Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් වාසයක් සහිත ලෝකයේ සීතල ම තැන්

ගෙවී ගිය සති කිහිපය මුළුල්ලේ පැවති දරා ගත නොහැකි උෂ්ණත්වය නිසා පැය කිහිපයකට හෝ සීතල ම සීතල නගරයකට යන්න නොහිතුණු අයෙක් නම් නොමැති තරම්. (කොළඹ අයට නම් ළඟ දී මදි නොකියන්න වැස්ස වැටුණා) එහෙම යි කියලා කාත් කවුරුත් නැති උතුරු හෝ දකුණු ධ්‍රැවයේ පදිංචියට යන්නත් බැහැනේ. ඉතින් මිනිස් වාසයක් සහිත ලෝකයේ සීතල ම තැන් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්න අපි හිතුවා.

වොස්ටොක් (දක්ෂිණ ධ්‍රැවය)

(en.wikipedia.org)

1957 දී සෝවියට් රුසියාව විසින් ගොඩ නංවන ලද වොස්ටොක් පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය සැලකෙන්නේ පෘථිවියේ ඇති සීතල ම ස්ථානය ලෙස යි. මුහුදු මට්ටමේ සිට මීටර් 3,488 ක් උසින් දක්ෂිණ ධ්‍රැවයේ පිහිටා ඇති එය පෘථිවිය මත ඇති ස්වභාවික ව පහළ ම උෂ්ණත්වයක් වාර්තා වූ ස්ථානය ලෙස හඳුන්වනු ලබනවා. වොස්ටොක් පර්යේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ අයිස් හරයන් විදිමින් සිදු කරනු ලබන ගවේෂණ සහ චුම්භක විද්‍යාවේ පර්යේෂණයන් සඳහා යි.

වොස්ටොක් හි සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය −50.5°C පමණ වන අතර ඇතැම් විටෙක එය −59.8°C දක්වා පහළ බසිනවා. ලෝකයේ දැනට වාර්තා වී ඇති පහළ ම උෂ්ණත්වය වූ −89.2 °C වොස්ටොක් හි දී වාර්තා වී ඇත්තේ 1983 ජූලි 21 වැනි දින යි.

ඔයිමියාකොන් (රුසියාව)

(en.wikipedia.org)

රුසියාවේ උතුරු දෙසට වන්නට ඉන්දිගිර්කා ගං ඉවුරේ පිහිටා ඇති ඔයිමියාකොන් ගම්මානය, පෘථිවිය මත ඇති ස්ථිර මිනිස් වාසයක් සහිත සීතල ම ප්‍රදේශයක් ලෙස සැලකෙනවා. ඉන්දිගිර්කා ගංගාවේ අතු ගංගාවක් වන ඔයිමියාකොන් ගංගාවේ නමින් ම නම් කර ඇති මෙහි අර්ථය ‘හිමෙන් මිදුණු වැව’ යන්න යි. මුහුදු මට්ටමේ සිට මීටර් 750 ක පමණ උසකින් පිහිටා ඇති ඔයිමියාකොන් ගම්මානයේ ජනගහනය 500 ක් පමණ වෙනවා.

සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ දී පැය තුනක පමණ දහවල් කාලයක් භුක්ති විඳින ගම් වැසියන් ජූනි මාසයේ දී පැය විසි එකක දහවලකට උරුමකම් කියනවා. ශීත ඍතුවේ දී ඔයිමියාකොන් හි උෂ්ණත්වය –50°C ක් දක්වා පහත බැසීම අතිශය සාමාන්‍ය තත්ත්වයක්. නමුත් ගිම්හාන ඍතුවේ දී උපරිම වශයෙන් එහි උෂ්ණත්වය පහළ යන්නේ –10°C දක්වා පමණ යි.

යුරේකා (කැනඩාව)

(en.wikipedia.org)

උත්තර ධ්‍රැවයට ආසන්න ව පිහිටා ඇති ස්ථිර පර්යේෂණ මධ්‍යස්ථාන අතරින් තෙවැනි ස්ථානය හිමි කරගෙන ඇති යුරේකා ජනාවාසය පිහිටා ඇත්තේ කැනඩාවට අයත් නූනවට් නම් භූමි ප්‍රදේශයේ යි. කැනඩාවේ ඇති කාලගුණ මධ්‍යස්ථාන අතරින් අඩු ම සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය මෙන් ම අඩු ම වර්ෂාපතනය ද වාර්තා කර ඇත්තේ යුරේකාව වන අතර, ගවේෂණ මධ්‍යස්ථානයේ ස්ථිර ජනගහනය 8 ක් වැනි ඉතාමත් අඩු අගයක් ගන්නවා.

ශීත ඍතුවේ දී එහි සාමාන්‍ය උෂ්ණත්වය –40°C ක් දක්වා පහත බසින අතර වසරේ උණුසුම් ම කාලය ලෙස සැලකෙන ජූලි මාසයේ දී එහි පවතින්නේ −15.5°C ක පමණ උෂ්ණත්වයක්. යුරේකා හි දැනට වාර්තා වී ඇති ඉහළ ම උෂ්ණත්වය වන්නේ 20.9°C යි.

ඩිනාලි (ඇලස්කාව)

(en.wikipedia.org)

ස්ටෙෆනි මේයර්ගේ Twilight පොත් පෙළ කියවූ අයට නම් මේ නම ආගන්තුක නැහැ. උතුරු ඇමෙරිකාවේ උස ම කඳු වැටිය ලෙස සැලකෙන මෙය මුහුදු මට්ටමෙන් මීටර් 6,190 ක පමණ උසකින් පිහිටා තිබෙනවා. සියවස් ගණනාවක් තිස්සේ ඩිනාලි කඳු වැටියේ පදිංචි වී සිටින්නේ කොයුකෝන් නම් ස්වදේශීය ඇලස්කානු ඇතබැස්කන්වරුන්.

වසර පුරාවට ම අතිශය සීතල දේශගුණයක් සහ දැඩි සුළං පවතින ස්ථානයක් ලෙස ඩිනාලි කඳු වැටිය ප්‍රසිද්ධ යි. 2003 වසරේ ශීත ඍතුවේ දී එහි උෂ්ණත්වය වාර්තා තබමින් −59.7°C දක්වා පහළ ගොස් තිබෙනවා. සාමාන්‍යයෙන් ඉහළ උෂ්ණත්වයන් පවතින ගිම්හාන ඍතුවේ දී පවා ඩිනාලි හි උෂ්ණත්වය −30.5°C දක්වා පහළ යන අවස්ථා ද නැතුවා ම නොවෙයි.

උලාන්බටාර් (මොංගෝලියාව)

(en.wikipedia.org)

ලෝකයේ සීතල ම අගනුවර ලෙස විරුදාවලි ලබා ඇති උලාන්බටාර් නගරය පිහිටා ඇත්තේ මධ්‍යම මොංගෝලියාවේ ‘තුල්’ ගං ඉවුරේ යි. 2014 වසර වන විට එහි ජනගහනය මිලියන 1.3 ඉක්ම වූ අතර වර්ග කිලෝමීටර් 4,704.4 ක් පුරාවට පැතිරී ඇති එය මෝංගෝලියාවේ විශාලත ම නගරය ද වනවා. නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 2,250 ක පමණ උසකින්.

කෙටි එහෙත් උණුසුම් වසන්ත ඍතු සහ අතිශය සීතල, වියළි ශීත ඍතු සඳහා උලාන්බටාර් නුවර ප්‍රකට යි. සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී හිරු නැගීමට පෙර එහි උෂ්ණත්වය −36°C සිට −40°C අතර අගයක් ගන්නවා. මේ සීතල නගරය ලෝකයේ සීතල ම අගනුවර ලෙස විරුදාවලි ලබා ඇත්තේ එහි පවතින −0.4°C ක් වන වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වය හේතුවෙන්.

රොජර්ස් පාස් (ඇමෙරිකා එක්සත් ජනපදය)

සැ. යු. මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට්වලින් දක්වා ඇත (mapio.net)

ඇලස්කාව හැරුණු විට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දී පහළ ම උෂ්ණත්වයක් වාර්තා වූ ස්ථානය ලෙස රොජර්ස් පාස් කඳු වැටිය සැලකෙනවා. 1954 ජනවාරි 20 වැනි එහි දී −57 °C ක උෂ්ණත්වයක් වාර්තා වුණා. ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ පිහිටි රොජර්ස් පාස් කඳු වැටිය තිබෙන්නේ මුහුදු මට්ටමෙන් මීටර් 1,710 ක් ඉහළින්.

යාකුට්ස්ක් (රුසියාව)

(yakutiatrip.com)

රුසියාවේ ලීනා ගං ඉවුරේ යාකුට්ස්ක් නගරය පිහිටා ඇත්තේ උත්තර ධ්‍රැවයට කිලෝමීටර් 450 ක පමණ දකුණු දෙසට වන්නට යි. එහි ජනගහනය 269,601 ක් පමණ වන අතර එය ලෝකයේ ප්‍රධාන පෙළේ දියමන්ති සැපයුම්කරුවෙකු ද වෙනවා. ශීත ඍතුවේ දී පහළ ම සාමාන්‍ය උෂ්ණත්වයක් වාර්තා කරන යාකුට්ස්ක් නුවර විශේෂත්වය වන්නේ ගිම්හානයේ දී නිවර්තන කලාපයේ රටවල් ද පරදන ආකාරයේ ඉහළ උෂ්ණත්වයන් වාර්තා වීම යි.

යාකුට්ස්ක් හි ශීත සමයේ සාමාන්‍ය උෂ්ණත්වය −34°C ක් පමණ වන අතර දැනට වාර්තා වී ඇති පහළ ම උෂ්ණත්වය වන −64.4°C වාර්තා වී ඇත්තේ 1891 පෙබරවාරි මාසයේ දී යි. ඇතැම් වසරවල දී එහි ගිම්හාන ඍතුවේ උෂ්ණත්වය 38.4°C දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කවරයේ පින්තූරය : Picture 8 (allswalls.com)

මූලාශ්‍ර :

  1. foxnews.com
  2. en.wikipedia.org
  3. mind-blowingfacts.com

Related Articles