ශ්‍රී ලංකාවද ඇතුළු ආසියාතික රටවල් සියල්ලකම පාහේ “විවාහය” ඉතා බැරෑරුම් දෙයක් ලෙසයි සැලකෙන්නේ. විශේෂයෙන්ම, ජීවන සහකාරියක් හෝ සහකරුවෙක් සොයා ගැනීමේදී බොහෝ වේලාවට තරුණ තරුණියන්ගේ අදහස් වලට වඩා ඔවුන්ගේ දෙමාපියන්ගේ අදහස් සහ කැමැත්ත අනුව විවාහයන් සිදුවන බව අප කවුරුත් දන්නා කාරණාවක්. මේ ආසියාතික රටවල් අතුරින් ඉන්දියාව කියන්නේ අනාදිමත් කාලයක පටන්ම විවාහයට දැඩි නීති රීති පැනවූ රටක්. විශේෂයෙන්ම, කුලය සහ ආගම යන නිර්ණායක දෙක ඉතාමත් තදින් සලකා බැලෙන ඉන්දියාවේ විවාහයක් සිදු කිරීමේදී ඉතා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කෙරෙනවා. මේ නිසාම, ඇතැම් ජන කණ්ඩායම් වලට අයත් පුද්ගලයින් තමන්ගේ කුලයෙන් හෝ ආගමෙන් පිට කෙනෙකු සමග විවාහ වන්නට සැලසුම් කරන තරුණ තරුණියන්ට දඬුවම් පවා පැනවීම සුලබ කරුණක්. ඇතැම් විට මේ දඬුවම් මරණ දඬුවම තරම් දරුණු එකක්ද වන්නටත් තිබෙන ඉඩකඩ ඉතා ඉහළයි. මෙවැනි අමානුෂික ක්‍රියාවන්ට එරෙහිව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණු නඩුවක් සහ, ඉන්දීය අගවිනිසුරුතුමන් ඇතුළු විනිසුරු මඩුල්ල විසින් දෙන ලද අග්‍රගණ්‍ය තීන්දුවක් පිළිබඳව තතුයි මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ.
ප්‍රේම සම්බන්ධතා කුලය හා ආගම මත තීරණය වීම
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්, ගුජරාට් සහ හර්යානා යනාදී ප්‍රාන්තවල වැසියන් සිය දරුවන්ගේ විවාහ කටයුතු සඳහා සහකරුවන් හා සහකාරියන් තෝරද්දී තම කුලයට සහ ආගමට ඔවුන් ගැලපෙන්නේද යන්න විශේෂයෙන් සොයා බලනවා. මේ නිසා, තම කුලයෙන් හෝ ආගමින් පිට පුද්ගලයකු සමග සිය දරුවා විවාහ වන්නේ නම් හෝ ප්‍රේම සබඳතාවයක් ගොඩනගා ගන්නේ නම් ඔවුන්ට විරුද්ධව දැඩි දඬුවම් පනවන්නටත් මේ දෙමාපියන් ඇතුළු ප්‍රාන්ත වාසීන් පසුබට වන්නේ නෑ. මේ නිසා, මෑත කාලීන සංගණනයන්ගෙන් සොයාගත් කරුණක් වූයේ හර්යානා සහ ප්රාන්තයන්හි හෙවත් ගෞරවය උදෙසා සිදු කරන මිනී මැරුම් සංඛ්‍යාව ඉතා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එපමණක්ද නොව, තමන් හට ලැබිය හැකි දඬුවම් වලට මෙන්ම යෝජිත විවාහයකින් තමාට හිමිවිය හැකි සහකරුවා හෝ සහකාරිය කෙසේ පුද්ගලයෙක්ද යන්න තමා නොදන්නා නිසා විවාහපත් වීමට මෙම ප්රාන්තයන්හි තරුණ තරුණියන් දැඩි ලෙස පසුබට වන බවත් එම සංගණනයන්ගෙන් පෙන්නුම් කෙරුණා. පන්චායත් (Khap Panchayath) නමින් මෙකී ප්රාන්තයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් පවතින අතර, එම පන්චායත්හි සභිකයන් ලෙසින් පත් වන්නේ ඒ එක් එක් ප්‍රදේශයේ එක් එක් කුලවලට අයත් වැඩිහිටි පිරිසයි. මේ වැඩිහිටි පිරිස විසින් එක්ව ගනු ලබන තීරණ සහ තීන්දු සියල්ලක්ම අවසාන තීන්දුව ලෙස සැලකීමටද බොහෝ වැසියන් හුරු වී සිටින නිසා ඔවුන්ගේ කීමට අනුව තමන්ගේ දරුවන්ට අමානුෂික දඬුවම් පැනවීමටත් බොහෝ දෙමාපියන් එකඟත්වය පළ කරනවා.
මෙම ඛේදනීය තත්වය පිළිබඳව විමර්ශනයක් සිදු කළ ඉන්දීය රාජ්‍ය නොවන ආයතනයක් වන ශක්ති වාහිනී (Shakthi Vaahini) සංවිධානය විසින් 2010 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ සිවිල් රිට් ආඥා පෙත්සමක් ගොනු කරනු ලැබුවා. කාන්තාවන් සහ කුඩා දරුවන් විසින් සමාජයේ මුහුණ පාන ගැටලු සහ අයුක්තීන්ට එරෙහිව නිතර හඬ නගනා සංවිධානයක් ලෙස ඉන්දියාවේ ප්‍රසිද්ධව සිටින ශක්ති වාහිනී සංවිධානය වෙත මෙම තීන්දුව ලබා දීමට වසර අටක් පමණ ගත වීම තුළින්ද පෙන්නුම් කෙරෙන්නේ ඉන්දීය අධිකරණ පද්ධතිය තුළද විශාල ප්‍රමාදයන් පවතින බවයි. කෙසේ වෙතත්, අධිකරණය විසින් මෙසේ ලබාදුන් තීන්දුව සැබවින්ම ඉන්දියාවේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් රෙජීමයන් වඩ වඩාත් ශක්තිමත් කරනා තීන්දුවක් ලෙසිනුයි හැඳින්වෙන්නේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශිෂ්ට තීන්දුවක්
ඉදිරිපත් කරන ලද සංගණන වාර්තාද ඇතුළු කරුණු සියල්ලක්ම සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ තම ජීවන සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමට ඇති අයිතිය සෑම ඉන්දීය පුරවැසියකුම සතු වන, සෑම ඉන්දීය පුරවැසියකු හටම නිසඟයෙන් හිමි විය යුතු මූලික අයිතිවාසිකමක් වන බවයි. මෙම නඩුවේ තීන්දුව ලබාදීම සඳහා පෙනී සිටි වත්මන් ඉන්දීය අගවිනිසුරුතුමන් වන දීපක් මිශ්රා අගවිනිසුරු තුමන් සහ ඛාන්විල්කර් සහ චන්ද්රචෞද් යන විනිසුරුවරුන් එක්ව ප්‍රකාශ කළේ ඉන්දීය තරුණ තරුණියන් හට තම ජීවන සහකරු හෝ සහකාරිය තනිව තෝරා ගැනීමට විරුද්ධ වීම සහ පන්චායත් මගින් ඔවුන් හට දඬුවම් පැනවීම මගින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ද්විත්වයක් උල්ලංඝනය වන බවයි. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන වගන්තිය මගින් සෑම ඉන්දීය පුරවැසියකු හටම භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස හිමි වනවා. එමෙන්ම එම ව්‍යවස්ථාවේ 21වන වගන්තිය මගින් තහවුරු කෙරෙන්නේ ඉන්දීය පුරවැසියන්ගේ ජීවත් වීමට ඇති අයිතිය සහ පුද්ගලික නිදහස භුක්ති විඳීමට ඇති අයිතියයි. සෑම පුරවැසියකුටම හිමි වන මෙම අයිතීන් උල්ලංඝනය කිරීමට පන්චායත් වලට කිසිදු අයිතියක් නොමැති බව එම නඩු තීන්දුවේ තරයේ අවධාරණය කොට තිබීම විශේෂත්වයක්.
අගවිනිසුරු විසින් ප්‍රකාශ කර තිබුණේ මෙසේ තරුණ තරුණියන් හට අමානුෂික දඬුවම් පැමිණවීම මගින් ඔවුන්ට අජීවී වස්තූන් සේ සලකා ඇති බවයි. මනුෂ්‍යයකු ලෙස උපදින සියලු දෙනාටම “ආත්ම අභිමානය ” සහ “සිය තීන්දු තීරණ ප්රකාශනයේ අයිතිය” මෙන්ම “නිදහස”ද නිසඟයෙන්ම හිමි වන බවත්, ඒ සියල්ල ආරක්ෂා කිරීම වගකිව යුතු රජයක යුතුකමක්ද වන බවයි. මෙහිදී ඉන්දීය පොලීසිය වෙතත් විශේෂ නීති සමුදායක් පනවනු ලැබුවා. ඒ, තම පොලිස් වසමට අයත් ප්රදේශයන්ගේ අසමාන කුලයන්ගේ හෝ ආගම් දෙකක පුද්ගලයින් විසින් විවාහයක් සිදු කරන්නේ නම්, ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බව සහ, එම විවාහ මංගලෝත්සවයට පන්චායත් වලින් හෝ වෙනත් පුද්ගලයින් විසින් බාධා එල්ල කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවයි. එමෙන්ම, පන්චායත් එකමුතු පවත්නා අවස්ථාවන්හිදී එම ස්ථානයන්හි පොලිස් නිලධාරීන් රැඳී සිටිය යුතු බව සහ ප්‍රචණ්ඩකාරී හැසිරීම් වලට ඉඩ ලබා නොදිය යුතු බවයි. යම් පුද්ගලයකුට පන්චායත් එකමුතුවක් විසින් යම් දඬුවමක් පැනවීමට යන්නේ නම්, එවැන්නන්ට ඒ පිළිබඳව දැනුම්දිය හැකි දුරකථන මාර්ගයක්ද විවර කරන ලෙස මෙහිදී දැනුම් දෙනු ලැබුවා.
නිදහසක් නොමැතිව අභිමානයක් නැත!
නිදහසින් තොරව කිසිදු පුද්ගලයකුට අභිමානයෙන් යුතුව ජීවත් විය නොහැකි බවත්, තමාට සරිලන තීන්දු තීරණ ගැනීමේ අයිතිය එම නිදහසේ අනන්‍ය කොටසක් බවත් ප්‍රකාශ කළ ඉන්දීය අගවිනිසුරු තුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ සාමාන්‍ය ජනතාවට නීතිය අතට ගෙන දඬුවම් පැනවීමට හෝ යම් දඬුවමක් පැනවීමට යමෙකුට අණ කිරීමට කිසිදු අයිතියක් නොමැති බවයි. බොහෝ ඉන්දීය දෙමාපියන්ද මෙම පන්චායත් මගින් තම දූ පුතුන්ට ලබා දෙන දඬුවම් වලට විරුද්ධත්වය ප්‍රකාශ නොකිරීමද ඉතා ඛේදනීය තත්වයක් ලෙසයි සැලකෙන්නේ.
ශක්ති වාහිනී සංවිධානයේ ඉල්ලීම් වලට කන් දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් මෙම නඩු තීන්දු වාර්තාව පිටු පනහකටත් වඩා දිවෙන වාර්තාවක්. මේ තරම් දිගු තීන්දු ප්රකාශනයක් මගින් ඉන්දීය අගවිනිසුරුවරයා අවධාරණය කොට ඇත්තේ තමාගේ ජීවිතය සහ තම අනාගතය වෙනුවෙන් ගත යුතු හොඳම තීරණය ගත යුත්තේ එම පුද්ගලයාම වන බවත්, එහිදී වෙනත් කිසිවෙකු විසින් පනවන දඬුවමකට බිය වී සිය ආත්ම අභිමානය කෙලෙසා ගැනීමට කිසිවිටෙකත් යටත් නොවිය යුතු බවයි.
කවරයේ ඡායාරූපය – https://i.pinimg.com
තොරතුරු උපුටා ගැනීම – www.livelaw.in වෙබ් අඩවියේ “Right to choose a life partner is a Fundamental Right”ලිපිය ඇසුරින් සහ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ වාර්තාව ඇසුරිනි.