රාජාණ්ඩු, ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී යන සෑම පාලන ක්‍රමයක් තුලම ඇති පොදු ලක්ෂණයක් නම් අධිකරණය හා දණ්ඩ නීතිය යි. මිනිස් අයිතීන් සුරක්ෂිත කිරීම උදෙසාත් සමාජීය ආරක්ෂාව උදෙසාත් රටක අධිකරණය හා දණ්ඩ නීතිය විවිධාකාරයෙන් යොදා ගනියි. අප මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට යන්නේ උඩරට රාජධානිය තුල තිබූ අධිකරණය හා දණ්ඩ නීතිය පිලිබඳව යි.උඩරට රාජධානියේ ක්රමානුකූල අධිකරණ සම්ප්රදායක් පැවතියා යන්නට ඇති තරම් සාධක අපට ඉතිහාසයෙන් හමුවේ. රජුගේ මූලිකත්වයෙන් හා අදිකාරම් වරුන්ගේ සහය ඇතිව පැවැත්වූ අධිකරණය ‘මහ නඩුව’ ලෙස හැදින්වුණි. මෙහි පරම මහෝත්තම බලය පැවරී තිබුනේ රජු වෙතයි. දිසා, කෝරළ, ගම් තුල නඩු විසදීමේ බලය පැවරී තිබුනේ ඒ ඒ ප්‍රදේශ වල ප්‍රධානීන් වෙතයි. එම ප්‍රදේශ වල බරපතල නඩු විසදන ලද්දේ රජු විසිනි. මහ නඩුව රජ මාලිගයේ දී හෝ ඒ අවටම වූ ගොඩනැගිල්ලක දී කෙරිණි. දිසාවක නඩු දිසාවගේ වලව්වෙ දී, කෝරළයක නම් කෝරළගේ නිවසෙ දී විසඳන ලදි. මීට අමතරව සුළු නඩු විසඳීම සදහා ගම්සභා ක්‍රමයක් ද දක්නට ලැබේ.
මෙම කාලයේ දී අපරාධ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලැබුණි. ඒ රාජාපරාධ හා සාමාන්‍ය අපරාධ ලෙසයි. මෙම අපරාධ විසදනු ලැබූ අධිකරණය එකිනෙක වෙනස් වූ අතර නඩු විභාග කරනු ලබන පුද්ගලයා අනුවද එය වෙනස් විය. රාජ්‍යයේ ආරක්ෂාව හා රාජ්‍යත්වයට තර්ජනයක් වූ අපරාධ විසඳන ලද්දේ රජු විසිනි.ජෝන් ඩොයිලිගේ වාර්තා අනුව රාජ්‍ය අපරාධ ලෙස දැක්වෙන්නේ; හැම වර්ගයකටම අයත් මිනීමැරුම්, අංග විකෘතිය හෝ ඡේදනය, රජුගේ ධනය හෝ දේපළ සොරකම් කිරීම, හොර කාසි අච්චු ගැසීම, පිළිම හා බෝගස් විනාශ කිරීම හා භික්ෂුවකට පහර දීම වැනි ආගම් විරෝධී ක්‍රියා හා උඩරට හා මහනුවරට යාබද පෙදෙස්වල ඇතුන් මැරීම ය. මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද පවසන අන්දමට එකල රාජ්‍ය අපරාධ වී ඇත්තේ; රජු, බිසව හෝ කුමාරවරු මැරීමට කුමන්ත්‍රණ කිරීම, බිසව දූෂණය කිරීම, රජුගේ යකඩ දෝලිය නොහොත් අප්‍රධාන බිසවුන් දූෂණය කිරීම, රාජ අපරාධ කිරීමට කුමන්ත්‍රණය හා රජුට හූනියම් කිරීම ය. මෙම දෙදෙනාගේම කරුණු සන්සන්දනයෙන් එකල රාජ අපරාධ යන්නෙන් සැලකුවේ මොනවාද යන්න වටහාගත හැකියි.
රජුට පමණක් දෙවෙනි වූ අධිකරණමය බලතල හිමිවූයේ අදිකාරම්වරුන් හටයි. තමන් වෙත පැවරී තිබෙන ප්‍රදේශයේ සිවිල් හා අපරාධ නඩු සම්බන්ධව කටයුතු කිරීමට අදිකාරම්වරුන්ට බලතල හිමි වී තිබුනි. උඩරට නඩු වලින් ඉඩම් පිළිබඳ ලිඛිත නියෝග, දිව්රීම් පිළිබඳ ලියූ ලිඛිත ප්‍රකාශ දීමේ බලය හිමිවූයේ අදිකාරම් හටයි.අදිකාරම්වරයාගේ මැදිහත් වීමෙන් විසඳිය හැකි වූයේ ගෙවල් බිඳීම, කොල්ලකෑම, සොරකම, පහරදීම හා අනෙක් සුළු වැරදි පමණි. ප්‍රමාණය පිළිබඳ සීමාවක් නොමැතිව ශාරීරික දඬුවම් දීම, සිරගත කිරීම හා දඩගැසීම සම්බන්ධව ඔවුන්ට බලතල හිමි විය. රාජ්‍ය සේවයේ නියැලෙන්නන් හට දඩුවම් දිය හැකි වුයේ රජුට පමණි. නඩුවක් සම්බන්ධයෙන් විත්තිකරුවාට අසාධාරණ තීන්දුවක් ලැබුවේ යැයි හැඟේ නම් වර්තමානයේ එයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කල හැකියි. අතීතයේද එවැනි ක්‍රමයක් පැවතුණි. අදිකාරම්වරයා විසින් දෙනු ලැබූ නඩු තීන්දුව අසාධාරණයි යැයි හැඟුන විට රජුට අභියාචනයක් ඉදිරිපත් කල හැකි විය. මෙය ‘කන්නලව් කිරීම’ ලෙස එකල හැදින්වුණි.වර්තමානයේ දිසා අධිකරණයක් තුල දිසාපතිවරයා එහි නඩු විනිශ්චය කරනවා ලෙසම එකල දිසාවේවරුන් කටයුතු කර තිබේ. පහත් පෙළ කෝරාළවරු, ආරච්චිලා, විදානේවරු හා සාමාන්‍ය ගොවි වංශය දිසාවේගේ අධිකරණ බලයට යත් වූවෝ වෙති. වර්තමානයේ මෙන් රක්ෂිත බන්ධනාගාර ක්‍රමයක් ද එකල තිබුනි. අතීතයේ දී එම වැඩකටයුත්ත පැවරී තිබුනේ ‘කටුබුල්ලේ’ නමින් හැදින්වුනු ආරක්ෂක අංශය වෙතයි. දිසාවේ විසින් නඩු ඇසීමේ දී ඔහුට කෝරාළවරු හා මොහොට්ටාලවරු සහය විය.
කාර්යංශ තුල හෝ තමන්ට අයත් ප්‍රදේශ තුල සීමිත ලෙස අධිකරණ බලතල හිමි වූ නිලධාරීන් ලෙස ලේකම්වරු, රටේ මහත්වරු, මොහොට්ටාලවරු, කෝරාළවරු, වන්නියා, ආරච්චිල සහ විදානේ යන අය දැක්විය හැකියි. පුද්ගල ආරවුල්, සොරකම් කිරීම් සහ මායිම් ප්‍රශ්න වැනි සිවිල් නඩු මොවුන් විසින් විසදීමට අවසර ලබා දී තිබුනි.
මෙකල සමාජයේ යමෙකු කල වැරැද්දකට දඬුවම් දිම මහජනයා ඉදිරියේදී සිදු කලේය. එමගින් යමෙක් කල අපරාධ වලට රජය විසින් දෙන දඬුවම් මොනවාදැයි දැනුවත් කිරීමක් බලාපොරොත්තු විය. එකල දණ්ඩ නීති සංග්‍රහය ලිඛිතව මහජනතාව අතර දැකගැනීමට නොතිබූ නිසා ඔවුන්ට ඒ ඒ අපරාධ වලට අදාල දඬුවම් දැන ගත හැකි වූයේ මෙම මහජන ප්‍රදර්ශනයේ දඬුවම් පැමිණවීමෙන් ය.උඩරට දණ්ඩ නීති අනුව දෙනු ලැබූ දඬුවම් අතර මරණ දණ්ඩනය හා අංග විකෘති කිරීම වැනි දැඩි දඬුවම් ද, තනතුරින් පහ කිරීම, අපකීර්තියට පත් කිරීම, කසපහර දීම, සිරගත කිරීම, අතුල් පහර දීම, ඉපල් පහර දීම, දඬු කඳේ ගැසීම, රොඩී රැහැට දැමීම සහ වේවැලෙන් තැලීම වැනි දඬුවම් ද විය.
එකල මරණීය දණ්ඩනයට නොදෙවෙනි දඬුවමක් ලෙස දේශයෙන් පිටුවහල් කිරීම හැදින්වීමට පුළුවන. උදාහරණයක් ලෙස දෙවන රාජසිංහ රජුගේ කාලයේදී සිදුවූ අඹන්වෙලරාළගේ කැරැල්ල නිසා එයට සහභාගි වූ අයට මරණ දණ්ඩනයත් අඹන්වෙල රාළව රටින් පිටුවහල් කිරීමත් දැක්විය හැකියි. මරණීය දණ්ඩනය වුවද ක්‍රම කිහිපයකට එකල සිදු විය. මරණ දණ්ඩනය ලැබූවන්ගේ හිසට රතුමල් වඩමක් දමා සිරුර සුදු හුණු වලින් නාවා මහනුවර වීදි දිගේ කසපහර දී වධකස්ථානයට ගොස් මරණ දඬුවම ලබා දේ. උසස් පවුල් වල අයට මරණ දණ්ඩනය දෙනු ලැබුවේ කඩුවෙන් හිස ගසා දැමීමෙනි. මධ්‍යම පාන්තිකයන්ට මරණ දඬුවම දෙනු ලැබුවේ හෙල්ලයකින් ඇණීමෙනි. මෙහිදී මෘත ශරීරය සියලුම දෙනාට පෙනෙන සේ තබයි. එසේ තබන්නේ එම අපරාධ කිරීමට මිනිසුන් තුල බියක් ඇතිකිරීමට ය.මෙකල මරණ දඬුවම් ක්‍රම අතර ජනශ්රැතියේ දැක්වෙන තවත් ක්‍රමයක් තිබේ. එනම් මරණ දඬුවම ලැබූ පුද්ගලයාව බහිරවකන්දට ගෙන ගොස් ඇතුලත උල් ඇති ලී වලින් සාදා තිබූ බෙරයක් තුලට අදාල පුද්ගලයාව ඇතුලුකර කන්දෙන් පහලට තල්ලු කිරීමයි. මෙහිදී එම උල් මගින් අදාල පුද්ගලයාට දරුණු තුවාල ගෙනදී මරණය අත්කර දෙයි. රොබට් නොක්ස් විසින් එදා හෙළදිව කෘතියේ මෙසේ සදහන් කරයි; “වධකස්ථානයේ දී ඇතැම්හු දිවස් හුල හිඳුවති. ඇතැමෙකුගේ අත් පා ගස් හි බැඳ කපා හරිති. ඇතැමෙකු අලින් ලවා පාගවති. වරදකරුවන් හට දඬුවම් පමුණුවන මෙම වධක ස්ථානය නගරයේ ඉතා උස් අවකාශ ස්ථානයක පිහිටවා ඇත්තේ ය.”
දරුණු අපරාධකරුවන්ව තරමක් මිනිස් ගැවසීමකින් තොර ප්‍රදේශ වල සිරගත කර තිබූ අතා සාමාන්‍ය අපරාධකරුවන්ව එළිමහන් සිර කඳවුරු වල සිරගත කර තැබීය. උඩරට දේශ සීමාව තුල පමණක් සිටීමට නියෝග ලැබූ සිරකරුවන් ද සිටියි. එයට හොද උදාහරණයක් ලෙස රොබට් නොක්ස් හැදින්විය හැකිය. ඔහු ක්‍රි.ව. 1660 සිට ක්‍රි.ව. 1679 දක්වා වසර දහනමයක කාලයක් උඩරට නිදහස් සිරකරුවෙකු ලෙස සිට ඇත. මෙකල ඔහු ගෙවූ ජීවිතය ගැන ඔහු ලියූ වාර්තා වලින් මනාව පැහැදිලි වේ.
රාජකාරි පැහැර හැරියහොත් තාවකාලිකව හෝ සදහටම බලයෙන් පහ කිරීමද සිදු කෙරිණි. යමෙක් කුමන හෝ හේතුවකට සියදිවි නසාගත හොත් ඔහුට හෝ ඇය එසේ සියදිවි නසා ගැනීමට හේතු වූ පුද්ගලා හෝ පුද්ගල කණ්ඩායමට දඬුවම් පමුණුවා තිබේ. කුඹුරු සම්බන්ධ අයිතිවාසිකම් පිලිබඳ ගැටලු වලදී සාප කිරීමේ ක්‍රමයක් යොදාගත් බව සදහන්. විත්තිකරු හා පැමිණිලිකරු යන දෙදෙනාම අදාල කුඹුර වෙත ගොස් මඩ වතුර අහුරු තුන බැගින් අහසට විසිකොට ඒ කුඹුරේ හිමිකරු තමා බවත්, එසේ නොවන්නේ නම් දින දහහතරක් ඇතුලට තමන්ට දේව ශාපය ලැබිය යුතු බව පැවසිය යුතු විය.
මෙසේ විවිධාකාර වූ දඬුවම් ක්‍රම එකල තිබුනු අතර මහනුවර රාජධානි සමයේ දී ක්‍රමවත් අධිකරණ සම්ප්රදායක් තිබූ බව පැවසිය හැක. මෙම ලිපිය මගින් එකී නීතිය හා අධිකරණය ගැන දළ අදහසක් ලැබුනා යැයි සිතමි.
මූලාශ්‍ර: 1)සිංහලේ ආණ්ඩු ක්‍රම – ජෝන් ඩොයිලි (පරි. එච්.එම්. සෝමරත්න)2)එදා හෙළදිව – රොබට් නොක්ස් (පරි. ඩේවිඩ් කරුණාරත්න)3)මහනුවර රාජධානියෙහි නීතිය හා අධිකරණය – පී. මනම්පේරි4)මහනුවර යුගයේ රාජ්‍ය ආරක්ෂක ක්‍රමෝපාය – ජී.ඇස්. ගමගේ
කවරයේ පින්තූරය – ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාව (divaina.lk)