Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අගමැති පුටුවෙන් බැස යාමට සැරසෙන හිතුවක්කාර බෝජෝ

කලක සිට බොරිස් ජොන්සන් (කෙටියෙන් බෝජෝ ලෙස ද හඳුන්වනවා.) කේන්ද්‍ර කර ගනිමින් එක්සත් රාජධානියේ පැවති දේශපාලන අස්ථාවරභාවය මේ වනවිට උච්චස්ථානයකට පැමිණ තිබෙනවා. ඒ බොරිස් ජොන්සන් සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වීමේ තීරණයට පැමිණීමත් සමඟ යි. අගමැති බෝජෝ ගේ ඉල්ලා අස්වීම මෙම සතිය තුළ සිදුවිය හැකි බව බොහෝ දෙනා අපේක්ෂා කළත්, ඉල්ලා අස්වීමේ බලපෑම් සියල්ල ඔහු නොසලකා හැර තිබුණා.

වසරක් පුරා නිමක් නැති අර්බුද සහ අපවාදවලින් බැටකෑ ඔහු ගේ ආණ්ඩුවට පසුගිය දින කිහිපය ඉතා දුෂ්කර කාලපරිච්ඡේදයක් වුණා. අවසානයේ දී අගමැති බොරිස් නියෝජනය කරන කොන්සර්වේටිව් පක්ෂයෙන් ම බලපෑම් එල්ල වීමේ පසුබිම මත අගමැති ධූරයෙන් ඉවත් වීමට සූදානම් වන බව ඔහු පසුගිය ජූලි 07 වැනිදා ප්‍රකාශ කළා.

 “එය රස්පුටීන් ගේ මරණය හා සමාන යි. ඔහුට වස දුන්නා, පිහියෙන් ඇන්නා, වෙඩි තබා සිරුර ශීතල ගඟකට දැමුවා. එහෙත්, ඔහු ජීවතුන් අතර සිටියා!”

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඇන්ඩෲ මිචෙල්, බොරිස් ජොන්සන්ගේ ඉවත් වීම අර්ථ දක්වා තිබුණේ ඒ තරම් ම කටුක අන්දමින්.

බෝජෝ තරුණ අවධියේ දී – www.bigissue.com 

බහුතරය ඇත; ප්‍රසාදය නැත

බොරිස් ජොන්සන් දැනටමත් කොන්සර්වේටිව් පක්ෂ නායකතවයෙන් ඉල්ලා අස් වී ඇති අතර, නව නායකයෙක් තෝරා පත්කර ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට නියමිත යි. ඔහු මෙලෙස නික්ම යන්නේ 2019 මහ මැතිවරණයෙන් සැලකිය යුතු බහුතරයක් දිනා ගෙන තිබියදී යි. කෙසේ නමුත්, සමහර විවේචකයන් බොරිස් ගෙන් ඉල්ලා සිටින්නේ අනුප්‍රාප්තිකයෙක් තෝරා ගන්නා තෙක් බලා නොසිට අගමැති පුටුවෙන් බැස යන ලෙස යි. එලෙස ඉවත් නොවුණහොත්, විශ්වාසභංගයක් කැඳවන බව කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාමර් අනතුරු හඟවා තිබුණා.

කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන් 60 ක් පමණ මේ වනවිට ආණ්ඩුවේ කටයුතුවලින් ඉවත් වී සිටිනවා. නව අනුප්‍රාප්‍තිකයෙක් පත් වන තුරු එළඹෙන සරත් සෘතුව දක්වා බලයේ සිටීමට අදහස් කරන බෝජෝ, පත් කළ නව කැබිනට් මණ්ඩලය අමතමින් පැවසුවේ ඔහුට ඉතිරි වී ඇති දින කිහිපය ප්‍රධාන ධාරාවේ වෙනස්කම් සිදු කිරීම සඳහා භාවිත නොකරන බව යි. කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා කාල සටහනක් ලබන සතියේ තහවුරු කිරීමට නියමිත අතර, සැප්තැම්බර් මාසය වනවිට අගමැති තනතුර සඳහා නව අනුප්‍රාප්තිකයෙක් පත් කිරීමට අපේක්ෂිත යි. කෙසේ නමුත්, නිල නොවන ආකාරයෙන් කොන්සර්වේටිව් පක්ෂ අභ්‍යන්තරයේ අගමැති සටනක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

අනුප්‍රාප්තිකයා කවුරුන් විය හැකි ද?

දේශපාලනික වශයෙන් සංක්‍රාන්තිමය කාල පරිච්ඡේදයක් එක්සත් රාජධානිය දැන් පසු කරමින් සිටිනවා. මේ මොහොත දක්වා අගමැති ධූරයට පැහැදිලි අනුප්‍රාප්තිකයෙක් ගැන කසුකුසුවක් දේශපාලන පොර පිටියෙන් ඇසෙන්නේ නැහැ. හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන ජෙරමි හන්ට් සහ සජිඩ් ජාවිඩ් යන දෙදෙනා මීට පෙර නායකත්වය සඳහා පෙනී සිට ඇති අතර, ඔවුන් ඒ සඳහා නැවත වරක්  තරග කිරීමේ හැකියාව තිබෙනවා. මීට අමතර ව, පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වීමේ විභවයක් සහිත තවත් කිහිප දෙනෙක් සිටිනවා. හිටපු ලේකම්වරයෙක් වූ මයිකල් ගෝව් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය පෙනී මෝ මෝර්ඩන්ට්, හිටපු චාන්සලර් රිෂි සුනක් ද ඒ අතර සිටිනවා.

දැනට පවත්නා වාතාවරණය මෙපරිදි යි. එක්සත් රාජධානියට බොරිස් ජොන්සන් මෙතරම් “එපාකරවූ” ප්‍රධාන හේතු සාධක සොයා බැලීමට යි මේ සූදානම.

ක්‍රිස් පින්චර් – www.firstpost.com 

ක්‍රිස් පින්චර් සම්බන්ධය

ක්‍රිස් පින්චර් යනු ලිංගික අපචාර චෝදනා ලැබූ මන්ත්‍රීවරයෙක්. ඔහු අගමැති බෝජෝ ගේ සමීපතමයෙක් ලෙසත් සැලකෙනවා. මෙලෙස චෝදනා ලැබූ ක්‍රිස් පින්චර්, පසුගිය ජුනි 30 වැනිදා දක්වා කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක වශයෙන් සේවය කළ අතර, එවැනි උසස් නිලයක් ඔහුට පිරිනැමීම සම්බන්ධයෙන් බොරිස් ජොන්සන් විවේචනයට පාත්‍ර වුණා. තනතුරෙන් ඉල්ලා අස්වීමට මොහොතකට පෙර ක්‍රිස් පින්චර් එක්තරා සමාජ ශාලාවකට ගිය බවත්, එහි දී ඔහු තරමක් අවිනීත ලෙස හැසිරුණු බවත්, පැවසෙනවා. ජුනි 29 වැනිදා මේ සිදුවීම් දාමය වාර්තා වීමත් සමඟ ඔහු ගේ පෙර වැරදිත් නැවත කරළියට පැමිණියා. පෙබරවාරි මාසයේ දී පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ධූරයට පත් කිරීමේ දී අගමැති බෝජෝ, ක්‍රිස් පින්චර්ගේ චූදිත ඉතිහාසය නොදැන සිටි බව ඔහුගේ ප්‍රකාශකයන් පවසා තිබුණා. මෙය ඉතා සාවද්‍ය කරුණු දැක්වීමක් ලෙසත් පසුව විවේචනයට පාත්‍ර වුණා. 

බීමත්කම සහ අනෙක් පුද්ගලයන් අපහසුතාවට පත් කළ බව පවසමින් පින්චර් සිය සංවිධායක ධූරයෙන් ඉල්ලා අස් වුවත්, සමාජ ශාලාවේ සහ ඊට පෙර සිදු වූ පින්චර් ගේ ලිංගික විෂමාචාර චෝදනා බෝජෝ ගේ රජයට විශාල බලපෑමක් එල්ල කළා. ඉල්ලා අස්වීමෙන් පසු ව රජය නිවේදනය කළේ පින්චර්ට එරෙහි ව ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව යි. ඔහු ගේ විෂමාචාර හඳුනා ගෙන තිබුණත්, දිගට ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ ඔහු රැඳී සිටීම නිසා කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් කෝපයට පත් වුණා.

පාර්ටිගේට් සිද්ධිය නිසා විශාල අපකීර්තියකට මුහුණ දීමට බෝරිස් ජොන්සන්ට සිදු වුණා – www.bbc.com 

පාර්ටිගේට් සිද්ධිය

ක්‍රිස් පින්චර් කෙරෙහි තිබූ අප්‍රසාදය තරමට ම බොරිස් ජොන්සන් පිටුපස හඹා ආ තවත් කුප්‍රකට චෝදනාවක් තිබෙනවා. ඒ පාර්ටිගේට් සිදුවීම යි. 2020 වර්ෂය එක්සත් ජනපදය ඇතුළු බොහෝ යුරෝපීය රටවලට අකර්මණ්‍ය වූ කාල පරිච්ඡේදයක් ගත කිරීමට සිදු වුණා. ඒ කොවිඩ්-19 වසංගතය හමුවේ පැනවූ දැඩි සංචරණ සීමා නිසා යි. රට පුරා මිනිසුන් වසංගතය පරාජය කිරීම සඳහා කැප කිරීම් සිදු කරද්දී අගමැති බෝජෝ ප්‍රමුඛ ඔහු ගේ සමීපතමයන් වෛද්‍ය විශේෂඥයන්ගේ හා සෞඛ්‍ය බලධරයන්ගේ උපදෙස් අනුගමනය නොකළ බව හෙළි වුණා.

කොවිඩ් විධි විධාන අමු අමුවේ ම උල්ලංඝණය කරමින් ඩවුනිං වීදියේ රජයේ කාර්යාලවල අග්‍රාමාත්‍ය බොරිස් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් සාද පැවැත් වූ බව මෙහි දී හෙළිදරව් වුණා. මෙම කාල වකවානුව තුළ කාර්යාලවල පැවැත් වූ රැස්වීම් පවා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව සිදු නොවූ බවත් චෝදනා එල්ල වුණා. 

2019 දී ඔහුට විශාල ජනප්‍රියත්වයක් තිබුණත්, එය වේගයෙන් පිරිහී ගියා – www.bbc.com 

මෙට්‍රොපොලිටන් පොලිස් සේවය ඒ ගැන පසුව විමර්ශන ආරම්භ කළ අතර, පුද්ගලයන් 83 ක් සඳහා දඩ නියම කිරීම් 126 ක් නිකුත් කිරීමට ක්‍රියා කළා. බොරිස් ජොන්සන්ට ද මේ අප්‍රියෙල් මාසයේ දී දඩ නියම වුණා. පළමු ලොක්ඩවුන් කාල සීමාව ඇතුළත මත්පැන් සහිත ව පැවැත් වූ සාදය වෙනුවෙන් අගමැති බොරිස් සමාව ඉල්ලා තිබුණත්, “පාර්ටිගේට්” ලෙස හඳුන්වන මෙම සිදුවීම් මාලාවේ අපකීර්තිය ඔහු වෙතින් ඉවත් වුණේ නැහැ. නොසිතු විරූ ලෙස බෝජෝ ගේ දේශපාලන මළගම දක්වා ම මේ අපකීර්තිය ඔහු පසුපස හඹා ආවා.

බදු සහ ජීවන වියදමේ අර්බුද

මෙම වර්ෂයේ සිට එක්සත් රාජධානිය ශීඝ්‍ර උද්ධමනයකට මුහුණ දෙමින් සිටින අතර, වර්තමාන උද්ධමන අනුපාතය 9.1% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම බොරිස් ජොන්සන්ගේ රජයට බැර කළ නොහැකි වන්නේ රුසියානු-යුක්‍රේන යුද්ධය යුරෝපා කලාපයට සෘජු බලපෑම් එල්ල කළ නිසා යි. ඉහළ යන ඉන්ධන සහ ආහාර මිල හමුවේ රජය ද යම් පියවර ගෙන තිබුණා. කෙසේ නමුත්, බදු වැඩි කිරීම එතරම් ජනතා ප්‍රසාදයට හේතු වුණේ නැහැ. බදු වැඩිවීම සෞඛ්‍ය සහ සමාජ සත්කාර සඳහා වෙන්වනු ඇති බව රජය ප්‍රකාශ කළ ද උද්ගත වූ දේශපාලන අර්බුද බදු ලිහිල් කිරීමේ කතිකාවතක් ඇති වුණා. තවමත් වසරකට පවුම් 34,000 කට වඩා උපයන ඕනෑම අයෙක් වැඩිපුර බදු ගෙවන පසුබිම තුළ කම්කරු පක්ෂයේ නායක කියර් ස්ටාර්මර් රජයේ බදු ප්‍රතිපත්තිය විවේචනයට බඳුන් කළා. දශක ගණනාවකට පසු මුහුණ දෙන අසීරුත ම ජීවන වියදම් අර්බුදයක් මැද වැඩ කරන ජනතාව මත ම බදු පැටවීම කම්කරු පක්ෂයේ අප්‍රසාදයට හේතු වුණා.

ඕවන් පැටර්සන් – www.bbc.com 

ඕවන් පැටර්සන් ආන්දෝලනය

2021 ඔක්තෝබර් මාසයේ දී “හවුස් ඔෆ් කොමන්ස්” කමිටුව එවකට කොන්සර්වේටිව් මන්ත්‍රී ඕවන් පැටර්සන්ට දින තිහක වැඩ අත්හිටුවීමක් නිර්දේශ කළා. ඔහුට මුදල් ගෙවූ සමාගම්වලට ප්‍රතිලාභ ලබා දීම සඳහා “බලපෑම් කිරීම” සම්බන්ධයෙන් වූ නීති කඩ කිරීම මීට හේතුව වුණා. බොරිස් ගේ නායකත්වයෙන් යුතු කොන්සර්වේටිව් පක්ෂය ඔහුගේ වැඩ අත්හිටුවීමට එදිරි ව ඡන්දය ප්‍රකාශ කළ අතර, ඕවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රියා කළා. උද්ගත වූ පීඩාකාරී වාතාවරණය හමුවේ ඕවන් පැටර්සන් ඉල්ලා අස්වුණා.

ඕවන් පැටර්සන් මීට පෙරාතුව උතුරු ෂ්රොප්ෂයර් හි කොන්සර්වේටිව් මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළා. ඔහු ඩේවිඩ් කැමරන් යටතේ උතුරු අයර්ලන්තයේ ලේකම් සහ පරිසර ලේකම් වශයෙන් ද කටයුතු කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හොබවන අතරවාරයේ දී “Randox Laboratories” සහ “Lynn’s Country Foods” යන ආයතනවල වැටුප් ලබන උපදේශකයෙක් ලෙස සේවය ලබා දුන්නා. එය නීති රීතිවලට පටහැනි නොවුණේ, පොදු අවශ්‍යතා පිළිබඳ ලේඛනයේ එම තනතුරු ප්‍රකාශ කිරීමට පැටර්සන් ක්‍රියා කළ නිසා යි. කෙසේ නමුත්, තමා වැටුප් ලබා ගන්නා ආයතන උදෙසා සිය බලතල අවභාවිත කළ බැවින්, ඕවන් ගේ දේශපාලන දිවියට කළු පැල්ලමක් ඇති වුණා. බොරිස් ඇතුළු කොන්සර්වේටිව් කාණ්ඩය ඔහු ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසා බොරිස්ට එරෙහි චෝදනා මල්ල තවත් බරින් වැඩි වුණා.

“Get Brexit Done” යනු ඔහුගේ ජනප්‍රිය මැතිවරණ සටන් පාඨයක් – www.bbc.com 

අදහස් සහ දැක්මක් නොමැති වීම

බොරිස් ජොන්සන් සිය අති විශිෂ්ට බහුතරය දිනා ගත්තේ “Get Brexit Done” පාඨය යටතේ ඔහු පිහිටා සිටි පැහැදිලි ප්‍රතිපත්ති රාමුව නිසා යි. මැතිවරණය දිනා ගත් පසු බෝරිස් ඇතුළු කොන්සර්වේටිව් කණ්ඩායමේ අදහස් සහ ප්‍රතිපත්ති මත යොමු කර තිබූ අවධානය අඩු වූ බව විවේචකයන් පෙන්වා දෙනවා. ඇතැමුන් අගමැති බෝරිස් ගේ දර්ශනය ප්‍රශ්න කිරීම්වලට ලක් කළා. ඉහත සඳහන් කළ අකටයුතුකම් සහ මුරණ්ඩු ගතිගුණ නිසා බෝරිස් ගේ ජනප්‍රියත්වය එක්සත් රාජධානියෙන් ගිලිහීම ඉක්මනින් ඇරඹුණා. එහි උච්චත ම අවස්ථාව ලෙසින් පසුගිය සති කිහිපය ඇතුළත සිය පක්ෂයේ සහාය බෝරිස්ට අහිමි වීම දක්වන්නට පුළුවන්.

බොරිස් ජොන්සන් යනු පරිණත දේශපාලනඥයෙක්. 1964 ජුනි 19 වන දින නිව් යෝර්ක් නගරයේ උපත ලැබූ බොරිස්, එංගලන්තයට සංක්‍රමණය වීමට පෙර බ්‍රසල්ස් හී ජීවත් වූ බව පැවසෙනවා. පසු කලෙක ඔහු ඊටන් විද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා ගැනීමට සමත් වන අතර, උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධිත බේලියෝල් විද්‍යාලයට ඇතුළත් වුණා. එහි දී දක්ෂතා පෙන්වූ තරුණ බොරිස් ජොන්සන්, 1986 දී ඔක්ස්ෆර්ඩ් සංගමයේ සභාපති ධූරයක් ද හෙබවූවා.

බෝරිස් ජොන්සන් සිය වෘත්තීය ජීවිතය ඇරඹුවේ මාධ්‍යවේදියෙක් ලෙසයි – www.bbc.com 

අධ්‍යාපනයෙන් පසු ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ “The Times” හි මාධ්‍යවේදියෙක් ලෙස යි. පසුව ඔහු “The Daily Telegraph” පුවත්පතේ බ්‍රසල්ස් වාර්තාකරු ලෙසත් සේවය කළා. 2001 දී හෙන්ලි ප්‍රදේශයෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තරුණ බොරිස් සිය දේශපාලන දිවිය ආරම්භ කළ අතර, කෙමෙන් කෙමෙන් දේශපාලන ඉණිමඟේ ඉහළට පැමිණ ලන්ඩනයේ නගරාධිපති ධූරයට 2008 දී පත් වුණා.

 2017 පටන් බ්‍රෙක්සිට් ව්‍යාපාරයට සහාය දීමට තීරණය කිරීමෙන් පසු තමා වටා ශක්තිමත් දේශපාලන පදනමක් නිර්මාණය කර ගැනීමට බොරිස් සමත් වුණා. එය 2019 දී ඔහු අගමැති තනතුර දක්වා ගෙන යාමට හේතු වුණා. පරිණත දේශපාලකයෙක් වුවත්, දිගින් දිගට ම සිදු කළ ආන්දෝලනාත්මක ක්‍රියාවලින් පෙනී යන්නේ පරිණත බවින් පමණක් පුද්ගලයකු ගේ දේශපාලන සුචරිතභාවය තීරණය කළ නොහැකි බව යි. එක්සත් රාජධානියේ දේශපාලන ප්‍රවාහය පමා වී හෝ නිසි අයුරින් ඊට ප්‍රතික්‍රියා දක්වමින් සිටිනවා.

කවරයේ ඡායාරූපය- බෝරිස් ජොන්සන්ට එරෙහි ව්‍යාපාරයකින් ලබාගත් ඡායාරූපයක්. - www.libdems.org.uk

මූලාශ්‍ර:

www.cnbctv18.com

www.bbc.com/sinhala

www.aljazeera.com

www.bbc.com/news

www.thesun.co.uk

Related Articles