අප, දිළිඳුකමේ පතුලේ සිට අද දියුණුවේ හිනි පෙත්තට ගොස් සිටින කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් ගැන අසා ඇත. වෙනිසුවේලාව, කොරියානු කතාවේ ප්‍රති විරුද්ධ කතාව යි. දියුණුවේ හිනි පෙත්තේ සිටි ඔවුන් අද වන විට දැවැන්ත ආර්ථික හා සමාජීය අර්බුද ගණනාවකට මුහුණ දෙමින් සිටී. අද වෙනිසුවේලාව අධි උද්දමනයකට මුහුන දෙමින් සිටින අතර, සමහර මාධ්‍ය වාර්තා කරන ලෙසට එහි වැසියන් සත්ත්ව උද්‍යානවලට කඩා වැදී සතුන් ආහාරයට ගන්නා තත්ත්වයට පත්ව ඇත. මෙය කෙතරම් අතිශෝක්තියෙන් ඇමරිකානු මාධ්‍යය වාර්තා කරන්නේදැ යි සැක සහිත නමුත්, එම කතාව සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක.
වෙනිසුවේලාව ස්වාභාවික සම්පත් රාශියකින් සමන්විත රාජ්‍යයකි. වෙනිසුවේලා රංගන ශිල්පියෙකු වූ ජෝස් ලුයිස් රොඩ්‍රිගස් කියු පරිදී වෙනිසුවේලාව තෙල්, යකඩ, රත්රන්, දියමන්තිවලින් ගහන රටක් වුව ද ඒවා මංකොල්කලරුවන් නතු කරගනු ලැබ ඇත.
තෙල් යනු අද ලෝකයේ ආර්ථිකයේ තීරණාත්මක සාධකයකි. එම නිසාම තෙල් මුල්කොට ගෙන නොයෙකුත් ජත්‍යන්තර දේශපාලන අර්බුද බොහෝ හටගෙන ඇත. වෙනිසුවේලාව යනු ලොව තෙල්වලින් 20%ක පමණ සංචිත ඇති රටකි. එනයින් ගත කල ලොව වැඩිම තෙල් සංචිත ඇත්තේ වෙනිසුවේලාවට බව සැලකිය හැකිය. එය තෙල් බැරල් ට්‍රිලියන 3ක් පමණ වෙතැ යි ගණන් බලා ඇත. එහෙත් වෙනිසුවේලාවේ තෙල් ප්‍රමාණාත්මක අතින් වැඩි වුව ද ගුණාත්මක අතින් ඉතා පහළ ය. එබැවින් තෙල් පිරිපහදු කිරීමට විශාල පිරිවැයක් දැරීමට ඔවුනට සිදුවේ. ඒ අනුව තෙල් බැරලයක් සදහා වියදම සැසඳීමේ දී වෙනිසුවේලාව සිටින්නේ එක්සත් රාජධානිය පමණක් පිටිපසිනි. ඒ අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුව පවතින තත්ත්වයක දී වෙනිසුවේලාවට අතිශය පාඩු දැරීමට සිදුවේ.
1973 දී මැද පෙරදිග පුරා යොම් කිපුර් යුද්ධය ඇදී යද්දී අරාබි රටවල්වලට එරෙහිව ඊශ්‍රාලය යුද වැදුණු අතර, එහිදී ඇමෙරිකාව ඊශ්‍රාලයට සහය දැක්වූයේ ය. ඊජිප්තුව, සිරියාව, හා පලස්තීනය යුද්ධයේ දී ජයග්‍රණය කිරීමට ආසන්න වූ අතර ඊට ඇමරිකාව විසින් දැක්වූ ගුවන් හමුදා සහාය හේතුවෙන් අවසානයේ ඊශ්‍රාලයට යුද ජයග්‍රහණය අත්විය. ඉන් කිපුණු මැද පෙරදිග ප්‍රමුඛ රටවල් ඇමරිකාව ඇතුළු බටහිරට තෙල් අපනයනය අත් හිටවූයේ ය. ඌරා කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල් කියන්නාක් මෙන් මින් වාසිය අත් වූයේ වෙනිසුවේලාවට යි. 1972 දී ඩොලර් 1.60ට තිබූ තෙල් බැරලය ඩොලර් 10ක් දක්වා ඉහළ ගියේ ය. මින් අතිශය ලාබ ලැබූ වෙනිසුවේලාව හැත්තෑව දශකයේ ලතින් ඇමරිකානු රටවල් අතරින් වැඩිම ඒක පුද්ගල ආදායම ලැබූ රට වූ අතර, එය අනෙත් රටවලට වඩා සාපේක්ෂව දෙගුණයකටත් වැඩි විය. එමෙන්ම මීට සමානුපාතිකව වෙනිසුවේලාවේ මුදල් හිමි ධනපති පන්තියක් ද ඉහළ මධ්‍යම පන්තියක් ද බිහිවිය.
එවකට වෙනිසුවේලාවේ ජනාධිපතිවරයාව සිටි කාර්ලෝස් අන්ද්‍රෙස් පෙරෙයිරා විසින්, තෙල්වලින් ලැබෙන ආදායමෙන් ඇති මහත් සේ වියදම් කොට මංමාවත් හා ගොඩනැගිලි ඉදි කෙරිණි. මේ ඉදිකිරීම් සමගම වෙනිසුවේලාවේ කැරකස් නගරය සංචාරක පාරාදීසයක් වූ අතර එකල ප්‍රචාරය වූ ඇමරිකානු චිත්‍රපටිවල, ඇමරිකානුවන් වෙනිසුවේලාවට සංචාරය යන දර්ශන පවා ඇතුළත් වීම ඊට සාක්ෂ්‍ය සපයයි. එමෙන්ම එවකට ලොව වැඩිම විස්කි පාරිභෝජනයක් සහිත රට වුයේත් වෙනිසුවේලාව යි.
වෙනිසුවෙලානු, හෙටක් නැති මිනිසුන් ලෙස කිසිදු වග විභාගයකින් තොරව වියදම් කරනවාට අමතරව දූෂණය ද ඉහළ ලෙස පැවති රටක් බවට පත්විය. 1975 දී වෙනිසුවේලාවේ තෙල් සමාගම ජනසතු කෙරිනි. අදට PDSVA නමින් ඇත්තේ මේ රාජ්‍යය සමාගම යි. මෙයට හේතු ලෙස දැක්වූයේ “අපේ පොළවේ තෙල් ජනතාවට” යන්න වුවත්, ඇත්ත වශයෙන්ම රජයට අවශ්‍යය වූයේ තමන්ගේ හිතවතුන් මේ නව ආයතනයට රිංගවා ගැනීමට යි. මෙලෙස කාලය ගතවෙද්දී 1990 දී තෙල් මිල පහල වැටිණි. කලින් සදහන් කළ පරිදි තෙල් මිල පහත වැටීම වෙනිසුවේලාවට දරාගත නොහැකි විය.
මේ සියල්ල සිදුවෙන අතරේ 1998 දී බලයට පැමිනි චාවෙස් ඉතා වේගයෙන් සිය පොරොන්දු ඉටු කරන ලදී. 1999 දී රැකියා විරහිත භාවය 14.5% තිබු අතර එය 2011 දී එය 7.8%ක් විය. 1999 දී 50% පැවැති දිළිඳුබව 2011 දී 31.9% බවට පත්ව තිබුණි. එමෙන්ම 1999 දී, 20% පැවැති අන්ත දිළිඳු බව 2011 දී 8.6 % බවට පහත වැටී තිබුණි. සංඛ්‍යාලේඛන හා දත්ත එසේ වුව ද චාවේස් නව කර්මාන්ත හෝ නව ආයෝජන ඇති කළේ නැත. ඔහු කළේ PDSVA ආයතනයට සේවකයන් පිරවීම යි. එක් වසරක් තුළ පමණක් සේවකයන් ලක්ෂයකට අධික පිරිසක් මේ ආයතනයට බඳවාගෙන ඇත. එමෙන්ම, මෙම ආයතනය නවීකරණය කටයුතු ද අමතක කර තිබිනි. එ අනුව 1998 දී දිනකට තෙල් බැරල් මිලියන් 3.5ක් නිපදවූ වෙනිසුවේලාව 2013 දී 2.5 දක්වා පහත වැටුනි.
2013 දී චාවේස් ගේ අභාවයෙන් බලයට පත්වූ නිකුලස් මදුරෝගේ පාලනය තුළ කිසිදු සුභවාදී වර්ධනයක් සිදු නොවුනි. ගරා වැටෙමින් තිබු PDSVA ආයතන 2018 දී තෙල් බැරල් මිලියන 1.8 පමණක් නිපදවීය. ඒ අනුව රටේ ආදයම් අඩු වූ අතර වෙනිසුවේලාව ණය බරින් මිරිකෙමින් තිබිණි. ඔවුන් චීනයට ඩොලර් බිලියන 23ක් ණය වී තිබූ අතර චීනය ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිනි. ණය බරින් මිදීමට මදුරෝගේ රජය පෙට් රෝ නම් ක්‍රිප්ටෝ මුදල් (Crypto Currency) ඒකකයක් හඳුන්වා දුන් අතර එහි එක ඒකකයක් තෙල් බැරල් එකක්ට සමපාත කරන ලදී. එහෙත් මදුරෝගේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ, ඉතා දැවැන්ත ප්‍රචාරයක් දෙමින් ගෙනා ක්‍රිප්ටෝ මුදල් ඒකක ව්‍යාපෘතිය ද අසාර්ථක විය. ඒ අනුව මදුරෝ මුදල් මුද්‍රණය සදහා යොමුවිය. වෙනිසුවේලාව අධි-උද්දමන තත්ත්වයකට පත් වීමට හේතු වූයේ මෙය වන අතර අද වන විට උද්දමනය 30000% අගයක් ගෙන ඇත. උදාහරණයක් ලෙස 2016 දී ඒකක 450ක් වූ කෝපි කෝප්පයක් දැන් මිලියන 2.5ක් පමණ වේ. ජන ජීවිතය කඩා වැටුනු අතර ජනතාව වෙනිසුවේලාව හැරයාම පටන් ගැනිනි. ඔවුන් කොලොම්බියාව හා පේරු රටවල් කරා ඇදිනි. කොලොම්බියාවට කාලය ඉකුත් වූ විදේශ ගමන් බලපත්‍රධාරී වෙනිසුවේලානුවන් පවා පිළිගැනීමට සිදුවූයේ ඔවුන්ට ගමන් බලපත්‍ර අළුත් කිරීමට මුදල් නැතැ යි පැවසූ නිසා බව කියැවේ. මේ වසර තුනට පමණක් මිලියන 3-4ක් අතර ප්‍රමාණයක් රට හැර ගොස් ඇත. චාවේසේ රජය පැවති සමයේ කිසියම් ප්‍රශස්ත තැනක තිබූ දිළිඳුභාවය මේ වන විට 87%ක් දක්වාත්, අන්ත දුගීභාවය 60%ක් දක්වාත් ඉහළ ගොස් ඇත.
මේ සියල්ලෙන්ම නිරූපනය වන්නේ නිකුලස් මදුරෝගේ රජය වෙනිසුවේලාවත් එහි ජනයාත් මානව, සමාජයීය, හා අර්ථික ඛේදවාචකයකට ගොදුරු කර ඇති බව යි.
ඇමරිකානු ඇඟිලි ගැසීම
වෙනිසුවේලාවේ අභ්‍යන්තර තත්ත්වය එසේ වද්දී ඇමරිකාව වෙනිසුවේලාව කෙරෙහි දැක්වූයේ සතුරු ආකල්පයකි. ලතින් ඇමරිකානු කලාපයේ සමාජවාදී හෝ නාමික සමාජවාදී රටක් පැවතීම හරහා එය වෙනත් රටවලට පැතිර යාමේ අවදානමක් ඇමරිකාව නිතරම දුටු අතර, එම රාජ්‍යයන් දුර්වල කිරීමේ නිරන්තර උත්සාහයක ඔවුන් යෙදී සිටියි. මේ වන විට පවතින රෙජීමය මාරු කිරීම සඳහා ඇමරිකාව බළල් අතක් ලෙස නොව සෘජුව පෙනී සිටින බව පෙනෙන්නට ඇත. ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ෆොක්ස් ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කර සිටියේ, වෙනිසුවේලාවේ තෙල් සදහා ඇමරිකානු සමාගම්වලට ආයෝජනය කිරීමට ඉඩ ලැබුනොත් එය ඇමරිකානු ආර්ථිකයට වඩා යහපත් බව යි.
වෙනිසුවේලාවට ඇමරිකානු අතපෙවීම් සිදුවූයේ අද ඊයේ පමණක් නොවේ. 2002 දී හියුගෝ චාවේස් රජය පෙරළීමටත් ඇමරිකාව මැදිහත් විය. ඔවුන් එය ප්‍රතික්ශේප කළත්, ඒ සඳහා හුවමාරු වූ ලිපි ලේඛන මාධ්‍යයන් ඔස්සේ පලවින. ඊටත් වඩා එම ලිපි පලකළ මාධ්‍යවේදිනිය දැනට සැඟවී සිටින්නේ මරණ තර්ජන හේතුවෙනි. එමෙන්ම 2002 දී හියොගෝ චාවෙස් බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ අය වෙනිසුවේලාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ රැඳී සිටි බවට ද සාක්ෂ්‍ය ඇත. එම කුප්‍රකට කුමන්ත්‍රණයේ දී ඇමරිකාව වෙනිසුවේලාව තම අනසකට යටත් කිරීමට උත්සහ ගත්තේ මැද පෙරදිග රටවල් විසින් ඇමරිකාවට තෙල් අපනයනය කිරීමට සම්බාධක පැනවීමත් සමග වීම විශේෂ සිදුවීමකි.
එමෙන්ම 2018 සැප්තැම්බර් මස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත, ට්‍රම්ප් පාලනය වෙනිසුවේලාවේ යුද හමුදා සමග මදුරෝගේ රජය පෙරලීමට සාක්ච්ඡා පැවත්වූ බව හෙළි කළේ ය. එමෙන්ම 2018 දී අගෝස්තු මස ඩ්‍රෝන යානයක ඇටවූ බෝම්බයක් මඟින් නිකුලස් මදුරෝ ඝාතනය කිරීමට ද ඇමරිකානු සි. අයි. ඒ. සංවිධානය උත්සාහ දරන ලදී. බුෂ්, ඔබාමා හා ට්‍රම්ප් පාලන කාලය තුළ දී ඇමරිකාව කළේ හා කරමින් සිටින්නේ වෙනිසුවේලාවේ පාලනයේ වැරදි හුවා දක්වමින්, ඒ රටෙහි තෙල් සම්පත කොල්ල කෑමට දත කෑම බවට සැකයක් නැත. ඇමරිකානු ක්‍රියාමාර්ගවල නිරුවත හෙලිවන තවත් සිදුවීමක් නම් වෙනිසුවේලාවේ මේ ගැටළුව නිරාකරනය සම්බන්දයෙන් ඇමරිකාව පත්කර ඇත්තේ එලියට් ඒබ්‍රහිම් වීම යි. එලියට් ඒබ්‍රහිම් සුදු චරිතයක් නොවන අතර, කිසිවටෙකත් ට්‍රම්ප්වාදියෙක් නොවුව ද ට්‍රම්ප් ඔහුව තෝරාගත්තේ ඔහුගේ අතීත ක්‍රියාකාරකම් සලකා බලා විය යුතු ය. ඇමරිකාව විසින් අසූව දශකයේ මධ්‍යම හා ලතින් ඇමරිකානු රටවල මෙහෙයවන ලද කුරිරු යුදවල දී සිදු වූ දහස් ගණන් ඝාතනවලට එලියට් වගකිව යුතු අතර ඔහුට යුධ අපරාධ චෝදනා එල්ල වී ඇත. එමෙන්ම රොනල්ඩ් රේගන්ගේ පාලන සමයේ දී සිදුවූ කුප්‍රකට ඉරාන – කොන්ට්‍රා ගනුදෙනුවේ දී නිකරගුවානු කොන්ට්‍රා ත්‍රස්තයින්ට මුදල් ලබා දෙමින්, නිකරගුවා රජය පෙරලීමට තැත් කරනු ලැබුවේ ද මේ එලියට් ඒබ්‍රහිම් විසින්ම ය. ඇමරිකාව ලොව පුරා යුද්ධය පැතිරිවීමේ උපක්‍රමය ලෙස භාවිතා කළේ එම රටවල්වල ඒකාධිපති පාලනය යි. මේ නැවත වරක් එලි දකින්නේ එම තිර නාටකයේ නව නිෂ්පාදනය යි.
අපට පාඩම්
වෙනිසුවේලාවේ යනු ලාංකික අපට භූගෝලීය වශයෙන් හෝ සංස්කෘතික වශයෙන් හෝ සමීප රටක් නොවේ. එසේනම් අප වෙනිසුවේලාවෙන් ඉගෙන ගත යුතු පාඩම් මොනවා ද? අප රට ද තෙල් සම්පත සොයා යන රටකි. තෙල් ලැබුනු පසු අපේ සියළු ප්‍රශ්න විසඳේයැ යි යන අන්ධ විශ්වාසයේ නොසිට එම තෙල් සම්පත නිසි කළමණාකරණය කර ගත යුතු ය. එමෙන්ම, අද වැනි සංකීර්ණ දේශපාලන වටපිටාවක දී අප රටට ද බාහිර බලපෑම් එල්ල වීම වලක්වා ගැනීම දුෂ්කරය. එහෙත් එම බාහිර බලපෑම්වලට රටක් ලෙස එකාවන්ම මුහුණ දීමට නම් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගත යුතු ය. මාධ්‍ය මර්දනය කරමින්, විරුද්ධ දේශපාලන මත යටකරමින් ගෙන යන පාලන තන්ත්‍රයකට බාහිර බලවේගවලට එරෙහිව සටන් වැදීම කළ නොහැකි බව අපට වෙනිසුවේලාව නොව කීර්ති ශ්‍රී රාජසිංහ රජ පුවත පවා පවසා සිටියි.
හෙට දවසේ වෙනිසුවේලාව ඇමරිකාවට යටත්වෙයි ද, එසේත් නැතිනම් චීනය විකුනා දමාවිදැ යි විසඳෙනු ඇත. කෙසේ වෙතත්, වෙනිසුවේලාවේ මේ තත්ත්වයට කළමණාකරණ ගැටළු හා අභ්‍යන්තර ප්‍රජාත්න්ත්‍රවාදය බිඳ වැටීමේ ගැටලු ද මුල් කාරනා වී ඇති බව පැහැදිලි ය.