ව තිබෙනවා.

සමරිසි විවාහ තහනම් කිරීමේ යෝජනාවක් ද පුටින් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වුණා.

පුටින්ගේ බලය

ඇතැම් විචාරකයන් පවසන්නේ පුටින් මෙම සංශෝධන මඟින් පාර්ලිමේන්තුවට හිමි බලය ඉහළ නංවා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු යළි අගමැති ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව යි.

මේ අතර 2024 දී ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, පුටින් ‍රාජ්‍ය කවුන්සිලයට ඇතුළත් වී, එමඟින් තම බලය පවත්වාගෙන යනු ඇතැ යි ද මතයක් පළ වනවා. රාජ්‍ය කවුන්සිලය බලාත්මක කරනු ලබන්නේ එම අරමුණින්යැ යි ද මතයක් පළ වනවා.

රුසියාවේ වර්තමානයේ පවතින ජනාධිපති ක්‍රමය 1993 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් බලාත්මක කරන ලද්දක්. එකල එම ක්‍රමය හඳුන්වා දෙනු ලැබුණේ රටේ පැවති අස්ථාවර තත්ත්වයත්, ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර ඇති වූ බල අරගලයත් හේතුවෙන්. කෙසේ වෙතත්, සිය ධුර කාලය තුළ ජනාධිපති බොරිස් යෙල්ත්සින් දුර්වල, අදක්ෂ පාලකයකු බව පැහැදිලි වුණා. චෙච්නියා යුද්ධය පරාජය වීම, මාෆියා කල්ලිවල කටයුතු, අයහපත් ආර්ථික තත්ත්වය යනාදී කරුණු හේතුවෙන් යෙල්ත්සින් දැඩි අප්‍රසාදයට පත් වුණා.

පුටින්ගේ පාලන සමයේ දී ජනාධිපති සතුව අධික බලයක් පැවතීම රුසියාව ස්ථාවර කිරීමට උපකාර වුණා. නමුත් අනාගතයේ දී නැවත දුර්වල ජනාධිපතිවරයකු බලයට පැමිණියහොත් එළඹිය හැකි තත්ත්වයන් පිළිබඳ අවදානම මඟ හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වෙනසක් අවශ්‍ය බව රුසියානු රජය විශ්වාස කරන බවක් පෙනී යනවා.

මෙම නව සංශෝධන යෝජනා පිළිබඳ ජනතාවගේ කැමැත්ත කෙසේ වනු ඇතිදැ යි මතය පැහැදිලි වනු ඇත්තේ අප්‍රේල් 22 වන දා යි. ජනතාව මෙම ජනමත විමසුම කෙරෙහි කෙතරම් උනන්දුවක් දක්වනු ඇතිදැ යි ද ඉදිරියේ දී දිස්වනු ඇති.

කවරයේ ඡායාරූපය: රුසියානු රාජ්‍ය ඩූමාව (duma.gov.ru)

Related Articles