ලෝක ජනගහනයෙන් 15%ක් (එනම්, බිලියන 1ක පමණ ජනතාවක්) යම් ආකාරයක ආබාධිත තත්ත්වයකින් පෙළෙති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවකට අනුව, ආබාධ සහිත ප්‍රජාවෙන් දළ වශයෙන් 2-4%ක් ජීවත් වන්නේ අවම පහසුකම් යටතේ හා සාමාන්‍ය පරිදි ජීවත් වීමේ දුෂ්කරතාවන් සමග පොර බඳිමිනි.
මෑත වසරවල දී, වයස්ගත බව නිසා සහ නිධන්ගත රෝග තත්ත්වයන් (දියවැඩියාව, මානසික රෝග, හෘද වාහිනී රෝග ආදිය) හේතුවෙන් ආබාධිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ. එහි වර්තමාන අගය 1970 දශකයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට වඩා 10%ක් පමණ ඉහළ අගයක් ගනී.
සෞඛ්‍ය ප්රවණතා, පාරිසරික සාධක සහ මාර්ග අනතුරු, ස්වාභාවික විපත්, ගැටුම්, ආහාර රටා, සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි ප්රවණතා මෙම වැඩිවීමට හේතු සාධක ලෙස එම වාර්තාව පිළිගෙන ඇත.
ලොව ආබාධ නොමති පුද්ගලයන් හා ගත් කල ආබාධ සහිත පුද්ගලයන් හට දුර්වල සෞඛ්‍ය තත්ත්වයන්, අඩු අධ්‍යාපනික මට්ටම, ආර්ථිකයට අඩු සහභාගීත්වය හා ඉහළ දරිද්‍ර අනුපාතිකයකට මුහුණ පෑමට සිදු වී අති බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි.
සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියාව, තොරතුරු, හා ප්‍රවාහන සේවාවන් වැනි, අනාබාධිත පුද්ගලයන්ට නිදහසේ ප්‍රවේශ විය හැකි සේවාවන් සදහා ප්‍රවේශ වීමට ඇති බාධාවන් මෙම බෙදීමට අර්ධ වශයෙන් හේතු වේ.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ සමාජ ප්‍රතිපත්ති හා සංවර්ධනය පිළිබඳ අංශය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව දරිද්‍රතාවය සහ ආබාධිතභාවය අන්‍යෝන්‍යව බැඳුණු කාරණා දෙකක් වන අතර ආබාධිතභාවය, දරිද්‍රතාව සඳහා හේතුවක් මෙන්ම දරිද්‍රතාවයේ ලක්ෂණයක් බවට හඳුනාගෙන ඇත.
නිදසුනක් වශයෙන්, ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ ආදායම් මාර්ග හෝ රැකියා අහිමි වීමේ වැඩි අවදානමක් ඇති අතර, එම නිසා දරිද්‍රතාවට ලක්වීමට වැඩි ඉඩකඩක් ඇත. දරිද්‍රතාවයෙන් ජීවත්වන අයට නිසි සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට ඇති හැකියාව අඩු බැවින් එය ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානු ඇත. මේ අනුව ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමෙන් දරිද්‍රතාවය තුරන් කිරීමට වැඩි හැකියාවක් ඇත. නමුත් එය තවම යථාර්ථයක්ව නැත්තේ ඇයි?
අපකීර්තිය
ශ්‍රී ලංකාව වැනි, අඩු ආදායම්ලාභී ප්‍රජාවන්හි තත්ත්වය වඩාත් නරක ය. ආබාධ සහිත පුද්ගලයින්ට නිසි අධ්‍යාපනය හා රැකියාවට පිවිසීම වැළැක්වීමට, ඔවුන් වෙත සමාජයෙන් එල්ලවන අපකීර්තිය විශාල කාර්යභාරයක් ඉටු කරන බව 2018 ජනවාර්ගික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර කේන්ද්‍රය (ICES) ගෙන ආ වාර්තාවක දැක්වේ.
බොහෝ දෙමව්පියන් තම ආබාධ සහිත දරුවන් ‘සඟවා’ තබන බවත්, බොහෝ විට පවුලට එරෙහිව ඇති විය හැකි සමාජ පසුබෑමකට බියෙන් ඔවුන්ව එලෙස නිවස තුළට කොටු කරන බවත් අධ්‍යයනයට සහභාගී වූවන් විසින් පැහැදිලි කෙරිනි. පවුලේ ආබාධ සහිත සාමාජිකයෙකු සිටීම අනෙක් සාමාජිකයින්ට ඇති විය හැකි ප්‍රතිවිපාක කෙරෙහි බලපාන අතර කෙනෙකුගේ විවාහ සුදුසුකම් කෙරෙහි පවා එය බලපෑ හැකිය.
ආබාධ සහිත පුද්ගලයින් බොහෝ විට හිරිහැර, අපයෝජනයන් හෝ සූරාකෑමට ලක් වේ. ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස ඔවුන්ට සමාජය හා මුසුවීමට මෙය තවදුරටත් බාධාවක් බවට පත් වේ.
අධ්‍යාපනය සහ රැකියාව
ශ්‍රී ලංකාවේ, සමස්ත ආබාධ සහිත ජනගහනයෙන් 96%ක් පමණ අධ්‍යාපන කටයුතුවල නිරත නොවූවන් ය. පාසල් අධ්‍යාපනය ලබන්නේ ආබාධ සහිත සිසුන් 54,311ක් පමණි.
ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව, වයස අවුරුදු 5-19 අතර බුද්ධිමය හා ශාරීරික ආබාධ සහිත දරුවන් 88,740ක් සිටින අතර, ඉන් 62%ක් මූලික පාසල් අධ්‍යාපනය ලබා ඇති නමුත්, 34%කට කිසිදු ආකාරයක අධ්‍යාපනයක් ලැබී නොමැත. මෙම අගයයන් මඟින් පෙනෙන්නේ මෙරට පාසල් පද්ධතිය තුල ආබාධිත ළමුන්ගේ අවශ්‍යතා සපුරලීමට අවශ්‍ය මූලික පහසුකම් පවා සලසා දී නොමැති බවයි.
විධිමත් අධ්‍යාපනයක් නොමැතිකම යන්නෙන් අදහස් වන්නේ මෙම දරුවන්ට අවශ්‍ය දැනුම නොමැති වීම හෝ සමාජය හා මුසුවීමට අවශ්‍ය කුසලතා නොමැති වීම යි. මෙය බොහෝ විට ඔවුන් ස්වයංපෝෂිත, ස්වාධීන පුද්ගලයින් බවට පත් කරනු වෙනුවට පවුලේ සාමාජිකයන් මත යැපෙන්නන් බවට පත් කරලයි.
ගුණාත්මක අධ්‍යාපනය නොලැබීමෙන්, ඔවුන්ගේ සමාජ හා ආර්ථික සහභාගීත්වය මෙන්ම ස්වාධීනත්වය ද ඔවුන්ට අහිමි කොට තිබේ.
රැකියා ක්ෂේත්රයෙන් ද ඔවුන්ට නිසි අත්වැලක් ලැබෙන්නේ නැත. ජනවාර්ගික අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර කේන්ද්‍රය විසින් කරන ලද අධ්‍යයනයට අනුව, ශ්‍රී ලාංකික සේවා යෝජකයින් ආබාධ සහිත පුද්ගලයින්ට නිසි අධ්‍යාපන සුදුසුකම් තිබියදී පවා ඔවුන්ව බඳවා ගැනීමට පසුබට වේ. ඉන් ඔවුන් වෙනස් හැකියාවන් ඇති පුද්ගලයන් ලෙස දකිනු වෙනුවට කිසිදු වටිනාකමක් නොදී ඉවතලන ස්වභාවයක් ඉස්මතු වෙයි.
ආබාධ සහිත පුද්ගලයින්ගේ රැකියා සම්බන්ධව කටයුතු කරන සංවිධානවල අධ්‍යයනයට සහභාගී වූවන් පෙන්වා දෙන පරිදි, මෙරට සමාජය උපකල්පනය කරනුයේ ආබාධ තත්ත්ව සහිත ප්‍රජාව ‘කම්කරු රැකියා සඳහා පමණක්’ සුදුසු බව යි.
ප්‍රවේශ පහසුකම්
ශ්‍රී ලංකාවේ බොහෝ ගොඩනැගිලි මෙන්ම පොදු ප්‍රවාහනය ද ආබාධ සහිත පුද්ගලයින්ට ප්‍රවේශ වීමට නිසි පහසුකම් සලසා නොමැතිකම තවත් ප්‍රධාන බාධාවකි. මීට වසර කිහිපයකට පෙර, රෝද පුටු සඳහා විශේෂිත වු බෑවුම් මාර්ගය රට තුළ දුර්ලභ දර්ශනයක් වූ අතර බොහෝ පොදු ස්ථානවල තවමත් රෝද පුටු සඳහා ප්‍රවේශ පහසුකම් සලසා නොමැත.
අවාසනාවකට මෙන්, ප්රවේශවීමේ හැකියාව වෙනත් ආකාරවලින් ද අඩපණ වී ඇත. MyRightහි දේශීය සම්බන්ධීකාරක අසංග රුවන් පෙරේරා මහතා අවධාරණය කළේ ශ්‍රවණ ආබාධ සහිත පුද්ගලයන්ට මෙරට “සංඥා භාෂා පරිවර්තකයන් නොමැති වීම අවාසි සහගත” බව යි. ඔවුන් වාසය කරන ප්‍රදේශයට ආවේණික වූ සංඥා භාෂා අනුවාදයක් ඉගෙනීමට සිදුවන අතර, එය “පරිවර්තකයන් සිටින අවස්ථාවක දී ඔවුන්ගේ සන්නිවේදනයට බාධාවක්” වේයැ යි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
සංඥා භාෂා සුදුසුකම් ලත් ගුරුවරුන්ගේ ඌණතාවය හේතුවෙන් බොහෝ විට ගුරුවරුන්ට සංඥා භාෂාව ඉගැන්වීමට ශ්‍රවණ ආබාධ සහිත දරුවන්ට සිදු වන බව ඔහු පැවසීය. මෙම විෂමතා දරුවාගේ සන්නිවේදනය සහ බුද්ධිමය වර්ධනයට බාධා ඇති කරයි.
සෑම නව මෘදුකාංගයක්ම හෝ උපාංගයක්ම පාහේ ආබාධ සහිත පරිශීලකයන්ව සැලකිල්ලට ගැනීමට අපොහොසත් වීම නිසා ආබාධතා සහිත පුද්ගලයින්ට තාක්ෂණය වෙත ප්‍රවේශ අවස්ථා අඩුව යයි.
ආබාධ සහිත පුද්ගලයින්ට සන්නිවේදනය පහසු කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගත හැකි නව ක්‍රමවේදයන් නව්‍යකරණය කළ වැඩසටහන් කිහිපයක් තිබුණ ද, තාක්ෂණයෙහි අතිමහත් බහුතරයක් ඔවුන්ට ළඟා නොවිය හැකි මට්ටමක පවතියි.
ආබාධ සහිත කාන්තාවන් විවිධ මට්ටම්වල වෙනස් සැලකීම්වලට භාජනය වන අතර ඔවුන් තවදුරටත් කොන් කරනු ලැබේ. ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්රචණ්ඩත්වයේ සිට, ඔවුන් කාන්තාවන් වීම නිසා අධ්‍යාපනය ලබා නොදීම වැනි අසාධාරණතා රැසකට ඔවුහු මුහුණ දෙති.
සමාජය විසින් තමා කෙරෙහි පනවා ඇති සීමාවන්ගෙන් මිදීමට උත්සාහ කරමින් සිටින ඔවුන්ට නිරන්තරයෙන් අධ්‍යාපනය, ප්‍රජනන අයිතීන්, රැකියාව සහ ලිංගික හිංසනයට එරෙහිව සටන් කිරීමට සිදු වේ.
සාකච්ඡාවට බඳුන් කළ යුතු තවත් දේ
2020 මාර්තු මස අවසානය වන විට රජය විසින් ඇඳිරි නීතිය පනවනු ලැබූ අතර ඒවා සති කිහිපයකට පසු හදිසියේම ඉවත් කර, කොවිඩ්-19 අවදානම බහුල දිස්ත්‍රික්ක වෙත නැවත ක්‍රියාත්මක කරමින් එම ප්‍රදේශ සැලකිය යුතු කාලයක් දක්වා හුදෙකලා කෙරිණි.
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ (DOJF) රසාංජලී පතිරගේ පවසන්නේ එවැනි අවිනිශ්චිත කාලවල දී, ආබාධ තත්ත්වයන් සහිත ප්‍රජාව මූලික සම්පත් පමණක් නොව, සාකච්ඡාවන්, ප්‍රතිපත්ති සම්පාදනය, සහ ආධාර ලබාදීම යනාදියෙන් පීඩා විඳි බව යි.
“නිවසට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා ඇඳිරි නීතිය ඉවත් කළ සෑම අවස්ථාවකම සෙසු මහජනතාව මෙන් පිටතට යා නොහැකි බැවින් ආබාධ සහිත පුද්ගලයින් – විශේෂයෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් හෝ රෝද පුටු වලට සීමා වූ අය – ගැටළු රැසකට මුහුණ දුන්නා. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන ඔවුන්ට ළඟම ඇති වෙළඳසැලට යාමටත් බොහෝ කාලයක් ගත වෙනවා. සල්ලි හොඳට තිබුණත් ඒක ලොකු ගැටළුවක් වෙනවා,” රසාංජලී විස්තර කරයි.
මීට අමතරව, ලොතරැයි ටිකට් පත් සහ අත්කම් භාණ්ඩ අලෙවි කරමින් පාර අයිනේ තම ව්‍යාපාර ආරම්භ කළ ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ ජීවනෝපායන් අහිමි විය. ඔවුන්ට ලැබිය යුතු වූ ආහාර සලාක සහ ඖෂධ පවා නොලැබුණු බව රසාංජලී කණගාටුවෙන් පෙන්වා දෙයි. බොහෝ සන්නිවේදනයන් දුරකථන මාර්ගයෙන් සිදුවන බැවින් කිසිවෙකුට සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා බිහිරි හෝ ශ්‍රවණ අපහසුතා ඇති අය අසරණ තත්ත්වයට පත් විය.
එසමයේ ආබාධ තත්ත්ව සහිත ප්‍රජාවට ආධාර කිරීම සඳහා DOJF හැකි සෑම දෙයක්ම සිදුකරන නමුත් අවධානය යොමු කළ යුතු තවත් බොහෝ දේ තිබුණි. ප්‍රධාන තොරතුරු බෙදා හැරීමේ දී, සංඥා භාෂාවෙන් අනුවාදයක් ඇතුළත් කිරීම රජයේ ආයතනයන් සලකා බැලුවේ නැත.
ජනමාධ්‍ය පවා වසංගතයේ තත්ත්වය ආවරණය කිරීමේ දී බොහෝ විට ආබාධ තත්ත්ව සහිත ප්‍රජාව මුහුණ දෙන ගැටලු වෙත අවධානය යොමු කළේ නැත. නිල පුවත්පත් සාකච්ඡාවල දී පවා සංඥා භාෂා පරිවර්තකයන් යොදා නොගැණුනි.
“ඊටත් වඩා, මෙරට ආබාධ තත්ත්ව සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ලියාපදිංචි කිරීම, ඔවුන්ගේ ආබාධයේ ස්වභාවය ලේඛනගත කිරීම වැනි නිසි දත්ත ගබඩාවක් පවත්වා ගෙන යන්නෙත් නැහැ. ඒක කරන එක අමාරු වැඩක් නෙවෙයි,” රසාංජලී කියයි.
“ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් ගත්තත් තිබෙන්නේ සමාන තත්ත්වයක්. ගංවතුර, නායයෑම් හෝ වෙනත් ස්වාභාවික විපතක් සිදු වුණාම සාමාන්‍ය ජනතාවට අනුගමනය කළ හැකි උපාය මාර්ග තිබෙනවා. නමුත් ඔබ ආබාධ තත්ත්ව සහිත පුද්ගලයෙක් නම් ඔබ අනුගමනය කළ යුතු පියවර මොනවාද? එය කිසි විටෙකත් සාකච්ඡා කර නැහැ.”
COVID-19 පූර්වාරක්ෂාව පිළිබඳ මාර්ගෝපදේශ සම්බන්ධයෙන් ගත් කල, එහි දක්නට ඇත්තේ ද සමාන පසුබිමකි. ආබාධ තත්ත්ව සහිත ප්‍රජාවේ බොහෝ දෙනෙකුට භාරකරුවන් අවශ්‍ය බවත්, සැබවින්ම සමාජ දුරස්ථභාවය පුහුණු කළ නොහැකි බවත්, හෝ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට මීටරයක දුරක් පවත්වා ගත නොහැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සැලකිල්ලට නොගත්තේ ය.
COVID-19 වසංගතයට රජය ගත් ක්‍රියාමාර්ග ගැන සතුටු වන නමුත්, ආබාධ තත්ත්ව සහිත ප්‍රජාවගේ ගැටළු විසඳීම සඳහා දීර්ඝ කාලීන සැලසුම් කිසිවක් ස්ථාපිත නොකිරීම පිළිබඳව රසාංජලී තම කනස්සල්ල පළ කළා ය. “කෘත්‍රීම අත් පා පැළඳ සිටින කෙනෙක් පාදයෙන් ක්‍රියා කරවිය යුතු අත් සේදුම් ස්ථාන භාවිතා කරන්නේ කොහොමද?” ඇය විමසයි.
සවිබල ගැන්වීම
ආබාධ සහිත පුද්ගලයින් සහ අනෙකුත් පුද්ගලයින් අතර ආර්ථික පරතරය පුළුල් වන විට, ආර්ථිකය හට එම පහරෙහි බර දරා ගනීමට සිදුවේ. අතහැර දැමීම, සුදුසු සේවාවන් ලබා ගැනීමට නොහැකි වීම, අධ්‍යාපනයක් නොමැතිකම හෝ රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ආබාධිතව, දරිද්‍රතාවෙන් දිවි ගෙවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතී. ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේ සහ අත්‍යවශ්‍ය අංශවල සමාජයේ විශාල හිඩැස් පවතී.
දුප්පත්කමට විවිධ පැතිකඩ තිබේ. එය කිසිසේත්ම එක් විසදුමක් ඇති ගැටළුවක් නොවේ. නමුත් දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රධාන පියවරක් වනුයේ, සමාජයේ විශාලතම කොටස් වලින් එකක් වන ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීම යි.
ආබාධ සහිත පුද්ගලයින් සවිබල ගැන්වීමේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ ඔවුන්ව ක්‍රියාකාරී දායකයින් ලෙස සමාජයට සහභාගී කර ගනිමින්, ස්වාධීනව ජීවත් වීමට හැකියාවක් ඇති බව සහතික කිරීම යි. ආබාධ සහිත පුද්ගලයින් සමාජයට සාර්ථකව ඒකාබද්ධ කිරීම සඳහා පළමුව ආබාධ සහිත පුද්ගලයින්ට වෙත එල්ලවී පවතින සමාජ අපකීර්තිය මැඬලිය යුතු ය.
අනතුරුව, වඩාත් පැහැදිලි හා වඩා ස්ථාවර ආවරණ ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම, දේශීය අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කිරීම, පොදු ප්‍රවාහන සේවය වෙත පහසු ප්රවේශයන් සැලසීම, සහ ආබාධ සහිත පුද්ගලයින් වෙත සමාන හා සාධාරණ රැකියා අවස්ථා ලබා දීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එදින, ආබාධ සහිත පුද්ගලයන් යනු හුදෙක් සමාජයට බරක් නොව, සමාජය ඉහළට ඔසවා තබන ජව බලයක් බවට පත්වනු ඇත.