Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිනහවෙන් දෛවයට අභියෝග කළ තරුණිය: ක්ලෙයාර්

ඇගේ හදවත වරක්, දෙවරක් නොව තෙවරක් ම ඇණ හිටිණි. ඇයට ඇගේ මුළු ජීවිතය ම බඳු වූ දෙපා පවා අහිමි විය. එපමණක් ද නොව ඇය හදවතේ ආබාධයක් සහිත ව උපන්නියක වූවා ය. එසේ තිබියදීත් තමා මිහිපිට සිටින වාසනාවන්ත ම පුද්ගලයා බව අවංක ප්‍රීතියකින් පැවසීමට තරම් ඇය සුබවාදී දැක්මක් ඇත්තියක වූවා ය. ඇගේ මෙම අසහාය ධෛර්යය හා ධනාත්මක පෞරුෂය ඇගේ වෛද්‍යවරුන් අපමණ විස්මයට පත්කිරීමට ද හේතු විය. 

කොවිඩ් රෝගය නිසා හටගත් සංකූලතාවක් හේතුවෙන් ඇගේ දෙපා සැත්කමකින් ඉවත් කළ, රුධිර වාහිනී පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩීන් ආර්නෝටාකිස් පවසන්නේ තමාගේ සෙසු රෝගීන්ට ආදර්ශයක් ලෙස තමා ඉදිරිපත් කරන්නේ ඇය බව ය. ඇගේ හදවතේ සැත්කමක් සිදුකළ නිව්යෝක් නුවර මවුන්ට් සීනායි රෝහලේ හදවත් හා රුධිරවාහිනි පිළිබඳ මහාචාර්යවරයකු වන වෛද්‍ය ඉස්මායෙල් එල් හැමම්සි පවසන්නේ ඇය විශ්වාස කිරීමට අසීරු අන්දමේ සුබවාදීත්වයක් හා ධනාත්මක චින්තනයකින් හෙබි තරුණියක බව ය. ඒ විසිඑක් හැවිරිදි ක්ලෙයාර් බ්‍රිජස් මරණය පෙනී පෙනී වුව ද, ජීවිතය ජීවත් කරවීම පරම අධිෂ්ඨානය කර ගත් අපූර්ව ධෛර්යයකින් යුතු අසමස ම තරුණියක වන නිසා ය.

ක්ලෙයාර් රෝගී වීමට ප්‍රථම නිරූපිකාවක ලෙස – www.cnn.com

ජීවිතය කණපිට හැරවූ කොවිඩ් රෝගය

2022 ජනවාරි මාසය වන විට විසි හැවිරිදි වියේ සිටි ක්ලෙයාර් බ්‍රිජස් නිරූපිකාවක ලෙසත්, අවන්හල් සේවිකාවක් ලෙසත් ස්වාධීන ජීවිතයක් ගත කරමින් සිටි තරුණියක වූවා ය. සියල්ල නොසිතූ මොහොතක කණපිට පෙරළෙන්නේ ඇයට කොවිඩ් රෝගය ආසාදනය වීමත් සමඟ ය. මුළුමනින් ම නිර්මාංශ දිවි පෙවෙතකට හුරු ව සිටි ඇය අතිශයින් ම නීරෝගි තරුණියක වූ බවයි ක්ලෙයාර්ගේ මව පවසන්නේ. 

කොවිඩ් රෝගයට ගොදුරු වුව ද ඇය රෝහල්ගත කිරීමට සිදුවනු ඇති බවක් කිසිවකුත් සිතුවේ නැත්තේ ද ඇය පූර්ණ එන්නත්කරණයට ලක් ව සිටි නිසා ය. ක්ලෙයාර් වූ කලී ජානමය වශයෙන් පැවත එන හදවත් ආබාධයක් ඇතිව උපන්නියක වූවා ය. මහා ධමනියේ කපාටයක හට ගත් ජානමය විකෘතියක් නිසා කපාට තුනක් වෙනුවට ඇයට තිබුණේ කපාට දෙකක් පමණි. මෙම තත්ත්වය නිසා සාමාන්‍යයෙන් වැඩ කරනවාට වඩා වැඩි ආතතියකින් යුතු ව වැඩ කිරීමට හදවතට සිදුවන බැවින් සුළු කාර්යයකින් වුව ද රෝගියා පහසුවෙන් වෙහෙසට පත්වීම සිදුවන්නකි. 

රෝගී වීමට ප්‍රථම ක්ලෙයාර් රෝලර් ස්කේටින් ක්‍රීඩාවේ නියැලීමද විනෝදාංශයක් කරගත්තාය – www.cnn.com

“ මට සාමාන්‍යයෙන් කරන වැඩ කරන්න පුළුවන්කම තිබුණා. මට කවදාවත් ක්‍රීඩා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කාලයත් එක්ක මං මගේ සීමා ගැන ඉගෙන ගත්තා. හති වැටුණ ම ටිකක් නැවතිලා විවේක ගන්න මං පුරුදු වුණා.“ ක්ලෙයාර් කියයි.      

ඇගේ හදවත් රෝගය නිසා හෝ වෙනයම් පැහැදිලි කළ නොහැකි හේතුවක් නිසා කොවිඩ් රෝගය ඉතා දරුණු ලෙස ක්ලෙයාර්ට බලපෑවේ ය. ඇගේ සමස්ත ජීවිතය ම පාලනයෙන් ගිලිහී යාමට රෝගය ආසාදනය වී වැඩි කලක් ගතවුණේ නැත.

“ දවසින් දවස ම මගේ තත්වය නරක අතට හැරුණා. තෙහෙට්ටුව, කෑම අරුචිය තදින් ම මට තිබුණා.“ ක්ලෙයාර් සිහිපත් කරයි. 

“දවසක් මගේ අම්මාට හමුවෙනකොට මං ඉඳලා තියෙන්නේ සිහිසුන්ව. රෝහල්ගත කළායින් පස්සේ එදා රෑ තුන්පාරක් ම මගේ හදවත නැවතිලා තිබුණා.“ 

ක්ලෙයාර් සිය නිරූපණ නියෝජිතවරිය සමඟ – www.cnn.com

මරණාසන්න අත්දැකීමක්

ක්ලෙයාර් රුධිර කාන්දුකරණ යන්ත්‍රයකටත්, කෘත්‍රිම ව හදවත ස්පන්දනය කරවන යන්ත්‍රයකටත් සම්බන්ධ කිරීමට වෛද්‍යවරුන් පියවර ගත්තේ ඇය සිටි අවදානම් සහගත තත්ත්වය නිසාම ය. එම කාලය ගැන ක්ලෙයාර් කියන්නේ තමා මනෝ විකෘතියකට ලක්ව සිටි අවධියක් බව ය. 

“මට හිතුණා හැමෝම උත්සාහ කරන්නේ මාව මරා දාන්න කියලා. මං දැක්කා හරිම දීප්තිමත් ආලෝකයක්. ඒ වගේම මගේ මිය ගිය සීයාවත් මං දැක්කා. මගේ මව්පියන් දිහා ඈත තිබුණු කවුළුවකින් බලාගෙන ඉන්නවා කියලයි මට හිතුනේ. ඒක හීනයක්ද, හැබැහින්ද කියන්න මං දන්නේ නැහැ. නමුත් මට තේරුණා මට ජීවිතය දාලා යන්න බැහැ කියලා. මගේ සිරුර පවා ජීවිතය රැක ගන්න ලොකු සටනක යෙදිලයි හිටියේ……“

පාද ඉවත්කිරීම හැර අන් විකල්පයක් නෑ

ක්ලෙයාර් එලෙස ජීවිතය රැක ගැනීමට ආත්මික සටනක නියැළෙද්දී, දිනෙන් දින අඩපණ වන ඇගේ සිරුර යථා තත්ත්වයට ගෙන ඒමට වෛද්‍යවරු දැවැන්ත අරගලයක නියැළී සිටියෝ ය. ඇගේ අවය ව එකින් එක ක්‍රියා විරහිත වීමට පටන්ගෙන තිබුණේ ස්වභාවයෙන් ම දුර්වල ඇගේ හදවත මත අමතර පීඩනයක් ඇති කරමිනි. ඇගේ පාදවල රුධිර ගමනාගමනය මුළුමනින් ම ඇණ හිට තිබුණු අතර ඒ නිසා පටක මිය යෑමට පටන්ගෙන තිබුණේ පාද ඉවත්කිරීම හැර අන් විකල්පයක් ලබා නොදෙමිනි. සැත්කමකින් පාද කපා ඉවත් කළ යුතුය යන අසුබ ආරංචිය ක්ලෙයාර්ට දැන්වීමට ඇගේ සයනය වටා රොක්වූ වෛද්‍යවරුන්ට ඇය ලබා දුන් ප්‍රතිචාරය සියල්ලන් පුදුම කරවීමට සමත් විය.

“ මම එයාලාට ස්තූති කළා මගේ ජීවිතය බේරා ගත්ත එක ගැන. ඒ කියලා මං ඇහුවා මට කෘත්‍රිම පාද ලබාගන්න පුළුවන් නේද කියලා“ ක්ලෙයාර් පවසයි. ක්ලෙයාර්ගේ මව කිම්බර්ලි ස්මිත් පවසන්නේ සිය දියණියගේ ප්‍රතිචාරය වෛද්‍යවරුන් ඇතුළු සියල්ලන් ම විස්මයෙන් කම්පිත කිරීමට හේතු වූ බව යි. 

ක්ලෙයාර් සිය පියා සමඟ – www.cnn.com

“ අපේ පවුලේ කාට හරි මේ වගේ දෙයක් වුණොත් ඒ තත්වයට හොඳින් ම මුහුණ දෙන්නේ ක්ලෙයාර් කියලා අපි කවුරුත් කල්තියාම දැනගෙන හිටියා. ඇය ඒ තරම්ම සුබවාදී චරිතයක්.“ ස්මිත් පවසයි. 

අහිමිවීම් රැසක් මැද ජීවිතය සමඟ සටනක

දෙපා අහිමිවීම වූ කලී ජිවිතයත් මරණයත් අතර ක්ලෙයාර් නියැළී සිටි අරගලයේ එක් අදියරක් පමණි. රෝහල්ගත ව සිටි කාලයේ දී ඇය මිය යා හැකි වූ හේතු ගණනාවක් තිබූ බව පවසන්නේ ඇගේ මව වන කිම්බර්ලි ස්මිත් ය. රෝගී අවධියේ දී නිසි ලෙස ආහාර පාන නොලැබීම නිසා දැඩි ලෙස මන්දපෝෂණයට ලක්ව සිටි ක්ලෙයාර්ට ආහාර ලබාදීම සිදුකෙරුණේ නාසය හරහා යෙදු බටයක් ආධාරයෙනි. ඒ නොයෙක්වර ඇය වමනය කළේ ඇගේ කුඩා අන්‍ත්‍රයට විශාල වශයෙන් හානි සිදුකරමිනි. 

අධික රුධිර වහනය නිසා ඇයට කිහිපවරක් රුධිර පාරවිලයනය කිරීමට සිදුවූ අතර එය ක්ලෙයාර් වැනි රෝගී කපාට සහිත හදවතක් තිබූ අයකුට අතිශයින් ම අවදානම් සහගත වූවක් විය. ඒ අධික පීඩනයකින් සිදුකෙරෙන පාරවිලයනය රෝගී හදවතකට දරා ගැනීම අසීරු හෙයිනි. මීට අමතර ව ඇය Refeeding Syndrome නැමැති සංකූලතාවෙන් පෙළෙන්නට වූවා ය. 

ක්ලෙයාර් වෛද්‍ය එල් හැමම්සි සමඟ – www.cnn.com

මන්දපෝෂණයට ලක්වූ සිරුරකට ආහාර හඳුන්වා දීමට  පටන් ගත් කල සිරුරේ වන තරල, විද්‍යුත් විච්ඡේද්‍ය හා ඛනිජ වර්ගවල සමබරතාව ගිලිහී ගොස් හදිසි කම්පන, සිහිසුන්වීම වැනි තත්ත්ව හටගැනීම මෙම රෝගයේ ලක්ෂණයකි. කඩිනමින් ප්‍රතිකාර නොලැබුණහොත් අවයව අඩපණ වී, රෝගියා මරණයට පත්වීමට වුව ද බැරි නැත. ක්ලෙයාර් මුහුණ දී සිටියේ එවන් අවදානම් සහගත තත්වයකට ය. 

ඒ සියලු ජීවිත අවදානම් මැද ක්ලෙයාර්ගේ හිසකෙස් පොකුරු පිටින් ගැලවී යාමට පටන්ගත්තේ ඇය දැඩි මානසික අසහනයකට පත්කරමිනි. ඒ ඇය මුහුණ දී සිටි මන්දපෝෂණ තත්වයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අවස්ථාවේදි ඇගේ සහායට පැමිණියේ ඇගේ පවුලේ සාමාජිකයන් හා  මිතුරු කැල ය. 

ක්ලෙයාර් සමඟ හිසකෙස් බූ ගෑමට එක්වූ ඇගේ මව හා මිතුරු පිරිස. – www.cnn.com

“මගේ කොණ්ඩේ පොකුරු පිටින් ගැලවිලා අතට එන්න පටන් ගත්තා. එහෙම ගැලවිලා එනකොට මට අඬන්නේ නැතිව ඉන්න බැරි වුණා. ඒක වලක්වන්න තියෙන එකම ක්‍රමය කොණ්ඩේ සම්පූර්ණයෙන් බූ ගාලා දාන එක කියලා මං දැනගෙන හිටියා. මං එහෙම කරනවා කියලා මගේ මල්ලිට කිව්වාම, දෙපාරක් හිතන්නේ නැතිව එයාත් කිව්වා එයාගේ කොණ්ඩෙත් බූ ගාලා දානවා කියලා. අන්තිමේදි මගේ ළඟින් හිටපු හැමෝ ම එයාලගේ කොණ්ඩ බූ ගෑවා. ඇත්තට ම ඒක හරිම විනෝදාත්මක අත්දැකීමක් වුණා අපිට. අනික මට හැමදාමත් ඕනේ වෙලා තිබුණා ජීවිතේ එක පාරක් හරි කොණ්ඩේ බූ ගාන්න. ඉතිං ඒක මට හොඳ අවස්ථාවක් වුණා. “ ක්ලෙයාර් කියන්නේ වරලස අහිමිවීම ගැන සුළු හෝ පසුතැවීමක් නැතිව ය. 

නවීන පන්නයේ හදවත් සැත්කමක් 

ක්ලෙයාර්ට විඳීමට සිදුවූ දුක්ගැහැට එතැනින් කෙළවර වුණේ නැත. ඇගේ රෝගී හදවත ඒ වන විට දීර්ඝකාලීන රෝගී තත්වය හේතුවෙන් බෙහෙවින්ම අඩපණ වී තිබිණි. ඉතාම ඉක්මනින් ඇයට අලුතින් සංස්ථානික ධමනි කපාටයක් බද්ධ කළ යුතු විය. 

“කවදාහරි දවසක ක්ලෙයාර්ට හදවත් සැත්කමකට ලක්වෙන්න වෙනවා කියලා අපි දැනගෙන හිටියා. නමුත් වෛද්‍යවරුන්ට අවශ්‍ය වුණේ එයා වයසින් වැඩුණායින් පස්සේ කපාට බද්ධ කිරීම සිදුකරන්න“ ක්ලෙයාර්ගේ මව කියයි. 

ක්ලෙයාර් සිය සොහොයුරා සමඟ – www.cnn.com

ක්ලෙයාර්ගේ සැත්කම සඳහා ඇගේ වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ මවුන්ට් සීනායි රෝහලේ හදවත් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය එල් හැමම්සි ය. ඔහු ‘රොස් ක්‍රමවේදය‘ ලෙස හැඳින්වුණු විශේෂිත සංස්ථානික ධමනි කපාට ප්‍රතිස්ථාපන සැත්කම් සම්බන්ධයෙන් නම් දැරූවෙක් විය. 

“ඉදිරියට අවුරුදු විස්සකට වඩා ජීවිතාපේක්ෂාව තියෙන ඕනෑම අයෙක් රොස් සැත්කම සඳහා අපේක්ෂකයෙක් විදිහට සලකන්න පුළුවන්. ක්ලෙයාර් වගේ තරුණ අයට රොස් කියන්නේ කදිම ප්‍රතිකාරයක්.“ එසේ කියන්නේ වෛද්‍ය එල් හැමම්සි ය.

සාමාන්‍යයෙන් හෘත් කපාට ප්‍රතිස්ථාපනය කරන සම්ප්‍රදායික සැත්කම්වලදී සිදුවන්නේ දෝෂ සහගත කපාටය වෙනුවට දායක මළ සිරුරකින් ලබා ගත් කපාටයක් බද්ධ කිරීමකි. රොස් සැත්කමේ ඇති විශේෂත්වය වන්නේ රෝගියාගෙන් ම ලබා ගත් ඵුප්ඵුසීය ධමනි කපාටයක් මහා ධමනි කපාටය වෙනුවට බද්ධ කිරීමකි. එය හැම අතින් ම මහා ධමනි කපාටයට සමාන වූවක් වීම මෙම සැත්කමේ සාර්ථකත්වයට රුකුලකි.

කෘත්‍රිම පාදවල ආධාරයෙන් සිය ප්‍රියතම විනෝදාංශය වූ ගල්පර නැඟීමේ යෙදෙන ක්ලෙයාර් – www.cnn.com

“ඒක සජීවි කපාටයක්. ඒ නිසාම ඕනෑම තත්ත්වයකට හැඩගැහෙන්න ඒකට පුළුවන්කම තියෙනවා. අලුත් සංස්ථානික කපාටයක් වැඩ කරන විදිහට ම වැඩ කරමින් වගකීම් ඉටු කරන්න ඵුප්ඵුසීය කපාටයට පුළුවන්. ඵුප්ඵුසීය කපාටය වෙනුවට බද්ධ කරන්නේ මළ සිරුරකින් ලබා ගත් කපාටයක්. නමුත් මහා ධමනි කපාටයට වඩා ඵුප්ඵුසීය ධමනි කපාටය මත යෙදෙන පීඩනය අඩු නිසා ගැටලුවක් ඇති වෙන්නේ නැහැ.“

රොස් සැත්කමේ ඇති තවත් එක් සුවිශේෂි වාසියක් වන්නේ එහිදී බද්ධ කෙරෙන්නේ රෝගියාගෙන් ම ලබාගත් කපාටයක් බැවින් ජීවිත කාලය පුරාම රුධිර තුනීකාරක භාවිත කිරීමේ අවශ්‍යතාවක් නොමැති වීම යි. එසේම හදිසි රුධිර වහන, රුධිර කැටිගැසීම් හා ආඝාත හටගැනීමේ අවදානම ද අඩු ය.

“සංස්ථානික කපාට ප්‍රතිස්ථාපනයකින් පස්සේ රෝගියාට පෙර පුරුදු සාමාන්‍ය ජීවිතය කිසිදු බාධාවක් නැතිව ගෙවන්න ලැබෙන එකම සැත්කම තමයි රොස් සැත්කම. ඒ වගේ ම රෝගියාට ඉතාමත් හොඳ ආයු අපේක්ෂාවකුත් ලැබෙනවා.“ වෛද්‍ය එල් හැමම්සි පවසයි. 

වෛද්‍ය එල් හැමම්සිට ක්ලෙයාර් මුණගැසෙන විට ඇය සිටියේ ඉතා ම දුර්වල තත්වයක ය – www.news24.com

වෛද්‍යවරුන් මවිත කළ ක්ලෙයාර්ගේ තෝරා ගැනීම

වෛද්‍ය එල් හැමම්සිට ක්ලෙයාර් මුණගැසෙන විට ඇය සිටියේ ඉතා ම දුර්වල තත්වයක ය. ඒ වන විට ඇගේ බර රාත්තල් පනස්හතක් පමණක් විය. මාස හයක් වැනි කෙටි කාලයක දී ඇය පූර්ණ නීරෝගි තත්වයට පත්වනු ඇතැයි වෛද්‍ය හැමම්සි කිසිවිටෙකත් බලාපොරොත්තු වුණේ නැත. ඒ සියල්ලටමත් වඩා කාටත් පුදුමයක් වුණේ කිසිවක් ඉදිරියේ බිඳ නොවැටෙන ඇගේ ධනාත්මක චින්තනය හා සුබවාදීත්වය කැටිවූ ආත්ම විශ්වාසය යි. 

ජීවිතයේ ප්‍රථම වරට ධාවන පථයක දිවීම

මාස කිහිපයක පුනරුත්ථාපනයකින් පසු කෘත්‍රිම පාදවලින් ඇවිදීමටත්, ඒවා ආධාරයෙන් යළිත් වරක් පෙර පරිදි ඇගේ ප්‍රියත ම විනෝදංශය වූ ගල්පර නැඟීමටත් ඇය පුහුණු වූවා ය. ඉකුත් දෙසැම්බරයේදි ක්ලෙයාර් ඉතාම සාර්ථක අයුරින් හදවත් කපාට සැත්කමට මුහුණ දුන්නා ය. ඇයගේ මීළඟ බලාපොරොත්තුව වී තිබෙන්නේ කාබන් තන්තුවලින් තැනූ J හැඩයේ කෘත්‍රිම පාද යුවළක් ආධාරයෙන් මින් පෙර කිසිදා කරන්නට නොලැබුණු යමක් කිරීමට ය. ඒ ජීවිතයේ ප්‍රථම වරට ධාවන පථයක දිවීමට ය. ඇය සිය කෘත්‍රිම දෙපා ඇති ව යළිත් වරක් නිරූපණ වේදිකාවට ද පියමැන අවසාන ය. ඒ ගැන ඇගේ වෛද්‍යවරයා වන එල් හැමම්සි පුදුම වන්නේ නැත. 

“ මං හැමදාමත් ක්ලෙයාර්ට කිව්වා එයාට ප්‍රතිකාර කරන්න ලැබීම මට ලැබුණු වරප්‍රසාදයක් කියලා. ක්ලෙයාර් තරම් ජීවිතය දිහා සුබවාදී ව බලන කෙනෙක් මට තාමත් මුණගැහිලා නැහැ. අදටත් මං මගේ ජීවිතයේ දුෂ්කර අවස්ථාවක් ආවම මතක් කරන්නේ ක්ලෙයාර්. සතුට හා ධනාත්මකවීම කියන්නේ එක්තරා ආකාරයක තෝරා ගැනීමක්. ක්ලෙයාර් ඒ තෝරාගැනීම කළා.“ වෛද්‍ය හැමම්සි ක්ලෙයාර් ගැන කියන්නේ එහෙම ය.

කවරයේ ඡායාරූපය: කෘත්‍රිම පාද ඇතිව යළි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසි ක්ලෙයාර් - www.cnn.com
මුලාශ්‍ර :
She flatlined three times, lost both legs and had a failing heart. Yet she told doctors she’s ‘the luckiest person on this planet’ – www.cnn.com
This model lost her legs after complications from Covid-19 and heart problems but she's looking on the bright side. – www.news24.com

Related Articles