කාන්තාවකගේ සෞඛ්‍ය තත්ත්වයට මානසික ආතතිය බලපාන අයුරු
ශරීරයේ ආරක්ෂාව වෙනුවෙන් ශරීරයේම ඇති වන ස්වභාවික ප්‍රකාශනය මානසික ආතතිය ලෙස හැඳින්විය හැකි බව පර්යේෂකයන් පවසනවා. විවිධ හේතු නිසා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇති වන මෙම තත්ත්වය ඇතැම් විට ඉතා පීඩාකාරී විය හැකියි. වර්තමානයේ කාර්යබහුල ජීවන රටාව සහ තරඟකාරීත්වය මෙයට වැඩිපුරම බලපාන බවයි පෙනී යන්නේ. නමුත් මානසික ආතතියෙන් මිදෙන්නට යැයි කියා අපට එදිනෙදා ජීවිතයේ වගකීම්වලින් මිදෙන්නට හැකියාවක් නැහැ. අප කළ යුත්තේ මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමයි. එසේ නොවුණහොත් මෙය දිගු කාලීනව පැවතීමෙන් පුද්ගලයාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට සෘණාත්මක බලපෑම් ඇති විය හැකියි.