රුසියානු සාහිත්‍යය කියවා හෝ ඒ පිළිබඳ අසා ඇති අයෙකු නිකොලායි ගොගොල් යන නම අසා ඇතුවාට සැක නැත. ගොගොල් කුඩා කල පටන් තමන්ටම කියා ගත්තේ තමන් ප්‍රසිද්ධ නොවී මිය නොයන ලෙසයි. ගොගොල් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ඔහුගේ සුවිශේෂී කෘතියක් නිසාවෙනි. මෙය නමින් ‘මළ මිනිස්සු’ වේ.
මීට පෙර ඔහු කතා රාශියක් ලියා තිබුන ද දිගු නවකතාවක් ලියා තිබුනේ නැත. රුසියානු සාහිත්‍යයේ ප්‍රමුඛ පෙළේ නමක් දිනාගෙන සිටි පුෂ්කින් ගොගොල්ගෙන් දිගු නවකතාවක් නොලියන්නේ මන්දැයි ඇසුවේය. ගොගොල් මෙම කාලයේ දී අයහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටි අතර ජීවිතය කෙදිනක නිම වේදෝ යැයි සැකයක් ද විය. මේ හේතුව නිසාදෝ පුෂ්කින් විසින් තමන්ට මහා කාව්‍යයක් නිර්මාණය කරන්නට තිබූ වස්තු බීජය ගොගොල් හට ලබා දුන්නේය. ඒ දිගු නවකතාවක් රචනා කිරීමටයි.
පුදුමයකට කරුණ නම් ගොගොල් ද මෙම වස්තු බීජය ගැන තම ගමේ දී අසා තිබීමයි. මෙයින් කියැවුනේ මළ මිනිසුන් මිලයට ගෙන උකස් තබා පොහොසත් වූ මිනිසෙකු පිළිබඳ පුවතකි. මෙම කාලයේ දී රුසියාවේ ඉඩම් හිමියෝ ප්‍රවේණි දාසයන් සඳහා රජයට බදු ගෙවූහ. ඔවුනට මුදල් අවශ්‍ය වූ විට ප්‍රවේණි දාසයන් රජයට උකස් තබා මුදල් ලබා ගැනීමට හැකියාව තිබුණි. මෙම ප්‍රවේණි දාසයන්ගේ නම් ගම් ඇතුලත් සටහන් අලුත් කරන්නේ දස වසරකට වරකි. මෙම කාලය ඇතුලත සමහර දාසයන් මරණයට පත්වේ. නමුත් ඔවුන්ගේ විස්තර ඇතුලත් සටහන් වෙනස් කරන්නේ වසර දහයකට වරක් නිසා මියගිය අයට ද බදු ගෙවීමට සිදුවේ. සමහර ඉඩම් හිමියෝ මෙම මියැදුණු ප්‍රවේණි දාසයන් රජයට උකස් තබා මුදල් ඉපයූහ. ගොගොල් විසින් මෙම වස්තු බීජය උපයෝගී කරගෙන එකල සමස්ත රුසියානු සමාජයම පිළිඹිබු වන ආකාරයට දිගු නවකතාවක් රචනා කිරීමට සැලසුම් කළේය.
“මේක දිග හාස්‍ය ජනක නවකතාවක් ලියන්න හොද විෂයයක්. මට මගේ වීරයාත් රුසියාව පුරා යමින් රුසියානු ජන ජීවිතයේ හැම පැතිකඩක් ම විස්තර කරන්න පුලුවනි. මුලු රුසියාව ම නවකතාවෙන් පිළිබිඹු වෙනවා ඇති. මට අපූරු චරිත ටිකක් නිරූපනය කරන්න පුලුවනි.” යැයි ගොගොල් විසින් මෙම වස්තු බීජය ගැන කියා සිටියේය.
ගොගොල් විසින් මෙම දිගු නවකතාව ලියා අහවර වූ පසු මුල්ම වරට තමන්ට මෙම වස්තු බීජය ලබාදුන් පුෂ්කින්ට මුල් පරිච්ඡේද කිහිපය ඇසෙන්නට කියවූයේ ය. වෙනදාට ගොගොල්ගේ ලියවිලි සිනාමුසු මුහුණින් අසා සිටි පුෂ්කින්ගේ මුහුණ මෙවර අඳුරු විය. එම පරිච්ඡේද කිහිපය ගොගොල් කියවා අවසන් වූ පසු “අනේ දෙවියනේ අපේ රුසියාව කොතරම් දුක්මුසු තැනක් ද?” යනුවෙන් පුෂ්කින් පැවසීය.
මෙම කෘතිය කියවීමෙන් පාඨකයා තුල දැඩි සිත් වේදනාවක් ඇති වේ යැයි සිතා ඔහු එය සංස්කරණය කිරීමට ස්විට්සර්ලන්තයට ගියේය. මේ අතරතුර ඔහුගේ සාහිත්‍ය මිතුරා වූ පුෂ්කින් මියගියේය. පුෂ්කින්ගේ මරණය නිසා ගොගොල්ට තම කෘතිය හරි ආකාරව නිම කරගත නොහැකි විය. එමනිසා ඔහු රෝමයට ගොස් අවසානයේ 1841 වර්ෂයේ දී තම කෘතිය ලියා නිම කළේය. පොත ලියා නිම වුවත් මොස්කව් වාරණ මණ්ඩලය ගොගොල්ට එම කෘතිය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ලබා දුන්නේ නැත.
පොතේ නම ඇසූ හැටියේම “මම කවදාවත් ම ඔය පොත අනුමත කරන්නේ නැහැ. ආත්මය සදාකාලිකයි. ඒ නිසා මළ ආත්ම තිබෙන්න බැහැ. පොත් ලියන මිනිස්සු ආත්මයේ අමරණීයත්වයට අපහාස කරනවා” යැයි වාරණ මණ්ඩලයේ සභාපති බෙරිහන් දුන්නේය. ‘ආත්ම’ ලෙස හැදින්වෙන්නේ ලියාපදිංචි කල ප්‍රවේණි දාසයන් යැයි කී විට මෙය ප්‍රවේණි දාස ක්‍රමයට එල්ල කල පහරක් දැයි වාරණ මණ්ඩලයේ සෙසු සාමාජිකයෝ ප්‍රශ්න නැගූහ. ඉන්පසු ගොගොල් මෙම කෘතිය පීටර්ස්බර්ග් වාරණ මණ්ඩලයට ඉදිරිපත් කලේය. සංශෝධන බොහොමයකින් පසු මෙම කෘතිය අනුමත කෙරුණි. වැඩි දෙනෙක් ගොගොල් ව අගය කල අතර ඉඩම් හිමි රදළයෝ ගොගොල් හා වෛර බැද ගත්තේය.
එකල රුසියාවේ ප්‍රකට ගත් කතුවරයෙක් හා විචාරකයෙක් වූ බිලින්ස්කි මළ මිනිස්සු කෘතිය ගැන මෙසේ සදහන් කලේය.
“ගොගොල්ගේ කෘතිය ජන ජීවිතයේ ගුප්ත තැන් හෙළි කරන්නා වූ රුසියානු ජාතික කලා කෘතියකි. යථා තත්වය වසා ගත් පටලය නිර්දයව ඇද ඉරා දමන්නා වූත් රුසියානු ජීවිතයේ සරු ඵලදාවන් පිලිබදව සියුම් හැගීමකින් බලවත් ආදරය පල කරන්නා වූත් කලා කෘතියකි. මිනිස් චරිත හා රුසියානු සමාජ සිරිත් විරිත් අපූර්ව නිර්මාණාත්මක කුසලතාවලින් නිරූපණය කරන්නා වූත් ගැඹුරු සාමාජික හා ඓතිහාසික වටිනාකමකින් යුක්ත වන්නා වූත් අසාමාන්‍ය වූත් කලා කෘතියකි.”
ගොගොල්ගේ මෙම කෘතිය විවිධ භාෂා වලට පරිවර්තනය වීමෙන් ඔහුගේ නාමය ලොව පුරා විහිදෙන්නට පටන් ගත්තේය. සිරිල් සී. පෙරේරා විසින් මෙම කෘතිය සිංහලට පරිවර්තනය කලේය.
ගොගොල් විසින් මළ මිනිස්සු නවකතාවේ පලමු කොටසින් රුසියානු සමාජයේ දුර්ගුණ කියූහ. ඔහු මෙම නවකතාවේ දෙවන කොටස ලිවීමට පටන් ගත්තේය. මෙම කොටසින් රුසියානු සමාජයේ යහපත් පැත්ත කතා කිරීමට හේ සිතුවේය. එහෙත් එය පහසු කාර්යයක් නොවීය. මන්ද ඔහු සෑම විටම පාහේ පුරුදුව සිටියේ දුර්ගුණ පක්ෂය උපහාසයෙන් හා හාස්‍යයෙන් ප්‍රතිනිර්මාණය කිරීමටයි. කෘතියේ දෙවන කොටස ඉතා අසාර්ථක බව ඔහු සිතූ නිසා එය ප්‍රකාශයට පත් කිරීමට පෙර පුළුස්සා දැමුවේය.
මේ සමගම වාගේ ගොගොල් හට ආගමික උමතුව වැළදී සිටියේය. ඔහු තම ආගම දේශනා කිරීමට පොත් ලියන්නට පටන් ගත්තේය. ‘මගේ මිත්‍රයන්ට යවන ලද ලියුම් වලින් ගත් කොටස්’ යන්නෙන් ලියූ කෘතියත් සමග ගොගොල්ගේ පරිහානිය සනිටුහන් විය. මෙම කෘතියෙන් පල්ලියට අවනත විය යුතු බවත්, ඒකාධිපතිත්වය, මරණ දඬුවම යහපත් බවත් සහ සාක්ෂරතාව භයානක බවත් කීවේය. පාඨකයාගෙන් මෙම කෘතියට දැඩි ලෙස විවේචන එල්ල විය. මන්ද මෙම කෘතියෙන් රජයට ආවඩා තිබීමයි.
මේ අතරතුර ගොගොල් නැවතත් මළ මිනිස්සු කෘතියේ දෙවන කෘතිය රචනා කිරීමට පටන් ගත්තේය. එහෙත් ඔහු එතරම් ම නිරවුල් මානසිකත්වයෙන් සිටියේ නැත. වරෙක පූජකයෙක් පවසා සිටියේ පොත පත ලිවීම පාපයක් බව පැවසීමෙන් ගොගොල් තවත් අවුල් විය. මෙම අවුල් මානසිකත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන්නට විය. ඒ 1853 වසරේ පෙබරවාරි 11 වෙනි දිනයි. ගොගොල් තම අත් බෑගයෙන් අත් පිටපත් විශාල ප්‍රමාණයක් රැගෙන උදුනට දැමීමට පටන් ගත්තේය. ඉතා මහන්සියෙන් ලියන ලද පිටපත් විනාශ නොකරන ලෙස කියා ගොගොල්ගේ සේවකයා ද අඬා වැටුනේය. “මගේ පොත් පිච්චුවට උඹට ඇති අමාරුව මොකක් ද? උඹ ගිහින් දෙවියන්ට යාච්ඥා කරපං” යැයි ගොගොල් කෑ ගසා කාමරයට ගොස් වැතිර අඬන්නට ගත්තේය. මෙයින් පසු ඔහු කෑම බීම ගැනීම ප්‍රතික්ෂේප කල අතර ඉන් දින දොළහකට පසු මියගියේය. එම අත් පිටපත් මළ මිනිස්සු කෘතියේ දෙවන කොටසයි.
මූලාශ්‍ර:
- The Britannica Encyclopedia
- මළ මිනිස්සු – සිරිල් සී. පෙරේරා
- ටෝල්ස්ටෝයි සහ සමකාලීනයෝ – සමුද්‍ර වෙත්තසිංහ
කවරයේ පින්තූරය – ගොගොල් (diletant.media)