Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කැමරා ඇසට හසු වූ ‘අවතාර’ 6ක්

ලොව වෙසෙන සමහර මිනිසුන් හොල්මන් අවතාර විශ්වාස කරන විට, තවත් සමහරු එවැන්නක් පිළිබඳ ව කිසිසේත් ම විශ්වාස කරන්නේ නැහැ. කෙසේ නමුත් ඇතැම් ‘අවතාර’ කැමරා කාචයේ සටහන් කරගන්නට සමහරු සමත් වී ඇති අතර, මේවායේ සත්‍ය-අසත්‍යතාවය කුමක් වූවත් ලොව පුරා දැඩි කතා බහට ලක් වුණා.

ෆ්‍රෙඩී ජැක්සන් (1919)

Sir VIctor Goddard/ davidpratt.info

ශ්‍රීමත් වික්ටර් ගොඩාඩ් විසින් 1919 වසරේ දී සිය නාවුක අනුඛණ්ඩය ඡායාරූප ගත කරනු ලැබුවා. එහි පසුපස පේලියේ වම්පස සිට සිව්වැන්නාට පසුපසින් සටහන් වී තිබූ මිනිස් රූපය දැක කවුරුත් පුදුමයට පත් වුණා. එහි සිටියේ ෆ්‍රෙඩී ජැක්සන් නම් නාවුකයා යි. ඔහු මෙම ඡායාරූපය ගැනීමට දින කිහිපයකට පෙර ක්‍රියාකාරී දැති රෝදයකට හසු වී මියගොස් තිබුණා.

එස්. එස්. වෝටර්ටවුන් (1924)

realparanormalexperiences.com

එස්. එස්. වෝටර්ටවුන් නම් ඇමෙරිකානු නෞකාවේ දී ගන්නා ලද මේ ඡායාරූපය කැමරා කාචයට හසු කරගන්නා ලද්දේ 1924 වසරේ දෙසැම්බර් මාසයේ දී යි. එහි සනිටුහන් වී ඇති මේ අද්භූත මුහුණු දෙක එහි සේවයේ නියුතු ව සිටි ජේම්ස් කර්ට්නි හා මයිකල් මීහන් යන අයගේ යි. ඔවුන් දෙදෙනා ම මෙම නෞකාව චාරිකා කරමින් සිටිය දී මියගොස් ඇති අතර, සිරුරු මුහුදට දමා තිබුණා.

නෞකාව ශුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරන සේවකයන් පිරිසකට මෙම මුහුණු දර්ශනය වී ඇති අතර, ඔවුන් විසින් ඒවා ඡායාරූපගත කොට තිබෙනවා.

දුඹුරු කත  (1936)

theblackvault.com

1936 වසරේ දී කැමරා කාචයට හසු වූ මෙම අවතාරය ලොව අවතාර සැබැවින් ම පවතින්නේයැ යි හුවා දැක්වීමට ඒවා විශ්වාස කරන්නන් බහුලව ම භාවිතා කරන දෙයක්. මෙය එංගලන්තයේ නෝෆෝක් හි රේන්හැම් ශාලාවේ දී ඡායාරූප ගත කොට ඇති අතර, එහි පඩිපෙළ බැස එන මේ කාන්තාව ඊට පෙර ද කිහිපදෙනෙකුට ම දර්ශනය වී තිබෙනවා. මෙය කලකට පෙර සැමියා විසින් මෙම ශාලාවේ කාමරයක සිරකොට මරණයට පත්කරන්නට යෙදුණු ටවුන්සෙන්ඩ් ආර්යාවගේ අවතාරය බවට සැලකෙනවා.

කොරොබොරි කන්දේ අවතාරය (1959)

quora.com

1959 වසරේ උතුරු ඕස්ට්‍රේලියාවේ ඇලිස් ස්ප්‍රින්ග්ස් හී දී කැමරාවට හසු වූ මේ ‘අවතාරය’ කාගේ කවුරුද යන්න අද වන තුරු අනාවරණය වී නැහැ. කෙසේ නමුත් විද්‍යාඥයින් මේ ගැන පවසන්නේ, කැමරාව තුළ තිබූ සේයාපට ශුද්ධ කිරීමේ දී ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වෙනත් පින්තූරයක් මේත් සමග මුසු වී තිබීමේ වැඩි හැකියාවක් පවතින බව යි.

ඇමිටිවිල් හි අවතාරය (1976)

Ed and Lorraine warren

1976 වසරේ දී ලබාගෙන ඇති මෙම ඡායාරූපයේ හිමිකරුවන් වන්නේ එඩ් හා ලොරේන් වොරන් යන දෙදෙනා යි. මෙහි සටහන් වී ඇති දරුවා නව හැවිරිදි ජෝන් ඩෙෆෝ බව ඔවුන් ප්‍රකාශ කළා. ජෝන් ඩෙෆෝ හා ඔහුගේ සොහොයුරා, සොයුරියන් දෙදෙනා සමග ඔවුන්ගේ දෙමාපියන් ද, ඔහුගේ වැඩිමල් සොයුරා වන රොනල්ඩ් විසින් සිය නිවසේ දී ම ඝාතනය කර තිබුණා.

භූත විද්‍යාව පිළිබඳ ප්‍රගුණ කර සිටි එඩ් හා ලොරේන් ඔවුන්ගේ නිවසට ඇතුළු වී අධෝරක්ත කැමරාවක් ආධාරයෙන් මේ ඡායාරූපය ගෙන තිබුණා. මෙම ඝාතන මෙන්ම ඡායාරූපයත් පසුකාලීන ව සිනමාපට හා ග්‍රන්ථ කිහිපයකට ම පාදක වුණා.

සීයා ගේ අවතාරය (1997)

Denese Russel

ඩෙනීස් රසල් නැමැත්තියක් 1997 වසරේ අගෝස්තු මස 17 වන දා, ඒ වන විට සිය නිවසේ දිවි ගෙවමින් සිටි සිය මිත්තනියගේ ඡායරූපයක් ලබාගත්තා. මෙය මුද්‍රණය කර පවුලේ සාමාජිකයින් හට ලබා දුන්නත් ඒ කිසිවෙකු එක්වර ම එහි ‘අමුත්තක්’ දුටුවේ නැහැ. 2000 වසරේ නත්තල් දිනයෙහි එක්වර ම අයෙකු මිත්තනියට හරියට ම පසුපසින් සිටගෙන සිටින මිනිස් රුවක් දැක එය පිළිබඳ ව ඩෙනීස්ගෙන් විමසා සිටියා. පසු ව අනාවරණය වූයේ එය ඡායාරූපය ගත් දිනය වන විටත් මියගොස් සිටි ඇයගේ සීයාගේ බව යි. ඩෙනීස් ගේ සීයා මියගොස් තිබුණේ 1984 වසරේ දී යි.

 

කවරයේ පින්තූරය- YouTube

Related Articles