Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ගෝත්‍රිකයන් අතරින් හමු වන ‘තොල් තැටි’ චාරිත්‍රයේ අඳුරු පැත්ත

ලොව පුරා විවිධ ස්ථානවල ජීවත් වන විවිධාකාරයේ, එකිනෙකට වෙනස් සංස්කෘතික වටපිටාවන් සහිත මිනිසුන් අතර, ඒ ඒ ප්‍රදේශවලට අනන්‍ය වූ අරුම පුදුම චාරිත්‍ර තිබෙනවා. මින් සමහරක් චාරිත්‍ර ඉතාම සුන්දර මෙන් ම, ජාත්‍යන්තරය විචිත්‍ර ලෙස පිළිගන්නා ඒවා වෙනවා.

තවත් සමහරක් දියුණු යැයි සම්මත ජනයා බැහැර කරන ඒවා වෙනවා. ඒ එම චාරිත්‍ර නිසා මිනිසුන් අපහසුතාවට පත් වන බව් පෙනී යන නිසා යි. අප්‍රිකානු හා අමෙරිකානු සමහර ගෝත්‍රික කණ්ඩායම් අතරින් හමුවන ‘තොල් තැටි පැළඳීමේ’ චාරිත්‍රය ඉන් එකක්.

සශ්‍රීකත්වය පෙන්වීමට හා ආරක්ෂාව සඳහා තොල් තැටි

කාන්තාවන්ගේ යටි තොල සිදුරු කර විශාල තැටියක් පැළඳවීමේ චාරිත්‍රය අතීතයේ ඇමසෝන් වනය ආශ්‍රිත සමහර ගෝත්‍රවල ජනයා හා අප්‍රිකානු ගෝත්‍ර සමහරක ජනයා සිදු කළා. විශේෂයෙන් මෙම තොල් තැටි පැළඳීමට හේතු වී ඇත්තේ ඔවුන් එයින් සිය සශ්‍රීකත්වය අන් අයට පෙනේ යැයි විශ්වාස කළ නිසා යි. පසුකාලීනව සතුරු ආක්‍රමණයන් හී දී සිය කාන්තාවන් ආරක්ෂා කරගනු වස් ඔවුන් මේ උපක්‍රමය භාවිත කළා. වර්තමානය වන විට මෙම චාරිත්‍රය බොහෝ සෙයින් යටපත් වී තිබෙනවා. කෙසේ නමුත් ඉතියෝපියාවේ මුර්සි හා සුර්මා ගෝත්‍රිකයන් අතර තවමත් මේ චාරිත්‍රය සෑහෙන පමණින් දැකගත හැකි යි.

 සුර්මා ගෝත්‍රික ජනයා- eandhtourandtravelagency.com

 

තොල් තැටි පළඳවන ආකාරය

මේ ගෝත්‍රවලට අයත් තරුණියන් වැඩිවියට පත් වීම ආසන්න වෙත් ම හෙවත් වයස අවුරුදු 12 පමණ වන විට, ඔවුන්ගේ මවුපියන් ඇයගේ යටි තොල සිදුරු කර තොල් තැටි පැළඳවීම ආරම්භ කරනවා. මෙහිදී ඔවුන්ගේ යටි තොල සිදුරු කර සෙන්ටිමීටරයක පමණ විෂ්කම්භය ඇති, ලී හෝ මැටිවලින් සෑදූ තැටියක් එම සිදුර ඇදී යන පරිදි පළඳවන අතර, කාලයාගේ ඇවෑමෙන් එම සිදුර ඇදී විශාල වත් ම පළඳවන තැටියේ විශාලත්වයත් වැඩි කරනවා, ඒත් සමඟ එහි බරත් වැඩි වන නිසා වසර කිහිපයක් ගත වන විට ඔවුන්ගේ තොල් ඇදී අඟල් කිහිපයක විෂ්කම්භය සහිත තැටියක් වුව ද පැළඳවිය හැකි මට්ටමකට පත් වෙනවා.

සාමාන්‍යයෙන් මුර්සි හා සුර්මා වැඩිහිටි කාන්තාවක විෂ්කම්භය සෙන්ටිමීටර 16 පමණ දක්වා වූ තොල් තැටි පළඳිනවා. මෑත ඉතිහාසයේ දී මෙම කාන්තාවක පැළඳි  විශාලත ම තොල් තැටියෙහි විෂ්කම්භය අඟල් 7.7 ක් වූ බැව් වාර්තාවල සඳහන් වෙනවා. මින් නොනැවතී ඔවුන් සිය කන් පෙති ද සිදුරු කර විශාල මැටි තැටි පළඳිනවා.

ලිපියෙහි මුලින් සඳහන් කළ පරිදි මෙම තොල් තැටි සිය සශ්‍රීකත්වය පෙන්වීමට ගෝත්‍රික පවුල් භාවිත කළ නිසා, ඔවුන් විවාපත් වීමේ දී මනාලයා, මනාලිය පැළඳ සිටින තොල් තැටියේ බරට අනුරූප ව දායාද ලබා දුන් චාරිත්‍රයක් ද ඔවුන් අතර ක්‍රියාත්මක වුණා. මේ නිසා සිය තොල් තැටි විසිතුරු දෑ යොදා ගෙන, වර්ණවත් ව මෙන් ම අලංකාර ව තබාගන්නට ඔවුන් උනන්දු වුණා.

 විසිතුරු තොල් තැටි පැළඳි ගෝත්‍රික කතුන්- news.beritabali.com

 

තොල් තැටි භාවිතයෙන් සිදු වන සෞඛ්‍යමය අපහසුතා

ප්‍රමාණයෙන් කෙතරම් විශාල වුව ද, තොල් තැටි භාවිත කරන මුර්සි හා සුර්මා වැනි ගෝත්‍රිකයන් විශ්වාස කරන පරිදි ඉන් සැලකිය යුතු මට්ටමේ සෞඛ්‍යමය ගැටලු ඇතිවන්න්නේ නැහැ. කෙසේ නමුත් ලොව බොහෝ වියතුන්ට අනුව මෙලෙස තොල් තැටි පැළඳවීම නිසා එම පුද්ගලයන්ට මානසික මෙන් ම ශාරීරික ගැටලු රාශියක් දීර්ඝකාලීනව පැන නැඟිය හැකි යි.

තොල් තැටි භාවිත කළ විට යටි තොලෙහි සිදුවන කැපුම, ඉරුමක් දක්වා වර්ධනය වී, එය ස්ථිර ලෙස එල්ලී පවතින්නට පටන්ගැනෙනවා. ශල්‍යකර්මයකින් හැර එය නැවත සකසන්නට බැහැ. එමෙන් ම යටි තොලෙහි සංවේදීතාව ද මේ නිසා අඩු විය හැකි යි. විශාල තොල් තැටියක් පැළඳි අයකුට ආහාර ගැනීමේ දී මෙන් ම කථනයේදී ද අපහසුතා රාශියක් ඇති වෙනවා. විශේෂයෙන් බර ආහාර ගැනීමේදී මෙන් ම යමක් උරා බීමේදී ද යටි තොලෙන් ලබා ගත හැකි සහය මේ නිසා අවම වෙනවා.

තොල් තැටියක් විශාල බරකින් යුක්ත වන්නේ නැහැ. කෙසේ නමුත් ප්‍රමාණයෙන් විශාල වන්නට වන්නට එහි බර වැඩි වෙනවා. එය හසුරුවා ගැනීමත් අපහසු වෙනවා. මේ නිසා ශරීරයේ බර විහිදී පවතින ආකාරය වෙනස් විය හැකි යි. මේ නිසා ගෙලෙහි අස්ථි හා මාංශපේශි අනවශ්‍ය ලෙස ඇදීමකට ලක් වී, ඒවා වේදනාවට පත්විය හැකි අතර, දීර්ඝකාලීන ව විශාල සෞඛ්‍ය ගැටලු ඇති වීමේ විශාල අවදානමක් ද ඇති වෙනවා.

 තොල් තැටි පැළඳවූ පසු තොලෙහි ඇතිවන ඇදුම නැවත සැකසීමටනම් ශල්‍යකර්මයක් සිදුකළ යුතුයි – Pinterest.com

 

තොල් තැටි පැළඳ සිටීම ඒ ඒ ගෝත්‍රවල ජනයාගෙන් බොහෝ දෙනෙකුට ආඩම්බර මෙන් ම, සුන්දර දෙයක් වුව ද, එහි ජීවත් වන සමහරක් දෙනාට මානසික වශයෙන් ගැටලු ගෙන දෙන යමක් විය හැකි යි. කෙසේ නමුත් තමන්ගේ ගෝත්‍රයෙහි ආචාර ධර්ම හා විශ්වාසයන්ට යටත් ව සිටිය යුතු නිසා මේවා ඔවුන් අකැමැත්තෙන් භාවිත කරනවා ද විය හැකි යි. මොවුන්ගෙන් පරිබාහිර ලෝ වැසියන් බොහෝ දෙනා මෙය එතරම් ආකර්ශනීය හෝ සුන්දර දෙයක් ලෙස දකින්නේ නැහැ. එබැවින් සෞඛ්‍ය බලධාරීන් බොහෝමයක් දෙනා මත පළ කරන පරිදි මෙවැනි තැටි පළඳින සැලකිය යුතු කාන්තාවන් පිරිසක් මානසික වශයෙන් පීඩනයට පත්ව සිටිනවා. එය එක්තරා අන්දමකින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ද ඔවුන් සලකනවා.

වර්තමාන තත්ත්වය

තොල් තැටි පැළඳ සිටීමේ චාරිත්‍රය වේදනාකාරී වූත්, කරදරකාරී වූත් චාරිත්‍රයක් වන අතර, මේ නිසා ම මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් එය සිදුකිරීම දැඩි ලෙස බැහැර කරනවා. මේ හේතුවත්, ගෝලීයකරණය වැනි කාරණා නිසාත් මෙම තොල් තැටි පැලැඳීමේ චාරිත්‍රය අභාවයට යමින් තිබෙනවා.

කවරයේ ඡායාරූපය- මුර්සි හා සුර්මා වැඩිහිටි කාන්තාවක විෂ්කම්භය සෙන්ටිමීටර 16 පමණ දක්වා වූ තොල් තැටි පළඳිනවා - storiesmagic.com.ng 

මූලාශ්‍ර:

Allthatsinteresting.com

Thetop10news.com

Holidayme.com

Related Articles