අප රටේ බොහෝ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලින් හමුවී ඇත්තේ මධ්‍ය ශිලා යුග හෙවත් මෙසොලිතික යුගයේ මානවයන් ගැන (බලංගො මානවයා) සාධකයි. ඊට වෙනස් මානව සාක්ෂි හමුවූ තැනක් විදිහට දොරවක ලෙන සලකන්න පුළුවන්. බලංගොඩ මානවයාගේ තරමක් දියුණු සාධකයි එහිදී මතුවී තිබෙන්නේ. මෙම ලෙනෙන් හමුවූ ඇතා සහ පැටියා දැක්වෙන චිත්‍රයත් ලොව පුරා අවධානයට ලක්වූ ප්‍රාථමික සිත්තමක්. මෙහි ජීවත්වී ඇත්තේ සංචාරක දඩයම් ජීවිතයෙන් මිදී ස්ථිර වාසස්ථානවල බෝග වගාවකට හුරුවූ පිරිසක් බව අනුමාන කෙරෙනවා.
ගමන් මඟ
කොළඹ- නුවර පාරේ වරකාපොළ නගරයෙන් ගලපිටමඩ පාරට හැරී කි. මී. 7ක් ගමන් කරන විට ගනේගම හමුවෙනවා. එතැනින් හැරී ඒබිඩිගල ගම හරහා දිවෙන මාර්ගයේ ඒබිඩිගල ගම මායිම තෙක් පැමිණිය යුතු යි. මේ ස්ථානයේ හතරමං හන්දියෙන් දොරවක ලෙනට යන මාර්ගයේ (කන්ද දෙසට) ගමන් කර ඉන් පසු අඩි පාරක් දිගේ ගමන් කළ යුතු යි. දොරවක ලෙන පිහිටා ඇත්තේ පෞද්ගලික රබර් වත්තක යි. මේ ලෙන පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර තිබෙනවා.
වරකාපොළ නගරයේ සිට ලෙන වෙත දුර කි. මී. 12ක් පමණ් වෙනවා. කඳු බෑවුමක පිහිටි සුන්දර ස්ථානයක යි ලෙන පිහිටා තිබෙන්නේ. එම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 500ක් පමණ උස යි. මෙය වරකාපොල ප්‍රා. ලේ. කොට්ටාසයට අයත් වන අතර පුරාණ බෙදීම් අනුව පිහිටා තිබෙන්නේ බෙලිගල් කෝරළයේ කීරවැලි පත්තුවට යි.
දොරවක ඇතුබැඳි ලෙන
කුඩා කඳුගැටයක පිහිටි මේක ලෙනක් කීව ද කිතුල්ගල බෙලි ලෙන වගේ ඇතුළට හෑරුණු ලෙනක් නෙමෙයි. විශාල ගල් පතුරු දෙකක් හේත්තු වෙලා හැදුණු ගල් දෙබොක්කක් වැනි ස්ථානයක්. දොරවක ග්‍රාමයේ දකුණට වන්නටයි ලෙන පිහිටා ඇත්තේ. එය අඩි 50ක් උසැති දැවැන්ත ගල් පර්වතයකට තවත් ගල් පර්වතයක් හේත්තු වීමෙන් තැනී තිබෙනවා. ලෙන තුළ දිගින් අඩි 65ක් පමණ ද පළලින් අඩි 16ක් පමණ ද වූ ඉඩකඩක් සහිත යි. මෙයට ඇතුබැඳි ලෙන යන නාමය ලැබීමට හේතුවී ඇත්තේ වළගම්බා රජු වනගත ව වාසය කරන සමයේ ඔහුගේ ඇතා මෙහි බැඳ සිටි බවට ඇති ජනප්‍රවාදය යි. ඒ වගේම මෙහි කුරුටු චිත්‍රයක ඇතා සහ පැටියා දැක්වෙන නිසා ඒ නම ලැබුණා වෙන්නත් පුළුවන්.
දොරවක ගම්මානය ආශ්‍රිතව ඓතිහාසික ස්ථාන කිහිපයක් ම තිබෙනවා. ඇතුබැඳි ලෙනට අමතරව අළු ලෙන ගොඩැල්ල හා බෝරුක, නාථ දේවාලය, රම්බිඩිගල ලෙන් විහාරය, දේවාල කන්ද, මුතුකෙළිය ගල, කුකුල්පනේ කන්ද ආදිය ඉන් කිහිපයක්. කුකුල්පනේ කන්ද පුරාණයේ ඔත්තු බලන ආරක්ෂිත ස්ථානයක් ලෙස සැලකූ බවත් පැවසෙනවා.
ක්‍රි.ව. 1409-1415 අතර කාලයේ රචනා කළ ‘‘තිසර සංදේශයේ දොරවක ගමේ පිහිටි විහාරයක් ගැන සඳහන් වෙනවා. මෙම සංදේශය රචනා කිරීමේදී පාදක වූ ගමන් මාර්ගය වන දෙවිනුවර සිට කැලණි පුරවරය දක්වා වූ මාර්ගයේ දී තිසරා දොරවක නැමැති ගමට පැමිණි බව සඳහන් කර තිබෙනවා. එසේ ම දොරවක දේවාල ගමක් ලෙස ද පුරාණයේ පටන්ම ප්‍රසිද්ධියක් උසුලා තිබෙනවා. මෙහි පිහිටි පත්තිනි සහ නාථ දේවාල ගැන එච්. සී. පී. බෙල් කෑගලු පුරාවිද්‍යා වාර්තාවේ සඳහන් කරනවා.
මයුර සංදේශයේ දොරවක සඳහන් වන්නේ මේ විදිහටයි
‘එකිනෙකිනේ මිණි නිදනේ නිදන මෙන
අද අදනේ නිය වදනේ තිය වදන
ඉටු සකිනේ දුටු සකිනේ නරඹමින
දොරවකනේ නොවැළකිනේ යන ගමන’
(මයුර සංදේශය; 30 කවිය)
ලෙන් කැණීම්
1991 වසරේ දි මේ ස්ථානයේ පුරාවිද්‍යා කැණීමක් ආරම්භ කළා. ඒ සඳහා ප්‍රධානත්වය දැරුවේ පසු කලෙක පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් වුණු ආචාර්ය ඩබ්ලියු.එච්. විජයපාල. ඒ වනවිට ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා.
පිහිටි ගල දක්වා තිබෙන කැණීම් වළේ ගැඹුර අඩි 25ක්. එය අදටත් දැක බලා ගත හැකි සේ සංරක්ෂණය කර තිබෙනවා. එය පස් ස්තර 62ක් දක්වා වෙන්කර තිබෙනවා. මේ පස් තට්ටුවලින් දෙ වැනි පස් තට්ටුවේ සිට ඉහළට හැම පස් තට්ටුවක ම තැළුම් හා ඇඹරුම් ගල් හමු වෙලා.
ගල් මෙවලම්, මැටි බඳුන් කොටස්, ධාන්‍ය, කැකුණ ඇට, අඟුරු වගේම ක්ෂීරපායී සතුන්ගේ කොටස් ආදියත් හමුවෙලා තියෙනවා. පහළම පස් තට්ටු තුනෙන් රතු-දුඹුරු මැටි බඳුන් කොටස්, ගල් ආයුධ හා ධාන්‍ය හමු වී තිබෙනවා. ඒවා ක්‍රිස්තු පූර්ව 2,500ට විතර තමයි කාලනීර්ණය කර තිබෙන්නේ. මෙය මානවයා ස්ථිර වාසස්ථානවලට එළඹි නව ශිලා යුගයක්යයි සිතුව ද ඒ ගැන නිශ්චිත ව පැවසීමට තරම් සාධක ලැබී නැහැ. මේ නිසා මෙමඟින් පශ්චාත් මධ්‍ය ශිලා යුග තත්වයක් පෙන්නුම් කරන බව පුරාවිද්‍යාඥයන් අදහස් කරනවා. මිනිස් ඇටසැකිලි කිසිවක් මින් හමුනොවීමත් විශේෂත්වයක්. ඒ වනවිට මානවයා තරමක් දියුණු තත්ත්වයකට පත් ව සිටි නිසා මිනිස් සිරුරු ලෙනෙන් පිටත ස්ථානයක වළ දැමීම එයට හේතු වන්නට ඇති.
මේ කැණීමෙන් සතුන්ගේ ඇටකටුවලින් හදපු මෙවලම් හමු නොවීමත් වැදගත් කරුණක්. සතුන්ගේ ඇටකටුවලින් සැදු ආයුධ අඩු වෙන්න හේතුව බලංගොඩ මානවයාට වඩා තරමක් දියුණු මානවයන් මෙහි වාසය කළ නිසා වීමට පුළුවන් බව ආචාර්ය විජේපාල සදහන් කර තිබෙනවා.
දොරවක ලෙනේ 32 වැනි ස්තරයේ සිට 63 වැනි පස් ස්තරය දක්වා ධාන්‍ය විශේෂයක් හමු වීමත් වැදගත් දෙයක්. මේ ධාන්‍ය කැලෑ කුරක්කන් වර්ගයක් බව පසුව හෙළිදරව් කරගෙන තිබෙනවා. ඒ කියන්නේ අදින් වසර 4,500කට පෙර මේ ගුහාවේ හිටපු ශිලා යුග මිනිස්සු ධාන්‍ය භාවිත කළ බව යි.
ගල් ලෙනෙහි වාසය කරන ලද මිනිසුන්ගේ ආහාර රටාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ ආහාර පීසිම සඳහා ඔවුන් වළං භාවිත කොට ඇති ඔවුන් ස්ථිර වාසස්ථානයක් ලෙස ලෙන භාවිත කළ බවයි.
මැටි බඳුන්
අප රටේ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීමකින් පළමු වරට මැටි බඳුන් හමුවුණු ස්ථානය ලෙස දොරවක ලෙන වැදගත් වෙනවා. ගල් ආයුධ, ධාන්‍ය ආදියත් තිබෙන පස්තට්ටුවලින් තමයි මැටි භාණ්ඩ කැබලි ලැබී තිබෙන්නේ. මෙහි මැට්ට රළු යි. මැටි බඳුන්වල හැඩය දියුණු නැහැ. සකපුවරුව භාවිත නොකර පත්තකින් පහර දීමෙන් අතින් හැදූ බවටයි හඳුනා ගෙන තියෙන්නේ. මෙම මැටි බඳුන් හමු වු පස් තට්ටුව අදින් වසර 4,550 කාලයට කාලනීර්ණය කරලයි තියෙන්නේ. කැණීම් වළේ පහළින්ම ගල් ආයුධයි මැටි බඳුනුයි එකට හමු වුන නිසා මේ මධ්‍යශිලා යුගයේ පසුකාලීන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි ආචාර්ය විජේපාල සඳහන් කරන්නේ.
ප්‍රාථමික ගුහා චිත්‍ර
ලංකාවේ ප්‍රාථමික ශෛලියේ ගුහා සිතුවම් ගැන කතා කරද්දි දොරවක ලෙන ගැන කතා නොකර ම බැහැ. ඒ ගුහාවේ තියෙන රූ සටහන් නිසා. ඒ අතර තියෙන ‘ඇතින්න හා පැටවා’ කියන චිත්‍රය ඉතා ප්‍රකට යි. සායම් ආලේපයෙන් නොව ගල් බිත්තිය සීරිමෙන් තමයි මේ චිත්‍ර නිර්මාණය කර තිබෙන්නේ.
ඇතා සහ පැටියා දැක්වෙන චිත්‍රයේ ඇතාගේ වල්ගය, පාද , හොඬ, ඇත්දළ පැහැදිලි ව හඳුනාගත හැකි යි. ඉර, හඳ, උරග රූප, මාළුවන්, ඊතලය වගේ කුරුටු රූපත් මෙහිදී හමු වෙනවා. ලෙනේ කුරුටු චිත්‍ර පිළිබඳ 1919 වී. එෆ්. ආර්. බ්‍රවුනිං මුල්වරට සඳහන් කරනවා. පී.ඊ.පී දැරණියගල 1951 දී ලෙනෙහි පවතින සමහර කුරුටු චිත්‍ර පිටපත් කොට තම කෘතිවල පළකර තිබෙනවා. ලෙනේ බොහෝ චිත්‍ර සටහන් මැකී ගොස් තිබුණත් හොඳ තත්ත්වයේ පවතින චිත්‍ර 31ක් එහි දී දැකගත හැකියි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ චිත්‍ර අංක ගත කොට තිබෙනවා. මෙම සිතුවම් පූර්ව ඓතිහාසික හෝ මූල ඓතිහාසික අවධියේ පහළ ම කාලෙට අයිති බවයි පෙනෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රාථමික ශෛලියේ සිතුවම් අතර මේ දක්වා කාල නීර්ණය කරන්න පුළුවන් වුණු එක ම සිතුවම් තියෙන්නේ මෙතන. කාබන් 14 කාලනීර්ණය අනුව අදින් වසර 1,900-2,000 අතර කාලයට අයත් වුණු අංක IV පස් තට්ටුවට සමාන්තරවයි පහළම මට්ටමේ සිතුවම් නිර්මාණය කර තියෙන්නේ.
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් 1892 කෑගලූ වාර්තාවේ දොරවක නාථ දේවාලය ගැන විස්තර ඉදිරිපත් කළත් මෙම ලෙන ගැන ඔහුට දැනගන්නට ලැබී නැති බවයි පේන්නේ. මහාචාර්ය සේනක බණ්ඩාරනායක නිගමනය නිගමනය කරන්නේ මෙම කුරුටු චිත්‍ර ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට පැවතෙන්නට ඇති බවයි.
රම්බිඩිගල ලෙන
දෙරවකට නුදුරුව පිහිටි කටාරම් කෙටූ ලෙනක් වන මෙහි ද පාෂාණය සූරා නිර්මාණය කළ චිත්‍ර සටහනක් හමුවෙනවා. එය අලියකුගේ රූපයක්. මෙම ලෙන පසුකාලීනව විහාරයක් බවය පත්ව තිබෙන නිසා මේ අලියාගේ රූපයත් ඓතිහාසික යුගයට අයත් බව පේනවා. ලෙන තුළ සැතපෙන බුදු පිළිමයක් ද පිහිටා තිබෙනවා.