2020 ඇමරිකානු ජනාධිපතිවරණය පසුගිය අඟහරුවාදා පැවැත්වුණා. ඒ සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වන විට ඩිමොක්රටික් පක්ෂයෙන් හිටපු උප ජනාධිපතිවරයෙකු වුණු ජෝ බයිඩන් තරග වැදුණා. ආරම්භයේ සිටම කරට කර සටනක් පැවති මෙම ජනාධිපතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලය මෙම ලිපිය ලියන මොහොත වන විටත් නිකුත් කර තිබුණේ නැහැ. නමුත් ප්‍රකාශ කර තිබෙන ඡන්ද ප්‍රතිඵලවලට අනුව ජනාධිපති ධූරයට පත්වීම සඳහා ප්‍රමාණවත් තරම් ඡන්ද විද්‍යාල ආසන ජෝ බයිඩන් විසින් දිනාගෙන අවසන්. ඒ අනුව ඔහු ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙසින් ලබන ජනවාරි මස 20 වැනිදා දිවුරුම් දෙනු ඇති.
ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය
ඇමරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර 4කට වරක්ම පවත්වනු ලබනවා. එහිදී ජනාධිපතිවරණය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත දිනයක් වෙන් කර තිබෙනවා. ඒ නොවැම්බර් මාසයේ පළමු සඳුදා දිනයට පසුව එන අඟහරුවාදා දිනය යි. එම සම්ප්‍රදායට අනුව මුල්ම වරට ඇමරිකානු ජනාධිපතිවරණයක් පවත්වනු ලැබුවේ 1848 වසරේ දී යි. එදා සිට අඛණ්ඩව එම සම්ප්රදාය රැකගනිමින් ජනාධිපතිවරණය පැවැත්වීමට ඔවුන් සමත්ව තිබෙනවා.
ඡන්ද විද්‍යාලය
ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ දී “ඡන්ද විද්‍යාලය” යන වචනය සුලභවම අසන්නට ලැබෙනවා. ඒ මහජන ඡන්දයෙන් ඡන්ද විද්‍යාලයක් සඳහා නියෝජිතයන් පත්කර ගැනීම නිසා යි. එලෙස පත්කර ගන්නා ඡන්ද විද්‍යාලයට නියෝජිතයන් 538ක් ඇතුළත් වනවා. එහිදී එක් එක් ප්‍රාන්තයට හිමිවන ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණය ප්‍රාන්තය තුළ සිටින ජනගහනය සලකා බලා තීරණය කරනවා. ඒ අනුව වර්තමානය වන විට වැඩිම ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණයක් හිමිව තිබෙන්නේ කැලිෆෝනියා ප්‍රාන්තයට යි. ඒ නියෝජිතයන් 55ක්.
නමුත් 70 දශකය ආරම්භ වන විට වැඩිම ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණයක් හිමිව තිබුණේ නිව්යෝක් ප්‍රාන්තයට යි. එම කාල සමය වන විට නිව්යෝක් ප්‍රාන්තයට ඡන්ද විද්‍යාල නියෝජිතයන් 43ක් හිමිවන විට කැලිෆෝනියා ප්‍රාන්තයට හිමිව තිබුණේ ඡන්ද විද්‍යාල නියෝජිතයන් 40ක් පමණ යි. නමුත් 1972 වසරේ දී කැලිෆෝනියා ප්‍රාන්තය වැඩිම ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණයක් හිමිවන ප්‍රාන්තය බවට පත්වුණා. පහත දක්වා තිබෙන්නේ වර්තමානය වන විට වැඩිම ඡන්ද විද්‍යාල නියෝජිතයන් හිමිවන ප්රාන්තයන් පිළිබඳව යි.
1) කැලිෆෝනියාව- 55 2) ටෙක්සස්- 38
3) නිව්යෝක්- 29 4) ෆ්ලොරීඩා- 20
5) පෙන්සිල්වේනියා- 20 6) ඉලිනොඒ- 20
වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පමණින් ජනාධිපති වන්නට බැහැ
ඇමරිකානු ජනාධිපතිවරණයේ දී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගත් පමණින් ජනාධිපති වන්නට බැහැ. ඒ සඳහා ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270 සීමාව පසුකර යුතුයි. 2016 ජනාධිපතිවරණයේ දී හිලරි ක්ලින්ටන් ඡන්ද මිලියන 65ක් ලබාගන්නා විට ඩොනල්ඩ් ට්‍රම්ප් ලබාගත්තේ ඡන්ද මිලියන 62ක් පමණ යි. නමුත් ඡන්ද විද්‍යාල නියෝජිතයන් 304ක් ජයග්‍රහණය කළ ජනාධිපතිධුරයට පත්වුණා. ඇමරිකානු ඡන්ද ක්රමයේ දී යම් ප්‍රාන්තයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට එම ප්‍රාන්තය සඳහා ලැබීමට නියමිත ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණය ලැබෙනවා. නමුත් මේන් සහ නෙබ්‍රස්කා ප්‍රාන්තවල එම තත්ත්වය සුළු වශයෙන් වෙනස් වනවා.
කොංග්රස් මණ්ඩලය
ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්රස් සභාවට මන්ත්‍රී මණ්ඩල දෙකක් තිබෙනවා. එහි ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන්නේ සෙනට් සභාව යි. එසේම එහි පහළ මන්ත්‍රී මන්ත්‍රී මණ්ඩලය වන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යි. සෙනට් සභාව නියෝජනය කිරීම සඳහා නියෝජිතයන් 100ක් පත්කර ගන්නා විට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා නියෝජිතයන් 435ක් පත්කර ගන්නවා. එම නියෝජිතයන් තෝරා පත්කර ගන්නේ ද ඇමරිකානු ජනාධිපතිවරණය අතරතුර යි.
ඡන්දය ප්‍රකාශ කරන ආකාරය
මැතිවරණ දිනයේ දී ඡන්දය භාවිතා කළ හැක්කේ වයස 18 සම්පූර්ණ කළ ඇමරිකානු පුරවැසියන්ට පමණ යි. සාමාන්‍යයෙන් ඇමරිකානු මැතිවරණ දිනය නිවාඩු දිනයක් නොවන නිසා සෑම ප්‍රාන්තයකම අයට කලින් ඡන්දය ලබාදීමේ පහසුකම සපයා තිබෙනවා. ඊට අමතරව විදෙස්ගත ඇමරිකානුවන්, ආරක්ෂක හමුදා සහ වෙනත් ඇතැම් අවශ්‍යතා තියෙන අයට පිට ස්ථානවල සිට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.
එක් එක් පක්ෂයට වඩාත් වාසිදායක ප්‍රාන්ත
ඇමරිකාව තුළ පිහිටා තිබෙන ප්‍රාන්ත අතුරින් රිපබ්ලිකන් පක්ෂයට සහ ඩිමොක්රටික් පක්ෂයට වඩාත් වාසිදායක වන ආසන තිබෙනවා. 1992-2016 දක්වා පැවැත්වුණු ජනාධිපතිවරණ පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී එය නිරික්ෂණය කළ හැකියි. පහත දක්වා තිබෙන්නේ එක් එක් පක්ෂය 1992-2016 කාල සමය තුළ පැවති ජනාධිපතිවරණ 7 දීම ජයග්‍රහණය කළ ප්‍රාන්ත පිළිබඳව යි. ඊට ඉදිරියෙන් දක්වා තිබෙන්නේ එම ප්‍රාන්තවලට හිමිවන ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණය යි.
ඩිමොක්රටික් පක්ෂය
1) කැලිෆෝනියාව- 55 2) නිව්යෝක්- 29
3) කනෙටිකට්- 7 4) කොළොම්බියා දිස්ත්‍රික්කය- 3
5) හවායි- 4 6) ඉලිනොඒ- 20
7) මේන්- 4 8) මේරිලන්ඩ්- 10
9) මැසචුසෙට්ස්- 11 10) මිනෙසොටා- 10
11) නිව් ජර්සි- 14 12) ඔරිගන්- 7
13) රෝඩ් අයිලන්ඩ්- 4 14) වොෂිංටන්- 12
15) ඩෙලවෙයා- 3 16) වර්මොන්- 3
රිපබ්ලිකන් පක්ෂය
1) ඇලබාමා- 9 2) ඇලස්කා- 3
3) අයිඩහෝ- 4 4) කැන්සස්- 6
5) මිසිසිපි- 6 6) නෙබ්‍රස්කා- 5
7) උතුරු ඩැකෝටා- 3 8) ඔක්ලහෝමා- 7
9) දකුණු කැරොලයිනා- 9 10) දකුණු ඩැකෝටා- 3
11) ටෙක්සස්- 38 12) යූටා- 6
13) වියෝමින්- 3
*ඉහත ප්‍රාන්ත අතුරින් මේන් ප්‍රාන්තයේ නියෝජිතයන් ජයග්රාහකයාට 3ක් සහ අනිත් පාර්ශවයට 1ක් ලෙසින් බෙදී යයි. එසේම නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ද ජයග්රාහකයාට නියෝජිතයන් 4ක් හිමිවන විට අනිත් පාර්ශවයට 1ක් හිමි වෙයි.
මෙවර ජනාධිපතිවරණයේ දී මොකද වුණේ?
2020 ජනාධිපතිවරණයේ දී ඩිමොක්රටික් පක්ෂය ඔවුන්ගේ බලකොටු බවට පත්ව තිබෙන ප්‍රාන්ත සුපුරුදු ආකාරයට ජයග්‍රහණය කළා. එසේම රිපබ්ලිකන් පක්ෂයත් එම ප්‍රාන්ත 13 අතුරින් 12ක් දැනට ජයග්‍රහණය කර තිබෙනවා. ඇලස්කාවේ ඡන්ද ප්‍රතිඵලය තවමත් ප්‍රකාශ කර නැතත් එහිදී දැනට ඉදිරියෙන් සිටින්නේ රිපබ්ලිකන් පක්ෂය යි. එලෙස ලබාගත් ජයග්‍රහණ නිසා පක්ෂ දෙක වෙන වෙනම ලබාගත් ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණය පහත ආකාරයට දැක්විය හැකියි.
*ඩිමොක්රටික් පක්ෂය (ජෝ බයිඩන්) – 196
*රිපබ්ලිකන් පක්ෂය (ඩොනල්ඩ් ට්‍රම්ප්)- 99
ප්‍රාන්ත 28ක ඉරණම එලෙස විසඳෙන විට බයිඩන්ට ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වුණේ තවත් ඡන්ද විද්‍යාල නියෝජිතයන් 77ක් දිනාගැනීම පමණ යි. නමුත් රිපබ්ලිකන් පක්ෂයට පසුගිය දශක 2ක තුළ වඩාත් වාසිදායක වුණු ප්‍රාන්ත කිහිපයක් ඔවුන් ජයග්‍රහණය කළා. පහත දැක්වෙන්නේ එම ප්‍රාන්ත කිහිපය සහ ඒවාට අයත් වන ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණය යි.
1) ආකැන්සස්- 6 2) ඉන්දියානා- 11
3) අයෝවා- 6 4) කෙන්ටකි- 8
5) ලුයිසියානා- 8 6) මිසුරි- 10
7) මොන්ටානා- 3 8) ඔහායෝ- 18
9) ටෙනිසී- 11 10) බටහිර වර්ජිනියා- 5
ඉහත ප්‍රාන්ත 10 රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසුව පක්ෂ 2ක ලබාගත් ඡන්ද විද්‍යාල නියෝජිත ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.
*ඩිමොක්රටික් පක්ෂය (ජෝ බයිඩන්) – 196
*රිපබ්ලිකන් පක්ෂය (ඩොනල්ඩ් ට්‍රම්ප්)- 185
එසේම ඩිමොක්රටික් පක්ෂයට පසුගිය දශක 2ක පමණ කාලය තුළ වඩාත් වාසිදායක වුණු ප්‍රාන්ත කිහිපයක් ඔවුන් ජයග්‍රහණය කළා. පහත දැක්වෙන්නේ එම ප්‍රාන්ත කිහිපය සහ ඒවාට අයත් වන ඡන්ද විද්‍යාල නියෝජිතයන් ප්‍රමාණය යි.
1) කොලරාඩෝ- 9 2) නෙවාඩා- 6
3) නිව් හැම්ප්ෂයර්- 4 4) නිව් මෙක්සිකෝ- 5
5) වර්ජිනියා- 13
ඩිමොක්රටික් පක්ෂය එම ප්‍රාන්ත 5 ජයග්‍රහණය කිරීමෙන් පසුව පක්ෂ 2ක ලබාගත් ඡන්ද විද්‍යාල නියෝජිත ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.
*ඩිමොක්රටික් පක්ෂය (ජෝ බයිඩන්) – 233
*රිපබ්ලිකන් පක්ෂය (ඩොනල්ඩ් ට්‍රම්ප්)- 185
ඩොනල්ඩ් ට්‍රම්ප් ප්රමුඛ රිපබ්ලිකන් පක්ෂය මෙවර ජනාධිපතිවරණයේ දී විශේෂ ජයග්‍රහණයක් ලබාගත්තා. ඒ ෆ්ලොරීඩා ප්‍රාන්තය ජයග්‍රහණය කිරීම යි. ඡන්ද විද්‍යාල නියෝජිතයන් 29කින් සමන්විත ෆ්ලොරීඩා ප්‍රාන්තය රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කළ අපේක්ෂකයෙකු ජයග්‍රහණය කළේ 2004 වසරෙන් පසුව යි. එම ජයග්‍රහණයත් සමගින් පක්ෂ දෙක ලබාගත් ඡන්ද විද්‍යාල නියෝජිත ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.
*ඩිමොක්රටික් පක්ෂය (ජෝ බයිඩන්) – 233
*රිපබ්ලිකන් පක්ෂය (ඩොනල්ඩ් ට්‍රම්ප්)- 214
රිපබ්ලිකන් පක්ෂය එලෙස විශේෂ ජයග්‍රහණයක් ලබන විට ඩිමොක්රටික් පක්ෂය ද ඇරිසෝනා ප්‍රාන්තය වසර 24කින් පසුව ජයග්‍රහණය කළා. ඡන්ද විද්‍යාල නියෝජිතයන් 11ක් සිටින එම ජයග්‍රහණයත් සමගම පක්ෂ දෙක ලබාගත් ඡන්ද විද්‍යාල නියෝජිත ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.
*ඩිමොක්රටික් පක්ෂය (ජෝ බයිඩන්) – 244
*රිපබ්ලිකන් පක්ෂය (ඩොනල්ඩ් ට්‍රම්ප්)- 214
මිෂිගන්, පෙන්සිල්වේනියා, සහ විස්කොන්සින් යන ප්‍රාන්ත 1992-2012 කාලය තුළ පැවති ජනාධිපතිවරණවල දී ජයග්‍රහණය කළේ ඩිමොක්රටික් පක්ෂය යි. එම ප්‍රාන්ත තුනෙන් ඡන්ද විද්‍යාලය සඳහා නියෝජිතයන් 46ක් සුදුසුකම් ලබනවා. 2016 වසරේ දී පැවැත්වුණු ජනාධිපතිවරණයේ දී රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එම ප්රාන්තයන් 3ම ජයග්‍රහණය කළා. නමුත් මෙවර ජනාධිපතිවරණයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එම ප්‍රාන්ත 3ම අහිමි වුණා. එම තීරණාත්මක ප්‍රාන්ත තුන පරාජය වීම ට්‍රම්ප්ගේ පරාජයට විශාල බලපෑමක් කළා. ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් එම ප්‍රාන්ත ත්‍රිත්වය ජයග්‍රහණය කිරීමෙන් පසුව පක්ෂ දෙක ලබාගත් ඡන්ද විද්‍යාල නියෝජිත ප්‍රමාණයන් මෙසේ දැක්විය හැකියි.
*ඩිමොක්රටික් පක්ෂය (ජෝ බයිඩන්) – 290
*රිපබ්ලිකන් පක්ෂය (ඩොනල්ඩ් ට්‍රම්ප්)- 214
ඇමරිකානු ජනාධිපති ධූරය ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ ඡන්ද විද්‍යාල නියෝජිතයන් 270ක් පමණ යි. තවමත් ඇලස්කාව, උතුරු කැරොලයිනා, සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල ප්රතිඵලයන් නිකුත් වී නොතිබුණත් ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩන් අවශ්‍ය ඡන්ද නියෝජිතයන් ප්‍රමාණය ජයග්‍රහණය කර තිබෙනවා.
බලයේ සිටි ජනාධිපතිවරයෙකු වසර 28කට පසුව පරාජයට පත්වෙයි
1992 ජනාධිපතිවරණයේ දී එවකට බලයේ සිටි ජනාධිපතිවරයා වුණු ජෝජ් බුෂ් ප්‍රතිවාදී අපේක්ෂක බිල් ක්ලින්ටන් හමුවේ පරාජයට පත් වුණා. ඉන් වසර 28කට පසුව බලයේ සිටි ඇමරිකානු ජනාධිපතිවරයෙකු පරාජයට පත්වුණේ මෙවර ජනාධිපතිවරණයේ දී යි. පහත දක්වා තිබෙන්නේ ඇමරිකානු ජනාධිපතිවරණ ඉතිහාසය තුළ බලයේ සිටිය දී පරාජයට පත්වුණු වෙනත් ජනාධිපතිවරුන් පිළිබඳව යි.
1) ජෝන් ඇඩම්ස් (ෆෙඩරල්)- 1800 ජනාධිපතිවරණය
2) ජෝන් ක්වින්සි ඇඩම්ස් (ජාතික රිපබ්ලිකන්)- 1828 ජනාධිපතිවරණය
3) මාටින් වෑන් බුරන් (ඩිමොක්රටික්)- 1840 ජනාධිපතිවරණය
4) ග්‍රෝවර් ක්ලිව්ලන්ඩ් (ඩිමොක්රටික්)- 1888 ජනාධිපතිවරණය
5) බෙන්ජමින් හැරිසන් (රිපබ්ලිකන්)- 1892 ජනාධිපතිවරණය
6) විලියම් හොවාඩ් ටෆ්ට් (රිපබ්ලිකන්)- 1912 ජනාධිපතිවරණය
7) හර්බට් හූවර් (රිපබ්ලිකන්)- 1932 ජනාධිපතිවරණය
8) ජිමී කාටර් (ඩිමොක්රටික්)- 1976 ජනාධිපතිවරණය
9) ජෝජ් බුෂ් (රිපබ්ලිකන්)- 1992 ජනාධිපතිවරණය
77 හැවිරිදි ජෝ බයිඩන් එදා මෙදා තුර බලය ලබාගත් වයස්ගතම ඇමරිකානු ජනාධිපතිවරයා යි. එසේම මෙවර ජනාධිපතිවරණයේ දී මිලියන 75කට අධික ඡන්ද ප්‍රමාණයක් ලබාගත් බයිඩන් ජනාධිපතිවරණ වාර්තා අලුත් කළා. ඇමරිකානුවන් බයිඩන් වෙත ඡන්දය ලබා දී තිබෙන්නේ බලාපොරොත්තු රැසක් තබාගෙන බව ඉන් අනුමාන කළ හැකියි.