ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර තහනමක් පසුගිය කාලයේ දී ක්‍රියාත්මක වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද වන විට මෙරට කෘෂිකර්මාන්තය කඩාවැටීමකට ලක්ව තිබෙන අතර ම අස්වනු ලැබීම ද පහත වැටී තිබෙනවා. එනිසා ඉදිරි කාලයේ දී ශ්‍රී ලාංකිකයන්ට දරුණු ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට දැනටමත් විවිධ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කර තිබෙනවා.
එවැනි වටපිටාවක ASMA හෙවත් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව මඟින් මෙරට කෘෂිකාර්මික ගැටලුවට විසඳීමට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා. රුහුණ, ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය, ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාලවල මහාචාර්යවරුන් සහ ආචාර්යවරුන් පිරිසක් එක්ව එම යෝජනාවලිය සකස් කොට තිබෙනවා.
ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලියේ ඇතුළත් වුණු කරුණු පිළිබඳයි මේ විමසුම.
ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු කෘෂිකාර්මික ගැටලු
අද වන විට අප රටේ පවතින කෘෂිකාර්මික ගැටලු අතුරින් ඉක්මනින් විසඳුම් ලබා දිය යුතු ගැටලු කිහිපයක් ගැන මෙහි දී අවධානය යොමුව තිබෙනවා. එම ගැටලු මෙසේ යි.
1). කෘෂිරසායන ද්‍රව්‍ය (අකාබනික පොහොර සහ කෘතිම පළිබෝධනාශක) හිඟය නිසා 2022 යල කන්නය අසාර්ථක වීමේ තර්ජනයක් එල්ල වී තිබෙනවා.
.2) යල කන්නය අසාර්ථක වුණොත් ඊළඟ මහ කන්නය (2022/23) සඳහා බිත්තර වී හිඟයක් ඇති විය හැකියි.
3). ඉදිරි යල සහ මහ කන්න අසාර්ථක වුණොත් 2023 දී අප රටේ සැලකිය යුතු තරම් ආහාර හිඟයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා. දැනට පවතින ඩොලර් ප්රශ්නය නිසා නිසා විදෙස් රටවලින් ආහාර ආනයනය සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එය සපයා ගැනීමත් ගැටලුවක්. එනිසා මෙරට ආහාර අර්බුදය උග්‍ර වීමට ඉඩ තිබෙනවා.
ඉහත ගැටලු සඳහා ලබා දිය හැකි කඩිනම් විසඳුම්
ඉදිරි කන්න දෙක තුළ දී කිසිදු ප්‍රධාන බෝගයකට අවශ්‍ය පෝෂක අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමාණවත් තරම් කෘත්‍රිම සහ කාබනික පොහොර ලැබීමට පවතින ඉඩකඩ අඩු සීමිත යි. එපමණක් නොව කෘත්‍රිම සහ ජීව විද්‍යාත්මක පළිබෝධනාශක සඳහා ද තත්ත්වය එසේම යි.
එබැවින් ඉදිරි කන්න දෙකේ බෝග කළමනාකරණ පිළිවෙත් මඟින් ආහාර සුරක්ෂිතතාවට ඇති තර්ජනය අවම කළ යුතු වනවා. ඒ සඳහා සීමිතව ඇති පොහොර සහ පළිබෝධනාශක යොදාගෙන හැකි උපරිම අස්වැන්නක් ලබා ගැනීම ඉලක්ක කළ යුතුයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව කඩිනම් විසඳුම් යෝජනා කර තිබෙනවා. පහතින් දක්වා තිබෙන්නේ ඒවා යි.
1). තෝරාගත් බෝග සඳහා සීමිත සහ පළිබෝධනාශක තොග ප්‍රමුඛතා වශයෙන් වෙන් කළ යුතුයි
*ඉහළ ප්‍රමුඛතාව
වී (ප්‍රධාන ආහාරය), තේ (ප්‍රධාන විදේශ විනිමය උපයන බෝගය), බඩ ඉරිඟු (සත්ත්ව ආහාර). වී වගාව සඳහා පොහොර ලබාදීමේ දී බිත්තර වී සඳහා ප්රමුඛත්වයක් ලබා දිය යුතු යි. ඉදිරි කන්න දෙක සඳහා (2022/23 මහ සහ 2023 යල) බුසල් මිලියන 6.4ක බිත්තර වී අවශ්‍යතාවක් පවතිනවා.
*මධ්‍යම ප්‍රමුඛතාව
එළවළු (පුළුල් දේශීය පරිභෝජනය), මිරිස් සහ ළූණු (පුළුල් දේශීය පරිභෝජනය), ධාන්‍ය වර්ග, තේ හැර අනෙකුත් අපනයන බෝග
*අනෙකුත් සියලුම බෝග
ඉහළ සහ මධ්‍යම ප්‍රමුඛතා බෝගවල අවශ්‍යතා සපුරාලීමෙන් පසු සුලබතාව මත පළිබෝධනාශක සහ පොහොර වෙන් කිරීම
2). පොටෑසියම් පොහොර (වඩාත් සුදුසු මියුරේට් ඔෆ් පොටෑෂ්) සහ නයිට්රජන් පොහොර (වඩාත් සුදුසු යූරියා) ආනයනය කිරීම සඳහා ප්‍රමුඛතාව අනුව විදේශ විනිමය වෙන් කළ යුතු යි.
* දියර නැනෝ පොහොර, ඇමයිනෝ අම්ල, ජෛව පොහොර වැනි අකාර්යක්ෂම සහ මිල අධික පොහොර වර්ග ආනයනය කිරීම සඳහා සීමිත විදේශ විනිමය භාවිතා නොකළ යුතු යි.
* පළිබෝධ, රෝග සහ වල් පැළෑටි පාලනය කිරීම සඳහා පළිබෝධනාශක ආනයනය කිරීමේ දී භාවිත කිරීමට අවශ්‍ය පදනම මත විදේශ විනිමය වෙන් කළ යුතු යි.
3). අත්‍යවශ්‍ය යෙදවුම් මිල දී ගැනීම සඳහා ලෝක බැංකුව ලබා දුන් ඩොලර් මිලියන 600ක ණය පහසුකමෙන් කොටසක් භාවිත කළ යුතු යි.
* ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇස්තමේන්තු කර ඇති පරිදි ඉදිරි වර්ෂය සඳහා සහල්, බඩ ඉරිඟු සහ තේ සඳහා යූරියා අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 260,000 කි.
* බඩ ඉරිඟු, දෙමුහුන් බීජ, විදේශීය එළවළු සහ බීජ අර්තාපල් ආනයනය කළ යුතු යි.
4). එක් එක් බෝග සඳහා නිර්දේශිත නයිට්රජන් පොහොරවලින් 50%ක්වත් ලබා දීම සහ ඉතිරි ප්‍රමාණයෙන් කොටසක් හෝ දේශීයව නිපදවන කාබනික පොහොරවලින් ලබා දීමට ඉලක්ක කර ගත යුතු යි.
5). පෝෂක හානි අවම කරන සහ පෝෂක භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කළ හැකි තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීම.
6). කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍යය දෙපාර්තමේන්තුව, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, කුඩා තේ වතු අධිකාරිය, තේ පර්යේෂණ ආයතනය වැනි රජයේ ආයතනවල ව්‍යාප්ති සේවා හරහා ගොවීන්ට මාර්ගෝපදේශ ලබා දිය යුතුයි.
7). ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සියලු ම පොහොර වර්ගවල ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා නියාමන ක්‍රියාමාර්ග සහ යාන්ත්‍රණ හඳුන්වා දිය යුතු යි.
8). නයිට්රජන් පොහොර සඳහා අර්ධ සහනාධාරයක් සහ උසස් තත්ත්වයේ කාබනික පොහොර සඳහා පූර්ණ සහනාධාරයක් ලබා දිය යුතු යි.
9). පවතින වෙළඳපොළ යාන්ත්රණයට සහ වාණිජ බෝග වගාවට බලපෑමක් ඇති නොකර, අවශ්‍යතා හොඳින් හඳුනා ගනිමින් පෝෂණ සුරක්ෂිතතාවයට සහාය වීම සඳහා ප්‍රජා උද්‍යාන සහ ගෙවතු වගා වැඩසටහන් පළාත් මට්ටමින් ආරම්භ කළ යුතු යි.
ඉහත කඩිනම් විසඳුම් යටතේ වැඩි කාර්යක්ෂමතාවකින් යුතු ව පොහොර සීමිත ලෙස භාවිත කිරීමට යෝජිත තාක්ෂණයන් පිළිබඳ ව ද සඳහන් කර තිබුණා. ඒ ගැන වැඩි දුර තොරතුරුයි මේ.
1). යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practises- GAP)
බෝග නිෂ්පාදනය, සැකසීම, ප්‍රවාහනය සහ අලෙවිකරණ ක්‍රියාවලියේ සෑම අදියරක දී ම අනුගමනය කරන යහපත් භාවිතයන් එකතුවක් GAP යනුවෙන් හඳුන්වනවා. මෙය වර්තමානයේ දී වඩාත් පහසුවෙන් වහා ම ක්‍රියාත්මක කළ හැකි තාක්ෂණයක්.
* දැනට පවතින GAP ක්‍රමවේදය හැකි සියලුම බෝග සඳහා භාවිතයට ගන්නා ආකාරය පිළිබඳ ව ගොවි ප්‍රජාව දැනුම්වත් කළ යුතු යි. ඒ වගේ ම අවශ්‍ය වෙළඳපොළ පිවිසුම් සකස් කළ දිය යුතු යි. GAP සහතික කළ නිෂ්පාදන සුපිරි වෙළඳපොළ දාමවල අලෙවි කිරීම ඒ සඳහා උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්.
* විශ්වවිද්‍යාලවල සහාය ඇතිව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පත් කළ විශේෂඥ කණ්ඩායම් මඟින් දැනට පවතින දැනුම භාවිත කරමින් GAP ක්‍රමවේදය සැලසුම් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි යි.
2). ඉලක්කගත කෘෂිකර්මය (Precision Agriculture- PA)
* තත්‍ය කාලීන ගැළපුම් සඳහා නම්‍යශීලී ව නිශ්චිත පස සහ දේශගුණික තත්ත්වයන් යටතේ වගා කරන විශේෂිත බෝග සඳහා සකස් කර ඇති නිරවද්‍ය කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම කළ යුතු යි.
* කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ගොවීන් දැනුම්වත් කිරීම සහ පුහුණු වැඩසටහන් හරහා තෝරා ගත් භෝග සඳහා දැනටමත් සංවර්ධනය කර ඇති PA පැකේජ ප්‍රවර්ධනය කළ යුතු යි.
* කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අනෙකුත් පර්යේෂණ ආයතන නිර්දේශ කර තිබෙන PA පැකේජ සම්මත කරගැනීමට පහසුකම් සැලසිය යුතු යි.
* වගා භූමියට අදාළ පෝෂක අවශ්‍යතා තීරණය කිරීම සඳහා පාංශු පරීක්ෂණ කට්ටල භාවිතය ප්‍රවර්ධනය කළ යුතු යි.
ඉදිරි වසර කිහිපය තුළ ඇති විය හැකි කෘෂිකාර්මික ගැටලු
ඉහත විස්තර කළ ක්‍රියාමාර්ගවල අරමුණ වන්නේ ඉන්ධන හිඟය වැනි වෙනත් බාධක රැසකට මුහුණ දෙමින් ඉතා සීමිත කෘෂිරසායන තොගයක් සමඟින් ඉදිරි වසර දෙක තුළ රට පුරා ආහාර හිඟයක් ඇති වීම වලක්වා ගැනීමට ප්‍රමාණවත් තරම් අස්වැන්නක් ලබාගැනීම යි. ඉදිරි වසර 3-4ක කාලය තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්රය ආශ්‍රිතව තවත් ගැටලු ඇතිවිමේ අවදානමක් පවතිනවා.
1). නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් බෝග සඳහා යෙදීමට අවශ්‍ය වන කෘෂිකාර්මික යෙදවුම් (කෘතීම පොහොර, අත්‍යවශ්‍ය පළිබෝධනාශක, දෙමුහුන් බීජ ආදිය) සම්පූර්ණයෙන් මිල දී ගැනීම තවත් වසර 3-4ක කාලයක් ගත වීම. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි වසර කිහිපය තුළ මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ අස්ථාවරත්වයක් පවතිනු ඇති.
2). කෘෂිකාර්මික යෙදවුම්වල හිඟතාවය හේතුවෙන් බොහෝ වාර්ෂික බෝගවල වගා කරන බිම් ප්‍රමාණය ඉදිරි වසර 3-4ක කාලය තුළ තරමක් දුරට අඩුවීමේ අවධානම පවතිනවා.
ඉහත ගැටලුවලට යෝජනා කර ඇති විසඳුම්
ඉදිරි වසර කිහිපය තුළ ඇතිවිය හැකි කෘෂිකාර්මික ගැටලු සඳහා ඉදිරිපත් කළ විසඳුම්වලින් කිහිපයකි මේ.
1). රාජ්‍ය, පෞද්ගලික අංශය සහ ප්රමුඛ ගොවි සංවිධානවල සහභාගිත්වය ඇති ව වාර්ෂික හෝ ඍතුමය වගා සැලසුම්කරණය සහ සත්ත්ව පාලන අංශවල නිෂ්පාදන ඉලක්ක කර ගත් සැලසුම් සංවර්ධනය කිරීම.
2). දැනට GAP සහ PA ක්‍රියාවලියේ නොමැති බෝග සඳහා අදාළ තාක්ෂණයන් සැලසුම් කිරීම සහ විශ්වවිද්‍යාලවල සහාය ඇතිව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පත්කළ ප්‍රවීණයන් කණ්ඩායමක් හරහා දැනට පවතින දැනුම පදනම භාවිත කරමින් වත්මන් GAP පැකේජ යාවත්කාලීන කිරීම.
3). කාබනික පොහොර නිෂ්පාදනය සහ ඒවායේ ක්ෂේත්‍ර ඇගයීම පිළිබඳ පර්යේෂණ වැඩසටහන් සඳහා මුදල් ආයෝජනය කිරීම.
4). සම්පූර්ණ ජාතික අවශ්‍යතාවට සරිලන ලෙස නයිට්රජන් පොහොර (වඩාත් සුදුසු යූරියා) ආනයනය කිරීමෙන් පසු සීමිත ව පොටෑසියම් පොහොර සහ පොස්පරස් පොහොර (වඩාත් සුදුසු මියුරේට් ඔෆ් පොටෑෂ් සහ ට්‍රිපල් සුපර් පොස්පේට්) ආනයනය කිරීම.
දිගු කාලීනව ඇති විය හැකි කෘෂිකාර්මික ගැටලු
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය දිගු කාලීන ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන් පද්ධතිවල තිරසාරභාවය, සහ ගොවි ජීවනෝපායන් අනතුරේ හෙළන දිගු කාලීන තර්ජනවලට මුහුණ දෙනවා. එම ගැටලු පහතින් දක්වා තිබෙනවා.
1). ස්වභාවික සම්පත්, පාරිසරික ආරක්ෂාව සහ ජෛව විවිධත්ව සංරක්ෂණය සමඟ කෘෂිකර්මාන්තය සමපාත කිරීමට ජාතික රාමුවක් නොමැතිකම
2). පාංශු සාරවත් බව සහ බෝග පලදායිතාව අඩුවීම
3). දේශගුණික විපර්යාස සහ කෘෂිකාර්මික පද්ධතිවල දේශගුණික විපර්යාසයන්ගෙන් අනතුරට ලක්වීමේ ඇති හැකියාව වැඩිවීම
4). ඉහළ පසු අස්වනු හානි
5). කෘෂි නිෂ්පාදනවලට අගය එකතු කිරීමක් නොමැතිකම
6). වටිනාකම් දාමයේ පාර්ශවකරුවන් අතර ආදායම් ඒකාකාර නොවන ලෙස බෙදාහැරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික නිෂ්පාදකයන්ට ආදායමෙන් අඩු කොටසක් ලැබෙන අතර පාරිභෝගිකයන්ට ඉහළ මිලක් ගෙවීමට සිදු වීම
7). ගොවි ප්‍රජාව තුළ සම්පත් කාර්යක්ෂමව භාවිත කළ හැකි නවීන තාක්ෂණයන් උකහා ගැනීම මන්දගාමී වීම.
දිගු කාලීන ගැටලු සඳහා විසඳුම්
1). පුළුල් ඒකාබද්ධ ඉඩම් කළමනාකරණ ප්‍රතිපත්ති තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ස්ථානගත කිරීම.
දේශගුණික විපර්යාස, යෙදවුම් හිඟය සහ බලශක්ති පිරිවැය ඉහළ යාම වැනි ප්‍රධාන අනාගත තර්ජන කිහිපයක් සපුරාලීම සඳහා එවැනි ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය යි.
2). ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය වඩාත් භෞතික ව තිරසාර මාවතක් ඔස්සේ සංවර්ධනය කිරීම
පසේ සාරවත් බව අඩු වීම නැවැත්වීමට සහ නැවත උත්පාදනය කිරීමට පිළිවෙත් මේ සඳහා ඇතුළත් කර තිබෙනවා.
3). ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් පාරිසරික වශයෙන් තිරසාර මාවතක් ඔස්සේ සංවර්ධනය කිරීම
කෘත්‍රිම පොහොර සහ කෘත්‍රිම පළිබෝධනාශක මත යැපීම සහ භාවිතය අවම කිරීමේ පිළිවෙත් මේ සඳහා ඇතුළත් කර තිබෙනවා.
4). නව තාක්ෂණයන් බද්ධ කළ කෘෂිකාර්මික ක්‍රමයක් කරා විකාශනය වීම
නව භෝග ප්‍රභේද සහ සත්ත්ව අභිජනන සමඟ නිරවද්‍ය කෘෂිකර්මාන්තය වැනි නව තාක්ෂණයන් ඇතුළත් කිරීම වැනි කරුණු මෙහි අන්තර්ගත යි.
5). ශ්‍රී ලංකා කෘෂිකර්මයේ වටිනාකම් දාමයේ නිෂ්පාදකයන්, සැකසුම්කරුවන්, අලෙවිකරුවන් සහ පාරිභෝගිකයන් වෙත හිමි වන ආර්ථික ප්රතිලාභ වැඩි දියුණු කිරීම
6). ක්‍රමවත් විද්‍යාත්මක අත්හදාබැලීම් මත පදනම් වුණු සාර්ථක බව සනාථ කර ඇති බීජ, ජෛව පොහොර සහ ජෛව පළිබෝධනාශක වැනි අත්‍යවශ්‍ය යෙදවුම් නිෂ්පාදනය සඳහා දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම