Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරුම පුදුම හරිත කත – එළිසබෙත් ස්වීට්හාට්

අප හැම දෙනකු ම බොහෝ සෙයින් ඇලුම් කරන දේවල් රැසක් තිබෙන බව ඉතාමත් සාමාන්‍ය කරුණක්. ඒ අතර විවිධ කෑම වර්ග, බීම වර්ග, ඇඳුම් සහ විනෝදාංශ වැනි බොහෝ දේවල් තිබෙන්නට පුළුවන්. ඊට අමතර ව අප ඇලුම් කරන දේවල් අතරින් තවත් ප්‍රධාන ම දෙයක් තමයි වර්ණ. එසේත් නැත්නම් පාට වර්ග. සමහරුන් නිල් පාටට බොහෝ දෙයින් ප්‍රිය කරනවා, තවත් සමහරුන් රතු පාටට බොහෝ සෙයින් ප්‍රිය කරනවා. මේ ආකාරයෙන් බොහෝ දෙනකුට තමන් වඩාත් ප්‍රිය කරන වර්ණයක් තිබෙන්නට පුළුවන්.

එළිසබෙත් ස්වීට්හාට් – Pinterest

 තමන්ගේ ප්‍රියත ම වර්ණය මුළු  ජීවිතය ම කර ගත් යම්කිසි අයකු පිළිබඳ ව ඔබ අසා තිබෙනවා ද? මෙම ලිපිය සිය ප්‍රියත ම වර්ණය ජිවිතය ම කර ගත් කාන්තාවක් පිළිබඳ ව යි. කැනඩා ජාතික කාන්තාවක වන එළිසබෙත් ඊටන් රොසෙන්තාල්  හෙවත් එළිසබෙත් ස්වීට්හාර්ට් වන ඇයගේ ප්‍රියත ම වර්ණය කොළ පැහැය යි. ඇය තමන්ගේ ප්‍රියත ම වර්ණය පිළිබඳ ව කෙතරම් සැලකිලිමත් වෙනවා ද යත් ඇගේ ඇඳුම් පැළඳුම්, නිවසේ ඇති බදු බාහිරාදිය වැනි සියලු ම දේ ඇගේ ප්‍රියත ම වර්ණයෙන් යුක්ත යි. මෙම ලිපියෙන් අපි මේ අපුරු කාන්තාව පිළිබඳව සොයා බලමු.

උපත සහ ළමා කාලය

1941 වසරේ ජූනි මස 21 දින කැනඩාවේ ගල් අඟුරු කැණීම් සඳහා ප්‍රසිද්ධ ග්‍රාමීය ප්‍රදේශයක උපත ලැබූ එළිසබෙත් කුඩා කල පටන් හදා වඩා ගනු ලැබුවේ ඇයගේ මිත්තණිය සහ සීයා විසිනි. ඔවුන් ඉතාමත් දිළිඳු අය වූ අතර ඒ හේතුවෙන් ඇයට ජිවත් වීමට සිදු වූයේ ඉවතලන දෑ යොදා ගෙන ඉදි කළ කුඩා පැල්පතක ය.

එලිසබෙත් වරක් සිය මව සමඟ – Pinterest

එළිසබෙත්ගේ මිත්තණියට ඇඳුම් මෝස්‌තර කලාව පිළිබඳ සැලකිය යුතු දැනුමක් තිබූ අතර ඒ හේතුවෙන් කුඩා කල පටන් ම එළිසබෙත්ට ද රෙදි පින්තාරු කිරීම සහ විවිධ ඇඳුම් මෝස්‌තර සකස් කිරීම වැනි දේ පිළිබඳ ව ඉගෙනීමට හැකියාව ලැබිණි. පසුව පාසල් අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරු ව මෝස්‌තර නිර්මාණ කලාව පිළිබඳව තවදුරටත් හැදෑරීමේ අරමුණින් එළිසබෙත් කැනඩාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වූ මවුන්ට් ඇලිසන් විශ්ව විද්‍යාලයට ඇතුළු වූවා ය. එහිදී සුප්‍රසිද්ධ කැනේඩියානු චිත්‍ර ශිල්පියකු මෙන් ම මෝස්‌තර නිර්මාණ ශිල්පියකු වූ ඇලෙක්ස් කොල්විල් යටතේ අධ්‍යාපනය ලැබීමට ඇයට අවස්ථාව ලැබිණි.

අමෙරිකාවට පැමිණීම

විශ්විද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයමින් එළිසබෙත් දීර්ඝ කාලයක් කැනඩාවේ කාලය ගත කළත් ඇයට සුදුසු රැකියාවක් සොයාගැනීමට නොහැකි විය. ඒ හේතුවෙන් ඇය 1964 වසරේ දී අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය වූවා ය.

කොට්ටයක් සහ සටහන් පොතක් පමණක් අතැති ව නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය වූ ඇය එහිදී රැකියා සොයා දෙන ආයතනයක් වෙත යොමු වූ අතර එම ආයතනය ඇය එක්තරා ආයතනයක සම්මුඛ පරීක්ෂණයක් සඳහා යොමු කර තිබිණි. ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වූ එම ආයතනය ඇයගේ හැකියා පිළිබඳ ව සතුටට පත් ව එහි මෝස්‌තර නිර්මාණ දෙපාර්තමේන්තුව සඳහා එළිසබෙත් බඳවා ගැනිණි.

එළිසබෙත් සිය නිවස ඉදිරිපිට – Trend & Chaoas

ව්‍යාපාර ආරම්භ කිරීම

ඉහත කී ඇඟලුම් කම්හලේ  සහ තවත් එවැනි ම ආයතන කිහිපයක මෝස්‌තර නිර්මාණ ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත වූ එළිසබෙත් තමන්ගේ ම ව්‍යාපාරයක් ලෙස මෝස්‌තර නිර්මාණ ආයතනයක් ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කළා ය. පසුව ඇයගේ හිතමිතුරන් කිහිප දෙනකුගේ ද සහාය ලබාග නිමින් 1987 වසරේදී ‘ස්වීට්’පී’, ‘SweetPea’ යන නමින් ඇයගේ ම මෝස්‌තර නිර්මාණ සමාගමක් ආරම්භ කළා ය. 1987 වසරේ සිට 2002 දක්වා එම සමාගම පවත්වා ගෙන ගිය ඇය ඉන් අනතුරු ව මෝස්‌තර නිර්මාණය වෙනුවට ඇඳුම් පින්තාරු කිරීම සඳහා යොදාගන්නා තීන්ත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා ය.

ඊට අමතර ව විවිධ සුප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ආයතන ගණනාවක් සඳහා අතින් අඳින ලද විවිධ මෝස්‌තර සකස් කිරීමට ද එළිසබෙත් පසුකාලීනව යොමු වූවා ය. ඇය එම සේවා සපයන සන්නාම අතර Michael Kors, Liz Claiborne, Calvin Klein, American Eagle Outfitters සහ Ralph Lauren ඒවා ප්‍රධාන තැනක් ගනී.

කොළ පැහැය සමඟ ඇති සබැඳියාව

මේ වන විට 80 වැනි වියේ පසුවන එළිසබෙත් ‘කොළ පැහැති කාන්තාව’ එනම්, ‘Green Lady’ යනුවෙන් ඇය ජීවත් වන අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි බ්රූක්ලින් ප්‍රදේශයේ ජනතාව අතර ජනප්‍රිය ය. ඊට ප්‍රධානත ම හේතුව වී ඇත්තේ වසර විස්සකටත් වැඩි කාලයක් තිස්සේ කොළ පැහැය හා ඇය අතර ඇති අසාමාන්‍ය සම්බන්ධතාව යි.

මිට වසර විස්සකට පමණ පෙර සිට හිසේ සිට දෙපතුල දක්වා ම ඇය අඳින පළඳින දෑ කොළ පැහැයෙන් යුක්ත වන අතර ඇගේ හිසකෙස් ද නිරතුරුව ම කොළ පැහැයෙන් වර්ණ ගැන්වීමට එළිසබෙත් අමතක කරන්නේ නැත. ඇගේ නිවසේ ඉදිරිපස දොරටුව, පසුපස දොරටුව, උඩුමහලට පිවිසෙන පිය ගැට පෙළ වැනි සියලු දේ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇත. නිවසේ ඇති තිර රෙදි වැනි අනිකුත් බොහෝ දෑ ද කොළ පැහැයෙන් යුක්ත ය.

එළිසබෙත් සිය කොළ පැහැති ඇඳුම් සමඟ – Trend and Chaos

ඇගේ නිවසේ මුළුතැන්ගෙයි බිත්ති ද කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇත. එහි තිබෙන කසළ බඳුන්, පිඟන් සහ කෝප්ප, එළවළු කැපීම සඳහා භාවිත කරන පුවරු, සාස්පාන්, ධාන්‍ය වර්ග බහාලීම සඳහා භාවිත කරන බඳුන් වැනි සියලු ම දේ කොළ පැහැයෙන් යුක්ත ය. ඊට අමතර ව පිරිසුදු කිරීමේ කටයුතු සඳහා යොදාගන්නා කොසු, ඉදල්, ස්පොන්ජ් කැබලි සහ රෙදි කැබලි වැනි සියලු දේ ද කොළ පැහැයෙන් යුක්ත වීම ඇය කොළ පැහැයට කෙතරම් කැමැත්තක් දක්වනවා ද යන්න මනාව පිළිබිඹු කරයි.

ඇගේ විදේශ ගමන් බලපත්‍රයේ දැකිය හැක්කේ ද ඇයගේ හිසකෙස් කොළ පැහැයෙන් වර්ණ ගැන්වූ අවස්ථාවක ගත් ඡායාරූපයක් වන අතර එහි ඇගේ අත්සන තබා ඇත්තේ ද කොළ පැහැති තීන්ත සහිත පෑනකිනි. එළිසබෙත් වරක් පවසා ඇති පරිදි ඇගේ යට ඇඳුම් සහ රාත්‍රී ඇඳුම් පවා කොළ පැහැති ඒවා වන අතර ඇගේ ඇඳ ඇතිරිලි, පාවහන්, මේස් වැනි සියලු ම දේ ද කොළ පැහැයෙන් යුතු ය.

එළිසබෙත් ගේ නිදන කාමරය- Daily Mail

ඇය වසර ගණනාවක් තිස්සේ ඇගේ සුරතල් සුනඛයා ද සමඟ සෑම දිනක ම උදෑසන ඇවිදීමට යන අතර ඇය දැක බලා ගැනීමට බලාපොරොත්තුවෙන් ප්‍රදේශයේ බොහෝ දෙනකු සෑම උදෑසනක ම ඇය එන තෙක් බලා සිටින්නේ ඇගේ කොළ පැහැති අපූරු විලාසිතා දැක බලාගැනීමේ අරමුණිනි. වරක් ඇය එම සුනඛයාගේ ලොම් ද කොළ පැහැයෙන් වර්ණ ගැන්වීමට සුදානම් වී තිබෙයි. කෙසේ නමුත් මනෝ වෛද්‍යවරයකු වන ඇගේ පුත්‍රයා ඒ සඳහා ඉඩ ලබා දී නැත.

කොළ පැහැයට ඇලුම් කරන හේතුව

එළිසබෙත්ගේ මේ අපූරු කැමැත්ත නිසා විවිධ මාධ්‍ය ආයතන අවස්ථා ගණනාවක දී ඇය සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ. ඉන් එකක් අතරතුර ඇය කොළ පැහැයට මෙතරම් ඇලුම් කිරීමට හේතුව කුමක්දැයි විමසූ අවස්ථාවේ ඇය සඳහන් කර ඇත්තේ කොළ පැහැය යනු වඩාත් ම ධනාත්මක සහ ප්‍රියජනක වර්ණය කියා ය. කැනඩාවේ හරිත පැහැයෙන් යුතු ග්‍රාමීය ප්‍රදේශයක ජිවත් වූ ඇයට නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය වීමෙන් අනතුරු ව කැනඩාවේ ජිවත් වන කාලයේ දී තමන් අවට වටපිටාවේ දක්නට තිබූ කොළ පැහැය නිරතුරුව ම මතකයට පැමිණීම ද මෙතරම් කොළ පැහැයට ඇලුම් කිරීමට හේතු වන්නට ඇති බව ඇය පවසා තිබේ.

අපූරු සිදුවීමක්

2015 වසරේ හැලොවින් දිනයේදී එළිසබෙත් අපුරු සිදුවීමකට මුහුණ දී ඇත. එම සිදුවීමත් කොළ පැහැය සමග ඇති ඇගේ අසාමාන්‍ය සම්බන්ධය සමඟ බැඳුණු එකක් වීම විශේෂත්වයකි. එදින ඇගේ නිවසේ ඉදිරිපස දොරට කවුරුන් හෝ තට්ටු කරන හඬ ඇසී එහි ගිය ඇයට දක්නට ලැබී ඇත්තේ ඇගේ ශරීර ප්‍රමාණයෙන් ම යුත් තරුණියක සම්පුර්ණයෙන් ම කොළ පැහැයෙන් යුතු ඇඳුමකින් සැරසී සිටින අයුරු ය.

වරක් ඇයගේ මොළයේ ශල්‍ය කර්මයක් සිදු කිරීමට රෝහල්ගත වූ අවස්ථාවක එම ශල්‍ය කර්මය සිදු කළ වෛද්‍යවරයා ඇගේ කොළ පැහැති හිසකෙස්වලට කැමැති වූ හෙයින් සාමාන්‍ය ශල්‍ය කර්මයක දී සිදු කරන පරිදි ඇගේ හිසකෙස් කපා ඉවත් නො කළ බව ද ඇය සඳහන් කර තිබේ. ඇය පවසන්නේ කොළ පැහැය යනු හුදෙක් ම තමන්ගේ ප්‍රියත ම වර්ණය පමණක් නොව සිය ජිවිතයේ අසීරු අවස්ථාවලදී ශක්තිමත්ව ඒවාට මුහුණදීම සඳහා ඇයට උපකාර කරන සාධකයක් ද බව ය.

එළිසබෙත් ගේ ගෙවත්ත – Gem App

උද්‍යානය

මේ වන විට එළිසබෙත් රැකියාව සඳහා නිවසින් පිටට නොයන බැවින් ඇය විවිධ පැළෑටි වර්ග රැසකින් යුතු උද්‍යානයක් සිය නිවස වටා නිර්මාණය කර ඇත. එය ද කොළ පැහැයෙන් යුක්ත වන සේ කොළ පැහැති පත්‍ර සහිත ශාක වර්ග බොහෝමයක් ඒ සඳහ යොදාගෙන ඇත. අතර දිනකට පැයක හෝ දෙකක කාලයක් ඇය සිය උද්‍යානයේ කටයුතු සඳහා ගත කරයි. එහි විවිධ එළවළු වර්ග, මල් වර්ග සහ ඖශධ වර්ග වගා කර තිබේ.

පවුල් ජීවිතය

1966 වසරේදී එළිසබෙත් මෝස්‌තර නිර්මාණ ශිල්පියකු වූ රොබර්ට් රොසෙන්තාල් සමග විවාහ වූ අතර ඔවුන් දෙදෙනාගේ පුතා වන සෑම් මනෝ වෛද්‍යවරයකු ලෙසින් කටයුතු කරයි. 

කවරයේ පින්තූරය- අරුම පුදුම හරිත කත- එළිසබෙත් ස්වීට්හාට් -Trend and Chaos

මූලාශ්‍ර-

www.nytimes.com

www.behance.net

www.artstation.com

www.dailymail.com

Related Articles