
වර්තමානයේ මරණාසන්න භාවයට පත්ව ඇති වකුගඩු අකර්මණ්‍යතාවට ලක් වූ රෝගීන් දහස් ගණනක් මෙරට සිටිනවා. කලට වේලාවට ප්‍රතිකාර කරන්නේ නම් ඒවා වලක්වාගත හැකි මරණ යි.
දිනෙන් දින දරුණු තත්ත්වයට පත්වන ආර්ථික අර්බුදය නිසා දීර්ඝ කාලීන අසනීපවලට ලක් වී සිටින රෝගීන්ට අවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ රාශියක් මේ වන විට වෙළෙඳපොළේ හිඟ වී තිබෙනවා.
මෙලෙස උග්‍ර හිඟයක් පවතින ඖෂධ ගොන්නට වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා එරිත්‍රොපොයිටීන් (Erythropoietin) එන්නත් සහ වකුගඩු අකර්මණ්‍යතාවෙන් පෙලෙන අයට සිදුකෙරෙන කාන්දුපෙරණ (Dialysis) ක්‍රියාවලියට යොදාගන්නා දියරය ද ඇතුළත් වී තිබෙනවා.
කාන්දුපෙරණ දියරය
එරිත්‍රොපොයිටින් එන්නත් වකුගඩු රෝගීන්ට ලබා දෙන්නේ ඔවුන්ගේ ඇට මිදුළු උත්තේජනය කොට හිමොග්ලොබින් නිෂ්පාදනය සිදුවීමේ ක්‍රියාවලිය කාර්යයක්ෂ්ම කිරීම සඳහා යි. එමෙන් ම කාන්දුපෙරණ දියරය, කාන්දුපෙරණ ක්‍රියාවලිය හෙවත්, වකුගඩු රෝගීන්ගේ සිරුරෙහි එකතුවන විස අපද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කෙරෙන ක්‍රියාවලියට අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. මේ ද්විත්වය ම වර්තමාන වෙළඳපොළෙහි ඇත්තේ ඉතා සීමිත ලෙස බව වෛද්‍යවරුන් කිහිපදෙනෙක් Roar Media සමඟ පැවසුවා.
“මේ කොළඹ තත්ත්වයයි. වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන පොළොන්නරුවේ තත්ත්වය අපට සිතාගන්නටවත් බැහැ. වකුගඩු රෝගීන් ජීවත් ව සිටින්නේ මේ කාන්දු පෙරණ ක්‍රියාවලිය නිසා යි. ඒවා නියමිත පමණට නොලැබුණහොත් ඔවුන් මියයාවි” එක් වෛද්‍යවරයෙක් අප සමඟ පැවසුවා.
අවම කාන්දුපෙරණ ක්‍රියාවලිය
වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසන පරිදි කලින් සතියකට යම් රෝගියකුට කාන්දුපෙරණ ක්‍රියාවලිය දෙවරක් කළ රෝහල් මේ වන විට එය සතියකට එක් වරක් දක්වා අඩු කර තිබෙනවා. එනම් ප්‍රශස්ත කාන්දුපෙරණ ක්‍රියාවලියේ සිට එය අවශ්‍ය අවම කාන්දුපෙරණ ක්‍රියාවලිය දක්වා ගමන් කර තිබෙනවා.
රෝහල්වල දැඩි හිඟයකට ලක් වී ඇති තවත් ඖෂධයක් වන්නේ අවයව බද්ධ කිරීම්වලට ලක් වූ රෝගීන්ට ලබා දෙන ටාකොලිමස් (Tacrolimus) නම් ඖෂධය යි. මෙය බොහෝ රෝහල් මඟින් අවයව බද්ධ කිරීම්වලට ලක් වූ රෝගීන්ට ලබා දෙන්නේ එම අවයවය අදාළ පුද්ගලයාගේ ශරීරය මඟින් ප්‍රතික්ෂේප කිරීම වැලැක්වීම සඳහා යි. මෙම හිඟය නිසා වර්තමානයේ රෝහල් බොහොමයකට, එම ඖෂධය ඉහළ මිලකට පෞද්ගලික බෙහෙත් සාප්පුවලින් මිලදීගන්නා ලෙස රෝගීන්ට දැන්වීමට සිදුවී තිබෙනවා.
වකුගඩු අකර්මණ්‍යතාවට ලක් වූවන් දහස් ගණනක්
” වර්තමානය වන විට මරණාසන්න භාවයට පත් ව ඇති වකුගඩු අකර්මණ්‍යතාවට ලක් වූ රෝගීන් දහස් ගණනක් මෙරට තුළ සිටිනවා. දිනෙන් දින එම අගය වැඩි වෙනවා” යි යසුනි මානික්කගේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ, මිය ගිය අයගේ අවයව බද්ධ කිරීමේ වැඩසටහනට අනුයුක්ත ව සිටින වෛද්‍යවරිය Roar Media සමග පැවසුවා.
“මේවා අපි නිසි කලට වේලාවට කටයුතු කරන්නේ නම් වලක්වාගත හැකි ව තිබෙන මරණයි ” ඇය වැඩිදුරටත් පවසා සිටියා.
රෝගාබාධවලට ලක් වූ රෝගීන් 60,000 ක්
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ, වකුගඩු හා සබැඳි විවිධාකාරයේ රෝගාබාධවලට ලක් වූ රෝගීන් 60,000 ක් පමණ සිටිනවා. මේ බහුතරයකට, ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී අවයව බද්ධ කිරීමේ ක්‍රියාවලියකට ලක්වීමට සිදුවෙනවා. වසරකට මෙරට තුළ වකුගඩු අකර්මන්‍ණ්‍යතාව නිසා රෝගීන් 5000කට පමණ සිය ජීවිතය අහිමි වෙනවා.
මේ වන විට, ඉන්ධන අර්බුදය නිසා මෙරට බොහෝ රෝහල් ක්‍රියාත්මක වන්නේ, අවම සේවක සංඛ්‍යාවක සහභාගීත්වයෙනු යි. මේ නිසා දින නියමයකින් තොර ව ඒවායේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස බාධා පැමිණ තිබෙනවා.
මෙම ලිපිය ක්‍රිස් තෝමස් ලියූ ‘Drug scarcity and Kidney Patients during the economic crisis of Sri Lanka’ හි සිංහල පර්වර්තනය යි.