තලිබාන්වරු ඇෆ්ගනිස්තානයේ බලය 2021 අගෝස්තු 15 වැනිදා තහවුරු කර ගත් පසු මේ දක්වා ඇෆ්ගනිස්තානුවන් විඳි දුක් ගැහැට අපමණ යි. අමෙරිකානු මැදිහත්වීම පැවති කාලයේ යම්තාක් දුරකට පුද්ගල නිදහස විඳිය හැකි වාතාවරණයක් ඇෆ්ගනිස්තාන නාගරික ජන සමාජය තුළ දක්නට ලැබුණා.
2021 අගෝස්තු සිට තලිබාන්වරුන් පුද්ගල නිදහස ක්‍රම ක්‍රමයෙන් සීමා කරමින් ජන සමාජය තුළ විශාල මානසික ආතතියක් පැතිරවීම නැවතත් ඇරඹුවා. ඉන් වැඩි ම වින්දිතභාවයකට පත් වූයේ ඇෆ්ගන් කාන්තාවන්. මේ දක්වා ඔවුන්ට පනවා ඇති නීති සහ තහනම් කළ දෑ එකට සැලකූ විට “ජීවත් වුණත් ජීවිතය අහිමි” කොටසක් ලෙස ඇෆ්ගන් කාන්තාවන් හැඳින්විය හැකි යි.
කාන්තාවන්ට පනවා ඇති තලිබාන් නීති පද්ධතියේ අමනෝඥ බව නැවතත් කරළියට පැමිණි අවස්ථාවක් මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් සිටිනවා. නව නීතියට අනුව එරට අගනුවර වන කාබුල් හි පොදු උද්‍යාන හා ව්‍යායාම මධ්‍යස්ථාන තවදුරටත් කාන්තාවන් සඳහා විවෘත වන්නේ නැහැ. ඒ අනුව කාබුල් හි සියලු උද්‍යාන, විනෝදාස්වාදය සපයන ස්ථාන, කාන්තාවන්ට තහනම් කලාප බවට පත් වෙනවා. පොදු අවකාශයක හැසිරීමේ නිදහස මෙමඟින් තවදුරටත් හැකිළෙන බැවින්, ඇෆ්ගන් කාන්තාවන්ට මානසික සුවය අත් විඳිය හැකි කුඩා ම අවස්ථාව පවා අහිමි වී යනවා. දැනටමත් ඔවුන්ට පිරිමියකු ගේ රැකවරණය නොමැතිව නිවසින් පිටවීම තහනම් කර ඇති අතර, පොදු ස්ථානයක සිටී නම් මුහුණ ආවරණය කර ගැනීමත් අනිවාර්ය යි.
ස්ත්‍රී-පුරුෂ බෙදීම
ස්ත්‍රී පුරුෂ භාවය අනුව මිනිසුන් වෙන් කරන අන්දමේ නීති රැසක් තලිබාන් පාලනය සතු ව තිබෙනවා. පොදු උද්‍යාන සම්බන්ධ තහනම සැල කීමේ දී මීට පෙර සෑම සතියකම ඉරිදා, සඳුදා සහ අඟහරුවාදා යන දිනවල කාන්තාවන් සඳහා උද්‍යාන විවෘත ව පැවතුණා. ඉතිරි දින හතර වෙන්කර තිබුණේ පිරිමින් සඳහා යි. නවත ම තත්ත්වයට අනුව පිරිමියකු ගේ ආරක්ෂාව යටතේවත් කාන්තාවන්ට උද්‍යානවලට ඇතුළු වීමේ හැකියාවක් නැහැ.
“අපි මෙහෙම තීරණයකට පැමිනුණේ පසුගිය මාස 15 තුළ අපගේ උත්සාහයන් නොතකා මිනිසුන් උද්‍යානවලට ඇතුළු වූ නිසා යි. ඔවුන් ෂරියා නීතිවලට ගරු කරන්නේ නැහැ.”
ගුණධර්ම ප්‍රචාරණය සහ දුසිරිත් වැලැක්වීමේ අමාත්‍යාංශයේ ප්‍රකාශක මොහොමඩ් අකිෆ්, පැනවූ නවත ම නීතියේ පදනම පැහැදිලි කළේ ඒ අයුරින්.
දැනට අගනුවර පමණක් ක්‍රියාත්මක වන මෙයාකාරයේ නීති, අතීතයේ දී රට පුරා ම ක්‍රියාත්මක වුණා. එබැවින්, උද්‍යාන නීතිය නුදුරු දිනක දී ඇෆ්ගනිස්තානයේ අනෙකුත් නගරවලටත් හඳුන්වා දීමේ අවදානමක් තිබෙනවා. පැනවූ නීතිය සම්බන්ධයෙන් ඇෆ්ගන් මව්වරුන් පසු වන්නේ දැඩි කලකිරීමකින්.
“අම්මා කෙනෙක් තම දරුවන් සමඟ එනවිටවත් උද්‍යානයට ඇතුළු වීම සඳහා අවසර දිය යුතු යි. මොකද මේ දරුවෝ කිසිම යහපත් දෙයක් දැකලා නැහැ. ඔවුන් විනෝදයෙන් කාලය ගත කරන්න ඕනෑ.”
කාබුල් නගරයේ උද්‍යානයකට ඇතුළු වීමට උත්සහ දැරීමේ දී නැවත හරහා යැවූ කාන්තාවක් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියා.
අහිමි වූ විශාලත ම අයිතිය?
නව නීතිය හමුවේ කලකිරීමට පත් ව ඇත්තේ කාන්තාවන් පමණක් නොවෙයි. ඒ අතර උද්‍යාන ක්‍රියාකරුවන් ද සිටිනවා. ඔවුන් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා විශාල මුදල් ආයෝජනය කළ අවස්ථා ද තිබෙනවා.
“පාසල් නැහැ. වැඩකුත් නැහැ. අඩුම තරමේ අපිට විනෝද වෙන්න තැනක්වත් තියෙන්න ඕනෑ.”
වහීදා ලෙස පමණක් හඳුනා ගන්නා ලෙස ඉල්ලා සිටි එම කාන්තාව, උද්‍යානය දැකබලා ගත හැකි ජනේලයක් අසල සිටිමින් තම දරුවන් විනෝද වන අයුරු බලා සිටියා.
“දවසම ගෙදරට වෙලා ඉන්න එක එපා කරපු දෙයක්. ඒක අපේ මනසට මහන්සි යි.”
කුඩා අදහස් දැක්වීමක් වුවත්, වහීදා ඉස්මතු කරන කරුණුවල විශාල ගැඹුරක් තිබෙනවා. “පාසල් නැහැ, වැඩකුත් නැහැ” යන්නෙන් ඇය සරලව ම අදහස් කළේ රැකියාවක නියැළීම සහ අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් කාන්තාවන්ට තිබෙන සුවිශාල විසමතා ගැන යි. සැබැවින්ම තලිබාන් පාලනය හමුවේ කාන්තාවන්ට අහිමි වූ විශාලත ම අයිතිය අධ්‍යාපනය බව පෙනී යනවා.
ෆාතිමා ගේ කතාව
නව යොවුන් වියේ පසුවන ගැහැනු ළමයින් ගේ ද්වීතික අධ්‍යාපනයට ඇති ප්‍රවේශ දැඩි ලෙස සීමා කිරීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාලවල උගන්වන පාඨමාලා සම්බන්ධයෙන් ද සීමා පැනවීමට තලිබාන්වරු කටයුතු කළා. උසස් පාසල්වලට පැනවූ නියෝග හේතුවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය උදෙසා කාන්තාවන්ට ඇති අවස්ථාවත් ස්වයංක්‍රීය ව අහිමි වෙනවා.
ඒ අනුව අනාගතයේ දී කාන්තා උපාධිධාරීන් ඇෆ්ගනිස්තානය තුළ දක්නට නොලැබේවි. දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවන්ට ද විශාල අසාධාරණයක් සිදු වෙමින් තිබෙනවා. විශ්වවිද්‍යාල පාඨමාලා දැඩි ලෙස නියාමනය කිරීමෙන් රුචිකත්වයක් දක්වන විෂය සංයෝජන තෝරාගැනීමේ අවස්ථාවක් සිසුන්ට නොලැබීම ඊට හේතුව යි.
19 හැවිරිදි ෆාතිමා (අන්වර්ථ නාමයක්), නව තලිබාන් නියෝග හමුවේ අසාධාරණයට ලක් වූ තැනැත්තියක්. ඇය පුවත්පත් කලාවේදිනියක් ලෙස සිය වෘත්තිය ජීවිතය ඇරඹීම සඳහා උසස් අධ්‍යාපන පසුබිම සාදා ගැනීමට වෙර දැරුවත්, ගැහැනු ළමයින්ට උසස් පාසල් තහනම් කිරීමෙන් පසු එම සිහිනය බොඳ වී ගියා. ෆාතිමාට පාසලේ අවසාන වසර සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම ඊට හේතුව යි.
තරුණ වියට පත් වූ ගැහැනු ළමයින්ට පාසල් යාම සඳහා නිවැරදි ආගමික පරිසරය නිර්මාණය කරන තෙක් එම තහනම ක්‍රියාත්මක බව පැවසුව ද තවමත් බොහෝ පළාත්වල එම පොරොන්දුව ඉටුකර නැහැ. ෆාතිමා වැන්නවුන්ට ඉදිරියේ දී විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි වුවත්, ඔවුන්ට තම රුචිකත්වය පරිදි අධ්‍යයන ක්ෂේත්‍ර තෝරාගත නොහැකි යි. උදාහරණයක් ලෙස ෆාතිමා ඇතුළත් වීමට අපේක්ෂාවෙන් පසුවන නන්ගහාර් විශ්ව විද්‍යාලයේ ඇති පීඨ 13 න් කාන්තාවන් සඳහා විවෘත ව ඇත්තේ පීඨ හතක් පමණ යි. පුවත්පත් කලාව, කෘෂිකර්මය, පශු වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි විෂයන් හැදෑරීම සඳහා කාන්තාවන්ට අවසර ලැබෙන්නේ නැහැ.
” සියලු බලාපොරොත්තු සුන් වෙලා තියෙන්නේ.”
ෆාතිමා පවසන පරිදි සිසුවියන් ප්‍රවේශ විභාගය සමත් වුවත්, ඉන් පලක් වන්නේ නැහැ. ඉගෙන ගත යුත්තේ කුමන විෂය ද යන්නත් තලිබාන්වරු තීරණය කර අවසාන යි!
විෂය තෝරා ගැනීම් විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාලයට වෙනස් විය හැකි අතර, ඖෂධ සහ හෙද සේවය, ගුරු පුහුණුව සහ ඉස්ලාමීය අධ්‍යයන කටයුතු සඳහා කාන්තාවන්ට අවසර ලබා දී තිබෙනවා. මෙම සීමා කිරීම් පුරුෂ පාර්ශවයට බලපාන්නේ නැහැ.
දේශපාලනය සහ රැකියා අකැප යි
අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇෆ්ගන් කාන්තාවන්ට මෙතරම් සීමා කිරීම් තිබෙනවා නම්, රැකියාවක නියැළීමේ අයිතියට සිදුවන හානිය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැති තරම්. 2021 වර්ෂාවසානයේ පැනවූ එක් සීමාවකට අනුව කාන්තාවන්ට රැකියාවක නියැළීම සඳහා අවසර ලබා දී ඇත්තේ පිරිමින්ට කළ නොහැකි ඇතැම් රැකියා සඳහා පමණ යි. අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා යන සීමිත පරාසයක රැකියා උදෙසා තලිබාන් පරිපාලනය කාන්තාවන්ට අවසර ලබා දී තිබුණත්, ඇතැම් ප්‍රදේශවල තත්ත්වය ඉතා ම අසතුටුදායක යි. උදාහරණයක් ලෙස කාබුල් නගර පරිපාලනය කාන්තා වැසිකිළි, නාන කාමර පිරිසුදු කිරීමේ රැකියාවට පමණක් කාන්තාවන්ට අවසර ලබා දී තිබුණා.
දේශපාලනය තුළත් කාන්තා සහභාගීත්වයට විශාල බාධා පමුණුවා තිබෙනවා. අද දක්වා ම තලිබාන් පරිපාලනයේ කිසිදු කැබිනට් තනතුරක් කාන්තාවන්ට හිමි වී නැහැ. තලිබාන් පරිපාලනය කාන්තා කටයුතු අමාත්‍යාංශය අහෝසි කළ අතර, ඒ හරහා කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ඇෆ්ගනිස්තානයෙන් අතුගා දැමුවා. කාන්තා විනිසුරුවරියන්, නීතිඥවරියන් රටින් පලා ගොස් හෝ පසෙකට දමා ඇති අතර, තලිබාන් සටන්කාමීන් සහ ආගම පිළිබඳ උපාධිධාරීන් කිසිදු නීති පුහුණුවක් නොමැතිව එම ස්‍ථාන සඳහා ආදේශ කර තිබෙනවා.
ස්ත්‍රීය වියුක්ත වූ නීතිය
තලිබාන්වරු නැවත ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගත් අවධියේ කාන්තා ව්‍යාපාර යම්තාක් දුරකට කාබුල් නගරය කේන්ද්‍ර කර ගනිමින් ගොඩනැඟී තිබුණා. තලිබාන් පාලනයේ මුල් කාලය තුළ එම ව්‍යාපාර මඟින් විරෝධතා රැලි පවා සංවිධානය කළා. ක්‍රම ක්‍රමයෙන් කාන්තා ව්‍යාපාර සඳහා සීමා පැනවීමට තලිබාන් පාලනය ක්‍රියා කළ අතර, ඔවුන් ගේ විරෝධතා සඳහා ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වීමටත් තලිබාන්වරු උත්සුක වුණා. වර්තමානය වනවිට එවැනි විරෝධතා ඉතා දුර්ලභ මට්ටමක තමයි පවතින්නේ.
තම අයිතීන් උදෙසා හඬ නැඟීමේ සියලු අවකාශ අවහිර වූ පසුබිමක ඇෆ්ගන් කාන්තාවන්ට ගෘහස්ථ මට්ටමින් එල්ල වන හිරිහැරත් සුළුපටු නැහැ. එවැනි හිරිහැර සිදු වූ විට නීතිමය පිහිට පැතීමේ හැකියාවත් ඇෆ්ගන් කාන්තාවන්ට දැන් අහිමි ව ගොස් අවසාන යි. 2021 අවසාන භාගයේ දී තලිබාන්වරු බලයට පත් වූ විට එතෙක් ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වූ අධිකරණ පද්ධතිය බිඳ දැමීම ඔවුන් ගේ ප්‍රධාන කාර්යභාර අතර තිබුණා. පවත්නා නව නීති පද්ධතිය කාන්තාවන් සඳහා කිසිදු සහයෝගයක් දක්වන්නේ නැහැ.
ජීවත් වුණත්, ජීවය අහිමි වූවෝ
මීට පෙර කාන්තාවන් මුහුණ දෙන ගැටලුවල පටන් අපරාධ සහ ත්‍රස්තවාදය දක්වා වූ සිදුවීම් සඳහා නීති සේවය සැපයීමට සමත් කාන්තා නීතිඥ නියෝජනයක් ඇෆ්ගනිස්තානය තුළ තිබුණා. අධිකරණ දෙපාර්තමේන්තුවල සභාපතීත්වය දැරූ කාන්තා විනිසුරුවරියන් 300 කට වැඩි පිරිසක් ද ඇෆ්ගන් නීති පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප වී ක්‍රියා කළා. එහෙත්, මේ වනවිට කාන්තාවකට දික්කසාද නඩුවක් ගොනු කිරීමටවත් හැකියාවක් නැහැ. නීති පද්ධතිය තුළ පවත්නා මේ සුවිශාල ලිංග පරතරය නිසා කාන්තාවන් මුහුණ දෙන ගැටලුවල සන්දර්භය තේරුම් ගැනීමට සමත් නීතිඥයන් තලිබාන් අධිකරණ පද්ධතිය තුළ නැහැ. එවිට නැවතත් සිය නිවස වෙත හැරී ගොස් ගෘහස්ථ හිංසනයේ සදාකාලික වින්දිතයන් වීමට කාන්තාවන්ට සිදු වෙනවා.
සැබැවින් ම ඇෆ්ගන් කාන්තාවන් යනු නිදහසට ළැදි, ඉගෙනීමට දක්ෂ සහ ඉහළ මට්ටමේ වෘත්තීයභාවයක් පවත්වා ගැනීමේ විභවයක් සහිත පිරිසක්. 2021ට පෙර පැවති ආණ්ඩු සමයේ ඔවුන්ට යම්තාක් දුරකට ඒ නිදහස ලැබී තිබුණා. ලැබුණු නිදහසින් උපරිම ප්‍රතිපලත් පෙන්වා තිබුණා. ඇෆ්ගනිස්තානය නැවතත් ගමන් කරමින් සිටින්නේ පතුලක් නොමැති අඳුරු ආගාධයක් වෙතට යි. ජීවත් වුණත්, දිනෙන් දින ජීවය අහිමි වන පිරිසක් තමයි ඇෆ්ගන් කාන්තාවන්.