Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ජෙලා මර්කල් යුගයට අදින් සමුදෙන ජර්මනිය

ජර්මනියේ “බුන්ඩස්ටෑග්” ලෙස හඳුන්වන ෆෙඩරල් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 26) පැවැත්වෙනවා. වයස අවුරුදු 18 ට වැඩි මිලියන 60.4 ක් පමණ වූ ජර්මානු පුරවැසියන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. පසුගිය දශක දෙකකට ආසන්න මැතිවරණ ඉතිහාසය දෙස බලන විට මෙවර මැතිවරණය ජර්මනියට වඩාත් සුවිශේෂී යි.

 ජර්මනියේ චාන්සලර් ධූරය දරන ඇන්ජෙලා මර්කල් මෙවර මැතිවරණය සඳහා තරග කරන්නේ නැහැ. ඇය නියෝජනය කරන පාලක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (කෙටි යෙදුම CDU) නව නායක ආමින් ලැෂෙට්, ඊළඟ චාන්සලර් ධූරය සඳහා තරග වදිනු ඇති. ඔවුන් තරග වදින්නේ “ක්‍රිස්තියානි සමාජ සංගමය (කෙටි යෙදුම CSU) ” සමඟ සන්ධානගතව යි. ඒ අනුව වසර 16 කට ආසන්න කාලයක්  ජර්මනියේ පැවති ඇන්ජෙලා මර්කල් යුගය මෙවර මැතිවරණයත් සමඟ නිල වශයෙන් අවසාන වෙනවා.

 මිලියන අසූවකට ආසන්න ජනගහනයක් වෙසෙන ලෝකයේ බලවත් ම රාජ්‍යයක් වූ ජර්මනිය තුළ දේශපාලන හා ආර්ථිකමය වශයෙන් නිවැරදි තීන්දු තීරණ ගත් ඇන්ජෙලා මර්කල්, ලෝකයේ බලවත් ම ගැහැනියක් ලෙස පැවසුවොත් වරදක් නැහැ. ලෝක දේශපාලනය තුළ ඇය පරමාදර්ශි මෙන් ම සරල චරිතයක් ලෙසත් ප්‍රසිද්ධ යි.  

විදේශ ප්‍රතිපත්තියේදී සාපේක්ෂව මධ්‍යස්ථ පිහිටුමකට ජර්මනිය ගෙන එන්න ඇය කටයුතු කළා – www.bbc.com

ඇන්ජෙලාගේ ස්ථාවරය

 ඇන්ජෙලා මර්කල් ජර්මනියේ චාන්සලර් ධූරයට පත් වූ 2005 වසරේ සිට මේ දක්වා සිවු වරක් අඛණ්ඩ ව බලය රැක ගැනීමට සමත් වුණා. හෙල්මුට් කෝල් හැර වෙන කිසිදු පුද්ගලයකු ඇන්ජෙලා මර්කල් තරම් ජර්මනියේ චාන්සලර් ධූරය හොබවා නැහැ. අවුරුදු දහසයකට ආසන්න කාලයක් බලයේ හිඳිමින් ජර්මානු ජනතාවට බොහොම හුරු පුරුදු නායිකාවක් බවට ඇන්ජෙලා මර්කල් පත් ව සිටියත්, ඇය තම දේශපාලන ස්ථාවරය පැහැදිලි ව නිර්වචනය කර නොමැති බව පැවසෙනවා.

“සමහර වෙලාවට මං නිදහස් මතධාරියෙක්. තවත් වෙලාවකට මං ගතානුගතික යි. ඒ අතර මං ක්‍රිස්තියානි සමාජවාදී අදහස් දරන්නත් පුළුවන්.  CDU කියන්නේ මේ සියල්ලම යි.”

 එක් එක් පුද්ගලයාගේ ස්වාධීනත්වය සහ ස්වයං විශ්වාසයට ගරු කරමින් එය පවත්වා ගෙන යෑමට සහයෝගයක දක්වන සමාජයක් ජර්මනිය සතු යි. සමාජය තුළින් හෝ රාජ්‍ය පාලනය හරහා හෝ පුද්ගලයන්ගේ තේරීම්වලට බලපෑම් කරන පසුබිමට ඔවුන් විරුද්ධ යි. එසේ නම්, සෘජු මතයක් දරණ දේශපාලන ප්‍රවාහයක් ජර්මානු සමාජයට ගැළපෙන්නේ නැහැ. ඇන්ජෙලා මහත්මිය එය මැනවින් තේරුම් ගත්තා. 

ඇන්ජෙලා මර්කල්ගේ සන්සුන් භාවය සහ සාධාරණත්වය සමහර ජර්මානුවන් අගය කරන අතර, තවත් පාර්ශවයක් ඇයගේ පාලන කාලය තුළ සැලකිය යුතු සමාජ විවාදයක් හට නොගැනීම විවේචනයට ලක් කරනවා. ඇයගේ දේශපාලන භාවිතාව හරියාකාර ව පැහැදිලි නොකිරීමත් ඇතැම් අයට ගැටලුවක් වුණා. සමහර විට එක් මතවාදයක් මත ම ස්ථාවරභාවය තබා නොගැනීම ඇයගේ ස්ථාවරය වෙන්න ඇති.

යුරෝපයේ ලොකු සහෝදරිය

 ඇන්ජෙලා මර්කල් ජර්මනියට පමණක් නොව මුළු යුරෝපාකරයට ම නැතුව ම බැරි දේශපාලන චරිතයක් වුණා. මහා ආර්ථික අර්බුද, සරණාගත ගැටලුව, අන්ත දක්ෂිණාංශික පක්ෂවල නැඟීම, දේශගුණික අර්බුදය සහ වර්තමාන කොවිඩ්-19 අර්බුදය හමුවේ ඇයගේ භූමිකාව ජර්මනියට පමණක් ලඝු වුණේ නැහැ. යුරෝපා සංගමය තුළ ඇය නිල නොවන නායකත්වයක් දැරුවා. චාන්සලර් ධූරයෙන් සමුගැනීමත් සමඟ ජාත්‍යන්තර දේශපාලනය තුළ මර්කල් සලකුණේ අඩුව ජර්මනියට පමණක් නොව යුරෝපා සංගමයටත් දැඩි ව දැනේවි. 

 මේ දීර්ඝ කාලීන අභියෝගවලට දිගින් දිගට ම මුහුණ දුන් ප්‍රමුඛත ම යුරෝපීය දේශපාලන චරිතය ඇය යි. අනෙකුත් යුරෝපා රටවල කාලෙන් කාලෙට විවිධ නායකයන් පත්වූ නිසා මර්කල් තරම් ඒ ගැටලු සමඟ අනෙක් නායකයන් ගැටුණේ නැහැ.  බොහෝ අවස්ථාවලදී එම දුෂ්කරතා මැඬලමින් ජාත්‍යන්තර කීර්තිය දිනා ගන්නට ඇය සමත් වුණා. ඒවායින් ලබාගත් පරිණතභාවය නිසා යුරෝපාකරයේ නායකයන් ඇය සමඟ සබඳතා පැවත්වීම ඉතා වැදගත් කොට සැලකුවා.

ඇන්ජෙලා මර්කල් සුනඛයන්ට බියක් දක්වනවා. පුටීන් සමඟ කතාබහක් අතරතුරදී ඔහුගේ සුරතලා එතනට පැමිණියා. මෙය කතාබහට ලක්වූ සිදුවීමක් – www.deccanherald.com 

 යුරෝපයේ ගැටලු හමුවේ පෙරමුණ ගත්තත්, පොදුවේ ගත් කල ඇය අනුගමනය කළේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්. එක්සත් ජනපදය, චීනය, රුසියාව යන බල කඳවුරු සමඟ කටයුතු කිරීමේ දී අනෙකුත් බලවත් යුරෝපීය රටවලට වඩා මධ්‍යස්ථ හැසිරවීමක් ඇය ජර්මනිය තුළ ගෙන ගියා. විශේෂයෙන් ම එක්සත් ජනපද කඳවුරේ සියලු තීන්දු තීරණවලට එකඟවීමේ ගතියක් ඇන්ජෙලා මර්කල්ට තිබුණේ නැහැ. විරුද්ධ විය යුතු තැන ඇය විරුද්ධ වුණා. එහෙත්, එක්සත් ජනපදය සමඟ ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමටත් මර්කල් රජය කටයුතු කළා. ඒ අතර රුසියාව සහ චීනය සමඟ වෙළෙඳ සබඳතා පවත්වා ගැනීමත් ඇය වැදගත් සාධකයක් ලෙස සැලකුවා.

 ජාත්‍යන්තර සබඳතා තුළ ඇන්ජෙලා මර්කල් දැක්වූ සංයමය බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන අතර, යුරෝපා මහද්වීපයේ සාමය කෙරෙහිත් එය වක්‍රාකාරයෙන් බලපෑවා. මෙවැනි හැසිරවීමක් යළි යුරෝපා සංගමය තුළ ඇතිවේ ද යන්නත් ඇතැම් විචාරකයන් සැක පහළ කොට තිබෙනවා.

2008 ගෝලීය මූල්‍ය බිඳ වැටීම හමුවේ මර්කල්

 මර්කල් යුගය ජර්මනියට සෞභාග්‍යය ගෙනා අවධියක් බව නොරහසක්. යුරෝපයේ විශාලත ම ආර්ථිකය මෙහෙයවමින් ඇය ලෝක බල තුලනයේ දී ජර්මනිය වැදගත් සාධකයක් බවට පත් කළා. ඇන්ජෙලා මර්කල් “ක්‍රයිසිස් චාන්සලර්” යන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වනවා. ජර්මනිය ඇතුළු මුළු යුරෝපය ම මුහුණ දුන් අවදානම් අවස්ථා ඇය කළමනාකරණය කළ අන්දම එයට හේතු වුණා. 

 2008 දී පමණ ඇතිවූ ගෝලීය මූල්‍ය අර්බුදය ඇය මුහුණ දුන් පළමු ප්‍රධාන අභියෝගය යි. ජර්මනියේ බැංකු පද්ධතිය අඩාල වීමට ඉඩ නොදී මුදල් ඇමතිවරයා සමඟ පවතින තත්ත්වය කළමනාකරණය කිරීමට ඇය මහත් පරිශ්‍රමයක් දැරුවා. පුරවැසියන්ගේ තැන්පතු සියල්ල සුරක්ෂිත බවත්, ජර්මානු රජය ඒ වෙනුවෙන් සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා බවත්, ඇය පවසා සිටියා. ‍

ඇන්ජෙලා මර්කල්, බැරක් ඔබාමා සමඟ බර සාකච්ඡාවක –  www.bbc.com 

 මූල්‍ය අර්බුදය හරහා යුරෝපයේ බැංකු පද්ධතියට බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. ඉන්පසු එය යුරෝපා කලාපයේ ණය අර්බුදයක් බවට හැරුණා. ග්‍රීසිය, ස්පාඤ්ඤය, අයර්ලන්ත ජනරජය වැනි රටවල් විශාල ජාතික ණය ප්‍රමාණයක් හමුවේ මූල්‍ය බිඳ වැටීමේ අද්දරට ම පැමිණියා. ඔවුන් සියලු දෙනා ම අර්බුදය හමුවේ මූල්‍යමය වශයෙන් ස්ථාවරව සිටි යුරෝපයේ විශාලත ම ආර්ථිකය වූ ජර්මනිය දෙසට හැරුණා.

 ණයබර නිසා පීඩාවට පත් ජාතීන් ආගාධයෙන් ගොඩ පැමිණීම සඳහා සැලකිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන්නේ නම්, ඇන්ජෙලා මර්කල් මූල්‍ය සහයෝගය ලබාදීමට පසුබට වුණේ නැහැ. එයට එකඟ නොවන රටවල් ඇය ප්‍රතික්ෂේප කළා. ග්‍රීසිය එලෙස ප්‍රතික්ෂේප වූ රටක්. 

 ගෝලීය මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් ඇය යුරෝපය තුළ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, රටකට විශාල ණය ගැටලු තිබේ නම් එය සම්පූර්ණයෙන් ම  දූෂණය බව ඇය සැලකුවා.  මේ හේතුව නිසා ඇන්ජෙලා මර්කල් ග්‍රීසියේ වෛරයට පාත්‍ර වුණා. ඇය එක්තරා අන්දමක නාසිවාදී චරිතයක් බව ඔවුන් චෝදනා කළා. අද අයර්ලන්තය, ස්පාඤ්ඤය සාපේක්ෂව ශක්තිමත් ආර්ථිකයක් සහ හොඳ ජීවන මට්ටමක් පවත්වා ගෙන යනවා. මූල්‍ය අර්බුද තුළ මර්කල් පාලනයේ පරමාදර්ශ ඔවුන්ටත් බලපාන්න ඇති.

2015 සංක්‍රමණ අර්බුදය යුරෝපයට බලපාපු හැටි – en.wikipedia.org

සරණාගත අර්බුදය හමුවේ මර්කල්

 ඇන්ජෙලා මර්කල් මුහුණ දුන් ලොකු ම අභියෝගය වන්නේ 2015 සංක්‍රමණික අර්බුදය යි. එම වසරේ ගිම්හානයේදී යුරෝපයේ දොරකඩට පැමිණි මිලියන 1.3 ක් වූ සරණාගතයන් ගෙන් වැඩි ගණනක් සිරියානු යුද්ධයෙන් දිවි බේරා ගත් මිනිසුන් වුණා. සංක්‍රමණික ගැටලුව හමුවේ ජර්මනිය ඇතුළු යුරෝපාකරය යම් පීඩනයකට නතු වුණා. ඒ අතරවාරයේ ජර්මන් චාන්සලර්වරිය දැඩි විවේචනයට ලක් වූ සිදුවීමක් සිදු වුණා. 14 හැවිරිදි පලස්තීන දැරියක් ඉදිරිපිට ඇන්ජෙලා මර්කල් සංක්‍රමණික ගැටලුව ගැන යම් සෘණාත්මක අදහස් දැක්වීමකදී පලස්තීන දැරිය හඬන්න පටන් ගත්තා. එම වීඩියෝව අන්තර්ජාලයේ සංසරණය වීමත් සමඟයි විවේචනය ඇරඹුණේ.

ඒ වීඩියෝව මෙතනින් නරඹන්න. 

 දැරියගේ සිදුවීමෙන් මාසයකට පසු ඇය ඩ්‍රෙස්ඩන් ප්‍රදේශයේ සරණාගත කඳවුරක් නිරීක්ෂණය කිරීමට පැමිණියා. ඒ වනවිටත් සංක්‍රමණිකයන්ට ජර්මනියේ දේශසීමා විවෘත කරනවාට පක්ෂ සහ විපක්ෂ කණ්ඩායම් අතර වූ මතභේදයට ඇන්ජෙලා මර්කල් මැදි ව සිටියා. ඩ්‍රෙස්ඩන් කඳවුරේ සෙනඟ ඉදිරිපිට ඇය සිය චාන්සලර් දිවියේ වැදගත්ම ප්‍රකාශයක් සිදු කළා.

“අපට මෙය කළ හැකි යි!”

බැලූ බැල්මට සරල ප්‍රකාශයක් වුණත්, විශාල අර්බුදයක ඉදිරි කළමනාකරණය ගැන සාධනීය සැලැමක් ඇයට ඇති බව එයින් ගම්‍ය වුණා.

මර්කල් සංක්‍රමණිකයන් සමඟ – www.theguardian.com 

 සරණාගතයන්ගේ සංක්‍රමණය හමුවේ ජර්මානු දේශසීමා වසා දැමීම ඇය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව අති විශාල සරණාගතයන් පිරිසක් ජර්මනියට ළඟා වූ අතර, චාන්සලර්වරියේ ජනප්‍රියත්වය රට තුළ දැඩි පසුබෑමකට ලක් වෙන්නටත් එය හේතු වුණා. ඇයගේම පක්ෂයෙන් පවා ඇයට ලැබුණු සහයෝගයේ අඩුවක් දක්නට ලැබුණා. බැලූ බැල්මට ම එය නායකත්වයට නුසුදුසු හැඟීම්බර තීරණයක් ලෙස ඇතැමුන් දුටුවා. පැමිණීමට නියමිත ව සිටි සරණාගත සංඛ්‍යාවට වඩා අඩු පිරිසක් පැමිණෙනු ඇතැයි ඇය අපේක්ෂා කළ බව පැවසෙනවා. එහෙත්, සිදුවුණේ හාත්පසින්ම වෙනස් දෙයක්. 

“මම අවංක විය යුතු යි. හදිසි අවස්ථා වලදී මිත්‍රශීලි මුහුණක් දැක්විය යුතු තැන්වලට සමාව අයදින්න අපිට සිදුවෙනවා නම්, මේක මගේ රට නොවෙයි!”

 විරෝධතා හමුවේ ඇය එපරිද්දෙන් තම ස්ථාවරය ආරක්ෂා කරගන්න උත්සහ කළා. එහෙත්, ඇය මුහුණ දුන් අවසාන මැතිවරණයේදී ඇය නියෝජනය කළ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය සැලකිය යුතු ගණනකින් පහළ වැටුණා.

සුපිරි වෙළඳසැලේදී හමුවූ චාන්සලර්වරිය – www.thesun.co.uk 

සරල ඇන්ජෙලා

 කාලෙන් කාලෙට ඇන්ජෙලා මර්කල්ගේ පාලනයට ලැබෙන ප්‍රශංසා සහ විවේචන උස් පහත් වුණත්, සමස්තයක් ලෙස ඇය පරමාදර්ශී දේශපාලන චරිතයක්. ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ ප්‍රබලත ම ගැහැනුන් අතරත් ඉදිරියෙන් ම සිටින චරිතයක් වුණත්, ඉතා සරල දිවි පෙවෙතක් ඇති තැනැත්තියක් ලෙස ඇන්ජෙලා මර්කල් ප්‍රකට යි.

 ඇන්ජෙලා මර්කල් උදෑසනින් ම අවදි වන්නේ ජර්මනියේ නායිකාව හෝ යුරෝපයේ ප්‍රබලත ම දේශපාලන චරිතය ලෙස නොවේ. ජර්මනිය ඇතුළු කලාපයේ ප්‍රශ්න විසඳීමට කලින් ඇය වද වෙන්නේ තම සැමියාගේ උදෑසන ආහාරය ගැන යි.  සැමියාට හොඳ ආහාර වේලක් තමා අතින් ම උයා දී ඔහු රාජකාරී සඳහා පිටත් කර හැරීමෙන් පසු ඇය අනෙක් ප්‍රශ්න ගැන සිතන්න පටන් ගන්නවා. 

 නිවසට අවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන එන්නේත් ඇයම යි. කෘෂිකර්ම සහ කම්කරු අමාත්‍යාංශ ගොඩනැගිලිවලට සමීපව පිහිටා ඇති එක්තරා වෙළඳ සංකී‍ර්ණයකට ඇය නිතර පැමිණෙනවා. එතැන් සිට “බුන්ඩස්ටෑග්”ලෙස හඳුන්වන ජර්මන් පාර්ලිමේන්තුවට ඇවිද ගෙන ගියත් ගත වෙන්නේ මිනිත්තු පහළොවක් පමණ යි. වෙළඳ සංකීර්ණය තුළදී ඇයට කිසිදු විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඇය විදෙස් ගත වූ විට එම කාර්යය සැමියා ඉටු කරනවා. 

ඇන්ජෙලා මර්කල්ගේ මඟ යන්න සැරසෙන ආමින් ලැෂට් – indianexpress.com 

  ඇන්ජෙලා මර්කල්ගේ සැමියා වන ජෝකිම් සෝවර්, ජනතා අවධානයෙන් හැකිතාක් ඈත්වීමට උත්සහ දරණ පුද්ගලයෙක් ලෙස ප්‍රකට යි. මාධ්‍ය අවධානයෙන් ගැලවීම පිණිස දෙදෙනා වෙන වෙනම ගමන් ගන්නා බවත් පැවසෙනවා. මර්කල් සිය පෞද්ගලිකත්වය ප්‍රසිද්ධ ජීවිතයෙන් හැකිතාක් වෙන්කර තබා ගැනීමට උත්සහ ගන්නවා. 

ඊළඟ චාන්සලර් කවුද?

 මෙවර ෆෙඩරල් මැතිවරණයේ ප්‍රතිඵලය ගැන අනාවැකි පැවසීම වඩාත් දුෂ්කර බව විශ්ලේෂකයන්ගේ අදහස යි. මෑතකදී සිදු කළ සමීක්ෂණයකට අනුව සැලකිය යුතු සංඛ්‍යාවක් ඡන්දය දිය යුත්තේ කාට ද යන්න තීරණය කර තිබුණේ නැහැ.  උදාහරණයක් ලෙස ඇලන්ස්බැච් ආයතනය මිනිසුන් 1259 ක නියැදියකින් කළ සමීක්ෂණයේ දී එයින් 40% ක් පමණ ඡන්දය දිය යුත්තේ කාටද යන්න වග තීරණය කර තිබුණේ නැහැ. ජර්මනියේ පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන අයට ඇත්තේ ඇන්ජෙලා මර්කල්ගේ පාලන කාලය ගැන අත්දැකීම් පමණ යි. ඇතැමුන් ඇයට සමුදෙන්නට තවමත් මැළිකමක් දක්වනවා.

 කෙසේ නමුත්,  ජර්මනිය තුළ සන්ධාන රජයක් ගොඩනැඟීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. ගැටලුව වන්නේ සන්ධානය සඳහා එක්වන පක්ෂ මොනවාද යන්න යි. විශ්ලේෂණ අනුව ආමින් ලැෂෙට් ප්‍රමුඛ CDU/CSU පක්ෂය සහ  ජර්මනියේ හරිත පක්ෂය අතර ද්වී-පාර්ශ්වික සන්ධානයක් ඇතිවිය හැකි බව මුලින් අනාවැකි පළවුණා. එහෙත්, මෑත සති කිහිපය තුල ඕලාෆ් ස්කෝල්ස් ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඉදිරියට පැමිනුණා. ඒ අනුව හරිත පක්ෂය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අතර සන්ධානගත වීමක් පවා සිදු වෙන්න පුළුවන්. ​ප්‍රතිඵලය කුමක් වුවත්, ජර්මනියේ එක්තරා දේශපාලන යුගයක් අදින් පසු ඉතිහාසගත වෙනවා.

කවරයේ ඡායාරූපය: ඇන්ජෙලා මර්කල්- www.axios.com

මූලාශ්‍ර:

www.bbc.com

www.theguardian.com

www.eyes-on-europe.eu/

www.voanews.com

 www.abc.net.au

 www.cnbc.com

Related Articles