Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කතෝලික නත්තලට දේශීයත්වය මුසුකළ ලාංකික පියතුමන්ලා

ලෝ පුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපන් දිනය සමරන නත්තල් සීනු හඩ ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා. කතෝලික මෙන්ම බුදු දහමේ ආභාසය ද ලබමින්, නත්තලේ සැබෑ අරුත පණ ගන්වන්නට ආගම් භේදයකින් තොරව කැපවූ පියතුමන්ලා කිහිප දෙනෙක් ගැන යි මේ පවසන්නේ.

පන්සලේ පියතුමා මර්සලීන් ජයකොඩි

ජයකොඩි පියනම තරුණ වියේ දී සහ ඔහු ලද සම්මාන- silumina.lk

මර්සලීන් ජයකොඩි පියනම අප අතර වඩාත් මතකයේ ඇත්තේ සාහිත්‍යයට සහ ගීත රචනයට දක්ෂකම් දැක්වූ චරිතයක් ලෙස යි. කතෝලික පියතුමකු වුවත් බෞද්ධ භික්ෂුන් වහන්සේ සහ බෞද්ධ ජනතාවගේ ආදරය ජයකොඩි පියනමට නිරතුරු ලැබුණා. මේ පියතුමා ලියූ කවියක්:

නත්තල එන්න මේ බව පහදා දෙන්න

මල්පැල ගව හලය තැන දෙවිදුන් ඉන්න

මිනිහා හදයි මාළිගා නටබුන් වෙන්න

ගවහල මල්පැල සැමදා පවතින්න

ජයකොඩි පියතුමා උපත ලද්දේ 1902 ජුනි 03 වන දින, මීගමුවට නුදුරු දංකොටුවේ. එතුමාගේ පියා පෝශප් ජයකොඩි නම් ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණා. ජොසපින් සෙනෙවිරත්න නම් වූ මව විවාහයට පෙර බෞද්ධ බැතිමතියක්ව සිටියත් විවාහ වන විට කිතු දහම වැළඳ ගත්තා. මාදම්පේ රෝමානු කතෝලික විද්‍යාලයයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ, පූජකවරය සඳහා අධ්‍යාපනය ලැබුවේ බොරැල්ල ශාන්ත ඇලෝසියස් සෙමනේරියෙන්. ඉංග්‍රීසි යටත්විජිත පාලන කාලයේ තරුණ විය ගතකළත් උන්වහන්සේගේ සිත නිතරම ඇදී ගියේ දේශීයත්වය සහ සිංහලකම දෙසට යි.

 

පන්සලේ පියතුමා පල්ලියේ – lifie.lk

 

පියා නිවසේ දී නිතර ගායනා කළ සිංහල පාලි, හා සංස්කෘත වෙද පොත්වල අපූර්වත්වයක් ඔහු දුටුවා. මව ගායනා කළ සංදේශ කාව්‍යවලට ද ළමා මර්සලීන්ට සවන් දීමට ලැබුණා. මර්සලින් 1927 දෙසැම්බර් 20 වන දින පූජකවරය ලබාගත්තා. අනතුරුව ඔහු කොළඹ සාන්ත පෝශප්, සාන්ත පීතර හා යාපනයේ සාන්ත පැට්‍රික් යන පාසැල්වල ආචාර්යවරයකු ලෙස සේවය කළා. පසුව සංගීතයට ඇති ඇල්ම නිසා ඉන්දියාවට ගොස් රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයට බැඳී සංගීතය ඉගෙන ගත්තා.

ජයකොඩි පියතුමාගෙන් මෙරට කිතු සසුනට ඉටුවූ වටිනාම සේවය කතෝලික ගීතිකා ක්ෂේත්‍රයෙහි සිදුකළ විශේෂ පෙරළිය යි.  ජයකොඩි පියනම තම පදමාල සහ ස්වර මාලා සහිත කුළුඳුල් ගීතිකා සංග්‍රහය  “සපිරි සෑම අසිරි සෝම” පොත එළි දැක්වූයේ 1944 අගෝස්තු මාසයේ. එවකට පල්ලිවල ගායනා කළ ලතින් සහ ඉංග්‍රීසි ගීතිකා සහ බටහිර තනු වෙනුවට, සරල පද හා මිහිරි තනුවලින් යුක්ත ජයකොඩි සිංහල ගීතිකා ඉතා ඉක්මනින් රට පුරාම කතෝලිකයන් අතර ජනප්‍රිය වුණා. ඔහු විසින් ලියැවුණු ගීතිකා සංඛ්‍යාව 500ක් පමණ වෙනවා. ඒවා අතරින් සමහරක් බෞද්ධයන් අතර ද ජනප්‍රිය වී තිබෙනවා. “නෙළුම් පිපීලා පෙති විසිරීලා, දෙපා ළඟ තබාලා, ඔබව සෝබන අත් විහිදා, ශ්‍රී ලංකා රාණි මෑණියේ,” ආදිය ඊට නිදසුන්.

ජයකොඩි පියනමගේ අත්අකුරු-  lifie.lk

ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමාගෙන් පසු සිංහල කැරොල් සාහිත්‍යය පොදු ජනතාව අතරට ගෙනයාමටත් ඔහුගේ පදරචනා ඉවහල් වුණා. නූතන ගොන්සාල්වෙස් නමින් ඔහු හඳුන්වන්නේ ඒ  නිසයි.  ජයකොඩි පියනමගේ මුල්ම කැරොල් ගීය 1949 දී රචිත “රෑ තරු බබලනවා” යි. ඉන් පසුව “සීනු හඬින් ලොව පිබිදෙනවා”, “රැයක අඳුර දුරුවෙලා”, “රනින් මුදු සදාලා” ආදී ගීතිකා නිර්මාණය වුණා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, 1956 දී තිරගත වූ රේඛාව චිත්‍රපටයට ගීත ලිව්වේ ජයකොඩි පියතුමන්. එය ඔහුට විශාල කීර්තියක් ලැබුණු කාරණයක්. “සුදු සඳ එළියේ නල මත පොපියන”, “ඕලු නෙළුම් නෙරිය රඟාලා”, “වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ” වැනි ගීත රේඛාව ජනප්‍රිය කිරීමට ඉවහල් වුණා.  මනමාලයෝ, ආදරවන්තයෝ, හිතක පිපුණු මල්, කොළඹ සන්නිය, රෝමියෝ ජුලියට් චිත්‍රපට සඳහාත් ඔහු ගීත රචනා කළා.

වියපත් වයසේ දී – lifie.lk

1957 දී සිලෝන් ඔබ්සර්වර් පත්‍රය මඟින් පවත්වන ලද ජනප්‍රියම චිත්‍රපට පුද්ගලයා තරගයෙන් වැඩිම පාඨක ඡන්ද ලබා ජයග්‍රාහකයා ලෙස තෙරුණේ ජයකොඩි පියතුමා යි.

මේ කවියා සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති පදවිය ද කලක් දැරුවා. ඔහුගේ කාව්‍ය කෘතියක් වූ, 1980 රචිත “මුතු” එම වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තා. 1982 දී ජයකොඩි පියනමට කලාසූරී සම්මානය ලැබුණු අතර කතෝලික පල්ලියෙන් කිතු නන්දන ප්‍රණාම සම්මානය ද හිමි වුණා. “ආසියාවේ නොබෙල් සම්මානය” යන විරුදාවලි ලද පිලිපීනයේ මැග්සේසේ සම්මානයෙන් ජයකොඩි පියතුමා  පුදනු ලැබුවේ 1983 දී යි. ඇ. ඩො. 20000ක් ද එම සම්මානයට ඇතුළත් වුණා.

ජයකොඩි පියනම වසර 96ක් ආයු වළඳා 1998 ජුනි 15 වැනි දින ස්වර්ගස්ථ වුණත් අදත් ඔහුගේ නම නිතර කියැවෙනවා.

පඬිවරයෙක් වූ අගරදගුරු එඩ්මන්ඩ් පීරිස්

එඩ්මන්ඩ් පීරිස් අගරදගුරු හිමි- ලක්දිව කතෝලික ඉතිහාසය fb page

කතෝලික සභාවේ රදගුරු පදවියට පත් ප්‍රථම සිංහලයා වන්නේ එඩ්මන්ඩ් පීරිස් පියනම යි. ඔහු එම තනතුරුට පත්කරන ලද්දේ 1940 දී යි. 1973 පෙබරවාරි 16 වෙනිදා “ඥානාර්ථ ප්‍රදීපය” පත්‍රයට ලිපියක් ලියන කතුවර මාර්ටින් වික්‍රමසිංහ, ආචාර්ය එඩ්මන්ඩ් පීරිස් අගරදගුරුතුමා ගැන මෙසේ පවසා තිබුණා:

“ආචාර්ය ඇඩ්මන් පීරිස් රදගුරුතුමා සිංහල, පාලි, සකු බස, හා ලංකා ඉතිහාසය ද උගතුන් සුලභ අතීතයෙහි පටන් ලංකා කතෝලික සසුනෙහි මුල් බැස ගත් සිරිත් ද පිළිබිඹු කරන උසස් පඬිවරයෙකි. මා බොහෝ කාලයක සිට හිත මිතුරකු ලෙස ඇසුරු කරන රදගුරුතුමා පැරණි භාෂා සාහිත්‍යයෙහි හසළ දැනුම ඇත්තකු පමණක් නොව වර්තමාන සිංහල සාහිත්‍යය විවේක බුද්ධියෙන් විමසන විචාරකයෙක් ද වෙයි. එතුමා රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ සඟරාවට ලංකා තෘණ විද්‍යාවේ පියා මැයෙන් ලියන ලද ලිපිය එතුමාගේ පර්යේෂණ ශක්තිය හා නොයෙක් බසහි පැතිරී දැනුම ද පිළිබිඹු කරන කැටයමක් වැන්න ය.”

එඩ්මන්ඩ් පීරිස්  අගරදගුරු හිමි ලියූ කෘතියක්- silumina.lk

1897 වසරේ දෙසැම්බර් 27 වෙනිදා හලාවත උපන් එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමන්ගේ පියාගේ නම මැනුවෙල් දියෝගු පීරිස්. මව වුණේ ක්ලේරා වීරසිංහ යි. සිංහල දෙවැනි ප්‍රමාණය වන තෙක් ගමේ මඩමේ පාසලට ගිය එඩ්මන්ඩ් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට හලාවත ශාන්ත මරියා විද්‍යාලයට ඇතුළු වුණා. පසුව 1924 දී පූජකවරයකු වීමට බොරැල්ලේ සාන්ත බර්නද් දෙව්සත්හලට ද පසුව ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලට ද ඇතුළත් වුණා. 1924 පෙබරවාරි 25 වැනිදා එතුමා පූජකත්වය ලබා ගත්තා. 1933 වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට ගොස් ලන්ඩන් විශ්වවිද්‍යාලයයෙන් ඉංග්‍රීසි සහ ලතිනුත්, සිංහල භාෂාවෙනුත් ප්‍රවීණත්වයක් ලබාගත්තා.

උන්වහන්සේ හලාවත බිෂොප්වරයා ලෙස ද, රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ උප සභාපති ලෙස ද, ලංකා ඓතිහාසික ලිපි ලේඛන කොමිසමේ ද, සිංහල ශබ්ද කෝෂ අනුමණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ පඩිවරයෙක්. පොත් කිහිපයක් ලියූ ඔහු ලංකාවේ රෝමානු කතෝලික දේවස්ථානවල ගැයීම පිණිස සිංහල ගිතිකාව ද, වෙනත් බොහෝ සිංහල කතෝලික ගීතිකා ද රචනා කර තිබෙනවා. ඔහුගේ සාහිත්‍ය කටයුතුවලට කළුකොඳයාවේ ප්‍රඤඤාශේකර නා හිමි, පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි, අමුණුගම විපස්සි නා හිමි, වැලිවිටියේ සෝරත හිමි යන සංඝයා වහන්සේලා බෙහෙවින් උදව් කර තිබෙනවා

කැලණි විශ්වවිද්‍යාල‍යයෙන් “සාහිත්‍ය චක්‍රවර්ති” යන ආචාර්ය උපාධියෙන් පිදුම් ලැබූ  එඩ්මන්ඩ් පීරිස් පියනම 1989 සැප්තැම්බර් 04 වන දින ස්වර්ගස්ථ වුණා.

ලාංකීය සිනමාවට පෙම්බැඳි පෝරුතොට පියනම

පෝරුතොට පියනම වියපත් සමයේ- studio gee fb page

ලාංකේය සිනමාවට මෙන්ම කතෝලික සිනමා සන්නිවේදන පර්ෂදයට විශාල සේවයක් කළ, කතෝලික දර්ශනය දේශීය සංස්කෘතිය හා බද්ධ කළ අර්නස්ට් පෝරැතොට පියතුමා ස්වර්ගස්ථ වූයේ 2020 ජූනි 16 දා යි.  මියයනවිට පියතුමන් 89 හැවිරිදි වියේ පසුවුණා.

1931 අගේස්තු 31 දා උපන් ඔහුට ලබාදුන් නම පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු. මාරවිල ධීවර ගමේ උන්වහන්සේගේ බාල කාලය ගත වුණා. පියා වූ පෝරුතොටගේ ජෝකීනු ප්‍රනාන්දු ගුරුවරයෙක්. මව සීදූවේ මේරි මාග්‍රට් පීරිස්.

පෝරුතොට පියනම  දිගුකලක් සේවය කළ කිරිමැටියාගාර පල්ලිය-  youtube.com

මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලින් පාසල් අධ්‍යාපනය ලැබූ ඔහු  පූජකවරයකු වීමේ බලාපොරොත්තුවෙන් බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලට 1944 දී ඇතුළත් වුණා. ඔහු ඊටපසු ඉගෙනගත්තේ මහනුවර අම්පිටිය ජාතික දෙව්සත්හලේ. ඒ 1955 සිට 1957 දක්වා යි. පසුව 1957 පෙබරවාරි 2දා පූජකවරය ලැබීමෙන් අනතුරුව දෙහියාගත, කැලණිය, කළුතර, කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත, කිරිමැටියාගාර යන මීසම්වල සේවය කළා. පසුව 1972 දී ජාතික කතෝලික සිනමා පර්ෂදයේ අධ්‍යක්ෂ තනතුරට පත්වීම මෙරට සිනමාවට මෙන්ම ඊට සම්බන්ධ වීමට උනන්දුවන තරුණ පරපුරට ද විශාල ශක්තියක් සැපයූ කාරණයක්. එම තනතුර 1982 දක්වා උන්වහන්සේ දැරුවා.

කතෝලික පල්ලියට දේශීයත්වය මුසු කිරීමට පෝරුතොට පියතුමා දැක්වූයේ විශාල දායකත්වයක්. 1967 දී මීගමුව බෝලවලාන පල්ලියේ විවාහ උත්සවයකට මඟුල් බෙර සහ ගොක්කොළ සැරසිලි සහිත පෝරුවක් එක්කිරීම එහි මුල් අවස්ථාව යි. එයට සමහර සිංහල පියතුමන්ලා විරුද්ධ වුව ද ෆිලික්ස් මෙවෙල් නම් ප්‍රංශ පියතුමා අවසර දුන් බව පෝරුතොට පියතුමා වරෙක පවසා තිබෙනවා.

ගීතාවලිය ගීතවත් කළ පියනම

මෝසැසි පියනම – lankadeepa.lk

අද පූජකවරුන් පූජාව සිදුකරන්නේ සිංහල බසින්. ලතින් බසින් කෙරෙන ගායනා කිසිවක් අසන්නට ලැබෙන්නේ නැහැ. මෙවන් පෙරැළියක් කිරීමට මුල්වූ පියනම වූයේ මෝසැසි පෙරේරා පියනම යි. “ලංකා කතෝලික සභාවේ ජනවන්දනා මුහුණුවර සහමුලින්ම දේශීය කිරීමට පුරෝගාමී වූයේ මෝසැසි පියතුමා”යි අර්නස්ට් පෝරුතොට පියතුමා වරක් පවසා තිබෙනවා. මෝසැසි පෙරේරා පියනම වඩාත් වැදගත් වන්නේ බයිබලයේ එන සාම් හෙවත් ගීතාවලිය හෙළ බසට නැඟීම හේතුවෙන්.

1899 උපන් මෝසැසි පියතුමාගේ ගම ජාඇල, දෙහියගාත. අධ්‍යාපනය ලැබුවේ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන්. 1927 පූජකවරය ලද උන්වහන්සේ රක්වාන, බලංගොඩ, පින්නවල, දෙණියාය යන මීසම්වල සේවය කළා. 1985 පෙබරවාරි 2 වැනිදා ස්වර්ගස්ථ වුණා.

බයිබලයේ පරණ ගිවිසුමේ ගීත සාහිත්‍යයක් දැකගත හැකියි. එය ‘ගීතාවලිය’, ‘ප්‍රේම ගී’, හා ‘විලාප ගී’ යනුවෙන් කොටස් තුනකට බෙදෙනවා.

1962 දී දෙවැනි වතිකානු සමුළුවෙන් කතෝලිකාගම ක්‍රියාත්මක වන රටවල ආගමික කටයුතු දේශීය මුහුණුවරකින් යුක්තව පවත්වාගෙන යෑමේ නිල අවසරය ලබා දුන්නා. ඒ හේතුවෙන් එතෙක් පැවති ලතින් පූජාව හා ගීතිකා සිංහලට පෙරළෙන්න පටන් ගත්තා. මර්සලීන් ජයකොඩි පියතුමා පැරණි ලතින් තනු බැහැරලා ඉතාම මිහිරි නව ස්වතන්ත්‍ර තනු ඇසුරෙන් ගීතිකා රචනා කළා. මෝසැසි පෙරේරා පියතුමාත් හෙළ බස ගුරුකොට ගනිමින් ගීතිකා ප්‍රබන්ධ කළා.

පියනම ගැන රචිත කෘතියක්- dinamina.lk

මෝසැසි පෙ‍රේරා පියතුමා ගීතාවලියේ එන ගී හඳුන්වන්නේ ‍‘තෙහෙලි ගී’ කියලයි. ලතින් බසත්, සිංහල බසත් මනාව දත් ගිහි පැවිදි උගතුන්ගේ පොදු මතය වන්නේ මේ අනුවාදයේ ලතින් බසට වඩා පැහැදිලි මටසිලුටු ගතියක් හා සිංහල අපේකමක් තිබෙන බව යි.

මෝසැසි පෙරේරාගේ අනුවර්තන කාර්යයෙහි දී සුනිල් සාන්ත (මෝසැසි පියතුමා ඥාතීත්වය අනුව සුනිල්ගේ මාමා) අයිවෝ ඩෙනිස්, ජේ. කේ. එස්. පෙරේරා යන අය නිර්මාණාත්මකව දායක වී තිබෙන බව පැවසෙනවා.

බයිබලයේ පවුකාර ස්ත්‍රියක ලෙස හැඳින්වෙන මරිය මග්දලේනා ගැන උන්වහන්සේ ලියා ඇති ගීතිකාව උන්වහන්සේ සතු මානව භක්තිය මැනවින් ප්‍රකට කරන්නක්.

පව් ගොඩක් ගොඩක් ඈ කෙරුවා

ගොඩක් ආදරේ පෑවා

ඇගෙ නොවක් නිබොරු විස්වාසේ නිසා

ඇගෙ සිත කොතෙකුත් සන්සිඳුණා

ජේසුගේ පාමුල වැටී එදා ඇඬුවා

ඇඬුවා කඳුළින් තෙමුවා

දොවා දොවා දෙපා ජේසුගේ තැවුණා

එම්බල මරිය මග්දලේනා

Related Articles