Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිංහයන් සුරකින්න කරළියට පැමිණි මසායි ඔලිම්පික්

කෙන්යාව සහ ටැන්සානියාව නැඟෙනහිර අප්‍රිකානු කලාපයේ පිහිටා තිබෙන රටවල් දෙකක්. එම රටවල් ආශ්‍රිත ව විවිධ ගෝත්‍රවලට අයත් ජනතාව ජීවත් වෙනවා. එයින් මසායි ගෝත්‍රිකයන් තරමක් විශේෂ යි. ඒ ඔවුන් මෙම රටවල් දෙක ආශ්‍රිත ව පමණක් ජීවත් වන පිරිසක් නිසා යි.

ස්වභාවයෙන් ම ක්‍රියාශීලී ගෝත්‍රික කොට්ඨාශයක් වන මසායිවරුන්ගේ පැරණි චාරිත්‍රයක් වන්නේ සිංහ දඩයම යි. එම චාරිත්‍රයට අනුව මසායි ගෝත්‍රික තරුණයන් අවි ආයුධ භාවිත කරමින් සිංහයන් දඩයම් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් ජීවත් වුණු ප්‍රදේශ ආශ්‍රිත ව සිංහ ගහනය අඩුවෙන්නට පටන් ගත්තා.

සිංහ දඩයමේ නිරත වන මසායි ගෝත්‍රිකයන් පිරිසක් – colorado.edu

එම තත්ත්වය හමුවේ සිංහ දඩයම තහනම් කිරීමට මසායි ගෝත්‍රික නායකයන් තීරණය කළා. ඉන් අනතුරු ව මසායි තරුණ පිරිස්වලට ඔවුන්ගේ හැකියාවන් පෙන්වීම සඳහා තිබුණු අවස්ථාව නැති වුණා.

එයට පිළියමක් ලෙස මසායි තරුණ පිරිස් වෙනුවෙන් 2012 වසරේ සිට ඔලිම්පික් තරගාවලියක් ආරම්භ වුණා. මේ කියන්නට යන්නේ එම සුවිශේෂී ක්‍රීඩා තරගාවලිය පිළිබඳ අපූරු තොරතුරු යි.

මසායි ඔලිම්පික් උළෙලේ අවස්ථාවක් – biglife.org

මසායි ගෝත්‍රයේ ඉතිහාසය කෙටියෙන්

පැරණි මූලාශ්‍රවලට අනුව මසායි ගෝත්‍රිකයන් සිය මුල් ජනාවාස වයඹදිග කෙන්යාවේ තුර්කානා විල ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටුවා ගත්තා. ඒ 15 වන සියවසේ දී යි. එම ගෝත්‍රික පිරිස් 17 සහ 18 යන සියවස්වල දී දකුණට සංක්‍රමණය වුණා. එසේ සංක්‍රමණය වුණු ගෝත්‍රිකයන් කිලිමන්ජාරෝ කඳුවැටිය පිහිටි ප්‍රදේශයේ ජනාවාස පිහිටුවා ගත්තා.

එය සාරවත් ප්‍රදේශයක් වුණු නිසා මසායි ගෝත්‍රිකයන්ට හොඳින් සිය වගා කටයුතු කරගෙන යාමට හැකි වුණා. සත්ත්ව පාලනය ඔවුන්ගේ අනිකුත් ප්‍රධාන ආදායම් මාර්ගය වුණා.

මසායි ගෝත්‍රික පිරිසක් – gettyimages.com

1960 දශකය මුල් භාගයේ දී කෙන්යාව සහ ටැන්සානියාව නිදහස් රාජ්‍ය බවට පත් වුණා. ඉන් පසුව මසායි ගෝත්‍රිකයන් දකුණු කෙන්යාවේ සහ උතුරු ටැන්සානියාවේ ජනාවාස පිහිටුවා ගත්තා. ඒ අතුරින් වැඩි මසායි ගෝත්‍රික ජනගහනයක් සිටින්නේ දකුණු කෙන්යාවේ යි.

අවසන් වරට කෙන්යාවේ ජන සංගණනයක් සිදු කළේ 2019 වසරේ දී යි. එම සංගණනයේ දී එරට මසායි ජනගහනය ආසන්න වශයෙන් ලක්ෂ 12ක් බව වාර්තා වුණා.

එදා සිට දක්ෂ රණකාමීන් වුණු මසායි ගෝත්‍රිකයෝ

විස කැවූ ඊතලය, හෙල්ලය සහ පළිහ රණකාමී මසායිවරුන් ආයුධ ලෙස භාවිත කළා. ඈත අතීතයේ දී ඔවුන් එම ආයුධ යොදා ගෙන ප්‍රතිවාදී ගෝත්‍රික කණ්ඩායම් සමඟින් සටන් ද කළා. ඔවුන් බ්‍රිතාන්‍ය පාලන සමයේ දී එම පාලනයට එරෙහිවත් සටන් කළා.

මසායි රණකාමීන් සිය ආයුධ ඊට අමතර ව භාවිතා කළේ ඔවුන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍රයක් ඉටු කිරීම සඳහා යි. ඒ සිංහ දඩයමට යි.

මසායි ගෝත්‍රික තරුණයෙක් තමා දඩයම් කළ සිංහයෙක් සමඟ – better-safaris.com

ඈත අතීතයේ සිට මසායි රණකාමීන් ඔවුන්ගේ ශක්තිය පෙන්වීම සඳහා සිංහයන් දඩයම් කළා. එහි දී ඔවුන් දඩයමට පෙර සිංහයා කලබල කර කෝපයට පත් කරනවා. ඉන් පසු ව කෝපයට පත් වුණු සිංහයා සමඟ සටන් කොට ඌ මරා දැමීම මසායිවරුන්ගේ චාරිත්‍රය යි. එහි දී ඇතැම් මසායි රණකාමීන් සිංහයන් වැඩි ප්‍රමාණයක් දඩයම් කළා. එවැනි පුද්ගලයන් වීරයන් සේ සැලකීමට මසායි ගෝත්‍රිකයන් පුරුදු ව සිටියා.

දඩයම් කිරීම නිසා සිංහ ගහනය ශීඝ්‍රයෙන් පහළට

20 වන සියවසේ ආරම්භය වන විට අප්‍රිකානු මහද්වීපය පුරා ලක්ෂ 2කට වැඩි සිංහ ගහනයක් පැවතුණු බව පැරණි වාර්තාවල ලියැවී තිබෙනවා. ඒ අතුරින් ටැන්සානියාව සහ කෙන්යාව යන රටවල්වලින් වැඩි සිංහ ගහනයක් වාර්තා වුණා. වර්තමානය වන විට ද අප්‍රිකාවේ වැඩි ම සිංහ ගහනයක් සිටින්නේ ටැන්සානියාවේ යි.

එසේ ලක්ෂ 2කට වැඩි වුණු සිංහ ගහනය ගෙවුණු වසර 100ක කාලයේ දී 20,000 දක්වා අඩු වී තිබෙනවා. ඒ අයුරින් අප්‍රිකාවේ සිංහ ගහනය අඩුවීමට විශාලත ම හේතුව වුණේ මසායිවරුන්ගේ සිංහ දඩයම යි.

ටැන්සානියාවේ අභයභූමිවල ජීවත් වන සිංහයෝ -gettyimages.com

සිංහ දඩයම වෙනුවට කරළියට පැමිණි මසායි ඔලිම්පික්

අප්‍රිකා මහද්වීපයේ සිංහ ගහනය ක්‍රමයෙන් අඩු වෙද්දී සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සංවිධාන ඒ පිළිබඳ හඬක් නගන්නට පටන් ගත්තා. ඔවුන් පෙන්වා දුන්නේ මසායිවරුන් චාරිත්‍රයක් ලෙස සිංහයන් දඩයම් කිරීම නිසා කෙන්යාව සහ ටැන්සානියාව ආශ්‍රිත සිංහ ගහනය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව යි.

අප්‍රිකාවේ වැඩි ම සිංහ ගහනයක් පවතින රටවල් දෙකක් වන ටැන්සානියාවේ සහ කෙන්යාවේ සිංහ ගහනය එලෙස දිගින් දිගට ම අඩු වුණොත් වැඩි කලක් යන්නට පෙර අප්‍රිකාවෙන් සිංහයන් වඳ වී යෑමේ අවදානමක් පවතින බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දුන්නා.

එම ප්‍රශ්නය පිළිබඳ ව මසායි ගෝත්‍රික නායකයන් අතර සාකච්ඡා පැවතුණා. ඒ 2009 වසරේ දී යි. එහි දී ඔවුන් තීරණය කළේ සිංහයන් දඩයම් කිරීමේ චාරිත්‍රය නවතා දැමිය යුතු බව යි. එම කාර්යය සඳහා බිග් ලයිෆ් පදනමෙන් සහාය ලබා ගැනීමට මසායි ගෝත්‍රික නායකයන් අමතක කළේ නැහැ.

බිග් ලයිෆ් පදනම සත්ත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සංවිධානයක්. අවසානයේ දී එම පදනමේ සහාය ද ඇතිව සිංහ දඩයම නම් පුරාණ චාරිත්‍රය නතර කිරීමට මසායි ගෝත්‍රික නායකයන්ට හැකි වුණා.

බිග් ලයිෆ් පදනමේ නිලධාරින් මසායි ගෝත්‍රික පිරිසක් සමඟ – bentlyfoundation.org

සියවස් ගණනාවක් පුරාවට මසායිවරුන්ගේ රණකාමීත්වය උරගා බැලීමට තිබුණු චාරිත්‍රයක් නතර කිරීමත් සමඟින් මසායි තරුණයන්ට සිය ශක්තිය පෙන්වීමට තිබුණු අවස්ථාව අහිමි ව ගියා. එය මසායි තරුණයන්ට කළ අසාධාරණයක් නිසා ඔවුන්ට සාධාරණයක් කිරීමට මසායි නායකයන් කටයුතු කළා.

එහි දී ඔවුන් සෑම වසර 2කට වරක් ම මසායි තරුණයන් වෙනුවෙන් ඔලිම්පික් තරගාවලියක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා බිග් ලයිෆ් පදනමේ සහාය ලබා ගැනීමට ඔවුන් අමතක කළේ නැහැ.

පළමු මසායි ඔලිම්පික් උළෙල

ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමට පෙර මසායි තරුණයන්ට මනා ක්‍රීඩා පුහුණුවක් ලබා දුන්නා. ඒ සඳහා බිග් ලයිෆ් පදනම විශාල දායකත්වයක් සැපයුවා. එහි දී ජාත්‍යන්තර මට්ටමේ දී දස්කම් දැක්වූ මලල ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ සහාය ලැබුණා.

2012 සහ 2016 ඔලිම්පික් උළෙලවල දී පිරිමි මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගත් කෙන්යාවේ ඩේවිඩ් රුඩීෂා ද එම ක්‍රීඩකයන් අතර සිටියා. එසේ ලබා දුන් මනා පුහුණුව නිසා මසායි තරුණයන්ගේ ක්‍රීඩා හැකියාව තවත් ඔප් නැංවුණා.

කෙන්යානු ඔලිම්පික් ශූර ඩේවිඩ් රුඩීෂා – gettyimages.com

පළමු මසායි ඔලිම්පික් උළෙල කිලිමන්ජාරෝ කඳුවැටිය පාමුල පිහිටි කිමානා අභය භූමියේ දී පැවැත්වුණා. ඒ 2012 වසරේ දෙසැම්බර් මාසයේ දීයි. එම ඔලිම්පික් උළෙල සඳහා මසායි තරුණයන්ට පමණක් සහභාගි වීමට අවස්ථාව ලැබුණා. එහි දී ඔවුන් මීටර් 200, 800 සහ 5000 දුර ධාවනය, උස පැනීම, හෙල්ල විසි කිරීම සහ රුංගු විසි කිරීම යන ඉසව් සඳහා තරග වැදුණා.

රුංගුවක් යනුවෙන් හඳුන්වන්නේ මසායි ගෝත්‍රිකයන් ලී වලින් සාදන මුගුරක්. එසේ පැවති පළමු මසායි ඔලිම්පික් උළෙල සඳහා සැලකිය යුතු තරම් තරුණ මසායි ගෝත්‍රික පිරිසක් සහභාගි වුණා. එහි දී ජයග්‍රාහකයන්ට පදක්කම් සහ ත්‍යාග ලබා දුන්නා. ඒ සඳහා බිග් ලයිෆ් පදනම අනුග්‍රහය ලබා දුන්නා.

ජයග්‍රාහකයන් සඳහා ලබා දුන් පදක්කම් – dailymail.co.uk

සෑම වසර දෙකකට වරක් ම පැවැත්වෙන ක්‍රීඩා උළෙලක්

2012 දී ආරම්භ වුණු මසායි ඔලිම්පික් උළෙල එතැන් සිට සෑම වසර දෙකකට වරක් ම පැවැත්වුණා. එහි දී 2020 වසරේ දී පමණක් මෙම අපූරු ක්‍රීඩා උළෙල පැවැත්වුණේ නැහැ. ඒ කොරෝනා වසංගතයේ බලපෑම නිසා යි. පළමු මසායි ඔලිම්පික් තරගාවලිය තරුණයන්ට පමණක් වෙන් වුණත් 2014 තරගාවලියේ සිට මසායි ගැහැනු දරුවන්ටත් මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට අවසර ලැබුණා.

එහි දී ගැහැනු දරුවන් වෙනුවෙන් මීටර් 100 සහ 1500 ධාවන ඉසව් ද්විත්වය ඇතුළත් කිරීමට තරග සංවිධායකයන් කටයුතු කළා. ඒ අනුව අද වන විට මසායි ඔලිම්පික් උළෙලේ දී තරුණයන් වෙනුවෙන් තරග ඉසව් 6ක් ද, තරුණියන් වෙනුවෙන් තරග ඉසව් 2ක් ද පැවැත්වෙනවා. මෙම තරගාවලිය දෙසැම්බරයේ දී පැවැත්වෙන්නේ එය වසරේ අවසාන මාසය නිසා යි.

මසායි තරුණයන් රුංගු විසි කිරීම තරගය සඳහා සහභාගි වෙමින් – dailymail.co.uk

ඔලිම්පික් ගැන මසායිවරුන් කියූ අපූරු කතා

මසායි ඔලිම්පික් උළෙල එම ගෝත්‍රයේ තරුණයන්ගේ හැකියාවන් පෙන්වීමට තිබෙන අපූරු අවස්ථාවක් එනිසා ඔවුන් මසායි ඔලිම්පික් උළෙලට සහභාගි වීමට දැඩි කැමැත්තක් දක්වනවා. 2022 දෙසැම්බරයේ දී අවසන් වරට පැවති මසායි ඔලිම්පික් උළෙලේ දී මසායිවරුන් අල් ජසීරා මාධ්‍යවේදීන් හමුවේ සිය අදහස් දක්වා තිබුණා.

ජෝශප් ලෙකාටු 2012 සිට මසායි ඔලිම්පික් උළෙලේ හෙල්ල විසි කිරීම සහ උස පැනීම යන තරග ඉසව්වලට සහභාගි වන ක්‍රීඩකයෙක්. අද වන විට 30 හැවිරිදි වියේ පසු වන ලෙකාටු පසුගිය තරගාවලියේ දී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ජය ගත්තා. ඒ පිළිබඳඩව දැඩි ලෙස උද්දාමයට පත් වුණු ලෙකාටු අල් ජසීරා හමුවේ පැවසුවේ “දැන් මං සිංහයන් දඩයම් කරන්නේ නැහැ. ඒ වෙනුවට පදක්කම් දඩයම් කරනවා” යන වචන පෙළ යි.

ලෙකාටු උස පැනීමේ තරග ඉසව්වට සහභාගි වෙමින් – dailymail.co.uk

ලෙන්කායි ඔලේ එන්ගෝලා 66 වන වියේ පසු වන මසායිවරයෙක්. ඔහු මසායි ඔලිම්පික් උළෙල ගැන දැක්වූයේ මෙවැනි අදහසක්.

“මං තරුණ කාලයේ සිංහයන් දෙදෙනෙක් මරා දමා තිබෙනවා. මේ වන විට අප ජීවත් වන ප්‍රදේශය ආශ්‍රිතව සිංහ ගහනය විශාල ලෙස අඩු වී තිබෙනවා. එනිසා සිංහ දඩයම වෙනුවට මෙවැනි ක්‍රීඩා උළෙලක් පැවැත්වීම ඉතාමත් හොඳයි. එමඟින් අපට සිංහ සම්පත රැක ගැනීමට හැකි වේවි!”

ඒ මසායි ඔලිම්පික් උළෙල ගැන මසායිවරුන් දෙදෙනෙක් දැක්වූ අදහස්. ඔවුන්ගේ එම අදහස් දැක්වීමට අනුව අනුමාන කළ හැක්කේ මසායි ඔලිම්පික් උළෙල පැවැත්වීම ගැන බොහෝ මසායිවරුන් කැමැත්තෙන් සිටින බව යි.

මසායිවරුන්ගේ එකමුතුකම පෙන්වීමට හොඳ අවස්ථාවක්

අවසන් වරට පැවති මසායි ඔලිම්පික් උළෙල සඳහා තරුණයන් 160ක් සහ තරුණියන් 40ක් සහභාගි වුණා. එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන දිනයට තරගකරුවන්ට අමතර ව මසායි ගෝත්‍රික තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් තරග පැවැත්වෙන ස්ථානයට පැමිණෙනවා. එසේ පැමිණෙන ගෝත්‍රික තරුණ තරුණියන් තරග සඳහා ඉදිරිපත් වන අයට උදව් උපකාර කරනවා.

එහි දී ඔවුන් තරගකරුවන්ට සහ තරගකාරියන්ට ආහාරපාන ලබා දෙනවා. ආබාධවලට සහ අනතුරුවලට ලක් වන අයට ප්‍රථමාධාරත් ලබා දෙනවා. ඊට අමතර ව තරග සඳහා සහභාගි වන තරුණ තරුණියන් දිරිමත් කිරීම ද ඔවුන් අතින් සිදුවෙනවා.

මසායි ඔලිම්පික් උළෙල ගෝත්‍රයේ ජනතාවගේ එකමුතුකම මැන බලන අවස්ථාවක් බවට පත් ව තිබෙනවා. එය පැවැත්වෙන දිනයට කිමානා අභයභූමිය අවට ප්‍රදේශය සැණකෙළි සිරියක් ගන්න බවත් මෙහි දී කිව යුතුයි.

ඔලිම්පික් උළෙල නැරඹීමට පැමිණ සිටින ගෝත්‍රික තරුණියෝ – dailymail.co.uk

මසායි ඔලිම්පික් නිසා කෙන්යාවේ සිංහ ගහනය ඉහළට

2020 දී කෙන්යාව ආශ්‍රිත ව සිදු කළ සංගණනයක දී අනාවරණය වුණේ 2010 වසරට සාපේක්ෂ ව එරට සිංහ ගහනය 25%කින් ඉහළ ගොස් ඇති බව යි. කෙන්යාවේ වනජීවී සහ සංචාරක අමාත්‍ය නජීබ් බලාලා මාධ්‍ය හමුවේ ඒ බව පවසා සිටියේ 2021 දී නයිරෝබි නුවර පැවති රාජ්‍ය උත්සවයක දී යි.

ඒ අනුව වර්තමානය වන විට කෙන්යාවෙන් 2500ක පමණ සිංහ ගහනයක් වාර්තා වෙනවා. එයින් පැහැදිලි වන්නේ මසායි ඔලිම්පික් උළෙල පැවැත්වීම මඟින් ඔවුන් බලාපොරොත්තු වුණු අරමුණ යම් තාක් දුරකට ඉටු වී ඇති බව යි.

කවරයේ ඡායාරූපය- මසායි ඔලිම්පික් උළෙලට සහභාගි වුණු තරගකරුවෙක් - gettyimages.com
මූලාශ්‍ර:
aljazeera.com
biglife.org
greatplainsfoundation.com
kimanasanctuary.com
kerdowney.com
globalgiving.org

Related Articles