Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව ජනප්‍රියතම උණුදිය උල්පත් 5ක්

විවිධ විශාලත්වයෙන් යුත් උණු ජල උල්පත් ලොව ඕනෑම කලාපයකින් පාහේ දැකගත හැකි යි. මේවායේ උෂ්ණත්වයන්ද එකිනෙකට වෙනස්. ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකමත් උණු ජල උල්පත් පිහිටා තිබෙනවා. කින්නියා, මහඔය, හා ඇඹිලිපිටිය යන නගර ආසන්නව මේවා පිහිටා තිබෙනවා.  

ලෝ ප්‍රසිද්ධ උල්පත් අතුරින් සංචාරක ආකර්ෂණය වැඩියෙන්ම දිනාගත් 5ක් පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එන්නට අපි අදහස් කළා.

යෙලෝස්ටෝන්

Grant Ordelheide

ඇමෙරිකා එක්සත් ජනපදයෙහි පිහිටි යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය සැලකෙන්නේ ලොව ප්‍රථම ජාතික උද්‍යානය ලෙස යි. මෙය 1872 වසරේ දී ස්ථාපිත කර තිබෙන අතර, මේ තුළ උණු ජල උල්පත් හා ළිං රාශියක් පිහිටා තිබෙනවා. මේ පෙදෙසෙහි පොළොවේ යමහල් ක්‍රියාකාරීත්වයක් තිබෙන නිසා මෙපරිද්දෙන් උණු ජල උල්පත් හටගෙන තිබෙනවා. මීට වසර ලක්ෂ ගණනකට ප්‍රථමයෙන් එක පිට එක සිදු වූ යමහල් විදාරණයන් මාලාවක් නිසා මෙම උණුදිය උල්පත් ඇති වී තිබෙනවා. මෙහි අවසන් විශාල විදාරණය සිදුව ඇත්තේ මීට වසර 640,000කට පමණ පෙරයැ යි විශ්වාස කෙරනවා.

බ්ලූ ලගූන්

Shutterstock

අයිස්ලන්තයේ පිහිටි බ්ලූ ලගූන් හෙවත් නිල් කලපුවෙහි ජලය උණුසුම් වන්නට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ, භූගත උණු ජලයෙන් එන හුමාලයෙන් ක්‍රියාත්මක වන බලාගාරයක ඉවත දමන ජලය නිරන්තරයෙන් කලපුව හා එක්කාසු වීම යි. 

බ්ලූ ලගූන්හි ජලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 මට්ටමේ පවතින අතර එහි ශරීරයට හිතකර ඛණිජ ලවණ රාශියක් ද පිහිටා තිබෙනවා. විශේෂයෙන් මෙහි ජලයෙහි සමේ රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇතැයි විශ්වාස කෙරෙනවා. මේ නිසා සංචාරකයින් නිරන්තරයෙන් මෙහි ඇදෙනවා.

ඩැලොල්

Youtube

ඩැලොල් නම් පැරණි යමහල් ද්වාරය පිහිටා ඇත්තේ ඉතියෝපියාවේ පිහිටි ඩැනකිල් අවපාතනයේ යි. මෙහි ඇති උණුදිය පොකුණ එම යමහල 1926 වසරේ දී පුපුරා යාම නිසා සෑදී තිබෙනවා. මේ අවට පෙදෙස ලොව ඉහළම සාමාන්‍ය වාර්ෂික පාරිසරික උෂ්ණතවය දරන පෙදෙස ලෙස හඳුනාගෙන තිබෙනවා.

ජිගෝකුඩනි වඳුරු උද්‍යානය

japan-guide.com

ජපානයේ නගනො නගරය ආසන්නයේ පිහිටා ඇති මේ උද්‍යානය තුළත් උණුසුම් ජල උල්පත් කිහිපයක්ම පිහිටා තිබෙනවා. එමෙන්ම මෙය ඝණ වනාන්තර හා උස් කඳු මුදුන්වලින් වට වී තිබෙනවා. හාත්පස හිමෙන් වැසී යන ශීත කාලයේ දී උණුසුම් ජලය සොයා මෙම උණුදිය උල්පත් අසලට අවට වූ වනාන්තරවලින් වඳුරන් පැමිණෙනවා. එම නිසා එයට ජිගෝකුඩනි වඳුරු උද්‍යානය ලෙස නම් ලැබී තිබෙනවා.

පමුකලේ

LoggaWiggler

පමුකලේ යන තුර්කි වදනෙහි අර්ථය වන්නේ ‘පුළුන් මාලිගය’ යන්න යි. තුර්කියේ පිහිටා ඇති මේ පෙදෙසට එම නාමය පටබැඳීමට හේතු වී ඇත්තේ එහි භූමියේ ඇති සුදු පැහැ පාෂාණ කුට්ටි නිසා යි. මෙම පාෂාණ කුට්ටි ට්‍රැවර්ටයින් නම් පාෂාණයෙන් සෑදී ඇති අතර ඒ තදාසන්නව ඇති උණුදිය උල්පත් වල ඇති අධික ලවණතාව හේතුවෙන් මේවා ස්ඵටිකීකරණය වී තිබෙනවා. ඈත අතීතයේ පටන් මෙහි ඇති උණුදිය උල්පත්වලින් මිනිසුන් ස්නානය කර ඇති අතර, ඉපැරණි ග්‍රීක නගරයක් වන හීරාපොලිස් ද ඉදි වී ඇත්තේ මේ ආසන්නව යි. මෙහි එම නගරයේ නටඹුන් අද ද දැකිය හැකියි. මේ ප්‍රදේශය 1988 වසරේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවා.

කවරයේ පින්තූරය- en.jigokudani-yaenkoen.co.jp

Related Articles