Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මළවුන් වෙනුවෙන් වෙන් කළ හැලොවීන් රැය

මෑත කාලීන ව ශ්‍රී ලාංකික අපිටත් හැලොවීන් සැමරුම් සහ සාද ගැන අහන්න ලැබුණත් හැලොවීන් රැය හෙවත් මළවුන්ගේ රාත්‍රිය තවමත් අප බොහෝ දෙනෙකුට ආගන්තුක යි. නමුත් ආගමික විශ්වාසයන් පෙරදැරි කරගෙන සමරනු ලබන යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හැලෝවීන් සාම්ප්‍රදායන් හි ආරම්භය වසර දෙදහසක් පමණ ඈතට දිව යන බව යි පැවසෙන්නේ.

මුල් කාලයේ දී භූතයින් පලවා හැරීමේ අරමුණෙන් පැවති හැලෝවීන් සැමරුම් අද වන විට කුඩා දරුවන්ට විනෝදය සපයන උත්සවයක් බවට පත් වී ඇති බව නොරහසක්. නොයෙක් ආකාරයේ ඇඳුම් ආයිත්තම් සහ රස කැවිලිවලින් සපිරි හැලෝවීන් රැය ගැන තොරතුරු යි මේ.

දෙදහස් වසරක් පැරණි කෙල්ටික් සාම්ප්‍රදායක්

1830 දශකයේ දී අයර්ලන්තයේ හැලොවීන් සැමරුම් (© Daniel Maclise)

ඉතිහාසයේ සඳහන් වන ආකාරයට හැලොවීන් උත්සවයේ ආරම්භය සිදු වී ඇත්තේ සාවුන් නම් කෙල්ටික් උත්සවයක් ලෙස යි. වසර දෙදහසකට පමණ පෙර වත්මන් අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ උතුරු ප්‍රංශය ආශ්‍රිත ව ජීවත් වූ කෙල්ටික් ගෝත්‍රිකයන්ගේ අලුත් අවුරුද්ද නොවැම්බර් 1 වැනි දිනට යෙදී තිබුණා. ඔවුන් එදින සැලකුවේ අස්වනු සමයේ සහ ගිම්හානයේ අවසානය ලෙස මෙන් ම සීතල සිසිර ඍතුවේ ඇරඹුම ලෙස යි.

මේ නිසා අලුත් අවුරුදු දිනට පෙර දිනයේ දී මළවුන්ගේ සහ ජීවත්වන්නන්ගේ ලෝකය අතර ඇති සීමාව තාවකාලික ව බොඳ වී ගොස් මිය ගිය අය භූතයින් ලෙස පෘථිවියට පැමිණෙන බව ඔවුන් විශ්වාස කළා. මෙසේ ජීව ලෝකයට මළවුන් පැමිණීම කෙල්ටික් පූජකරුවන්ට අනාගතය ගැන පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට පහසු කරන බව සැලකූ ඔවුන් ඔක්තෝබර් 31 වැනි දින සාවුන් උත්සවය පැවැත්වීම අරඹා තිබෙනවා.

© Brigit’s Garden

සාවුන් උත්සවය පැවැත්වීමේ දී මූලිකත්වය ගන්නා කෙල්ටික් පූජකවරුන්ගේ පළමු කාර්යය වන්නේ විශාල ගිනි මැලයක් දැල්වීම යි. සත්ත්ව හිස් සහ සම්වලින් සකස් කර ගන්නා ලද නොයෙක් ආකාරයේ ඇඳුම්වලින් සැරසී එම ගිනි මැලය වටා රැස් වන පුද්ගලයන්, කෙල්ටික් දේවතාවන් වෙනුවෙන් බිලි පූජාවන් පවත්වනු ලබනවා. ඒ අස්වැන්නෙන් කොටසක් සහ සත්ත්වයින් ගිනි තැබීම මගින්. සාවුන් උත්සවය අවසානයේ දී ගිනි මැලයෙන් ගන්නා අඟුරු යොදා ගනිමින් තම තමන්ගේ නිවෙස් හි ඇති ගිනි උඳුන් දල්වන කෙල්ටික් ගෝත්‍රියකින් එයින් අපේක්ෂා කරන්නේ පැමිණෙන සිසිරයෙන් ඔවුන් ව ආරක්ෂා කර ගැනීම යි.

පසු කාලීන ව රෝම අධිරාජ්‍යය විසින් කෙල්ටික් භූමි ප්‍රදේශයන් අත්පත් කර ගන්නා ලද අතර ඔවුන්ගේ පාලනය යටතේ ගෙවී ගිය සියවස් හතරක කාලය තුළ සාම්ප්‍රදායික රෝම උත්සව ද්විත්වයක් සාවුන් උත්සවයට ඍජු බලපෑම් එල්ල කර තිබෙනවා. ඔක්තෝබර් මාසය ගෙවී යන විට පැවති ‘ෆෙරලියා’ නම් වූ පළමු උත්සවයේ දී රෝම ජාතිකයින් සිදු කළේ මිය ගිය තැනැත්තන් ව සිහිපත් කිරීම යි. අනෙක් උත්සවය මගින් සිදු වුණේ වෘක්ෂ ලතා සහ පලතුරුවලට අධිපති වූ “පොමෝනා” නම් දෙවඟනට ගෞරව කිරීම යි. හැලෝවීන් උත්සවයේ දී සිදු කරන ජල බඳුනක පාවෙන ඇපල් කටින් ඩැහැ ගැනීමේ ක්‍රීඩාවේ (apple bobbing) ආරම්භය සිදු වී ඇත්තේ මෙහි ප්‍රතිඵලයක් ලෙස බව සැලකෙනවා.

© Caleb Zahnd

හැලොවීන් උත්සවය සඳහා ක්‍රිස්තියානි/කතෝලික බලපෑමක් එක් වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේ දී තෙවැනි ‍ග්‍රෙගරි පාප්තුමා විසින් සියලු ශාන්තුවරු පිදීම සඳහා වෙන් කළ මැයි 13 වැනි දිනය නොවැම්බර් 1 වැනි දිනට යොදා ගැනීමත් සමග යි. ඒ කාලයේ දී කෙල්ටික් ප්‍රදේශයන් පුරාවට ම කිතුනු දහම ව්‍යාප්ත වී තිබුණු අතර සාවුන් උත්සවයේ දී මෙන් ම ශාන්තුවරුන්ගේ, දේව දූතයින්ගේ සහ යක්ෂයින්ගේ ඇඳුමෙන් සැරසී ගිනි මැලයක් වටා රැස් ව සමරන ලද සියලු ශාන්තුවරුන් පිදීමේ දිනය ද හැලෝවීන් උත්සවයේ ම කොටසක් බවට පත් වන්නට ඇති බව සැලකෙනවා.

හැලෝවීන් සැමරුම් ඇමෙරිකාවට පැමිණි අයුරු

© Pimp Your Screen

ඇමෙරිකා එක්සත් ජනපද හැලෝවීන් ආගමනය සිදු වුණේ නව එංගලන්ත ජනපද බිහි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යි. මේ නිසා නැගෙනහිර සහ දකුණු දිග ඇමෙරිකානු ජනපදවල වඩාත් ජනප්‍රිය වූ හැලෝවීන් උළෙල තරමක් දුරට යුරෝපීය හැලෝවීන් සැමරුම්වලට සමාන වුණා. නමුත් විනෝදයට බර වූ ඇමෙරිකානුවන් හැලෝවීන් උත්සවයේ පැවති ආගමික ස්වරූපයන් වෙනුවට වඩාත් විනෝදකාමී සහ උත්සවශ්‍රීයෙන් යුතු අංගයන් කර තිබෙනවා. ඒ අනුව අස්වනු නෙළීම සමරමින් රසවත් භෝජන සංග්‍රහයන් පැවැත්වීම, ගීත ගයමින් ගැමි නර්තනයන් හි යෙදීම, අසල්වැසියන් ව රැවටීමට නොයෙකුත් විහිළු කිරීම සහ විවිධ ඇඳුමෙන් සැරසී ගෙයින් ගෙට ගොස් මුදල් හෝ ආහාර ඉල්ලීම වැනි ඇමෙරිකානු හැලෝවීන් සිරිත් බිහි වුණා.

© Thinkstock

19 වැනි සියවසේ මැද බාගය වන විට විශාල වශයෙන් අයර්ලන්ත සංක්‍රමණිකයන් ඇමෙරිකාවට පැමිණීම සමග රට පුරාවට ම හැලොවීන් සැමරුම් ව්‍යාප්ත වූ අතර, එදින නිවාඩු දිනයක් ලෙස සැලකෙන මට්ටමට ම ඇමෙරිකා එක්සත් ජනපදය තුළ හැලොවීන් උත්සවය ජනප්‍රිය වුණා. මේ අනුව වෙනස්ම ආරක හැලොවීන් සාම්ප්‍රදායක් ඇමෙරිකාව තුළ ගොඩ නැගුණා. අද වන විට ඇමෙරිකාවේ දෙවැනි විශාලත ම වාණිජ නිවාඩු දිනය ලෙස සැලකෙන හැලොවීන් දිනය සඳහා වාර්ෂික ව ඇමෙරිකානුවන් ඩොලර් බිලියන 6 ක මුදලක් වියදම් කරන බව පැවසෙනවා.

වත්මන් හැලොවීන් සාම්ප්‍රදායන්

අද වන විට හැලොවීන් සැමරුමක ඇති වඩාත් ජනප්‍රිය ම අංගය ලෙස ගෙයින් ගෙට ගොස් රසකැවිලි ඉල්ලා සිටීම (trick-or-treat) හැඳින්විය හැකි යි. කුඩා දරුවන් අතර ප්‍රචලිත මෙහි දී රස කැවිලි ලබා දීම ප්‍රතික්ෂේප කරන්නන් හට ඇස් රතු වෙන විහිළුවක් කිරීම සාම්ප්‍රදාය යි. මෙය ආරම්භ වී ඇත්තේ අතීත හැලොවීන් සැමරුම් අතරතුර දී මිය ගිය ඥාතීන් සිහි කිරීම වෙනුවෙන් දුප්පතුන්ට ආහාර ලබා දීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස බව පැවසෙනවා.

© Robin Luymes

එසේ ම හැලෝවීන් දිනයේ දී නොයෙක් ආකාරයේ ඇඳුම්වලින් සැරසීම ද වයස් භේදයකින් තොර ව සිදු කරනු ලබනවා. මෙය ඉපැරණි කෙල්ටික් ගෝත්‍රික සිරිත් මතින් බිහි වූවක්. බොහෝ විට හැලොවීන් උළෙල සඳහා යොදා ගන්නේ භූතයින් හෝ මායාකාරියන් මෙන් පෙනෙන අඳුරු පැහැ ඇඳුම් සහ වෙස් මුහුණු යි. එහි අරමුණ ජීව ලෝකයට පැමිණි මළවුන්ගේ භූතයින් සිදු කරන කරදර මග හරවා ගැනීම යි. එසේ ම මළ ගිය අය නිවෙස් තුළට ඇතුළු වීම වැලැක්වීම සඳහා නිවසේ දොරටුව ඉදිරිපස ආහාර බඳුනක් තැබීම ද සිදු කරනවා.

වට්ටක්කා ලන්තෑරුම් භූතයා

හැලොවීන් සැරසිලි අතර අනිවාර්යයෙන් ම දක්නට ලැබෙන සැරසිල්ලක් තමයි, වට්ටක්කා ගෙඩියක් මත කැටයම් කපා සකස් කරන ලද ලන්තෑරුම. සාම්ප්‍රදායික හැලොවීන් වර්ණයන් වන තැඹිලි සහ කළු පැහැයන් සංකේතවත් කරන එහි ආරම්භය සිදු වී ඇත්තේ අයර්ලන්තයේ දී යි. මුල් කාලයේ දී ලන්තෑරුම් සකස් කිරීම සඳහා ටර්නිප් අලයක් යොදා ගත්ත ද මේ වන විට ඒ සඳහා හොඳින් පැසුණු වට්ටක්කා ගෙඩි යොදා ගනු ලබනවා.

© Jeff Kramer

ජනශ්‍රැතීන් හි සඳහන් වන ආකාරයට වට්ටක්කා ලන්තෑරුමට ජැක් (Jack O’Lantern) යන නාමය ලැබී ඇත්තේ කම්මල්කරුවෙක් හේතුවෙන්. මසුරෙක් වූ ඔහු තමන්ගේ තැබෑරුම් බිල ගෙවීම සඳහා යක්ෂයා ව රවටා ඇති අතර ඔහු මිය ගිය පසු ව ඔහු වෙනුවෙන් ස්වර්ගයේ හෝ අපායේ දොරටු විවර වී නැහැ. මේ නිසා යක්ෂා ඔහු ව දැවෙන ගිනි අඟුරක් මතට විසි කළ බව ද, එතැන් පටන් ඔහුට ගිනි අඟුරු තැන්පත් කළ ටර්නිප් ගෙඩියක් රැගෙන ලොව වටා ඇවිදීමට සිදු වූ බව ද කියැවෙනවා.

කවරයේ පින්තූරය : (© WallpapersWide)

Related Articles