දශක පහකට පෙර නම් ගමේ ගොඩේ මාවත් අසල ඉදිකර තිබෙන පිංතාලි සුලබ දසුනක් වුණා. හන්දිවල තමයි මේවා තබා තිබුණේ. පිංතාලිය තිබුණේ මහමඟදී මගීන්ට ඇතිවන පිපාසය සංසිඳුවා ගැනීමට යි. අද සමාජය වෙනස් වෙලා. ප්‍රවාහනය දියුණු යි. දුර ගමනක් යන කොට වැඩිදෙනෙක් වතුර බෝතල් රැගෙන යනවා. පැරණි පිංතාලි ඉඳහිට තැනින් තැන දක්නට ලැබුණත් ඒවායේ බීමට ජලය නම් නැහැ.
මහ මඟ ගමන් කරන මගීන්ගේ පැන් පවස සංසිඳුවා ගැනීම පිණිස මාර්ගය අසල තබා ඇති පානීය ජල බඳුන හඳුන්වන නම තමයි පිංතාලිය කියන්නේ. පැන්තාලිය කියලත් මෙයට කියනවා. තාලිය කියන්නේ ජලය දමන ලෝහයෙන් හෝ මැටිවලින් තැනූ බඳුනකට යි. පිංතාලියට සෙවණ ලැබීම සහ වැස්සෙන් ආරක්ෂාව සඳහා එය වටා කුඩා ආවරණයක්ද ඉදිකර තිබුණා.
අද මෙන් ඒ කාලයේ ප්ලාස්ටික් බෝතල් නොතිබූ නිසා පිංතාලිය ඉටුකළේ විශාල සේවයක්. පුරාණයේ ගලින් කළ විශාල පිංතාලි ද පැවති බවට සාධක අදත් හමුවෙනවා. බහුල ව තිබුණේ මැටි මුට්ටි භාවිතයෙන් තැනූ පිංතාලි යි.
පිං ලබා දෙන පිංකමක්
පිං තාලියෙන් පිළිබිඹු වුණේ පුරාණ ජනතාවගේ දානය දීමේ සත් ක්‍රියාව යි. ගම්වල පිංතාලි පිහිටුවා ඒවා නඩත්තු කළේ ගමේ ප්‍රභූවරයන්. නැත්නම් ගැමියන්. මේවා හදපු අය දිනපතා එහි ජලය මාරු කර මගීන්ට දිය පානය කිරීමට උදව් වීම මහත් උනන්දුවෙන් කළ වැඩක්. කුසගින්නේ සිටින මිනිසකුගේ කුස ගිනි නිවන්නට කටයුතු කිරීම හෝ පිපාසාව සංසිඳුවීම මහා දානමය ක්‍රියාවක් ලෙස සැලකුණා.
මහ මඟක් යාබද ව ‘පිංතාලියක්’ තැබූ පැරැණි ගැමියා මේ පැන් අසවල් මගියාට ය කියා වෙන් කිරීමක් කර තිබුණේ නැහැ. පිපාසයෙන් යුත් ඕනෑම කෙනකුට එහි පැන් පානය කළ හැකි යි. පුරාණයේ රජවරුන් සහ ප්‍රභුවරුන් ඔවුන්ගේ ගමන් බිමන්වලට දෝලා භාවිත කළා. වෙළෙඳුන් ගැල් තවලම් ආදිය මඟින් රට පුරා ගමන් කළා. මගීන් පොදුවේ ගමන් කළේ පා ගමනින්. මේ නිසා ඔවුන්ට පිපාසය අධික ව දැනුණා.
අද මෙන් පුරාණයේ වාහන ගමනාගමනය හෝ මඟ දෙපස සැම තැනක ම ආපනශාලා නො තිබුණු හෙයින් පිංතාලිය කාගෙත් පැන් පවස නිවීමට උපකාරී වුණා. පිංතාලියකින් ලබා දෙන්නේ ළිඳකින් නොමිලේ ලබා ගත් පිරිසුදු ජලය යි. එය පවත්වාගෙන ගිය ගැමියාගේ චේතනාව වූයේ මගියා ගේ පිපාසාව සංසිඳුවීම යි. ඒ නිසා බුදු දහමට අනුව පිංතාලි කරවීම පූර්ණ පුණ්‍ය ක්‍රියාවක් වුණා.
පුරාණ බෞද්ධ සමාජයේ පැවති පරෝපකාරය නම් සද්ගුණය දකින්නට ලැබෙන අවස්ථාවක් ලෙසයි මේ කටයුත්ත සැලකුණේ. පිංතාලි තබා නඩත්තු කළ අය ඉන් කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වුණේ නැහැ. පුරාණ අම්බලම් ද නඩත්තු කළේ ගමේ ධනවතෙක් හෝ ගැමියන් එක්ව යි. මේ අම්බලම් අසලත් පිංතාලි තබා තිබුණා.
මෙසේ පිංතාලි ඉදිකිරීමේ සංස්කෘතිය ලංකාවේ මෙන් ම මියන්මාරයේ ද තිබුණු සිරිතක්.
පැන් ගන්නා කෙණෙස්ස
පිංතාලියෙන් පැන් ලබා ගැනීම සඳහා පැන්ළුව හෙවත් කෙණෙස්සක් ද තබා තිබුණා. මෙය පොල්කටුවකින් කළ හැන්දක් වැනි ඊට වඩා ගැඹුරැති උපකරණයක්. අද සුප් ගැනීමට භාවිත කරන හැන්දට සමාන යි. ඒ මගින් හැලෙන්නේ නැතුව පැන්තාලියෙන් පැන් ලබා ගැනීමට පුළුවන්. මේ නිසා පිංතාලියේ ජලය අපිරිසුදු වීමත් වැලකුණා. මහනුවර යුගයේ දී කෙණෙස්ස අලංකාර කැටයම් සහිත ව නිර්මාණය කර තිබෙනවා. එහි ලීයෙන් තැනූ මිට මෙන් ම ගැඹුරු කටුවත් සියුම් මල්ලියකම්වලින් සරහා තිබුණා. එවැනි කෙණෙසි කොළඹ ජාතික කෞතුකාගාරයේ දි දැක ගත හැකි යි.
ජන කවියන් දුටු පිංතාලිය
පැරැණි ගැමියන් පිංතාලිය ගැන කවි පද බැඳ එය වර්ණනා කර තිබෙනවා. මේ එවැන කවි කිහිපයක්:
පිංතාලිය සැදුවෙ බෝසත් විදානේ
පැන් බීවෝ මඟි දන සිතු ලෙසානෝ
දෙව් ලෝ වැඩිය ඒ ගුණ කඳාණෝ
පිංතාලිය බින්දේ දෙව්දත් පුතාණෝ
පිනට ලැබුණි පැන් හැම තැන ඒ කාලේ
දනට පිනට බණටත් තිබුණෙයි ආලේ
මිලට පැන් ගන්ට වී ඇති මේ කාලේ
පවට අපේ මොනවා කරමුද රාලේ
වේයන්ගොඩ වටද්දර පිංතාලිය
පුරාණ පිංතාලි අතරින් අලංකාර කැටයම් සහිත ව කළුගලින් නිමවා ඇති මෙය මහනුවර යුගයේ දී හෝ ඉංග්‍රීසි පාලන සමයේ දී තැනූ බව පේනවා. එය පිහිටා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ වටද්දර කියන ගමේ යි. කටුනායක වේයන්ගොඩ පාරේ ගමන් කර වටද්දරට පැමිණීය හැකි යි. වටද්දර ගනේකන්ද සුමනාරාම පුරාණ විහාරය ඉදිරිපසයි එය දකින්නට ලැබෙන්නේ.
කළුගල් කුලුනු හතරක් මත තැනූ සිව්රැස් පියස්සක් පිංතාලියට සෙවණ පිණිස තනා තිබෙනවා. මෙම ගල්කණුත් කැටයම්වලින් යුක්ත යි. පිංතාලි භාජනයේත් මල්වැල් කැටයමින් මතු කර තිබෙනවා. පියස්සට සෙවිලි කර ඇත්තේ පෙති උළු යි. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශ කර තිබෙනවා.
හඟුරන්කෙත අම්බලමේ පිංතාලිය
හඟුරන්කෙත නගරයේ දක්නට ඇති පිංතාලිය පිහිටා ඇත්තේ අවුරුදු 150ක් පමණ පැරණි අම්බලම ඉදිරිපිට යි. මේ අම්බලමත් කාමර දෙකක් සහිත ව ඉදි කර ඇති පුරාණ ගොඩනැඟිල්ලක්. මෙය ඉදිරිපිට පිහිටි පිංතාලයත් කළුගලින් කර තිබෙනවා. එය අසල ඇති පලකයක සඳහන් කර ඇත්තේ වර්ෂ 1905 දී අළුඅභය ගුණසේකර විසින් සිය මාපියන්ට පිං පිණිස පිංතාලිය ඉදිකරවූ බව යි.