අසර්බයිජානයේ පෙබරවාරි 9 වන දා පවත්වන ලද මහ මැතිවරණයෙන් පාලක යෙනි අසර්බයිජානි (නව අසර්බයිජානි) පක්ෂය ජයගනු ලැබුවා.
එරට පාර්ලිමේන්තුවේ ආසන 64ක් ඔවුන් විසින් දිනාගෙන ඇතැ යි වාර්තා වුණා. මේ අතර ඉතිරි ආසන බහුතරයක් ද නාමිකව ස්වාධීන අපේක්ෂකයන් විසින් දිනාගෙන තිබෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් පාලක නව අසර්බයිජානි පක්ෂයට සහාය දක්වන්නන් වනවා.
මෙවර මැතිවරණයට දේශපාලන පක්ෂ 19ක් නියෝජනය කරන්නන් හා ස්වාධීන අපේක්ෂකයන් ඇතුළුව සමස්ත අපේක්ෂකයන් 1,300ක් පමණ තරග කළා. පාර්ලිමේන්තු ආසන 125ක් සඳහා මැතිවරණය පැවැත්වූයේ කේවල ක්‍රමය අනුව යි.
විපක්ෂ කණ්ඩායම් චෝදනා කරන්නේ පවතින රජය විපක්ෂයට විවිධ බාධා කිරීම් සිදුකරන බව යි. එහෙයින් සාධාරණ ඡන්ද ව්‍යාපාරයක් සඳහා ඉඩ ප්‍රස්ථාව නොලැබෙන බව යි ඔවුන් චෝදනා කරන්නේ.
පවුල් පාලනය
අසර්බයිජානය පැරණි සෝවියට් දේශයට අයත් වූ සමූහාණ්ඩුවක්. එහි වත්මන් ජනගහනය මිලියන 9ක් පමණ වනවා.
අසර්බයිජානය 1993 සිට 2003 තෙක් පාලනය කළේ හයිදර් අලියෙව් විසින්. ඔහු, 1969 සිට 1982 තෙක් අසර්බයිජාන් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් වුණා. එමෙන්ම ඔහු, හිටපු KGB නිලධාරියකු ද වුණා. 1982න් පසු ඔහු කලක් මොස්කව් හි මධ්‍යම පාලනය සමග කටයුතු කළා. ගොර්බචොෆ් සමයේ බලයෙන් වැටුණ අලියෙව් යළි අසර්බයිජානය වෙත ගියා. 1991 දී සෝවියට් දේශය බිඳවැටුණ පසු ඔහු යළි දේශපාලනයට පැමිණියා. ඒ වන විට ඔහු ජාතිකවාදියකු ලෙස පෙනී සිටිමින්, 1992 දී නව අසර්බයිජාන පක්ෂය පිහිටුවා එහි නායකත්වයට පත් වුණා. 1993 දී ඔහු ජනාධිපති ලෙස තෝරාපත් කර ගැනුණා. ඔහු යටතේ ද දැඩි ඒකාධිපති පාලනයක් අසර්බයිජානයේ පැවතුණා.
2003 දී හයිදර් අලියෙව්ගේ පුත්‍රයා වන ඉල්හාම් අලියෙව් ජනාධිපති ලෙස පත් වූ අතර, ඔහු මේ දක්වා එම ධුරය දරනවා. ඔහු යටතේ ද පවතින්නේ දැඩි පාලනයක්.
2017 දී ඔහු තම බිරිඳ වන මෙහ්රිබාන් අලියෙව් අසර්බයිජානයේ උප ජනාධිපති ලෙස පත් කළා. ඒ අනුව දැන් එරට ප්‍රධාන පුරවැසියන් දෙදෙනා වන්නේ එම යුවළ යි. අසර්බයිජානයේ පාලනය මේ අයුරින් එම පවුල තුළ කේන්ද්‍ර වී තිබෙනවා.
ඉල්හාම්ට දරුවන් තිදෙනකු වනවා. වැඩිමල් දියණිය ලෙයිලා හයිදාර් ක්‍රියාකාරී දේශපාලනයට ඍජුවම සම්බන්ධ නැතත් දේශපාලන කටයුතුවල නිරත වනවා. දෙවන දියණිය අර්සු චිත්‍රපට නිෂ්පාදකවරියක්. තුන්වන දරුවා වන්නේ හෙයිදාර් නම් පුත්‍රයා යි. මොවුන් තිදෙනාට ද ඩුබායි ආදී පෙදෙස්වල විශාල වත්කම් හිමි බවට චෝදනා එල්ල වනවා.
හදිසි මැතිවරණය
අසර්බයිජානය පසුගිය සමයේ ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වුණා. ඊට එක් හේතුවක් වූයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාම යි. අසර්බයිජානය තෙල් සඳහා ප්‍රකට රාජ්‍යයක්. එහි අපනයනවල වටිනාකමෙන් හතරෙන් තුනකට වඩා සමන්විත වන්නේ බොරතෙල්වලින්.
තෙල් මිල අඩුවීම හේතුවෙන් අසර්බයිජානයේ මනාට් මුදල් ඒකකයෙහි වටිනාකම අඩු වුණා. එමෙන්ම, ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට කරන ලද උත්සාහයන් එතරම් සාර්ථක වී නැහැ.
ඉල්හාම් අලියෙව් විසින් දෙසැම්බරයේ දී අසර්බයිජාන අගමැති ඉවත් කර පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. 2020 නොවැම්බර් මාසයට නියමිත වූ මහ මැතිවරණය පෙබරවාරිය වෙත කඩිනම් කිරීමට රටේ අයහපත් ආර්ථික තත්ත්වය ද හේතු වූයේයැ යි විශ්වාස කෙරෙනවා.
මැතිවරණ දූෂණ
අලියෙව් පවුලේ පාලනය යටතේ පැවති සෑම මැතිවරණයක් පිළිබඳව ම විවේචන පැවති අතර, මෙවර ද එහි වෙනසක් නැහැ. අසර්බයිජානයේ පැරණිම දේශපාලන පක්ෂය වන මුසවෙට්ස් පක්ෂයේ ප්‍රධානියකු AFP පුවත් සේවය හා පවසා තිබුණේ මෙම මැතිවරණය සම්පූර්ණයෙන් ම ව්‍යාජ එකක් බව යි. ඡන්ද පෙට්ටි පිරවීමේ සිද්ධීන් හා එකම පුද්ගලයා කිහිපවිටක් ඡන්දය භාවිතා කිරීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බව ඔහු කියා සිටියා.
මේ අතර ජනමාධ්‍ය හරහා ප්‍රචාරණය සඳහා සාධාරණ ඉඩක් ලබා නොදීම සහ රැස්වීම් පැවැත්වීමට පැනවූ සීමාවලට විරෝධය පාමින් ඇතැම් දේශපාලන පක්ෂ මෙම මැතිවරණය වර්ජනය කළා.
පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීම පිළිබඳ රජයේ ස්ථාවරය වූයේ අලියෙව්ගේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරවීම සඳහා එහි සංයුතිය වෙනස් කළ යුතු බව යි. කෙසේ වෙතත්, අලියෙව්ගේ සැබෑ අරමුණ වන්නේ තමන්ට බාධාවක් විය හැකි, තම පියා යටතේ සේවය කළ පැරණි දේශපාලකයන් පසෙකට කර තමන්ට හිතවත් පිරිසක් ඉදිරියට ගෙන ඒම බව විශ්වාස කෙරෙනවා.