Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව පුරා දැනට සිදුවී ඇති න්‍යෂ්ටික අනතුරු

න්‍යෂ්ටික ශක්තිය ලොව පුරා භාවිතයට ගැනෙන සුලබ ශක්ති ප්‍රභවයක්. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් නිපදවා ගනු ලබන න්‍යෂ්ටික ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කර, එමගින් ජනනය වන හුමාලය උපයෝගී කරගෙන ටර්බයින කරකවා විද්‍යුතය නිපදවීම මෙම බලාගාර වල සිදුකෙරෙන මූලික ක්‍රියාවලියයි. මෙහිදී න්‍යෂ්ටික ශක්තිය ලබාගන්නා පොදු ක්‍රමය වන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයයි.  න්‍යෂ්ටික බලාගාර භාවිතා  කිරීමෙන්  රටේ ආර්ථිකයට ඇති වන වාසිදායක තත්ත්වය නිසාම අද බොහෝ දියුණු රටවල් න්‍යෂ්ටික ශක්තිය භාවිතා කිරීමට වැඩි වැඩියෙන් පෙලඹී සිටිනවා. වත්මන් ලෝකයේ විද්‍යුත් ජනනයෙන් 15% වඩා වැඩි ප්‍රමාණයක් නිපදවෙන්නේ න්‍යෂ්ටික බලයෙන්. එනමුත් ගෙවීගිය දශක කීපය තුළ න්‍යෂ්ටික බලාගාරයන් හා සම්බන්ධව මිනිස් ජීවිතවලට සෘජුවම බලපෑම් එල්ල කළ අනතුරුදායක තත්ත්වයන් රැසක් උද්ගත වුණා. මේ නිසා බොහෝ රටවල් න්‍යෂ්ටික බලාගාර මිනිස් වාසස්ථාන සහිත ස්ථාන වලින් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවා. පහතින් දැක්වෙන්නේ එවන් න්‍යෂ්ටික අනතුරු  කිහිපයක්.

ජපානයේ ෆුකුෂිමා ඩාචි ව්‍යසනය

ජපානයේ ෆුකුෂිමා ඩාචි. Source: http://www.jurnalasia.com/wp-content/uploads/2015/04/nuclear.jpg

2011 මාර්තු 11 වන දින හටගත් සුනාමි තත්ත්වයක් හේතුවෙන් ජපානයේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටා ඇති න්‍යෂ්ටික බලාගාරයකට දැඩි ලෙස හානි සිදුවුණා. සුනාමි වැනි අනතුරු සඳහා මුහුණ දිය හැකි ආකාරයට මෙය නිර්මාණය කර තිබුනත්, ගලා ආ සුනාමි රළ වල විශාලත්වය අපේක්ෂිත ප්‍රමාණයට වඩා දෙගුණයක් වූ බැවින්, න්‍යෂ්ටික බලාගාරයට සිදුකරනු ලබන බාහිර බල සැපයුම අක්‍රිය වී, න්‍යෂ්ටික ප්‍රතික්‍රියකය සහ සිසිලන පද්ධතිය අඩපණ වී තිබෙනවා. ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවති ප්‍රතික්‍රියකය තුල වූ ඉන්ධන මේ හේතුවෙන් තදින් රත්වී පිපිරීමකට ලක්ව ඇති අතර අතුරුඵලයක් ලෙස නිපදවුණු හයිඩ්‍රජන් වායුව පිපිරීම නිසා ඇති කම්පනයෙන් බලාගාරයේ ගොඩනැගිලි වලට බරපතල හානි සිදුවී තිබෙනවා. ප්‍රතික්‍රියක උණුවී යාමෙන් මුදාහැරුණු න්‍යෂ්ටික ඉන්ධන මගින් අහිතකර විකිරණ නිකුත් කිරීම නිසා ලක්ෂ පහකට අධික පිරිසක් වාසස්ථාන වලින් ඉවත් කළ බවටයි ලෝක මාධ්‍ය වාර්තා කළේ. න්‍යෂ්ටික අනතුරින් අහිතකර පාරසරික බලපෑම් රැසක් සාගර පරිසර පද්ධතියට සිදුවී ඇති බවට එරට පරිසරවේදීන් පෙන්වා දුන්නා. මෙම අනතුරෙන් නිකුත් වූ විකිරණ දින දහයක් ගතවන විට උතුරු සහ දකුණු අමෙරිකානු මහාද්වීප දක්වා විහිදී ගියත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ විකිරණ වලට දැඩිව නිරාවරණය වූ ප්‍රදේශ වල පමණක් ලියුකේමියා, පියයුරු පිළිකා, සහ තයිරොයිඩ් පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක්  පවතින බවයි.

යුක්රේනයේ ච(ර්)නෝබිල් අනතුර

යුක්රේනයේ ච(ර්)නෝබිල්. Source: https://wallpapercave.com/wp/RYmJ6BK.jpg

ලෝකයේ මේ දක්වා සිදුවී ඇති න්‍යෂ්ටික අනතුරු අතරින් දරුණුතම අනතුර හැටියට සලකන්නේ 1986 අප්‍රේල් 26 දින ච(ර්)නෝබිල් න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ ව්‍යසනයයි. විදුලි බලාගාරයේ සිව්වන ඒකකය තුළ සිදු  කෙරුණු පරීක්ෂණ කටයුත්තක දී අනපේක්ෂිත ලෙස ක්ෂණික විද්‍යුත් විභව වෙනසක් ඇති වී සිව්වන ඒකකයම පිපිරීමෙන් විනාශයට පත් වෙනවා. අදාළ පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙන්නේ ප්‍රධාන විදුලි සැපයුම ක්‍රියා විරහිත අවස්ථාවල බලාගාරයේ සිසිලන පද්ධතියට සහ උපකරණ වලට ප්‍රමාණවත් විදුලියක් සැපයීම අරමුණු කරගෙනයි. සේවකයින් විසින් අනුගමනය කළ යුතු පූර්ව ආරක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව නිසි අවබෝධයක් නොතිබීම මෙයට ප්‍රධානම හේතුව වූ බවට ජාත්‍යන්තර මාධ්‍යයන් හෙළි කර සිටියා. පිපිරීමෙන් සුවිශාල විකිරණ ප්‍රමාණයක් බටහිර සෝවියට් රාජ්‍යය සහ යුරෝපයේ ඔස්සේ පැතිර ගිය අතර එම විකිරණ වල අහිතකරභාවය නිසාම ලක්ෂ දෙකකට අධික ජනතාවක් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කිරීමට සෝවියට් රජයට සිදුවෙනවා. සිද්ධිය සම්බන්ධව එළිදැක්වූ නීතිමය වාර්තා දෙකකින් එකිනෙකට පරස්පර අදහස් ප්‍රකාශ වූ අතර එක් වාර්තාවක් මැෂින්   ක්‍රියාකරවන්නන්ට සෘජුව චෝදනා එල්ල කර තිබූ අතර දෙවෙනි වාර්තාවෙන් බලාගාරයේ නිර්මාණ   ආකෘතිය ගැන චෝදනා එල්ල කර තිබුණා. බලාගාරයේ සේවයේ යෙදෙමින් සිටි සේවකයන්, ගිනි නිවීමේ මෙහෙයුම් වල යෙදුනු භටයන් බහුතරයක් කෙටි කාලයක් තුල මිය ගිය අතර, යුරෝපයේ පිළිකා ඇතිවීම ප්‍රතිශතයක් ලෙස වැඩිවීමට මෙම සිදුවීම ඉවහල් වුණා. බෙලරුසියාව, යුක්රේනය, රුසියාව ආශ්‍රිතව ඇතිවීමේ සම්භාවිතාවයක් අඩු පිළිකා වර්ග ඇතිවීම මෙනිසා වේගවත් වුණා. සිදුවීමෙන් වසර 31 කාලයක් මේ වන විට ගත වී  තිබුණත් මෙම ප්‍රදේශය තවමත් අහිතකර විකිරණ බහුල ප්‍රදේශයක්.

ඇමෙරිකාවේ ත්‍රී මයිල් දිවයිනේ (Three Mile Island) අනතුර

Three Mile Island. Source: https://assets.bwbx.io/images/users/iqjWHBFdfxIU/ibHiQwiC6iv4/v0/800x-1.jpg

ඇමරිකානු ඉතිහාසයේ සිදුවූ ප්‍රධානතම න්‍යෂ්ටික අනතුර හැටියට සැලකෙන්නේ 1978 මාර්තු 28 “Three Mile Island” විදුලිබලාගාරයේ දෙවෙනි ඒකකයේ සිදුවූ න්‍යෂ්ටික අනතුරයි. නමුත් වාසනාවකට මෙන් මෙහි සිදුවූ විකිරණ කාන්දුව ඉතා අවම මට්ටමක පැවතියා. අනතුරට මූලික හේතුව වුයේ බලාගාරයේ න්‍යෂ්ටික නොවන පද්ධතියක් අකර්මන්‍ය වීම සහ එහි ප්‍රාථමික සිසිලන පද්ධතියේ  වෑල්වයක් (relief valve) විවෘතව පැවතීමෙන් සිසිලන ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඉවත් වීමයි. ගැටලුව තව දුරටත් උත්සන්න වුයේ බලාගාරයේ ක්‍රියාකරුට මුල් අවස්ථාවේදීම එය හඳුනාගැනීමට නොහැකි වීමත් සමගයි. සිසිලන පද්ධතියේ හුමාල පීඩනය අඩු වීම සිසිලන ද්‍රව්‍ය පමණ ඉක්මවා වැඩිවීමෙන් හටගත් දෙයක් බව සලකූ ඔහු ස්වයංක්‍රීය හදිසි සිසිලන යාන්ත්‍රනය ස්වකීය විධානයෙන් ක්‍රියාත්මක කරවනවා. කෙසේ නමුත් අවසානයේ අනතුරේ හානිය අවම කර ගැනීමට ඔවුන් සමත් වෙනවා.

එන්රිකෝ ෆ(ර්)මි යුනිට් 1 (Enrico Fermi Unit -1) අනතුර

Enrico Furmi. Source:https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4d/Fermi_NPP.jpg/1200px-Fermi_NPP.jpg

මෙම න්‍යෂ්ටික අනතුර ඇමෙරිකාවේ ෆ්‍රෙන්ච් ටවුන් හිදී 1966 සිදුවූ න්‍යෂ්ටික අනතුරකි. ඇමෙරිකා එකසත් ජනපදයේ මිචිගන්හි පැවති Fermi Unit-1 යන න්‍යෂ්ටික බලාගාරය එවකට එරට liquid metal fast breeder ප්‍රතික්‍රියකයක් පැවති එකම වාණිජ න්‍යෂ්ටික බලාගාරයයි. න්‍යෂ්ටික ඉන්ධන සැපයුම් මාධ්‍ය දෙකක සිසිලන ද්‍රව්‍ය ගමන් ගැනීම අවහිර වීම නිසා න්‍යෂ්ටික ඉන්ධන එකතු කරන ස්ථාන දෙකක් මෙහිදී අර්ධව දියවීමට ලක් වෙනවා. බලශක්ති ඒකකයේ නිරන්තර කම්පනය නිසා ප්‍රතික්‍රියකයෙන් ගැලවී ගිය කොටසක් සිසිලන ද්‍රව්‍ය අවහිර කිරීමට ලක්කරන අතර මෙයින් නිපදවුණු අධික තාපය ෆැරන්හයිට් 700 ඉක්මවා යනවා. අලුත්වැඩියා කටුතු වලින් අනතුරුව 1972 වන විට මෙම බලාගාරය නැවත යථා තත්ත්වයට පත් කළත් පූර්ණ ක්‍රියාකාරීත්වයට පැමිණීමට අසමත් වීම නිසා 1975 දී මෙය නැවතත් වසා දැමෙනවා.

SL-1 බලාගාර පිපිරුම

SL-1 බලාගාරය. Source:https://upload.wikimedia.org/wikipedia/commons/3/3c/SL1nuclearpowerplant.JPG

මෙම අනතුර වාර්තා වන්නේ 1961 එක්සත් ජනපදයේ අයිඩහෝ ප්‍රදේශයෙනුයි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියකය නැවත ක්‍රියාකරවීමට යාමේදී එය තුල පවතින පාලක යෂ්ටියක් අඟල් 4 වෙනුවට අඟල් 20ක් එසවීම හේතුවෙන් තත්පරයක් වැනි සුළු කාලයක් තුල ඇති වූ, සාමාන්‍ය ප්‍රමාණයට වඩා 6000 වාරයක් පමණ විශාල විභව වෙනසකින් මෙම අනතුර සිදු වෙනවා. නොදැනුවත්කම නිසා සිදුවූ මෙම සුළු වෙනස හේතුවෙන් සියලුම න්‍යෂ්ටික ඉන්ධන වාශ්ප වී පුපුරා යනවා. මෙම අනතුරේ ඛේදවාචකය වන්නේ SL-1 පද්ධතියේ සේවය කළ සියලුම සේවකයන් පිපිරුම් කම්පනයෙන් සහ විකිරණ වලට නිරාවරණය වීමෙන් ජීවිතක්ෂයට පත්වීමයි.

වින්ඩ්ස්කෙල් (Windscale) ව්‍යසනය.

වින්ඩ්ස්කෙල්. Source:https://i2-prod.mirror.co.uk/incoming/article6073298.ece/ALTERNATES/s615b/Sellafield-nuclear.jpg

යුරෝපයේ සිදුවූ තවත් දරුණු න්‍යෂ්ටික අනතුරක් ලෙස 1957 එක්සත් රාජධානියේ සිදුවු වින්ඩ්ස්කේල් අනතුර සැලකිය හැකියි. න්‍යෂ්ටික ප්‍රමාණකය ලෙස ග්‍රැෆයිට්  භාවිත කර මෙහි හරය නිර්මාණය කර තිබූණා. එනමුත් පද්ධතියේ ඇති වූ අක්‍රමිකතාවක් හේතු කොටගෙන ප්‍රතික්‍රියකයේ හරය ෆැරන්හයිට් 750 ඉක්මවා රත්වී ගිනි ගැනීමකට ලක් වෙන අතර කාබන්ඩයොක්සයිඩ් යොදා ගිනි නිවීමට සේවකයන් මුලදී ගත් උත්සාහය අසාර්ථක වෙනවා. එනමුත් දින තුනක කාලයක දී ජලයෙන් ගින්න නිවීමට ගත් උත්සාහය අවසානයේ සාර්ථක වෙනවා. ඒ වනවිටත් යුරේනියම් ටොන් 11 ක් පමණ දැවී විකිරණ බටහිර යුරෝපය දක්වා පැතිරී තිබුණා. මෙම අනතුරෙන් පසුකාලීනව 200 දෙනෙක් පමණ පිළිකා වැළඳීමෙන් මිය ගිය බවට ඇතැම් වාර්තා සඳහන් කරනවා.

කෙසේ වෙතත් මේ වන විට සමස්ත ලෝකයම න්‍යෂ්ටික බලාගාර වලින් සිදුවන පාරිසරික සහ ජීවිත හානිය වලක්වා ගැනීමට පුනර්ජනන විද්‍යුත් ශක්තිය වෙත වැඩි අවධානයක් යොදා තිබෙන අතර, සමහර රටවල් න්‍යෂ්ටික විඛණ්ඩනය වෙනුවට න්‍යෂ්ටික විලයනයෙන් බලශක්ති අර්බුධයට විසඳුම් සෙවීමට සුදානම් වෙනවා. ජපානය පමණක් මේ වනවිට පුනර්ජනන ව්ද්‍යුතය 22% ප්‍රතිශතයකින් නිපදවන අතර මෙය 2040 වනවිට 100% කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

මුලාශ්‍ර

  • Sites.suffolk.edu. (2017). Fukushima Daiichi Nuclear Disaster | Jess’s Blog. [online] Available at: https://sites.suffolk.edu/jlhickey/2014/10/22/fukushima-daiichi-nuclear-disaster/ [Accessed 22 Dec. 2017].
  • Union of Concerned Scientists. (2017). A Brief History of Nuclear Accidents Worldwide. [online] Available at: https://www.ucsusa.org/nuclear-power/nuclear-power-accidents/history-nuclear-accidents#.Wj1VCN-WbIW [Accessed 22 Dec. 2017].
  • Fukushima on the Globe. (2017). What Happened?. [online] Available at: http://fukushimaontheglobe.com/the-earthquake-and-the-nuclear-accident/whats-happened [Accessed 22 Dec. 2017].
  • The Chernobyl Gallery. (2017). What caused the disaster | The Chernobyl Gallery. [online] Available at: http://chernobylgallery.com/chernobyl-disaster/cause/ [Accessed 22 Dec. 2017].
  • Mycio, M. (2017). How Many People Have Been Killed by Chernobyl?. [online] Slate Magazine. Available at: http://www.slate.com/articles/health_and_science/explainer/2013/04/chernobyl_death_toll_how_many_cancer_cases_are_caused_by_low_level_radiation.html [Accessed 22 Dec. 2017].

Related Articles