Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ කාලයේ වීරයෙක් ලියූ රුසියානු ලේඛකයා: ලෙර්මන්තව්

මිහායිල් ලෙර්මන්තව් 19 වන සියවසෙහි රුසියානු සාහිත්‍යයේ පිබිදීම සංකේතවත් කළ එක් ප්‍රධාන සාහිත්‍යකරුවෙකු ලෙස සැලකෙනවා. වයස අවුරුදු 27ක් පිරෙන්නත් පළමුවෙන් මියගිය ඔහු කවියෙකු ලෙස එම කෙටි කාලය තුළ රුසියාවේ දී දිනාගත් නාමය දෙවෙනි වන්නේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ට පමණයි. ඔහු ලියූ එකම දිගු කතාව වූ “අපේ කාලයේ වීරයෙක්” කෘතිය ද බෙහෙවින් ජනාදරයට පත් වුණා. මීට අමතර ව ලෙර්මන්තව් කුසලතාවයෙන් පිරි චිත්‍ර ශිල්පියෙකු ද ලෙස සැලකෙනවා.

රදල පරපුර

ලෙර්මන්තව්ගේ ළමා කාලය නම් එතරම් යහපත් එකක් වූයේ නැහැ. ඊට හේතු වූයේ ඔහුගේ පියා පිළිබඳ මවගේ පවුල දැක්වූ නොකැමැත්ත යි. 1814 ඔක්තෝබර් 15 වන දා උපන් ලෙර්මන්තව්ගේ පියා එතරම් මුදල් හදල් නොතිබූ හමුදා නිලධාරියෙකු වුණා. නමුත් ඔහුගේ මව රුසියාවේ ප්‍රධානම රදල පවුලක තැනැත්තියක වුණ අතර ඇගේ මව වංශවත් ස්ටොලිපින් පවුලෙහි කාන්තාවක වුණා. මේ ස්ටොලිපින් පවුලේ පසුකාලීනයෙකු වූ පියතෝර් ස්ටොලිපින් 20 වන සියවස මුල් කාලයේ රුසියාවේ අගමැති ධුරයට ද පත් වුණා.

මිහායිල්ගේ පියා සහ මවගේ පවුල අතර වූ ආරවුල උග්‍ර වූයේ මවගේ අභාවයත් සමග යි. ඔහුගේ මවගේ මරණය සිදුවන විට මිහායිල් ලෙර්මන්තව්ගේ වයස අවුරුදු තුනක් වුණා. මේ අවස්ථාවේ ඔහුගේ මිත්තණිය මිහායිල්ගේ භාරකාරත්වය පවරා ගත්තා. ඔහුගේ පියාට ඇය කියා සිටියේ දරුවාගේ භාරකාරත්වය ඉල්ලා සිටියහොත් දරුවාට උරුම දේපළ සඳහා අයිතිය අහෝසි කරන බව යි. මේ අනුව මිහායිල් ලෙර්මන්තව්ගේ පියාගෙන් ඔහු උදුරා ගනු ලැබුණා.

මිහායිල් ලෙර්මන්තව් (Petr Zabolotskiy)

තම ඉරණම පිළිබඳ මිහායිල්ගේ පියා බොහෝ සෙයින් ශෝකයට පත් වූ අතර ඔහු 1831 දී මියගියේ මානසික ව කඩා වැටුණ අයෙකු ලෙස යි. සිය පියාගේ ඉරණම, මිහායිල් ලෙර්මන්තව් තුළ ද විශාල කම්පනයක් ඇති කළ බව සඳහන්.

ලෙර්මන්තව් හැදී වැඩුණේ මොස්කව් නගරය අසල සෙරෙඩ්නිකෝවෝ මන්දිරයේ යි. මීට වසර ගණනකට පසු අනාගත අගමැති පියතෝර් ස්ටොලිපින් ද හැදී වැඩුණේ එම මැදුරේ යි. නමුත් ලෙර්මන්තව් සිය අනාගත ඥාතියා මෙන් දැඩි මතධාරී රාජාණ්ඩුවාදියෙකු වූයේ නැහැ. ලෙර්මන්තව්ට නිවසේ දී ඉගැන්වීම සිදු කෙරුණ අතර ඔහු ප්‍රංශ සහ ජර්මන් භාෂාවන් ද, චිත්‍ර කලාව ද මනා සේ ඉගෙන ගත්තා.

කවියෙකුගේ මරණය​

ලෙර්මන්තව්ගේ සෞඛ්‍ය තත්ත්වය නිතර අයහපත් අතට හැරීම හේතුවෙන් ඔහුගේ මිත්තණිය ඔහු ව කොකේසස් ප්‍රදේශයට රැගෙන ගියා. කොකේසස් කඳුකරයේ සුන්දර පරිසරයට ඔහුගේ සිත නිතැතින් ම ඇදී ගියා. ඔහු සුව අතට හැරුණ පසු යළි මොස්කව් වෙත ගොස් එහි දී මොස්කව් සරසවියට ඇතුළු වුණා. නමුත් ඔහුට එහි ඉගෙනීම රුචි වූයේ නැහැ. එයින් නික්මුණු ලෙර්මන්තව් සාන්ත පීතර්ස්බුර්ග් නගරය කරා පිටත් වූයේ එහි අශ්වාරෝහක පාසැලට ඇතුල් වීමට යි. නමුත් හමුදා සේවය ද ඔහුට ගැලපුණේ නැහැ. කෙසේ වෙතත් ඔහු එහි දිගටම රැඳෙමින් හමුදා නිලධාරියෙකු ලෙස සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු සාන්ත පීතර්ස්බුර්ග් නගරයේ ඉහළ සමාජීය කවයන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා ගත්තා. මෙකල ඔහු කවි ලිවීමට ද වූ අතර එම සමාජය විසින් ඒවා ඇගයීමට ලක් කළා.

ලෙර්මන්තව්ගේ චිත්‍රයක් (Mikhail Lermontov)

සියල්ල කණපිට පෙරළුණේ 1837 දී යි. එම වසරේ ජනවාරි 27 වන දා මහා කවි ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ද්වන්ද්ව සටනකින් බරපතළ තුවාල ලබා ඉන් දින දෙකකට පසු මරණයට පත් වුණා. පුෂ්කින්ගේ මරණය ලෙර්මන්තව් තුළ ඇති කළේ කෝපයක්. ඔහු පුෂ්කින්ගේ මරණය පිළිබඳ රුසියානු රදල සමාජයට චෝදනා කරමින් “කවියෙකුගේ මරණය” නම් කාව්‍ය රචනා කළා.

මෙම කාව්‍ය රදල පන්තියේ කෝපයට හේතු වූ අතර සාර්වරයාගේ අවධානය පවා ඒ වෙත යොමු වුණා. ලෙර්මන්තව් අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබුණා. දෛවයේ සරදමකට මෙන් ඔහුව පිටුවහල් කරන ලද්දේ ඔහු අතිශයින් ම ප්‍රිය කළ කොකේසස් කඳුකරයට යි. ලෙර්මන්තව් එහි දී ප්‍රාදේශීය ජනකතා ඇසීමත්, ප්‍රාදේශීය භාෂා ඉගෙනීමත්, කාව්‍ය රචනයත්, චිත්‍ර ශිල්පයත් සිය විනෝදාංශ බවට පත් කරගත්තා.

අපේ කාලයේ වීරයෙක්

මෙම අවස්ථාවේ ලෙර්මන්තව්ගේ මිත්තණිය මැදිහත් වී ඔහුට සමාව ලබාගැනීමට සමත් වුණා. නැවත සාන්ත පීතර්ස්බුර්ග් හි සමාජයට එක් වූ ලෙර්මන්තව් කවි ලිවීම සහ සාදවලට සහභාගී වීම යළිත් ඇරඹුවා. මෙකල ඔහු සිය පළමු සහ එකම දීර්ඝ කතාව වූ “අපේ කාලයේ වීරයෙක්” ලිවීමට පටන් ගත්තා. මෙම කෘතිය පළ වූයේ 1840 දී යි.

අපේ කාලයේ වීරයෙක් කෘතියෙහි ප්‍රධාන චරිතය වන පෙචෝරින් වටා ගෙතුණු එකිනෙක හා සබැඳි කතා පහක් වනවා. මෙහි පෙචෝරින් සමකාලීන රුසියානු සමාජයේ පරමාදර්ශී චරිතයක් සේ ඇඟවුනත් ඔහු උදාසීන තරුණයෙකු වන අතර ඔහුගේ චරිතය විවිධාකාර පරස්පරතාවයන්ගෙන් යුක්ත යි. රුසියානු උසස් සමාජයේ වූ නිශ්ඵල සහ උදාසීන ජීවන චර්යාව පිළිබඳ විවේචනයක් ලෙස මෙම කෘතිය සැලකිය හැකියි.

අපේ කාලයේ වීරයෙක් කෘතිය රුසියානු ගද්‍ය සාහිත්‍යයේ මූලාරම්භයක් ලෙස මෙන්ම රුසියානු මනෝවිද්‍යාත්මක යථාර්ථවාදයේ මූලාරම්භකයෙකු ලෙස ද සැලකෙනවා.

අපේ කාලයේ වීරයෙක් කෘතිය ලෙර්මන්තව් වෙත ඉතා කෙටි කලක් තුළ විශාල ප්‍රසිද්ධියක් අත්කර දීමට සමත් වුණා. නමුත් මෙම ප්‍රසිද්ධිය භුක්ති විඳින්නට ඔහුට ලැබුණේ කෙටි කාලය යි.

කොකේසස් හි අවසන් සමය​​

සාන්ත පීතර්ස්බුර්ග් හි උසස් සමාජයේ කාන්තාවක අරබයා ප්‍රංශ තානාපතියයෙකුගේ පුතෙකු හා ගැටුමක් ඇති කරගත් ලෙර්මන්තව් ඔහු හා ද්වන්ද්ව සටනක පැටලුණා. මෙහි අවසානය වූයේ ඔහුව යළි කොකේසස් වෙත පිටුවහල් කිරීම යි.

මෙකල කොකේසස් හි ගෝත්‍රික කණ්ඩායම් සමග රුසියානු හමුදා යුධ වැදී සිටියා. මේ අනුව ලෙර්මන්තව් යුධ බිමට යවන ලද අතර එහි දී ඔහු නිර්භීත සටන්කරුවෙකු බව පෙන්වා දුන්නා. නමුත් ඔහුට අවශ්‍ය වූයේ හමුදාවෙන් විශ්‍රාම ගෙන ලේඛන කලාවේ නිරත වීම යි.

මාස දෙකක නිවාඩුවක් ලබාගත් ලෙර්මන්තව් සාන්ත පීතර්බුර්ග් වෙත පැමිණ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට අවසර ඉල්ලූ නමුත් එයට සාර්වරයා අකමැත්ත පළ කළා. මේ අතර සටනේ දී නිර්භීතත්වය පිළිබඳ ව ඔහුට පදක්කමක් පිරිනැමීම ද සාර්වරයා ප්‍රතික්ෂේප කළා.

යළි කොකේසස් කරා ගිය ලෙර්මන්තව් 1841 දී කොකේසස් කඳු පාමුල පිහිටි ප්‍යාටිගෝර්ස්ක් නගරයට පැමිණියා. එහි වන ඖෂධීය ජල උල්පත් හේතුවෙන් මෙම කුඩා නගරය එදා මෙන්ම අදත් ප්‍රසිද්ධියක් උසුලනවා.

ලෙර්මන්තව් අවසන් මාස දෙක ජීවත් වූ නිවෙස වර්තමානයේ කෞතුකාගාරයකි (Elena Barova)

මෙහි දී ලෙර්මන්තව්ට ඔහුගේ පැරණි හමුදා මිතුරෙකු මුණ ගැසුණා. නිකොලායි මාර්ටිනොව් නම් වූ මෙම හමුදා නිලධාරියා සහ ඔහු නිතර නගරයේ ආපනශාලාවන් හි කල් ගත කළ අතර එවන් අවස්ථාවල මාර්ටිනොව්, ලෙර්මන්තව්ගේ විහිළු තහළුවලට ලක් වුණා. මෙවන් එක් වතාවක කෝපයට පත් මාර්ටිනොව් ඔහුට ද්වන්ද්ව සටනකට අභියෝග කළා.

1841 ජූලි 27 වන දා ප්‍යාටිගෝර්ස්ක් නගරය අසල මෂුක් කඳු ගැටය පාමුල ස්ථානයක දී මෙම ද්වන්ද්ව සටන පැවතුණා. ලෙර්මන්තව් කලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මාර්ටිනොව්ට ඉලක්ක කර වෙඩි නොතබන බව යි. එහෙත් මාර්ටිනොව් ලෙර්මන්තව්ගේ හදවත ම ඉලක්ක කොට වෙඩි තැබුවා. එම ස්ථානයේ දී ම ලෙර්මන්තව් මරණයට පත් වුණා.

පසුකලෙක දී ඔහු සිය ජීවිතයේ අවසන් මාස දෙක ජීවත් වූ ප්‍යාටිගෝර්ස්ක් හි නිවෙස කෞතුකාගාරයක් බවට පත් කරනු ලැබුණා. ලෙර්මන්තව් මියගිය ස්ථානයේ ද ස්මාරකයක් ඉදි කෙරුණා.

ලෙර්මන්තව්ගේ නමින් සෝවියට් මගී නෞකාවක් ඉදි කෙරුණ අතර එය 1986 දී නවසීලන්ත වෙරළ ආසන්නයේ දී මුහුදුබත් වුණා.

Cover Image: මිහායිල් ලෙර්මන්තව් විසින් අඳින ලද​ ස්වයං චිත්‍රයක් (Mikhail Lermontov)

මූලාශ්‍රයයන්:

Related Articles