ඉතාලි දේශ සීමා මුර කපොල්ලේ සිටින පොලිස් නිලධාරියාගේ පෙනුමෙන් පළ වෙන්නේ ප්‍රශ්නාර්ථයක් හඟවන බැල්මකි. ඔහුගේ අතේ තිබෙන විදේශ ගමන් බලපත්‍රය ඇල්බේනියානු ජාතික කාන්තාවකට අයත් වූවකි. එය ඔහුට ලබා දුන්නේ කාන්තාවක නොව පිරිමියෙකි.
හමුදා සෙබළුන් පළඳින ආකාරයේ කැප් තොප්පියකින් සැරසුණු, රිදීවන් සුදු පැහැති කොටට කැපූ හිස කෙස් ඇති මහලු මිනිසාට ඇත්තේ ගැඹුරු කටහඬකි. පොලිස් නිලධාරියා සිටින්නේ අන්දමන්දව ය.
“ මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ පාස්පෝට් එක කාන්තාවකගේ. නමුත් ඔබ පිරිමියෙක්.“ පොලිස් නිලධාරියා එලෙස කියන්නේ මහලු මිනිසාට ය. තමාට අත්විඳින්නට සිදු වූ මෙම ඇබැද්දිය ගැන ඩයනා කියන්නේ තරමක කෝපය මුසු හඬකිනි.
පිරිමියෙක් ලෙස දිවි ගෙවීමට දිවුරුම් දුන් කාන්තාවෝ
“මං එයාට ටිකක් තදින් කතා කළා. මං එකහෙළා ම එයාට කිව්වා පාස්පෝට් එකේ ඉන්නේ මම ම තමයි කියලා“ ඩයනා කියයි. අවසානයේ දී පොලිස් නිලධාරියා සිදුවූ අපහසුතාව ගැන ඇගෙන් සමාව අයැද තිබේ. ඔහුට මතුවූ ගැටලුකාරි තත්ත්වය පුදුමයක් නොවේ. මන්ද ඩයනා යනු ‘බර්නෙෂාවක්‘ නොහොත් ඇල්බේනියාවේ සිටින දිවුරුම් දුන් අවසන් කන්‍යාවියන් කිහිපදෙනා අතරින් එක් අයකු වන නිසා ය.
බර්නෙෂා යනු ජීවිතයේ මුළු ඉතිරි කාලය ම කන්‍යාභාවය රැක ගනිමින්, පිරිමියෙක් ලෙස දිවි ගෙවීමට දිවුරුම් දුන් කාන්තාවන් කොට්ඨාසයකි. ඔවුන්ගේ ඒ ක්රියාවේ අරමුණ වන්නේ පුරුෂාධිපත්‍යය රජයන ඇල්බේනියානු සමාජ පද්ධතිය තුළ සිය නිදහස හා අයිතීන් තහවුරු කර ගනිමින් ජීවත් වීම ය. එය කිසිසේත් ම ශාරීරික වෙනස්කමකට ලක්වීමේ අරමුණින් හෝ ලිංගිකත්වය පදනම් කර ගනිමින් ගත් තීරණයක් නොවීම මෙහි ඇති විශේෂත්වය යි.
අභාවයට යන චාරිත්‍රයක්
අභාවයට යමින් තිබෙන මෙම අමුතු චාරිත්‍රය ප්‍රධානකොට ම ක්‍රියාත්මක වන්නේ ඇලේබේනියාවේ වුව ද, උතුරු දිග මොන්ටිනෙග්රෝ හා කොසෝවෝ යන රාජ්‍යවල ද යම්තාක් දුරකට එය ව්‍යප්ත ව තිබේ.
“ඇල්බේනියාව කියන්නේ පිරිමින්ගේ රටක්. පිරිමින්ට ම ගිය රටක පැවතෙන්න තියෙන එකම ක්‍රමය තමයි පිරිමියෙක් වෙන එක“ යැයි කියන ඩයනා බර්නෙෂාවක වීම පිටුපස ඇත්තේ දුක්මුසු කතාවකි. තරුණියක ලෙස සිය සිත් ගත් තරුණයෙක් හා පෙමින් වෙළුණු ඩයනාගේ ඒ පෙම් සබඳතාවට ගෙදරින් එල්ල වන්නේ දැඩි විරෝධයකි. ඊට හේතුව වන්නේ ඒ වන විටත් ඇය වෙනත් පුද්ගලයකු හා විවාහ කරවීමට කල් ඇතිව ම ඩයනාගේ මව්පියන් පොරොන්දු වී තිබීම ය.
මෙම යෝජිත විවාහයෙන් ගැලවීමට ඇති එකම මඟ ලෙස ඩයනා දකින්නේ බර්නෙෂාවක වීම ය. දරුවකු ඉපදීමට පෙර ම එම දරුවාගේ විවාහය තීරණය කිරීම මීට දශක කිහිපයකට ඉහතදී ඇල්බේනියානු සම්ප්රදායයක් ව තිබිණි. පවුල් අතර වන හිත මිත්‍රකම් මත සිදුවන මෙබඳු යෝජිත විවාහයකට විරුද්ධ වීම, පවුල් අතර නිමා නොවන විරසකකම් ඇතිවීමට තුඩු දුන්නකි. මෙවැනි තත්වයක් ඇතිවීම වලක්වා ගනිමින්, විවාහයෙන් වැලකී සිටීමට නම් ගත හැකි එකම පියවර වන්නේ කන්‍යාවියක ලෙස දිවුරුම් දීම ය.
නිදහස පතා ගත් තීරණයක්
“මම නම් ඒ තීරණය ගත්තේ නිදහස වෙනුවෙන්.“ ඩයනා කියයි. හමුදා සේවයේද නියැළුණු ඩයනා බර්නෙෂාවක වන්නේ වයස අවුරුදු දාහතේ දී ය. මේ වන විට වයස අවුරුදු හැටක් වන ඩයනා තමා හඳුන්වා දෙන්නේ පිරිමියෙක් ලෙස ය. මේ නිසා ඇය හැඳින්විය යුත්තේ ‘ඔහු‘ කියා ය.
“මං ඉපදුණේ මගේ සහෝදරයාගේ මරණින් පස්සේ. මං පොඩි කාලේදි වුණත් කළේ කොලු වැඩ ම තමයි. මගේ තාත්තා මට සැලකුවේ පුතකුට සලකන විදිහට. සමහරවිට මට හිතුණා මං මගේ මිය ගිය සහෝදරයාගේ තැන ගත්තද කියලත්…..“ ඩයනා කියයි.
දිගු කලිසම් ඇඳීමට පුරුදු වූ ඩයනා පාසලේ දී ක්‍රීඩා කළේ පිරිමි ළමයින් ක්‍රීඩා කරන පාපන්දු ය. පිරිමි ළමයින් සමඟ නොයෙක්වර ඇය දබරයට ගියා ය. මුළුමනින් ම පිරිමි ළමයෙක් වීමට ඇයට තිබු එකම ගැටලුව වූයේ ඇගේ දිගු කෙස් වැටිය යි. වයස අවුරුදු දාහතේදි ඇය සිය කොණ්ඩය කපා දැමුවා ය. තමාට දිවුරුම් දුන් කන්‍යාවියක වීමට ඇවැසි බැව් ඇය සිය පියාට කියා සිටියා ය. එකල පිරිමින්ට පමණක් සීමාවූ වරප්‍රසාදයක් වූ දුම්පානයටද ඇය යොමු වූයේ ළා බාල දැරිවියක ව සිටියදී ය. ඇල්බේනියානුවන් දුම් උරන ‘ලුලා‘ නම් වූ දිගු පයිප්පය ඩයනාගේ අතට හුරුවූයේ වයස අවුරුදු හතේ සිට ය.
පවුලේ බර කරට ගත් තරුණියක්
දැනට ලොව වෙසෙන සංඛ්‍යාවෙන් දොළහකට අඩු බර්නෙෂාවන් අතරින් එක් අයකු වන ජිස්ටිනා ග්රිෂාජ්, බර්නෙෂාවක වීමේ කතාව මීට වඩා හාත්පසින්ම වෙනස් ය. ඇය බර්නෙෂාවක වන්නේ වයස අවුරුදු විසිතුනේදී ය. ඒ ඇගේ පියාගේ මරණින් පසු පිරිමියෙකු මෙන් පවුලේ බර කරට ගැනීමේ අරමුණිනි. ඇල්බේනියානු කඳු වැටි අතරට වැදී ගත්, ලෙපුෂේ ප්‍රෙද්ශයේ ජිස්ටිනාගේ පවුල ජීවත්වූයේ, බර්නෙෂා සම්ප්රදාය අභාවයට නොගොස් ඉතිරි ව තිබු ‘මැලේ ඩී මාඩේ‘ කලාපයේ ය.
සියවස් ගණනාවක් ඉපැරණි මෙම සම්ප්රදායේ දී, පිරිමින් සතු නිදහස එයාකාරයෙන් භුක්ති විඳීමට කැමති තරුණ කාන්තාවන් ගමේ වැඩිහිටියන් ඉදිරියේ දිවුරුමක් දෙයි. ඒ ජීවත් ව සිටින තාක් කල් සිය කන්‍යාභාවය රැක ගැනීමට ය. එලෙස බර්නෙෂාවක වන කාන්තාවකට එතැන් පටන් පිරිමියෙක් ලෙස ඇඳුම් පැළඳුම් කිරීමටත්, නිවසේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමටත් අවස්ථාව හිමිවේ.
කවදත් ස්වාධීන ජීවිතයක් ගත කිරීමට ප්‍රියකළ ජිස්ටිනා කාන්තාවකට උරුමවූ විවාහය, ගේ දොරු වැඩපළ දෙස බැලුවේ උදාසීන හැඟීමෙනි. පියාගේ මරණින් පසු පවුලේ වගකීම කරට ගෙන ආර්ථික අහේනියෙන් පවුල ගොඩ ගැනීම ඇගේ අභිප්‍රාය විය.
“ අපි හරිම දුප්පත් පවුලක්. මගේ අම්මට දරුවෝ හයදෙනෙක් හිටියා. තාත්තාගේ මරණින් පස්සේ එයාගේ පිට පැටවුණු බර ටිකක් හරි හෑල්ලු කරන්නයි මට ඕනෑ කළේ.“ පනස්හත් හැවිරිදි ජිස්ටිනා කියයි. අද වන විට තානායමක් පවත්වාගෙන යන ජිස්ටිනා ඒ අතරවාරයේ වතුපිටිවල වැඩපලෙහි ද, පශු පාලනයේ ද නිරත වන්නීය. පියාගෙන් උරුම වූ දැනුම අනුසාරයෙන් ඖෂධීය ශාකසාර ඇසුරින් පාන වර්ග, තෙල් වර්ග, නිෂ්පාදනය කිරීමෙහිලා ද ඇය නිපුණයෙකි.
“මගේ තාත්තාට ඖෂධීය ශාක වර්ග ගැන හොඳ දැනුමක් තිබුණා. එයා එයාගේ ඒ දැනුම අඩුවක් නැතිව මට දුන්නා. මට දැන් ඕනෑ මගේ මේ දැනුම මගේ ඥාති දියණිය වැලර්ජෙනාට දෙන්නයි.“ නමුත් වැලර්ජනා පවසන්නේ අද වන විට තමාගේ වයසේ පසුවන කිසිදු තරුණියක් දිවුරුම් දුන් කන්‍යාවියක වීමට සිහිනෙනුදු අපේක්ෂා නොකරන බව ය. ළමාවිය සිය නැන්දණිය ජීවත්වූ ලෙපුෂේ ප්‍රෙද්ශයේ ගත කළ වැලර්ජනාට ළාබාල වයසේ දී ම අවබෝධ වූ කරුණක් වූයේ එම පළාතේ කාන්තාවකට හිමි නිදහස සීමාසහිත බව ය.
ළාබාල වයසේ දී සිදු වන යෝජිත විවාහ
“මට කවදාවත් අමතක වෙන්නේ නැහැ පාසලේදි වුණු ඒ සිදුවීම. එතකොට මං හිටියේ හය වසරේ. මගේ යාළුවෙක් හිටියා නවය වසරේ. එයාට සිද්ධ වුණා වයස අවුරුදු දාහතරේදි විවාහ වෙන්න, ගෙදරින් ගෙනාපු යෝජනාවකට.“ වැලර්ජනා මතකය අවදි කරයි.
“එයා මට කිව්වා තවදුරටත් එයාට ඉගෙන ගන්න ලැබෙන එකක් නැහැ කියලා. විවාහ වුණායින් පස්සේ සැමියාට කීකරුව එයාගේ කීමට යටත්වෙලා ඉන්න ඕනෑ කියලයි මගේ යාළුවා මට කිව්වේ…..“
මේ නිසා විවාහය හෝ දිවුරුම් දුන් කන්‍යාවියක වීම වෙනුවට වැලර්ජනා තෝරා ගත්තේ ටිරානා අගනුවරට ගොස් සිනමා අධ්‍යක්ෂණය හා ඡායාරූපකරණය ඉගෙන ගැනීම ය. වයස අවුරුදු දහසයේ දී නිවස හැර ගිය වැලර්ජනා පවසන්නේ තම ගම් පළාතට වඩා ටිරානා අගනුවර දී කාන්තාවන්ට හා දැරිවියන්ට වැඩි නිදහසක් හිමි බව යි.
1990 දී සිදුවූ කොමියුනිස්ට් පාලනයේ බිඳ වැටීමත් සමඟ ඇල්බේනියානු සමාජ තන්ත්‍රෙය් වෙනස්කම් ගණනාවක් සිදුවූයේ කාන්තාවන්ට වැඩි අයිතීන් ප්‍රමාණයක් හිමි කර දෙමිනි. ඒත් සමඟ බර්නෙෂා සම්ප්රදාය ද අභාවයට යාම වැලර්ජනා දකින්නේ කාන්තා විමුක්තියේ ධනාත්මක ලකුණක් ලෙස ය.
“අද අපි තරුණියෝ සටන් කරන්නේ පිරිමින් වෙන්න නෙවෙයි. අපිට සටන් කරන්න වෙලා තියෙන්නේ සම අයිතීන් දිනා ගන්න. නමුත් ඒ පිරිමින් බවට පත්වෙන්නේ නැතිවයි” වැලර්ජනා කියයි.
ජිස්ටිනා මෙන් ම ඩයනාට ද තමන්ගේ කියා දරුවන් නැත. කිසිදා විවාහ නොවීම ගැන ජිස්ටිනාට මෙන්ම ඩයනාට ද හිතේ පසුතැවීමක්ද නැත. තරුණ වියේදී තමා ඉතා රූමත් ව සිටි බව කියන ඩයනා, වෘත්තියෙන් විශ්‍රාමික රේගු නිලධාරියෙකි. විශ්‍රාම කාලය ඩයනා ගෙවා දමන්නේ චිත්‍ර ඇදීමේත්, පාපැදි සවාරිවලත්, ඡායාරූපකරණයේත්, නියැළෙමිනි. ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පිරිමින්ගේ සමාගමය ය. එසේ වුවද බර්නෙෂාවක ලෙස කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්නට තමා දෙවරක් නොසිතන බව ඩයනා එකහෙළාම පවසයි.