Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හදිසියේ ම අතුරුදහන් වන චීනයේ බිලියනපතියෝ

චීන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරිපෙළේ ගනුදෙනුකරුවෙක් සහ ආයෝජකයෙක් වන බාවෝ ෆාන්, පසුගිය මාසයේ අතුරුදහන් වීම තරමක් අවධානයට පාත්‍ර වූ සිදුවීමක් ලෙස හැඳින්විය හැකි යි. ඔහු “China Renaissance Holdings” හි නිර්මාතෘවරයා වන අතර, ඩොලර් බිලියන ගණනක වත්කම් ඇති පුද්ගලයෙක්.

වත්කමින් පමණක් ඔහු ගේ වැදගත්කම මැනිය නොහැකි යි. එරට තාක්ෂණික අංශයේ “ටයිටන්” ලෙස බාවෝ ෆාන් හැඳින්වීම ඊට කදිම නිදසුනක්. පුද්ගලයෙක් යම් ක්ෂේත්‍රයක් තුළ “ටයිටන්වරයෙක්” ලෙස ගෞරවයට ලක් වීමෙන් අදහස් වන්නේ, එම පුද්ගලයා අදාළ ක්ෂේත්‍රයේ ඉතා ශක්තිමත් සහ බුද්ධිමත් තැනැත්තෙක් බව යි. එවැන්නෙක් රටක ආර්ථිකයට වැදගත් සාධකයක් වන්නේ නිරායාසයෙන්. නමුත්, බාවෝ ෆාන් හදිසියේ ම අකර්මණ්‍ය වුණා.

ඒ ඇයි?

මීට කලිනුත් චීනයේ බිලියනපතියන් මෙසේ අතුරුදහන් වුණා ද?

බාවෝ ෆාන් – www.forbes.com

සමහර විට ඔබට දැන් ප්‍රසිද්ධ චරිතයකුත් මතකයට නැඟෙනවා ඇති. නැතිනම් අපි මතක් කර දෙන්නම්. ඒ තමයි ජැක් මා. ඔහු සුප්‍රසිද්ධ “Alibaba” සමූහයේ නිර්මාතෘවරයා වන අතර, ඔහුත් කලකට පෙර අතුරුදහන් වී යළි ප්‍රසිද්ධ ජීවිතය වෙත පැමිණියා. ජැක් මා ගෙන් පසු චීනයේ බිලියනපතියන් කිහිපදෙනෙක් වරින් වර අතුරුදහන් වුණා. බාවෝ ෆාන් යනු එහි නවත ම ගොදුර යි.

ධනපතියන්ට අනතුරු හැඟවීමක් ද?

බාවෝ ෆාන් අතුරුදහන් වී දින කිහිපයකට පසු ඔහු ගේ සමාගම නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියේ, මහජන චීනයේ ඇතැම් බලධාරීන් සිදු කරන පරීක්ෂණයකට බාවෝ ෆාන් සහයෝගය ලබා දෙමින් සිටින බව යි. පරීක්ෂණය සිදු කරන රජයේ ආයතනය, ඔහු සිටින ස්ථානය, පරීක්ෂණය පවත්වන හේතුව සහ එහි ස්වභාවය සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරක් නොමැති බව යි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. එබැවින්, බාවෝ ෆාන් යළි පැමිණිය ද ඔහු ගේ අතුරුදහන් වීම පිටුපස ඇති තොරතුරු අපැහැදිලි ස්වභාවයෙන් දිගට ම පැවතීමට ඉඩ තිබෙනවා.

ලෝකය පුරා ධනවතුන් ගේ සංක්‍රමණ සිදුවන අයුරු. චීනය යනු ධනවතුන් විශාල ගණනක් අහිමි කර ගන්නා රාජ්‍යයක්. නමුත්, ඒ වේගයෙන් ම ධනවතුන් බිහිවන රාජ්‍යයක් ලෙසත් චීනය හැඳින්විය හැකි යි – /www.visualcapitalist.com

චීන මූල්‍ය නියාමන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ සඳහා වූ සැලසුම් ප්‍රකාශයට පත් කිරීමට ආසන්න ව තිබිය දී බාවෝ අතුරුදහන් වීම සිදු වුණා. එය චීන ආර්ථිකය තුළ ෂී ජින්පින් ගේ පාලනය තවදුරටත් දැඩි වන බව ධනපතියන්ට දුන් ඉඟියක් බඳු යි. මූල්‍ය නියාමන ප්‍රතිසංස්කරණවලට අනුව චීනයේ බොහෝ මූල්‍ය ක්ෂේත්‍ර අධික්ෂණය කිරීම සඳහා නව මූල්‍ය නියාමන නිරීක්ෂණ කණ්ඩායමක් පිහිටුවනු ඇති. ඒ හරහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා චීන මූල්‍ය සේවා කර්මාන්තයේ විවිධ අංශ නිරීක්ෂණය කරන බහුවිධ නියෝජිතායතන මඟින් ඇති වූ හිඩැස් වසා දැමීමටත් චීන බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

අතුරුදහන් වීමේ ඉතිහාසය

2015 සිට මේ දක්වා චීනයේ බිලියනපතියන් කිහිපදෙනෙක් ඔවුන් ගේ සමාගම් හෝ සමීපතමයන් පවසන ආකාරයට “ප්‍රසිද්ධ ජීවිතයෙන්” ඈත් වී තිබුණා. නමුත්, ඒ ඈත් වීම අසාමාන්‍ය ලෙස ක්ෂණික ව සිදුවන බැවින්, අතුරුදහන් වීමකට සමාන කළ හැකි යි.

එංගලන්තයේ ප්‍රිමියර් ලීග් පාපන්දු සමාජයක් වන “Wolverhampton Wanderers” හිමි කර ගැනීම හරහා බටහිර රටවල පවා ප්‍රචලිත වූ ග්වෝ ග්වන්චං, “Fosun International” සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයෙක් ලෙසත් කටයුතු කරනවා. 2015 දී ඔහු අතුරුදහන් වූ අතර, කිසියම් පරීක්ෂණයක් සඳහා ග්වෝ ග්වන්චං සහාය දෙමින් සිටින බවත් ප්‍රචලිත වුණා.

ග්වෝ ග්වන්චං – www.bbc.com

ඇතැමුන්ට දූෂණ චෝදනා

ඉන් වසර දෙකකට පසු (2017) චීන-කැනේඩියානු සම්භවයක් ඇති ව්‍යාපාරික ෂියාඕ ජියැන්හුවා, හොංකොං හි සුඛෝපභෝගී හෝටලයක සිට රැගෙන ගිය ද අනෙකුත් බිලියනපතියන් මෙන් ඔහු වාසනාවන්ත වුණේ නැහැ. පසුගිය වසරේ දී ෂියාඕ සහ ඔහුගේ සමාගම, “Tomorrow Holdings”ට වංචා කිරීම සහ අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබුවා.

අවසාන ප්‍රතිපලය ලෙස වසර 13 ක සිරදඬුවමක් ඔහුට නියම වූ අතර, ඔහු ගේ සමාගමට ඩොලර් බිලියන අටක දඩයක් නියම කිරීමටත් චීන අධිකරණය ක්‍රියාකර තිබුණා.

ෂියාඕ ජියැන්හුවා – www.bloomberg.com

ෂියාඕ ගේ අතුරුදහන් වීමේ විශේෂත්වය වන්නේ එය හොංකොං තුළ සිදු වීම යි. අතුරුදහන් වීමෙන් පසු හොංකොං බලධාරීන් කඩිනමින් ෂියාඕ උදෙසා අතුරුදහන් වූ පුද්ගල වාර්තාවක් ගොනු කළ නමුත්, දිනකට පසු එය ඉල්ලා අස්කර ගත්තේ ෂියාඕ සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවක් ලැබුණු බව ප්‍රකාශ කරමින්. ඉන්පසු මේ ප්‍රකෝටිපතියා ගේ ජීවිතයේ අඳුරුත ම කාල පරිච්ඡේදය ඇරඹුණා.

විවේචනයට ඉඩක් නැහැ!

2020 මාර්තු මාසයේ දී දේපළ වෙළඳාම් හරහා ධනය ඉපැයූ රෙන් චිකියැං ගේ වාරය එළඹුණා. අතුරුදහන් වීමෙන් පසු රෙන්ට දූෂණ චෝදනා එල්ල කරමින් නඩු පැවරුණු අතර, අවසානයේ දී වසර 18 ක සිර දඬුවමක් ඔහුට නියම වුණා. කෙසේ නමුත්, චීනයේ ව්‍යාපාර ජාලයෙන් රෙන් චිකියෑං ඉවත් කිරීම අරබයා වෙනස් ම වස්තු සම්බන්ධයක් ඒ වනවිට ගොඩනැඟී තිබුණා.

රෙන් චිකියැං – www.nytimes.com

ඔහු චීන කොමියුනිස්ට් පක්ෂ විරෝධී අදහස් දරන්නෙක් ලෙස හැඳින්වෙන අතර, කොවිඩ් වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් චීනය ක්‍රියා කරන අන්දමත් දෝෂ දර්ශනයට ලක් කර තිබුණා. අතුරුදහන් වීම සිදු වූයේ ඉන් අනතුරුව යි. නැවත ප්‍රසිද්ධ ජීවිතයට පැමිණෙන විට රෙන් දූෂණ චෝදනා ලැබූවෙක් බවට පත් වී අවසාන යි.

ලෝකය ම කැලඹූ ජැක් මා

මේ අතුරුදහන් වීම් සියල්ල ලෝකයේ අතිශයින් අවධානයට පාත්‍ර වූ සිදුවීම් නොවෙයි. නමුත්, අලිබාබා නිර්මාතෘ ජැක් මා ගේ අතුරුදහන් වීමත් සමඟ චීන බිලියනපතියන් ගේ අතුරුදහන් වීමේ ඉතිහාසයත් කරළියට පැමිණියා. ජැක් මා යනු ලෝකය පුරා ජනප්‍රිය වූ අභිප්‍රේරණ කථිකයෙක් වන අතර, ඔහු ගේ ව්‍යාපාර ජාලයත් ලෝකයට යම් බලපෑමක් එල්ල කල සංකල්ප ඔස්සේ බිහි වී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය, චීන බිලියනපතියන් අතුරුදහන් වීම පිටුපස තිබෙන හේතු වඩාත් උනන්දුවෙන් සෙවීමට පෙලඹුණේ ඉන් පසුව යි.

2020 නොවැම්බරයේ ජැක් මා අතුරුදහන් වනවිට ඔහු තම වාණිජමය සාර්ථකත්වයේ ඉහළින් ම සිටියා. ඊට පෙර ඔහු චීනයේ මූල්‍ය පද්ධතිය විවේචනය වන අන්දමේ මතභේදාත්මක කතාවක් පවත්වා තිබූ අතර, චීන ව්‍යාපාරිකයන් සහ චීන පාලන තන්ත්‍රය අතර යම් ගැටීමක් හෝ එකඟ නොවීමක් තිබෙන බව මින් පෙනී යනවා.

අද ජැක් මා එතරම් ජනප්‍රිය පුද්ගලයෙක් නොවෙයි. නමුත්, එය මිනිසුන් සිදුකළ ප්‍රතික්ෂේප කිරීමක් අරබයා සිදු වූවක් නම් නොවෙයි – techstartups.com

විවිධ කටකතා මැද ජැක් මා නැවතත් ප්‍රසිද්ධ ජීවිතයට පැමිණිය ද ඉන්පසු ඔහු එතරම් කැපී පෙනෙන චරිතයක් ලෙස ඉස්මතු වුණේ නැහැ. පෙර සිටි අභිප්‍රේරණ කථිකයා ලෝකයට අමතක වන තරමට ඔහු අප්‍රකට ජීවිතයක් ගත කළා. මෙම කාල පරාසය තුළ ඔහු ගේ ව්‍යාපාරවල කාර්ය සාධනයත් එතරම් හොඳ මට්ටමකින් තිබුණේ නැහැ.

සාර්ථකත්වයටත් සීමාවක්

ලෝකයේ දෙවන විශාලත ම ආර්ථිකය වුව ද ආර්ථිකය ලිබරල්කරණය වීමේ පසුබිමට චීන පරිපාලනය දැඩි ප්‍රතිරෝධයක් දක්වන බව මින් පෙනී යනවා. චීනයේ ඉදිරි පෙළ ව්‍යාපාරික‍යන් සහ ආයෝජකයන් ලිබරල් අදහස් වෙත වැඩි නැඹුරුතාවක් දක්වන අතර, කොමියුනිස්ට් පරිපාලකයන්ට එය දැඩි තර්ජනයක් පමණ යි.

ලිබරල් අදහස් සමඟ ඔවුන් වටා අතිවිශාල ධනස්කන්ධයක් රැස් වූ විට චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන දෘෂ්ටිවාදයට එරෙහි කඳවුරක් නිර්මාණය විය හැකි යි. බිලියනපතියන් ගේ අධික ධනය, ව්‍යාපාර ඒකාධිකාරය සහ ජනප්‍රියත්වය පාලනය කිරීමෙන් එම අනතුර වලකා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

චීන ධනවතුන් ගේ ලිබරල් අදහස් චීන කොමියුනිස්ට් පරිපාලකයන්ට තර්ජනයක් පමණ යි – techstartups.com

වර්තමාන ලෝකයේ දේශපාලකයන්ට රාජ්‍යය තුළ තම බලය වර්ධනය කර ගැනීමට හෝ තහවුරු කර ගැනීමට නම්, හමුදා ශක්තිය, පළාත් පාලන වැනි සාම්ප්‍රදායික බල මධ්‍යස්ථාන වෙත පමණක් අවධානය යොමු කිරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මූල්‍ය වෙළඳපොළ තුළ නැඟී එන බලයත් ඔවුන් විමසිල්ලට ගත යුතු යි. එම බලය කේන්ද්‍රගත වී තිබෙන දේශපාලන දෘෂ්ටිවාදයත් ඉතා වැදගත් කොට සැලකීමට සිදු වෙනවා.

සාර්ථකත්වයේ ඉනිමඟ තරණය කළ හැකි උපරිම දුර

චීන රජය බලපෑම් එල්ල කළ බිලියනපතියන් බොහෝ දුරට තම ව්‍යාපාර, ආයෝජන පවත්වා ගෙන ගියේ තාක්ෂණ කර්මාන්තය ආශ්‍රිතව යි. දේශපාලනයේ සියලු සාම්ප්‍රදායික බල මධ්‍යස්ථානවලට වඩා එවැනි තැන් ප්‍රබල වන්නට පුළුවන්. ඒ අනුව හුදෙක් රජයට එරෙහි වූ පමණින් චීන ධනවතුන්ට පැමිණෙන අනතුරක් ලෙස මෙවැනි අතුරුදහන් වීම් විස්තර කළ නොහැකි යි. සැබැවින්ම එය එක්තරා අන්දමක නියාමනයක්.

මේ සියලු කරුණු අවසානයේ යමක් උපකල්පනය කළ හැකි යි. චීනය තුළ ඕනෑම ව්‍යාපාරිකයකුට, ආයෝජකයකුට, සාර්ථකත්වයේ ඉනිමඟ තරණය කළ හැකි උපරිම දුරක් තිබෙනවා. එතැනට පැමිණි පසු ඔහු හෝ ඇය කිසියම් පාලිත තත්ත්වයක් යටතේ සිටිය යුතු යි. මේ හරහා නිසැකව ම චීනයේ මූල්‍ය වෙළඳපොළ, ව්‍යාපාර සහ අවසානයේ සමස්ත ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය සැකයට භාජනය වීමත් වැලැක්විය නොහැකි යි.

කවරයේ ඡායාරූපය: චීන ධනපතියන් සහ චීන රජය අතර දේශපාලන දෘෂ්ටිවාදී ගැටුමක් පවතින්නේ කලක පටන්. ධනපතියන් හදිසියේ ම අතුරුදහන් වීම සහ මෙම ගැටුම අතර සම්බන්ධයක් තිබෙන බව යි පෙනී යන්නේ - www.bloomberg.com
මූලාශ්‍ර:
www.bbc.com
https://medium.com
www.bbc.com
www.theguardian.com
www.theguardian.com

Related Articles