අද වන විට ලෝකය තුළ පවතින ප්‍රධාන අර්බුද දෙකක් නම් දිනෙන් දින උග්‍රවන ආර්ථික අර්බුද හමුවේ තම මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට මිනිසුන්ට පවතින දුෂ්කරතාවය සහ පෘථිවි ගෝලය දිනෙන් දින ජීවීන්ගේ වාසයට නුසුදුසු තත්ත්වයට පත්වීම යි. ලාභ පමණක් අරමුණු කරගත් මිනිස් ක්‍රියාකාරකම් නිසා අත්ව ඇති ඉරණම පිළිබඳ ව සහ වහා ම ක්‍රියාත්මක නොවුණහොත් නුදුරු අනාගතයේ සිදුවීමට නියමිත විපත පිළිබඳ ව පසුගිය දා එළිදැක්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ Intergovernmental Panel on Climate Change වාර්තාව මඟින් පෙන්වා දී ඇත.
සංවර්ධනය යන වචනය සමග ම ඇසෙන අනෙක් වචනය නම් ස්වභාවික විපත් ය. දිනෙන් දින වනාන්තර එළිපෙහෙලි කරමින්, ජල මූලාශ්‍ර විනාශ කරමින්, හරිතාගාර වායූන් දිගින් දිගටම පරිසරයට නිකුත් කරමින් සිදුවන ක්‍රියාවලිය අවසානයේ පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම ද, ග්ලැසියර දියවී යාම ද, ඕසෝන් වියන සිදුරු වීම ද, මේ වන විට පෘථිවියේ අනාගතය පිළිබඳ සැක මතුකර තිබේ. ලංකාවේ ද වසර දහස් ගණනක් පුරා ආරක්ෂිත ව පැවති මධ්‍යම කඳුකරය බ්‍රිතාන්‍ය පාලනය යටතේ විනාශ කිරීම ඇරඹි අතර, පහත් බිම් ප්‍රදේශ ගොඩකරමින් සිදුකරන කටයුතු නිසා මේ වන විට එහි ප්‍රතිඵල ද ලැබෙමින් පවතින බව නියඟයන් මෙන්ම ගංවතුර මඟින් ද පෙන්නුම් කෙරේ.
තායිලන්තයේ බැංකොක් නගරය යනු ලොව ප්‍රධානතම සංචාරක නගරයකි. මේ නිසා ම දිගින් දිගටම නාගරීකරණය පුළුල් වෙමින් මේ වන විට බැංකොක් නගරය පොළොව තුළට ගිලා බසිමින් තිබෙන නගරයක් බවට පත් ව ඇත. වාර්ෂික ව සෙන්ටිමීටර් දෙක බැගින් බැංකොක් නගරය ගිලා බසිමින් පවතින බවත් එසේම, තායිලන්තයේ මුහුදු මට්ටම ද වාර්ෂික ව මිලිමීටර් 4 බැගින් ඉහළ නගින බවත් මේ වන විට සොයාගෙන ඇත. එක් අතකින් නගරය තුළ වන අධික නාගරීකරණය නිසාත්, ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් ඇති වන ප්‍රතිඵල නිසාත් මේ අර්බුද උද්ගත ව ඇත.
බැංකොක් නගරය තුළ මිලියන දහයක ජනගහනයක් වාසය කරන අතර ජන ඝනත්වය ඉතා ඉහළ ය. මෙලෙස නාගරීකරණය ඉහළ යාමත් සමග වර්ෂාපතනයත්, ජලය බැසයාමේ හැකියාව දුර්වල වීම නිසාත් මෙම ගිලා බැසීමේ ගැටලුව පැන නැගී ඇත.
2011 දී බැංකොක් නගරය මුහුණ දුන් ගංවතුර තත්ත්වය මෑත වසර 50ක කාලයක් තුළ මුහුණ දුන් දැවැන්තම හානිය යි. 500කට අධික පිරිසක් මරණයට පත් වූ අතර දැවැන්ත ආර්ථික හානියක් සිදුවිය. හානිය යථා තත්ත්වයට පත්කර ගැනීමට ඩොලර් බිලියන 8.2ක පමණ වැය බරක් දැරීමට ද සිදුවිය.
බැංකොක් නගරය පිළිබඳ ව අනාවැකි පළකරන ආචාර්ය සෙරී සප්තාරතිට් පවසන පරිදි මේ සියවස අවසානයේ බැංකොක් නරගය මුහුදට යටවීමට නියමිත ය. මෙසේ වැසි ජලය නිසා පොළොවට ගිලා බැසීමේ අවදානමේ පසුවන බැංකොක් නගරයට පිළියමක් ලබාදීම සඳහා වාස්තු විද්‍යා ශිල්පිනියක් වන කොට්චකෝන් වොරාඛෝම් විසින් ඉදිරිපත් කළ යෝජනාව අනුව 2017 දී සුවිශේෂී උද්‍යානයක් බැංකොක් නගර මධ්‍යයේ ඉදිරිකරන ලදී. ගංවතුර පාලනය කිරීමේ දැවැන්තම ව්‍යාපෘතිය වන මේ සඳහා චුලාලොන්කෝන් විශ්වවිද්‍යාලයේ උද්‍යානය භාවිතා කරන ලදී. මේ සඳහා වැය වූ මුදල ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700ක් පමණ වේ. මෙම උද්‍යානයේ පොළොව අභ්‍යන්තරයේ අතිදැවැන්ත ජල ටැංකියක් ඉදිකර ඇති අතර, ජලය ඊට රැස්කර නගරය තුළට එක්වීම වළක්වා බැස යැවීම මෙහි අරමුණ ය. මෙම භූගත ජල ටැංකිය, ජල ගැලුම් මිලියනයක ධාරිතාවක් දැරිය හැකි තරම් දැවැන්ත වූවකි.
උද්‍යානයේ සැකැස්ම විශේෂයෙන් සකසා තිබෙන්නේ ම ජලය භූගත ටැංකියට දිශාගත කරවන ලෙස ය. මෙම මුළු උද්‍යානය අක්කර 11ක භූමියකින් සමන්විත වන අතර සාමාන්‍ය තත්ත්ව යටතේ දී උද්‍යානයේ ශාකවලට අවශ්‍ය ජලයට අමතර ජලය ගබඩා වන අතර වියළි කාලවල දී නැවත උද්‍යානය සඳහා භාවිතා කළ හැකි වේ. ගංවතුරක් වැනි විශාල ජල ගැලීමක් සිදුවන විට නගරයෙන් පැමිණෙන ජලය රැස්කර, බැහැර කිරීමේ මාර්ග ඔස්සේ ඉවත් කරනු ලැබේ.
මේ ආකාරයේ ම ජල කළමනාකරණ පද්ධතියක් ලබන වසරේ බැංකොක්හි තම්මාසත් විශ්වවිද්‍යාලයේ අක්කර 36ක භූමියේ ඇරඹීමට නියමිත වේ. එසේ ම බැංකොක් බලධාරීන් විසින් ඉදිරියේ දී මෙම ගංවතුර අවදානමට මුහුණදීමට ගංවතුර වැළැක්වීමේ ව්‍යාපෘති 28ක් ඇරඹීමට ද නියමිත වේ. ගංවතුර බාධක, අභ්‍යන්තර ජල මාර්ග ඉදිරිකරමින් පවතින අතර ඇළ මාර්ග පිරිසිදු කිරීම ද, පුළුල් කිරීම ද සිදුකරමින් පවතියි.
කෙසේ නමුත් නව සැලසුම් ඉදිරිපත් කළ ද ඉදිරි කාලයේ දී නගරය තුළ වාසය කරන සාමාන්‍ය ජනයාට ගංවතුරින් පීඩා විඳිමට සිදුවන බව ආචාර්ය සෙරී සප්තාරතිට් පවසයි. ඔවුන් ජීවත්වන පැරණි ගොඩනැගිලි ගංවතුරට ඔරොත්තු නොදෙන තත්ත්වයේ පැවතීම ඊට හේතුව යි. එසේ ම, මෙම ඉදිරිපත් කරන ලද විසඳුම් මඟින් බැංකොක් නගරයට ඇති ව තිබෙන අවදානම සම්පූර්ණෙයෙන් ම පහව යන්නේ ද යන්න තවමත් නිශ්චිත ව ප්‍රකාශ කළ නොහැකි ය. ආචාර්ය සෙරී සප්තාරතිට්ගේ අදහසට අනුව ඉදිරියේ දී දශකයකට වරක් බැංකොක් නගරය බිහිසුණු ගංවතුර තත්ත්වයන්ට මුහුණදිය හැකි යි. එසේ ම වොරාඛෝම්ගේ ද අදහස වන්නේ මෙම උද්‍යාන ව්‍යාපෘති ගංවතුර උවදුරට ඉතා ම කුඩා විසඳුමක් බව යි.
කවරයේ පින්තූරය: බැංකොක් නගර මධ්‍යයේ චුලාලොන්කෝන් උද්‍යානය (theguardian)
මූලාශ්‍රයයන්: