Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලොව වැඩිම හිමපතනයක් ලැබෙන නගර 5ක්

ශ්‍රී ලාංකාව ඇතුළු ඝර්ම කලාපික රටවල ජීවත් වන බොහෝ දෙනාට ‘හිම’ ආගන්තුක දෙයක්. නමුත් ශීත කලාපික රටවලට නම් හිමපතනය යනු සාමාන්‍ය සංසිද්ධියක්. ඇතැම් රටවලට ඉතා කරදරකාරී ලෙස අධික හිම පතනයක් වාර්ෂිකව ඇදහැලෙන අතර ඒවායේ භූගෝලීය පිහිටීමේ සුවිශේෂීතා ඊට හේතු වෙනවා. මේ ලිපියෙන් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නට අදහස් කරන්නේ ලොව වැඩිම හිම පතනයක් ලබන නගර 5 ක් පිළිබඳව යි.

ක්විබෙක් – කැනඩාව

urbanguides.ca

කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ අගනුවර වන ක්විබෙක් නගරයට වාර්ෂිකව අඟල් 124ක හෙවත් සෙන්ටිමීටර 314ක හිම පතනයක් ලැබෙනවා.  ශීත සමයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 36 දක්වා පහළ යා හැකි අතර හිම පතනය සාමාන්‍යයෙන් නොවැම්බර් මස ආරම්භ වී අප්‍රේල් මස දක්වා පවතිනවා. මේ කාලයේ උච්චතම අවස්ථාවේ දී මෙහි හිම ක්‍රීඩා සැණකෙළි වැනි දේ පැවැත්වෙනවා. එම සමයේ දී විවිධ හිම ක්‍රීඩාවන්හි යෙදීමට දහස් ගණන් සංචාරකයින් මෙහි ඇදෙනවා. 

ශාන්ත ජෝන්ස් – කැනඩාව

sootoday.com

ශාන්ත ජෝන්ස් කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ත හා ලැබ්‍රඩෝර් ප්‍රාන්ත වල අගනුවර යි. මෙය ලොව සිව්වනුවට හිමපතනය වැඩිම නගරය ලෙස හැඳින්වෙන අතර, සාමාන්‍යයෙන් වාර්ෂිකව අඟල් 131ක හෙවත් සෙන්ටිමීටර 332ක හිම පතනයක් ලැබෙනවා. මෙය කැනඩාවේ ප්‍රධාන නගර අතරින් මීදුම, සුළඟ හා වළාකුළු බර අහසින් අධිකතම නගරය ලෙස හඳුනාගෙන තිබෙනවා. බොහෝ විට මෙහි හිම පතනය අධික සුළඟ සමග ලැබෙන නිසා ඒවා භූමිය මත ගොඩගැසීම විශාල ලෙස සිදුවන්නේ නැහැ.

හිමපතනයට අමතරව ශාන්ත ජෝන්ස් අයිස් වැසිවලට ද ප්‍රසිද්ධියක් උසුලනවා. පෙබරවාරිය මෙහි ශීතලම මාසය වන අතර ඒ මාසයේ සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 8.6ක් පමණ.

ටොයොමා – ජපානය

jpninfo.com/ flickr.com

ජපානයේ හොන්ෂු දූපතේ පිහිටා ඇති ටොයමා නගරයට වාර්ෂිකව අඟල් 143ක හෙවත් සෙන්ටිමීටර 363ක හිම පතනයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් ආර්ද්‍රතාවය වැඩි උපනිවර්තන දේශගුණයක් තිබුණත් දෙසැම්බර් හා මාර්තු මස අතරතුර එළැඹෙන ශීත කාලයේ දී මේ නගරයට දැඩි හිම පතනයක් ලැබෙනවා. ග්‍රීෂ්මයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්න විය හැකි අතර ශීත කාලයේ දී ඇතිවන දැඩි හිම පතනයට හේතුව වන්නේ මුහුදට ආසන්නව පිහිටීම හා ජපානයේ ‘හිම පටිය’ට ඇතුළත්ව පිහිටීම යි. මේ නගරයත් හිම ක්‍රීඩාවලට ප්‍රසිද්ධියක් උසුලනවා.

සපොරො – ජපානය

Sapporo Tourism

ජපානයේ හොකයිඩෝ දූපතේ පිහිටි සපොරො ලොව දෙවනුවට වැඩිම හිම පතනයක් ලැබෙන නගරය ලෙස වාර්තා පොත් අතරට එක් වී තිබෙනවා. මෙය ජපානයේ සිව්වනුවට වැඩිම ජනගහනයක් වෙසෙන නගරය යි. ග්‍රීෂ්මයේ දී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් පමණ විය හැකි අතර ශීත කාලයේ දී මෙයට අඟල් 191ක හෙවත් සෙන්ටිමීටර 485ක හිම පතනයක් ලැබෙනවා. මෙය ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට වරම් ලද පළමු ආසියාතික රට යි. ඒ 1972 වර්ෂයේ දී යි. පෙබරවාරි මාසයේ මෙහි වාර්ෂික හිම ක්‍රීඩා සැණකෙළි පැවැත්වෙන අතර එහිදී විශාල අයිස් අනුරූ තනන තරගයක් ද පැවැත්වෙනවා.

අඔමොරි – ජපානය

rockwoodhotel.com

ලොව අධිකතම හිමපතනය සහිත නගරය පිහිටා ඇත්තේත් ජපානයේම යි. මෙය පිහිටා ඇත්තේ හොන්ෂු දූපතේ උතුරට වන්නට යි. සෑම වසරකම පාහේ මේ නගරය අධික හිම පතනයකට මුහුණදෙන අතර එය සාමාන්‍යයෙන් අඟල් 312ක් හෙවත් සෙන්ටිමීටර 792ක් තරම් වනවා. මේ හිම පතනයෙන් අති බහුතරය නොවැම්බර් සිට අප්‍රේල් මස කාලය අතරතුර ඇදවැටෙනවා. ශීත කාලයේ උච්චතම අවධියේ දී පවිත්‍ර කරන ලද මාර්ග දෙපස මීටර ගණන් උස හිම තට්ටු දැකිය හැකියි. 

අඔමොරිහි අසාමාන්‍ය හිම පතනයට හේතු වෙන්නේ එහි සුවිශේෂී භූගෝලීය පිහිටීම යි. මෙය හක්කොඩා කඳු හා මුට්සු සමුද්‍ර බොක්ක අතර පිහිටා ඇති අතර, මේ පිහිටීම නිසා ඇතිවන ශීත සුළං ප්‍රවාහ හේතුවෙන් විශාල වළාකුළු පැනනැගෙනවා. අවට පරිසරයේ අඩු උෂ්ණත්වය නිසා ඒවා වර්ෂාව මෙන් නොව හිම ලෙස භූමියට පතිත වෙනවා.

කවරයේ පින්තූරය- Pietro Zanarini/CC By 2.0

Related Articles