Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පාරිසරික නීතියේ දී සලකා බැලෙන මහජන භාර සංකල්පය

“භාරයක්” ලෙසින් අප බොහෝ විට අදහස් කරන්නේ තවත් අයෙකු වෙනුවෙන් කිසියම් දෙයක් තමන් භාරයේ තබා ගැනීමක්. මහජනතාව වෙනුවෙන් මහජනතාවට අයත් දෑ තමන් භාරයේ තබා ගැනීමක් මහජන භාර සංකල්පය යටතේ අදහස් වනවා. පරිපාලන නීතිය යටතේ සාකච්ඡාවට ලක්වන මෙම මහජන භාර සංකල්පය බෙහෙවින්ම ප්‍රයෝජනවත් වී තිබෙන්නේ පාරිසරික නීතිය සම්බන්ධව යි. 

මහජනතාවගේ ඡන්දයෙන් හෙවත් ජනතා පරමාධිපත්‍යයෙන් පත්වන පාලකයන් බලයට පත් වීමෙන් පසුව බොහෝවිට දක්වන්නේ වගකීම් විරහිත ක්‍රියා කලාපයක්. බලය ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් සිතන්නේ සමස්ත රාජ්‍යයේ සහ එහි පවතින සියලුම ස්වභාවික සම්පත්වල පරම අයිතිය තමන්ට හිමි බවත්, ඒ අනුව එකී සම්පත් සියල්ල තමන්ට රිසි පරිදි භාවිත කළ හැකි බවත්. ඒ පදනම මත පිහිටා පරිසරය විනාශ වන අන්දමේ ව්‍යාපෘති ගණනාවකට පාලකයන් මුල්ගල තබනවා. මේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීමට බිහිකරන ලද සංකල්පයක් ලෙස මහජන භාර සංකල්පය හැඳින්වීමට පුළුවන්.

වන විනාශය (BORGEN Magazine)

මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමේ ඉතිහාසය

විධායක හා ව්‍යවස්ථාදායක විසින් මෙකී මහජන භාර සංකල්පය කඩ කරමින් කටයුතු කළ අවස්ථාවන්හි දී එකී අත්තනෝමතික තීන්දු තීරණවලින් වන හානිය වැළැක්වීම සඳහා මෙරට අධිකරණය ඉදිරිපත් වූ අවස්ථාවන් පවතිනවා. වෝටර්ස් එජ් නඩුව, එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධ බුලන්කුලම නඩුව, දක්ෂිණ අධිවේගී මාර්ගය පිළිබඳ හෙදර් තෙරේසා මණ්ඩි නඩුව යනාදී නඩු කටයුතුවල දී මෙරට උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන භාර සංකල්පයේ පවතින හරයාත්මක වටිනාකම ඉතා වැදගත් කොට අවධාරණය කිරීමක් සිදුකළා. එනම් ආර්ථිකමය ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ දී ස්වභාවික සම්පත් සහ පරිසරය ආරක්ෂා කරගැනීම සම්බන්ධව ද අවධානය යොමු කළ යුතු බවත්, රජය විසින් ස්වභාවික සම්පත් මහජන භාරයක් ලෙසින් දරා සිටිය යුතු බවත් උක්ත නඩු තීරණවල දී අධිකරණය විසින් ප්‍රකාශයට පත් කෙරුණා. උක්ත නඩු තීරණ මඟින් මහජන භාර සංකල්පය නෛතික සිද්ධාන්තයක් සේ පිළිගැනීම ලක් කිරීම සිදු වූයේ මෑත කාලීනව වුවත්, එය ඒ වනවිටත් ක්‍රියාත්මකභාවයේ පැවති සංකල්පයක්. දඹදිව නම් ධර්මාශෝක අධිරාජයාගේ සමයේත්, ශ්‍රී ලංකාවේ නම් දේවානම්පියතිස්ස රාජ්‍ය පාලන කාලයේත් මේ සංකල්පය ක්‍රියාත්මක වූවා.

මහජන භාර සංකල්පය යනු කුමක් ද?

මහජන භාර සංකල්පයට අර්ථකථන ගණනාවක් පවතිනවා. ඒ සියලු අර්ථකථන නඩු තීන්දු නීතිය ආශ්‍රිතව ගොඩ නැගී තිබෙනවා. ඒ අර්ථකථන එක පිඬක් සේ ගත් විට හැඟෙන්නේ එකම අදහසක්. එනම් යමෙකු වෙත යම් බලයක් ලබා දී ඇති විටෙක එකී බලය වෙනත් අරමුණකින් නොව පොදු යහපත සඳහාම යෙදවිය යුතුය යන්න යි. එසේම මහජන භාර සංකල්පය යුක්තිය ඉටු කිරීම සඳහා පනවා තිබෙන යාන්ත්‍රණයක් ලෙස ද අද වන විට හඳුනාගන්නවා. වේඩ් සහ ෆෝසිත් යන ප්‍රකට නීති රචකයන් විසින් දක්වන ආකාරයට, මහජන අරමුණක් මුදුන්පත් කරවා ගැනීම සඳහා ව්‍යවස්ථාමය බලයක් ලබා දී තිබෙන අවස්ථාවක “මහජන අරමුණ” යන සීමාව ඉක්මවා නොයා, ඒ තුළ පමණක් පිහිටා කටයුතු කළ යුතු බව දැක්වෙනවා. 

පරිසරයට අහිතකර ව්‍යාපෘති (Ecological Blog)

මහජන භාර සංකල්පයට අයත් සම්පත් මේවා යි

ජස්ටීනියන් නමැති විද්වතානන් විසින් දක්වන ආකාරයට ගලා යන ජලය, වාතය, මුහුද සහ වෙරළ සඳහා පොදු මහජනතාව සතුව පවතින්නේ සීමා නොකළ අයිතියක්. එකී ස්වභාවික සම්පත් පොදු අයිතියක් සහිත ඒවා මිස, කිසිවිටෙක පෞද්ගලික අයිතියකට යටත් කළ හැකි ඒවා නොවෙයි. ඒ අනුව එකී සම්පත් සෑම විටම පොදු මහජනතාවගේ ප්‍රතිලාභය උදෙසා භාවිත කළ යුතු වනවා. මෙවැනි සම්පත් මහජනතාවගේ සුබසෙත තකා පාලනය කිරීමේ බලය ඇත්තේ රාජ්‍යයටයි. ඒ අනුව එහිදී රජය විසින් මහජනතාව වෙනුවෙන් භාරයක් ලෙස මෙකී සම්පත් රඳවාගෙන සිටිනවා.

පිලිපීනයේ ගස් කපා දැමීමට එරෙහිව පිලිපීන අධිකරණය ඉදිරියේ විභාග වූ ඔපෝසා නඩු තීරණයේ දී අධිකරණය ප්‍රකාශ කරන ලද්දේ ගස් කපා දැමීම හේතුවෙන් විශාල හානියක් සිදු වන බවත්, ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට රජයට වගකීමක් තිබෙන බවත්, එහිදී එය ජනතාවගේ භාවිතය සඳහා පමණක් නොව තිරසාර ලෙස අනාගත පරම්පරාව සඳහා ද ආරක්ෂා කර ගත යුතු බවත් ය. ඒ අනුව මහජන භාර සංකල්පය ඉතා දිගු කාලීන දැක්මක් සහිතව යෙදවූ අවස්ථාවක් ලෙස මෙම නඩු තීරණය හඳුනාගත හැකියි. ඇමරිකාවේ විභාග වූ ඉලිනොඒ නඩු තීරණයේ දී එරට අධිකරණය විසින් තීරණය කරන ලද්දේ මිචිගන් විලේ ජලය මහජන භාරයක් ලෙස එරට රජය විසින් දරාගත යුතු බවත්, මහජනතාවගේ යහපත සඳහා පමණක් තීරණ ගත යුතු බවත් ය. 

එප්පාවල පොස්පේට් (Daily News)

මෙහෙතා එදිරිව කමල් නාත් නඩු තීන්දුවේ දී ඉන්දීය අධිකරණය තීරණය කරන ලද්දේ පෞද්ගලික සමාගමක් විසින් වැව් තාවුල්ලක තානායමක් ඉදිකිරීම මඟින් පොදු ජනතාව විෂයෙහි අයිතියක් ලෙසින් පවතින වැව් ගමනාගමනයට  බාධා විය හැකි බව යි. ඒ අනුව මෙම නඩු තීරණයේදී මහජන භාර සංකල්පය අනුව පදනම්ව ගරු අධිකරණය විසින් නියෝග කරන ලද්දේ අදාළ පෞද්ගලික සමාගම වෙත වැව් තාවුල්ල සම්බන්ධයෙන් ලබා දී තිබූ බද්ද අවලංගු කරන ලෙස යි. ඉන්දීය අධිකරණය විසින් මහජන භාර සංකල්පය අර්ථ දැක්වීම සිදු කරන ලද්දේ ජීවත්වීමේ අයිතිය ද සැලකිල්ලට ගනිමින් වඩාත් පුළුල් වූ දෘෂ්ටියකිනි. පොදු අරමුණකට නොවන, කිසිදු පෞද්ගලික අරමුණක් සඳහා මහජනතාවට අයත් සම්පත් සහ දේපළ අත්පත් කරගැනීමට පවතින ඉඩකඩ ඉන්දීය අධිකරණය විසින් අවුරා දමා තිබෙනවා. ඒ, මහජන භාර සංකල්පය උපයෝගී කරගනිමින්.

ලංකාවේ නීතිමය පසුබිම

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති මූලධර්ම යටතේ වන 27 (2) (ඉ) අනුව්‍යවස්ථාවේ දැක්වෙන කාරණයක් වන්නේ “පොදුජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සමාන ලෙස බෙදාහැරීම” රජය විසින් සිදුකළ යුතු බව යි. එසේම 27 (14) අනු ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුත්තේය” යනුවෙනි. එසේම 27 (15) අනු ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට අන්තර්ජාතික නෛතික සිද්ධාන්තයන්ට ගරු කිරීම ද රජය විසින් සිදු කළ යුත්තක්. මෙකී නෛතික නියාමයන් සියල්ල සම්පිණ්ඩනය කර බැලීමේ දී පෙනී යන්නේ දේශීය මෙන්ම අන්තර්ජාතික පාරිසරික නෛතික සිද්ධාන්තයන්ට ද අනුකූලව රජය විසින් පරිසර ආරක්ෂණ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව යි. එසේම ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවල දී මහජන භාර සංකල්පය අර්ථ දැක්වීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, සහ 12(1) ව්‍යවස්ථාවන් ද යොදාගෙන තිබෙනවා. 

දක්ෂිණ අධිවේගී මාර්ගය (Daily News)

බුලන්කුලම නඩු තීරණයේ දී අමරසිංහ විනිසුරුවරයා විසින් මහජන භාර සංකල්පය අර්ථ දැක්වෙමින් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් දැක්වෙන බවත්, ඒ තුළ පුද්ගලයන්/ මහජනතාව යනු පරම ස්වාධිපතියන් වන බවත්, රජය යනු එකී බලයන් තාවකාලික රඳවාගන්නෙක් පමණක් වන බවත් ඒ අනුව රජයට මහජන යහපත පිණිස ස්වභාවික සම්පත් සුරක්ෂිත කිරීමට හා ආරක්ෂා කිරීමට යුතුකමක් පවතින බවත්ය.  හන්ගේරියාව එදිරිව ස්ලෝවැකියාව නඩු තීරණය ද උක්ත නඩුවේ දී සාකච්ඡා කර තිබෙන අතර, එකී නඩු තීරණයේදී ද අන්තර්ජාතික යුක්ති අධිකරණය විසින් මහජන භාර සංකල්පය හඳුනාගැනීමක් කර තිබෙනවා. 

කවරයේ පින්තූරය (The Financial Express)

මූලාශ්‍රයයන්:

  • Administrative Law, William Wade & Christopher Forsyth
  • 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
  • Public Trust Doctrine, Dinesha Samararatne, noolaham.net

The origins, development and application of the "PUBLIC TRUST” Doctrine in Sri Lanka, linkedin.com

  • Case Law, Lawnet.gov.lk
  • The Public Trust Doctrine: Implications for Wildlife Management and Conservation in the United States and Canada, wildlife.org
  • The Public Trust Doctrine : A Primer, law.uoregon.edu
  • AN OVERVIEW OF WATER LAW IN ILLINOIS, nsglc.olemiss.edu
  • SUGATHAPALA MENDIS AND ANOTHR V CHANDRIKA KUMARATUNGA AND OTHERS, (2008) 2 Sri L.R. 339
  • Heather Therese Mundy v Central Environmental Authority (SC. Appeal 58/2003) 
  • Bulankulama V. Secretary, Ministry of Industrial Development (2000) 3 Sri L.R. 243 
  • Oposa et al. v. Fulgencio S. Factoran, Jr. et al (G.R. No. 101083), escr-net.org
  • Gabčíkovo-Nagymaros Project (Hungary/Slovakia), www.icj-cij.org
  • M.C. Mehta v. Kamal Nath and Ors, (2000) INSC 334, informea.org

Related Articles