Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්දියාවේ පිරිමින් ආදරය කරන්නේ ගැහැනියටද නැති නම් දෑවැද්දටද?

අතීත ඉන්දියාවේ දෑවැද්ද පිළිබඳ මතය

අතීතයේ සිටම ඉන්දියානුවන් දියණියන් ඉපදීම ඉතා අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකන ලදී. ඊට හේතුව වුයේ ඔවුන් විවාහ කර දෙන අවස්ථාවේ පුරුෂ පාර්ශවයට විශාල දෑවැද්දක් සැපයිමට සිදුවීමයි. ඉන්දියාවේ දිළිඳු පවුල්වල බොහෝ කාන්තාවන් දෑවැද්ද නොමැති වීම නිසා විවාහ වීමට නොහැකිව ඉතා අසරණ තත්වයට පත්ව සිය දිවි හානි කරගත් අවස්ථා ඉතිහාසයේ සුලබව දැකිය හැක. වර්තමාන ඉන්දියාව තුල අතීතයේ තරම් දෑවැද්ද පිළිබඳ පටු අදහස් නොමැති වුවත් අතීත චාරිත්‍ර එලෙසම පවත්වාගෙන යන ග්‍රාමීය ගම්මාන බොහොමයක් දක්නට ලැබේ.

(publishyourarticles.net)

ඉන්දියානුවන් දෑවැදි ක්‍රමය ලෙස සලකන්නේ විවාහයේ කොන්දෙසියක් ලෙස කල් පවත්නා බඩු භාණ්ඩ, මුදල්, චංචල දේපළ ආදිය විවාහ වන පුරුෂයාට, ඔහුගේ දෙමවුපියන්ට, ඔහුගේ පවුලට හෝ ඔහුගේ ඥාතින්ට ලබා දීමයි. මෙයට ස්වර්ණාභරණ, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිත කරන භාණ්ඩ හා නිවසට අවශ්‍ය අනෙකුත් උපකරණද ඇතුළත් වේ. ඉන්දියාවේ දෑවැදි ක්‍රමය නිසා මනමාලියගේ දෙමව්පියන් බොහෝ සේ අසරණ භාවයට පත්වේ. ස්ත්‍රීන් පත්ව ඇති මෙම අපහසුතාවය මග හැරීම සදහා ඉන්දියාව තුල විවිධ නීති සම්පාදනය කර ඇතත් ඒවා පිළිපදින්නේ ඉතා සුළු පිරිසකි.

දෑවැද්ද ලබාගැනීමට ප්‍රධාන හේතු

(drambedkarbooks.com)

දෑවැද්ද ඉල්ලා සිටීමට ප්‍රධාන ලෙස බලපාන හේතු කොටස් දෙකකට වෙන් කල හැක.

  • සමාජ සාධක
  • ආර්ථික සාධක

සමාජ සාධක

ඉන්දියාවේ විවාහ ක්‍රමය හා බැඳුණු චාරිත්‍ර සමාජ සාධක යටතේ දැක්විය හැක. උදාහරණයක් ලෙස උතුරු ඉන්දියාවේ යුවලක් විවාහ වූ විට ඔවුන් සාමාන්‍යයෙන් ජීවත් වීමට තෝරාගන්නේ ස්වාමිපුරුෂයාගේ දෙමවුපියන් හා සහෝදර සහෝදරියන් සිටින නිවසයි. මෙම සමාජ වටපිටාව තුල විවාහක කාන්තාවගෙන් විවාහක පුරුෂයාගේ පවුලේ පුද්ගලයින් යම් යම් වත්කම් බලාපොරොත්තු වේ. තවද පුරුෂාධිපත්‍යයක් ඇති ඉන්දීය සමාජය තුල මනමාලියක් කැන්දාගෙන එන විට ඒ සමග දෑවැද්දක්ද ලැබිය යුතුය යන මතය මුල් බැසගෙන ඇත.

ආර්ථික සාධක

ඉන්දියාවේ ආර්ථික මට්ටමින් අඩු කාන්තාවන් විවාහ කර ගැනීමට බොහෝ පිරිමින් අකමැත්තක් දක්වයි.එයට හේතුව විවාහයේදී ප්‍රමාණවත් දෑවැද්දක් ලබා දීමට එම කාන්තාවන්ට ආර්ථික ශක්තියක් නොමැති වීමයි. ඉතා දිළිඳු පිරිමියෙක් වුවත් ඔහු තරමක් ධනය ඇති කාන්තාවක් හා විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ ඇය ලබා දෙන දෑවැද්දෙන් ඔහුට යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙනි. බොහෝ පිරිමින් තම පවුලේ අඩුලුහුඬු කම් මකාගැනීමට හා ධනය එක් රැස් කර ගැනීමට මාර්ගයක් ලෙසද දෑවැද්ද භාවිත කරයි.

දෑවැද්ද නිසා සිදුවන කාන්තා හිංසනය

(gabblin.com)

කාන්තාව නිරන්තරයෙන් ඉන්දීය සමාජය තුල දේපළ පදනම් කර ගනිමින් කායික හා මානසික පිඩාවට ලක් වේ. අලුත විවාහ වූ කාන්තාවන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයාගේ නිවසින් නැවත අලුත් දේපළ රැගෙන එන ලෙස පවසමින් සිදුකරන්නා වූ තර්ජනවලට නිතර මුහුණ දීමට සිදුවේ. මෙහිදී බොහෝ සේ අසරණ වන මනමාලියගේ දෙමාපියන් හට ඇයගේ විවාහයේ අඛණ්ඩ පැවැත්ම සලකා නැවත ඇයට දේපළ ලබාදීමට සිදුවේ. දෑවැද්ද නිසා සිදුවන කාන්තා හිංසනය බහුලවම දැකිය හැකි වන්නේ උතුරු හා නැගෙනහිර ඉන්දියානු ප්‍රදේශවලය.

දෑවැද්ද නිසා සිදුවන කාන්තා හිංසන වර්ග.

1. කෲරත්වය

දේපල රැගෙන එන ලෙස බල කරමින් ස්වාමිපුරුෂයා, ඔහුගේ දෙමාපියන් හෝ නෑදෑයන් විසින් විවාහක කාන්තාවට සිදුකරනු ලබන වද හිංසා, හිරිහැර මේ නමින් හදුන්වයි. කෲරත්වය කායික හා වාචික යන ආකාර දෙකටම සිදු කළ හැක. ඉන්දියාවේ පවතින දෑවැදි තහනම් කිරීමේ විවිධ නීති මගින් කෲරත්වය අපරාධමය වරදක් ලෙස දක්වා ඇත.

2. ගෘහස්ත හිංසනය

ගෘහස්ත හිංසනය කෲරත්වය හා බැදි පවතී. දේපළ සම්බන්ධ කායික, මානසික, ආර්ථික, ලිංගික හා චිත්තවේගාත්මක හිංසා, තර්ජන හා බියවැද්දීම් ගෘහස්ත හිංසනයට අයත් වේ. ගෘහස්ත හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමේ පනත වැනි නීතිමය බැඳීම්වලින් කාන්තා අයිතීන් ආරක්ෂා කිරීමට ඉන්දිය රජය උත්සහ දරා ඇත.

3. දෑවැද්ද නිසා සිදු කරන මරණ (Dowry death)

(jhinukll.blogspot.com)

විවාහය සිදු වූ අලුත, විවාහක කාන්තාවගේ දෑවැද්ද ප්‍රමාණවත් නොවීම හේතුකොට ගෙන ස්වාමිපුරුෂයා හෝ ඔහුගේ පවුලේ අය විසින් ඇයව මරණයට පත් කිරීම හෝ සියදිවි හානි කරගැනීමට උපදෙස් දීම මෙයට අයත් වේ. බොහෝ අවස්ථාවල වද හිංසා ඉවසා ගැනීමට නොහැකි වන කාන්තාව වස පානය කිරීම හෝ ගෙල වැළලා ගැනීම මගින් මරණයට පත් වේ. ඇතැම් විට ස්වාමිපුරුෂයාගේ පවුලේ අය විවාහක කාන්තාව ලාම්පුතෙල් දමා පුළුස්සා මරා දමයි. ඉතා සුලබව දැකිය හැකි දෑවැදි මරණ සිදු කිරීමේ ක්‍රමය වන්නේ ලාම්පුතෙල් දමා පුළුස්සා දැමීමයි. 2012 දී දැවැදී මරණ 8233ක් වාර්තා වූ අතර 2013දී එය 8083කි.

4. සියදිවි හානි කරගැනීමට අනුබල දීම

ස්වාමිපුරුෂයාගේ හා ඔහුගේ පවුලේ අඛණ්ඩ හිංසනය හේතුවෙන් විවාහක කාන්තාවන් සියදිවි හානි කරගැනීමට පෙළඹේ. මෙසේ සියදිවි හානිකර ගැනීමට මග සැලැස්වීම, ආධාර හා අනුබල දීම නිතිය මගින් වරදක් ලෙස අර්ථ දක්වා ඇත. නමුත් ඉන්දීය සමාජය තුල සිදුවන දැවැදී මරණවලින් බොහොමයක් මේ යටතට වැටේ.

දෑවැද්දට එරෙහිව ඇති නීතිමය රාමුව

(haridevote.com)

දෑවැද්ද පිළිබඳ ඉන්දියාවේ සම්මත වූ ප්‍රථම ව්‍යවස්ථාපිත නීතිය වුයේ 1961 දැවැදි තහනම් කිරීමේ පනතයි. දෑවැද්ද ලබාදීම, දෑවැද්ද ලබාගැනීම හා ඒ සඳහා අනුබල දීම වරදක් ලෙස මෙහි දක්වා ඇති අතර පනතේ 3වන වගන්තිය මගින් එයට නියමිත දඬුවම් දක්වා ඇත.

ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය මගින්ද දෑවැද්ද ලබාගැනීම හා ඉල්ලීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කර ඇත. දෑවැද්ද නිසා සිදු වන මරණ සඳහා අවම සිර දඬුවම වශයෙන් වසර හතක කාලයක් හා උපරිම වශයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමට දණ්ඩ නීති සංග්‍රහය ඉඩ සලසා ඇත. තවද ගෘහස්ත හිංසනයෙන් කාන්තාවන් ආරක්ෂා කිරීමට 2005දී සම්මත වූ නිතිය මගින් දෑවැද්ද ඉල්ලා කාන්තාවන්ට සිදු කරන හිංසා පීඩා සිවිල් වරදක් ලෙස දක්වා ඇත. කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට කොතරම් නීති රීති සම්පාදය කර තිබුනත් වර්තමානයේදී පවා දෑවැද්ද සම්බන්ධ කාන්තා හිංසනයන් ඉතා සුලබව ඉන්දියාවේ දැකිය හැක.

කවරයේ පින්තුරය (bitemecupcakes.us)

මුලාශ්‍ර:

  1. en.wikipedia.org
  2. importantindia.com
  3. quora.com

Related Articles