බුදුදහම අදහන, රට පුරා ඉපැරණි දාගබ් පිරි රටක් වුව ද මියන්මාරය හෙවත් බුරුමයේ දේශපාලන අර්බුදවල නම් නිමක් නම් දැක ගැනීම අසීරු යි. මියන්මාරයේ පවතින හමුදා පාලනය රටේ ප්රජාතන්ත්රවාදී විරෝධතා, මර්දනයෙන් මැඬ පැවැත්වීමට කටයුතු කරන්නේ තිරශ්චීන ආකාරයට බවටයි චෝදනා එල්ල වන්නේ.
ත්‍රස්තවාදී කටයුතු කළ බවට චෝදනා කරමින් ප්රජාතන්ත්රවාදය ඉල්ලා අරගල කළ ක්‍රියාකාරීන් හතර දෙනකුට මියන්මාර පාලක හමුදා නායකයන් පසුගිය සතියේ දී මරණීය දණ්ඩනය ලබා දුන්නේ ලෝකය ම කම්පනයට පත් කරමිනු යි.
හමුදාව බලය අල්ලයි
2021 පෙබරවාරි 1 වෙනිදා අලුයම් කාලයේ දී, මියන්මාරයේ හමුදාව පාර්ලිමේන්තුව වටලා රටේ පාලනය සියතට ගත්තා. ඊට පෙර එරට නිල නොලත් නායිකාව ලෙස සැලකෙන අවුං සාන් සූ චී සහ තවත් දේශපාලනඥයන් ගණනාවක් හමුදා අඩස්සියේ රඳවා ගැනීමට ඔවුන් ක්‍රියා කළා. හමුදාව මෙම කුමන්ත්‍රණය සිදු කළේ, 2021 නෙවැම්බරයේ පැවති මැතිවරණය සම්බන්ධයෙන් හට ගත් මතභේදය උග්‍ර වී සූ චී ගේ සිවිල් ආණ්ඩුව හා හමුදාව අතර ඇති වූ මතභේදකාරී තත්ත්වය දඩමීමා කරගෙනයි.
2021 මැතිවරණයේ දී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව දිනා ගත්තේ, අවුං සාන් සූ චී ගේ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගය (NLD)යි. නමුත් බලයට කෑදර හමුදාව මෙම පාලනය පෙරළා තමන්ගේ ඒකාධිපති පාලනයක් පිහිටුවා ගත්තා. හමුදා කුමන්ත්රණයෙන් පසුව අත්අඩංගුවට ගැනුණු සූචිට එරෙහි ව නව චෝදනා දෙකක් තිබෙන බවයි හමුදාව නිවේදනය කළේ. හමුදාව, අවුන් සාන් සූචි නිවාස අඩස්සියට නැවත පත්කර තිබෙනවා.
හමුදාව හා පොදු ජනයා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වයස අවුරුදු හතක දැරියක් ඇතුළු ව තුන්සියයකට අධික පිරිසක් මිය ගියා. බලය අල්ලාගැනීමෙන් පසුව හමුදාව එරට සියලු ම දේශපාලන බලතල හමුදාපතිට ලබා දුන්නා.
ඔවුන් රටේ හදිසි යුද නීතිය පැනවූයේ 2021 මාර්තු මාසයේදි යි. ඉන් පසු දේශපාලන නිදහස සහ ප්රජාතන්ත්රවාදය ඉල්ලා දහස් ගණනින් ජනතාව වීදි බැසීම සිදුවුණා. මේ විරෝධතාකරුවන් මර්දනය කිරිමට මිලිටරි පාලකයන් ක්‍රියා කළේ ජාත්‍යන්තරවත් අප්‍රසාදයට පත්වෙමින්.
18 දෙනෙක් මරා දමයි
2022 පෙබරවාරි 28 වැනි දා විරෝධතාවල උච්ච අවස්ථාවක් පෙන්නුම් කළා. හමුදා කුමන්ත්රණයෙන් පසු ව පැවති දරුණුත ම විරෝධතාව එදින පැවති අතර එයට සිදු කළ වෙඩිතැබීම්වලින් 18 දෙනෙක් මිය ගියා.
විරෝධතාවල නියැළුණු 14847 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර, ඉන් 11759 දෙනකු තවමත් හමුදා නීතිය යටතේ සිරගෙවල්වල රඳවාගෙන සිටිනවා. මියන්මාර ආරංචි මාර්ගවලට අනුව ළමයින් දෙදෙනෙක් ද ඇතුළුව සිරකරුවන් 77 දෙනකුට මරණ දණ්ඩනය නියම කර තිබෙනවා.
සමාජ මාධ්‍ය යුද්ධයක්
බුරුමයේ සමාජ මාධ්‍ය භාවිත කරන ජනතාව මරණ දණ්ඩනයට විරෝධය පා තම සමාජ මාධ්‍ය පිටු කළු සහ රතු පාටින් සරසා තිබෙනවා. තවත් බොහෝ දෙනෙක්, මරා දැමුණු රැප් ගායක සෙයා තෝගේ රැප් ගීයක එන “Nothing’s gonna happen if we are all united” නම් පදවැල තම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කරමින් සිටිනවා.
ඒ සඳහා විශාල ප්‍රතිචාර ලැබෙන බව සඳහන්. මේ අතර ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට විවිධ අවහිරතා කරමින් ඒවා භාවිතය වැලැක්වීමට හමුදා ජුන්ටාව කටයුතු කරන බව වාර්තා වෙනවා.
රහස් නඩු විභාගයකින් පසුවයි, විරෝධතාකරුවන්ට මෙලෙස මරණ දණ්ඩනය ලබා දී තිබෙන්නේ. මෙම පුද්ගලයන්ට එරෙහිව එල්ල වූ චෝදනා වුණේ අමානුෂීය හා දරුණු ත්‍රස්තවාදී කටයුතු සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම යි. හමුදාව මොවුන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවට ජූලි 25 වැනි දා නිවේදනය කළා. එය මියන්මාරය කම්පනයට පත්කළ සිදුවීමක්. ජාත්‍යන්තර විරෝධතා මැද සිදුකළ මෙම මරණ දණ්ඩනයත් සමඟ මියන්මාරයේ නවත්වා තිබූ මරණ දණ්ඩනය දශක හතරකට පසුව යළිත් ක්‍රියාත්මක වීම සිදුවුණා.
අවුන් සාන් සුකි ගේ සමීපතම හිතවතකු සේ සැලකෙන හිටපු නීති සම්පාදකවරයකු හා හිප් හොප් ගායකයකු වන ප්යෝ සෙයා තෝ ( අවුරුදු 41) , ක්යාව් මින් යූ නොහොත් කෝ ජිමී ලෙස ප්‍රසිද්ධීයට පත්ව සිටින ප්‍රකට ප්රජාතන්ත්රවාදී ක්‍රියාකරුවකු සහ හියා මියෝ අවුන්ග් හා අවුන් තුරා සව් යන සිවු දෙනා තමයි මරා දමා තිබෙන්නේ.
ජනප්‍රිය පොප් ගායකයෙක්
ප්යෝ සෙයා තෝ අත්අඩංගුවට ගැනුණේ පසුගිය වසරේ නොවැම්බරයේ යි. 100කට අධික හමුදා සහ පොලිස් කණ්ඩායමක් නිවාස සංකීර්ණයක් වටලා ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුංසාං සුකීගේ දේශපාලනයට සහයෝගය දැක්වීමට ප්‍රථම ප්යෝ සෙයා තෝ සමාජ ක්‍රියාකාරිකයෙක් සහ රැප් ගායකයෙක් ලෙස කටයුතු කළා. මියන්මාරයේ ප්‍රථම රැප් ගීත ඇල්බමය ඔහු නිකුත් කළේ වර්ෂ 2000දි යි. ඔහු තම ගීතවලින් රටේ මෙයට පෙර පැවති දීර්ඝ හමුදා පාලනය විවේචනය කර තිබෙනවා. එම ගීත තරුණ පරම්පරාව ආදරයෙන් වැලඳ ගෙන තිබුණා. එවකට සිටි හමුදා පාලකයන් ද ප්යෝ සෙයා තෝ අත්අඩංගුවට ගෙන සිරගත කර තිබුණා. සුකීගේ පාලනයේ දී නිදහස ලැබූ මේ ගායකයා 2012 දී අවුන්සාන් සුකී රජයේ මන්ත්‍රීවරයකු ලෙස පත්වුණා.
මරා දැමූ අනෙක් පුද්ගලයා වන ක්යාව් මින් යූ සමාජ ප්රජාතන්ත්රවාදය ඉල්ලා හඬ නැගූ ප්‍රබල ක්රියාකාරිකයෙන්. 53 හැවිරිදි ඔහු අත්අඩංගුවට පත් වුණේ 2021 ඔක්තෝබර් මාසයේදි යි. ප්රජාතන්ත්රවාදය ඉල්ලන 88 පරම්පරාවේ ශිෂ්‍ය සමූහයේ නායකයා ලෙස කටයුතු කළේ කියාව් මින් යූ යි. කලින් පැවති හමුදා රජයට එරෙහිව ප්රජාතන්ත්රවාදී අරගලවල නියුතු වූ නිසා ඔහු 1988 දී සිරගත කළ අතර 2005 දී නිදහස ලැබුවා.
යළිත් 2007 සිට 2012 දක්වා ඔහු සිරගත කිරීමක් සිදුවුණා. ඔහු ලේඛකයෙක් ද, පරිවර්තකයෙක් ද වෙනවා. ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්සි කෝඩ් පොත ඔහු පරිවර්තනය කළේ බන්ධනාගාරයේ සිටින කාලයේදී යි.
මරණ දඬුවම හිමිවූ අනෙක් දෙදෙනාත් හමුදා පාලනයට විරුද්ධ ව විරෝධතාවලට එක්වූ දෙදෙනෙක්. ඔවුන් සිරගත කර ඇත්තේ කාන්තාවක් මරා දැමූ බවට සැකපිට යි. ඔවුන් ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කළත් එය සාර්ථක වී නැහැ.
මරපු අන්දම රහසක්
මේ පිරිසට මරණ දඬුවම් නොපමුණුවන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීම් රාශියක් ඉදිරිපත් වුණත් මියන්මාර හමුදා පාලකයන් ඒවා ගණනකට ගෙන නැහැ. මේ සිවු දෙනා මරා දමා ඇත්තේ කෙසේද යන්න ගැන නම් අනාවරණය වී නැහැ. ඝාතන සිදුකර ඇත්තේ කුමන ස්ථානයක ද යන්න ගැනත් හෙළිදරව් වී නැහැ. මෙම ක්‍රියාකාරීන් සිවු දෙනා මරා දමන බව ඔවුන්ගේ පවුල්වලට පවා දැනුම් දී නැති බව යි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඔවුන්ගේ මෘත දේහ සිය පවුල් වෙත භාර දීමටවත් පියවර ගෙන තිබුණේ නැහැ. ක්යාව් මින්ගේ පවුලේ ආරංචි මාර්ගවලට අනුව ඉන්සේන් බන්ධනාගාරයේ නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ඔහුගේ මරණය තහවුරු කළ බව වාර්තා වෙනවා.
මියන්මාරයේ මරණ දඬුවම අවසන් වරට ක්‍රියාත්මක කර ඇත්තේ 1988 වසරේදී යි. එවකට දඬුවම ක්‍රියාත්මක කර ඇත්තේ එල්ලීමෙන්. මෙම සිව්දෙනාගේ මරණ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් පවසා ඇත්තේ මියන්මාර හමුදා ජුන්ටාව ඔවුන්ට ජීවත් වීමට ඇති අයිතිය අමු අමුවේ උල්ලංඝණය කර ඇති බව යි. ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ කලාපීය අධ්යක්ෂ අර්වින් වැන් බ්‍රොට් සඳහන් කරන්නේ මියන්මාරයේ මානව අයිතිවාසිකමක් නැති බවට මෙය හොඳ උදාහරණයක් සපයන බව යි.
‘‘ඔවුන් මෙම ක්‍රියාකාරින් සිව් දෙනා ඉතා රහසිගතව මරා දමා ඇත්තේ අසාධාරණ නීතියක් යටතේයි. මේ මානව අයිතීන් කඩකිරිමට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. මෙවැනි රහසිගත නඩුවලින් වරදකරුවන් කළ මරණ දණ්ඩනය හිමිවූ තවත් 100 දෙනකු පමණ එරට බන්ධනාගාරවල සිටිනවා.‘‘ යයි ඔහු සඳහන් කරනවා.
මියන්මාර දේශපාලනය
මියන්මාරය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත්තේ 1948 දී යි. පසුව නව රජයක් සිවිල් පාලනය ඇති කිරීමට උත්සාහ කළ අතර එය පැවතුණේ ටික කල යි. සන්නද්ධ හමුදාවන් රටේ බලය අල්ලා ගත් අතර 1962 සිට 2011 දක්වා එහි පැවතියේ හමුදා පාලනයක්. අමෙරිකාව හා යුරෝපීය රටවල් හමුදා පාලනයට එරෙහි ව දැඩි බලපෑම් කළා, විවිධ සම්බාධක පැනවූවා. ඉන් පසුව මියන්මාරය අර්ධ ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් ලෙස පාලනය වුණා. රට පාලනය කළ හමුදාව 1989 දී බුරුමයේ නම “මියන්මාරය” යනුවෙන් වෙනස් කළා.
්අවුන්සාන් සුචී 1990 දශකයේ දී රටේ ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම සඳහා වූ දේශපාලන සංවිධානය නිසා ලෝකය පුරා ප්‍රකට වුණා. ඇයට 1991 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුණා. අවුරුදු 25කට පසුව වර්ෂ 2015 දී එරට පළමු නිදහස් මැතිවරණය පැවැත්වූවා. එයට විවෘත ව තරග කළ සුචීගේ ජාතික ලීගය ජය ලබා ගත්තා. නමුක් හමුදා පාලකයක් 2022 අප්රෙල්වලදී ඇයට එරෙහි ව රහස් නඩු විභාගයක් පවත්තා දූෂණ චෝදනා එල්ල කර වසර පහක සිර දඬුවමක් නියම කළා.
හමුදා පාලකයන් කවුරුන් ද?
එරට හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස සිටින්නේ ජෙනරල් මින් අවුන් හ්ලේං යි. ඔහු සහ ඔහු වටා සිටින ඉහළ හමුදා නිලධාරින් පිරිස දැන් මියන්මාරය පාලනය කරනවා. බලය අල්ලා ගත් අවස්ථාවේ හදිසි නීතිය පනවා ඉදිරියේ දී නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන බව පැවසුවත් මැතිවරණයක් ගැන තවම ඉඟියක් නම් නැහැ. හමුදා පාලකයක් මානව හිමිකම් හෝ ප්රජාතන්ත්රවාදී අයිතීන්වලට ගරු කිරීමක් දක්වන්නේ නැහැ.
වාර්ගික සුළු ජාතීන්ට එරෙහි ප්‍රහාර ද රටේ බහුල ව සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් ජනරාල් හ්ලේං හට ජාත්‍යන්තර චෝදනා එල්ලවී ඇති අතර සම්බාධකවලට මුහුණ දීමටත් සිදු ව තිබෙනවා. දේශපාලන සිරකරුවන්ගේ සහාය සංගමය (AAPP) නම් මානව හිමිකම් කණ්ඩායමක් සඳහන් කරන්නේ හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව ආරක්ෂක අංශ පුද්ගලයන් 2,100 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති බව යි.