වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ දරුණු විදුලි අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. එනිසා දෛනික ව දිවා සහ රාත්‍රී දෙකේ ම විදුලිය කප්පාදුව සිදුවෙනවා. පසුගිය පෙබරවාරි මාසයේ සිට සිදුවුණු එම විදුලිය කප්පාදුව හේතුවෙන් මහජනතාව දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා. විදුලි අර්බුදය නිර්මාණය වීමට ප්‍රධාන හේතුව වුණේ අප රට මුහුණදෙමින් සිටින ඩොලර් ගැටලුව යි.
රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඩීසල් සහ දැවිතෙල් ලබාගැනීමට නොහැකි වී තිබෙනවා. එනිසා බලාගාරවල ක්‍රියාකාරිත්වය අඩපණ වී තිබෙනවා. එයින් මෙරට දෛනික විදුලි අවශ්‍යතාව සපුරාලීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.
මෙරට දෛනික විදුලි අවශ්‍යතාව
මෙරට දෛනික විදුලි අවශ්‍යතාව මෙගාවොට් 3000කට ආසන්න අගයක් ගන්නවා. එයින් 51.6%ක් තාප විදුලි බලාගාරවලින් , 43.4%ක් ජල විදුලි බලාගාරවලින් , 5%ක් සූර්ය සහ සුළං ශක්තියෙන් ද සැපයෙනවා. වසරින් වසර විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණය වැඩි වෙනවා. 2011-2020 කාලය තුළ මෙරට විදුලි පාරිභෝගික ගිණුම් සංඛ්‍යාව මිලියන 2කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම සෑම වසරක ම මෙගාවොට් 150කින් වැඩි වන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.ඒ අයුරින් වැඩි වන ඉල්ලුමට ප්‍රමාණවත් තරම් විදුලිය සැපයීමට නොහැකි වීම හේතුවෙන් මෙම විදුලි අර්බුදය නිර්මාණය වී තිබෙනවා.
මෙරට විදුලි බලාගාර පද්ධතිය
ශ්‍රී ලංකාව තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ජල විදුලි බලාගාර යි. කොත්මලේ, වික්ටෝරියා, ඉහළ කොත්මලේ, රන්දෙණිගල, රන්ටැඹේ, නව ලක්ෂපාන, නෝටන්බ්‍රිජ්, කාසල්රී අප රට තුළ පිහිටා ඇති ජල විදුලි බලාගාරවලින් කිහිපයක්. ගල් අඟුරුවලින් ක්‍රියා කරන නොරච්චෝලේ බලාගාරය මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක් එකතු කරනවා.
යුගදනව්, ලක්දනව්, කැලණිතිස්ස, සපුගස්කන්ද ඩීසල් වැනි බලාගාර ඉන්ධන සහ ගෑස් භාවිතයෙන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතර ව මන්නාරම, නිර්මලපුර, අඹේවෙල, මාම්පූරි යන ප්‍රදේශවල සූර්ය සහ සුළං බලාගාර පිහිටා තිබෙනවා.
අප රට තුළ පවතින දේශගුණයට අනුව ජල විදුලි බලාගාර පිහිටි ප්‍රදේශවලට මාස කිහිපයක් නිසි පරිදි වැසි ලැබෙන්නේ නැහැ. එනිසා වසර පුරා ම ජල විදුලි බලාගාර ඒකාකාරී ව ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප රටේ විදුලි අවශ්‍යතාව සපුරාලීම සඳහා තවත් විදුලි බලාගාර කිහිපයක අවශ්‍යතාව මතු ව තිබෙනවා.
මෙගාවොට් 900ක ධාරිතාවකින් යුත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම සඳහා සියලු කටයුතු සූදානම්ව තිබුණත් එම ව්‍යාපෘතියට එරෙහිව එල්ල වුණු විරෝධතා නිසා එය නවතා දැමුණා. මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් කෙරවළපිටියේ ද්‍රව වායු බලාගාරය ද ඉදි වුණේ නැහැ.
එනිසා ඉදිරි කාලයේ දී වර්ෂාව අඩු කාලයට මෙරට විදුලි අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් තරම් විදුලිය නිපදවීමට හැකි ද යන කාරණය පිළිබඳ ව ගැටලුවක් පවතිනවා. ගල් අඟුරු, බොරතෙල් සහ ස්වභාවික වායු දැනටමත් ක්ෂයවෙමින් පවතින නිසා ඉදිරි අනාගතයේ දී ලෝකය පුරා ඒවායේ හිඟයක් ඇති වීමට ඉඩකඩක් තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ පුනර්ජනනීය බලශක්ති භාවිත කරමින් වැඩි වශයෙන් විදුලිය නිපදවීම පිළිබඳ ව අවධානය යොමු කිරීමට කාලය එළඹ තිබෙනවා.
මෙරට තිබෙන පුනර්ජනනීය බලශක්ති
පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන් ගණයට ජෛව ඉන්ධන, වර්ෂාව, උදම් රළ, සූර්ය ශක්තිය සහ සුළං බලය ඇතුළත්. මේවා පුනර්ජනනය කළ හැකි බලශක්ති ප්‍රභවයන් ලෙස හඳුන්වන්නේ ස්වභාවිකව මානව කාල පරසයක් තුළ නැවත සම්පාදනය වීම නිසා යි.
ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම නිසා නිරිතදිග මෝසම් සහ ඊසානදිග මෝසම් සුළං පද්ධති දෙකෙන් අප රටට වර්ෂාව ලැබෙනවා. එපමණක් නොව සංවහන සහ වාසුලි හරහා ද ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙනවා. එනිසා අප රටට වසරේ සැලකිය යුතු කාලයක් වර්ෂාව පතිත වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ජල විදුලි බලාගාර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙනවා.
සමකාසන්න රටක් වන ශ්‍රී ලංකාවට හොඳින් හිරු එළිය ලැබෙනවා. රටේ සමහර ප්‍රදේශවලට වසරේ වැඩි කාලයක් තදින් හිරු එළිය පතිත වෙනවා. හම්බන්තොට, මන්නාරම වැනි ප්‍රදේශ ඊට හොඳ ම උදාහරණ ලෙස දක්වන්නට පුළුවන්. අප රට මුහුදින් වට වුණු ගොඩබිමක් නිසා සුළං බලය ද නොඅඩුව ලැබෙනවා. එපමණක් නොව ශාක පද්ධතියකින් පොහොසත් ශ්‍රී ලංකාව තුළ ජෛව ස්කන්ධ ද බහුල යි.
එමඟින් පැහැදිලි වන්නේ ජලය, සූර්ය ශක්තිය, සුළං බලය, සහ ජෛව ස්කන්ධ යන පුනර්ජනනීය බලශක්ති ප්‍රභව අප රට තුළ පවතින බව යි. එයින් අප විදුලි බලය උත්පාදනය සඳහා වැඩි වශයෙන් යොදා ගෙන තිබෙන්නේ ජලය පමණ යි. සූර්ය ශක්තිය සහ සුළං බලය සුළු වශයෙන් විදුලිය උත්පාදනය සඳහා යොදා ගෙන තිබුණත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නැහැ. එනිසා සූර්ය ශක්තිය, සුළං බලය සහ ජෛව ස්කන්ධ භාවිත කර වැඩි වශයෙන් විදුලි උත්පාදනය කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතු යි.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති භාවිතයේ ඉතිහාසය
රටේ විදුලිබල උපයෝගීතා ආයතනය ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනණීය බලශක්ති ප්‍රභවයන්ගෙන් විදුලිබලය උත්පාදනය කිරීම 1990 දශකයේ මුල් භාගයේ සිට ම ප්‍රවර්ධනය කළා. ඒ සඳහා පුද්ගලික අංශයට අදාළ පුහුණු කිරීම්, ධාරිතා වර්ධන කටයුතු, පූර්ව ශක්‍යතා අධ්‍යන කටයුතු සහ සම්පත් ඇගයීම ආදිය ද ඇතුළුව අවශ්‍ය සහාය ලබා දුන්නා. 1997 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලය කුඩා පුනර්ජනනීය බලශක්ති උත්පාදකයන්ගෙන් විදුලියබලය මිලදී ගැනීමේ ක්‍රමවේදය විධිමත් කිරීමට සම්මත බලශක්තිය මිලදී ගැනීමේ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළා. එහි වලකාලන ලද පිරිවැය සංකල්පය මත පදනම් ව විදුලිය බලය මිලට ගැනීමේ මිල ගණනය කිරීමේ පරිපාටියක් ඇතුළත් වුණා. එය මෙගාවොට් 10ට අඩු ධාරිතාවකින් යුක්ත විදුලි බලාගාර සියල්ලට ම පිරිනැමුවා.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා රජය පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය සඳහා අවශ්‍ය දිරිගැන්වීම් හා ආධාර ලබා දුන්නා. 2006 දී ඉදිරිපත් කළ “ජාතික බලශක්ති ප්‍රතිපත්තිය” හරහා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව සංවර්ධනය කිරීම පිළිබඳ ව ද අවධානය යොමු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෙවුණු වසර 15ක කාලය ඇතුළත මන්නාරම, මාම්පූරි, නිර්මලපුර, උප්පුඩලුව, අඹේවෙල යන ප්‍රදේශවල සුළං විදුලි බලාගාර ඉදි වුණා.
ඒවා හරහා මෙගාවොට් 140කට ආසන්න ප්‍රමාණයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වෙනවා. එයින් මෙගාවොට් 100ක් එකතු වන්නේ 2020 දී විවෘත කළ මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාරය හරහා යි. ඊට අමතර ව 2012 දී හම්බන්තොට ඉදි කළ සූර්ය විදුලි බල උද්‍යානය හරහා කිලෝවොට් 1237ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙනවා.
පුනර්ජනනීය බලශක්ති භාවිතයේ ආර්ථික ප්‍රතිලාභ
වර්තමානයේ දී මෙරට බලශක්ති උත්පාදනය සඳහා වැඩිපුර යොදා ගන්නේ ද්‍රව ඛණිජ ඉන්ධන යි. පසුගිය කාලයේ දී මෙරට ආපනයන ආදායමෙන් 30%ක් පමණ ඉන්ධන ආනයන වියදම් සදහා වැය කළා. එනිසා ආනයනික බලශක්තීන් මත යැපීම නවතා පුනර්ජනනීය බලශක්තිය වෙත අවධානය යොමු කිරීම කඩිනම් අවශ්‍යතාවක්. ඒ අයුරින් පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළහොත් විදේශ විනිමය රටට ඉතිරි කර ගැනීමට හැකිවෙනවා.
නව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයහරහා ආර්ථික වාසි රැසක් හිමිවෙනවා. එමඟින් නව රැකියා අවස්ථා ඇතිවෙනවා. සාමාන්‍යයෙන් නව පුනර්ජනනීය බලශක්ති බලාගාරයක් ඉදිකරන විට ඉන්ජිනේරුවන්, කාර්මික ශිල්පීන්, අර්ධ හැකියාවන් සහිත සහ නිපුණතාවෙන් යුත් කම්කරුවන්ට රැකියා ලැබෙනවා. තවදුරටත් සමාජ ආර්ථික තත්ත්වයන්, යටිතල පහසුකම් සෘජුව හෝ වක්‍රව දියුණුවට පත්වෙනවා.
නව පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය මඟින් පරිසරය කෙරෙහි හිතකර බලපෑම් ඇති කරනවා. කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායු පිට වීම අවම කිරීම සෘජුව ම දේශගුණික විපර්යාස අවම කිරීමට දායක වෙනවා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් ද්‍රව ඛණිජ ඉන්ධනවලට වඩා අඩු මිලකට විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට හැකි යි.
දැනට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති
අප රට තුළ දැනට ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලින් මන්නාරම සුළං විදුලිබල උද්‍යානයට ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙගාවොට් 100ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු වුණා. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් මෙගාවොට් 200ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත යි.
පුනරීන්, දකුණු ආසියාවේ වැඩිම සුළං බලශක්ති විභවයක් සහිත ප්‍රදේශයක්. ඉදිරි කාලයේ දී එම ප්‍රදේශයේ මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං විදුලි බලාගාරයක් සහ මෙගාවොට් 150ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට නියමිත යි. එම දෙමුහුන් විදුලි බලාගාරය පුද්ගලික ආයෝජන මඟින් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා. 2024 දී ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු දැනටමත් ආරම්භ වී තිබෙනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් සූර්ය බල ශක්ති උද්‍යානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. අක්කර 500ක භූමි ප්‍රදේශයක් ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත මෙය අප රටේ පළමු සූර්ය බල උද්‍යානය යි. 2023 දී වැඩ නිම කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ මූලික වැඩ කටයුතු පසුගිය වසරේ ආරම්භ වුණා.
අනාගත බලාපොරොත්තුව
2030 වවන විට මෙරට දෛනික විදුලි අවශ්‍යතාව මෙගාවොට් 5000ක් යැයි පුරෝකතනය කර තිබෙනවා. එම අවශ්‍යතාව සපුරාගැනීම සඳහා පුනර්ජනනීය බල ශක්ති ප්‍රභව භාවිත කිරීම පිළිබඳ ව රජයේ අවධානය යොමු ව තිබෙනවා. ඒ සඳහා සකස් කර තිබෙන සැලසුම්වලට අනුව 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් රටේ මුළු විදුලි අවශ්‍යතාවෙන් 70%ක් ජනනය කිරීමට බලාපොරොත්තු වෙනවා.
දැනට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 48.4%ක් සපුරා ගැනීමට හැකි ව තිබෙනවා. ඉදිරි වසර 8ක කාලය තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් නිපදවෙන විදුලි ප්‍රමාණය 21%කින් ඉහළ යා යුතු යි. එම ඉලක්කය සපුරා ගැනීමට හැකි වුණොත් මෙරට විදුලි පාරිභෝගිකයන්ට විශාල සහනයක් ලැබෙනු ඇති බවට සැකයක් නැහැ.