සමකය ආසන්නයේ පිහිටි රටවල වැසියන්ට සෘතු භේදය පැහැදිලි ව අත්විඳින්නට නොලැබුණ ද උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ, නොඑසේ නම් කර්කටක සහ මකර නිවර්තනයන් ආශ්රිත ව පිහිටා ඇති රටවල දී වසන්තය, ගිම්හානය, සරත් සමය, සහ සිසිර සෘතුව ලෙස පැහැදිලි සෘතු භේදයක් දැකගැනීමට ලැබෙනවා. අනුකම්පා විරහිත ව දැවුණු හිරුගේ දැඩි රශ්මිය මධ්‍යයේ ගෙවී ගිය ගිම්හානයේ අවසානය සනිටුහන් කරමින් පැමිණෙන රතු, තැඹිලි, රන්වන්, සහ දුඹුරු පැහැයෙන් දිදුලන වර්ණවත් පත්‍ර මිහිකත මත විසිරුණු සරත් සමය, සෑම අයෙක් ම සතුටින් භාරගන්නා බව පැවසීමේ වරදක් නැහැ.
සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයට සරත් සමයේ පළමු දිනය හෙවත් ‘සරත් විෂුවය’ උදා වන්නේ සැප්තැම්බර් 21 – 24 අතර කාලයේ දී යි. ඊට සමගාමී ව දක්ෂිණ අර්ධගෝලයට වසන්තයේ පළමු දිනය හෙවත් ‘වසන්ත විෂුවය’ උදා වෙනවා. 2018 දී උතුරු අර්ධගෝලයට ‘සරත් විෂුවය’ පැමිණියේ සැප්තැම්බර් 23 වැනි ඉරිදා දින ඉන්දියානු සම්මත වේලාවෙන් උදෑසන 7.24ට යි. වර්තමානයේ දී බොහෝමයක් දෙනාට සරත් සමයේ පළමු දිනය හුදෙක් ම තවත් එක් දවසක් පමණක් ම වුව ද අස්වනු නෙළා අවසන් කරන පුරාණ ගොවියන්ට එය සාරවත් අස්වැන්නක් ලබාදීම සඳහා දෙවියන්ට තුති පිදීමට කදිම අවස්ථාවක් වුණා. ඒ අයුරින් සාරවත් අස්වැන්න සහ සරත් සමයේ පළමු දිනය සැමරීම සඳහා බිහි වූ සංස්කෘතික සැණකෙළි සමහරක් අදටත් භාවිතයේ පවතිනවා.
හිරුගේ සහාය ඇති ව සරත් සමයේ ඇරඹුම සොයා
ඔරලෝසු හෝ දින දසුන් නොතිබුණු ඈත අතීතයේ දී සරත් සමයේ පළමු දිනය ගණනය කිරීම සඳහා පුරාණ මිනිසුන්ට නිශ්චිත ක්‍රමවේදයක් පැවතුණේ නැහැ. ඒ හේතුවෙන් ජ්යාමිතයේ උපකාරය ලබාගෙන හිරුගේ පිහිටීම මත සරත් සමයේ ඇරඹුම සෙවීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. සෑම දිනක ම පෙර දිනයට වඩා මඳක් එහා මෙහා වී හිරු නැගෙන සහ බැස යන ආකාරය නිරීක්ෂණය කළ පුරාණ මිනිසුන්, හිරු වඩාත් උතුරු දෙසින් පිහිටන විට දී එම දිනය ‘ගිම්හාන නිවෘත්තිය’ ලෙස ද හිරු වඩාත් දකුණු දෙසින් පිහිටන විට දී එම දිනය ‘සිසිර නිවෘත්තිය’ ලෙස ද සලකන ලද අතර, හිරු හරියට ම නැගෙනහිර දෙසින් නැගී එන දිනය සහ මඳක් හෝ එහා මෙහා නොවී බටහිර දෙසින් බැස යන දිනය, විෂුවයන් ලෙස හඳුනා ගත්තා.
පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ ලොව පුරා විසිරී ඇති බොහෝමයක් ප්රාග්-ඓතිහාසික ස්ථානයන්, පුරාණ මිනිසුන් විසින් සූර්යයාගේ ගමන් මඟ නිරීක්ෂණය කර ‘සූර්ය නිවෘත්තිය’ සහ ‘සූර්ය විෂුවය’ ඇති වන දිනයන් ගණනය කිරීම සඳහා යොදාගන්නට ඇති ස්ථාන විය හැකි බව යි. මෙවැනි ස්ථාන අතර එක්සත් රාජධානියේ විල්ට්ෂයර් ප්‍රාන්තයේ පිහිටා ඇති ‘ස්ටෝන්හෙජ් ගල් කුලුනු’ සහ කැනඩාවේ ඇල්බර්ටා හි ‘මේජර්විල් සෑය සහ වෙද චක්‍රය’ ඉහළින් ම වැජඹෙනවා.
සරත් සමයේ පළමු දිනය සලකුණු කරන සිරිත් විරිත්
පුරාණ රෝම වැසියන් සරත් සමයේ පළමු දිනය සැමරීම සඳහා පළතුරු සහ වැඩෙන වගාවන්ට අධිපති රුක් දෙවඟන වූ පොමෝනා වෙනුවෙන් සැණකෙළි පවත්වා ඇති අතර ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන පරිදි සරත් සමයේ පළමු දිනය පර්සෙෆනී දෙවඟනගේ පැහැර ගැනීම සමග ඍජු ව බැඳි පවතිනවා. රුක්ලතාවන්ට අධිපති වූ ඇය සමග ප්‍රේමයෙන් බැඳෙන පාතාලයේ රජු වූ හේඩීස්, ඇය ව පැහැරගෙන ගොස් විවාහ කරගන්නා අතර තම දියණියගේ පැහැර ගැනීමෙන් මහත් සේ කම්පාවට පත් වන අස්වැන්නට අධිපති ඩෙමීටර් දෙවඟනගේ ශෝකය නිසා පෘථිවියේ සියලු අස්වනු මියගොස් එය නිසරු බිමක් බවට පත් වී තිබෙනවා. සෑම වසරක ම ඒ අයුරින් අස්වනු මියයාම වළක්වා ගැනීම සඳහා සියුස් දෙවියන් විසින් සරත් සමයේ පළමු දිනය ඩෙමීටර් දෙවඟනට ඇගේ දියණිය සමග ගත කිරීමට ඉඩ ලබාදෙන බව යි පුරාණ ග්‍රීක වැසියන්ගේ විශ්වාසය වී ඇත්තේ.
සරත් සමයේ පළමු දිනයට ආසන්න ව නැගී එන පූර්ණ චන්ද්‍රයා, චීන වැසියන් විසින් හඳුන්වන්නේ ‘අස්වනු සඳ’ ලෙස යි. පුරසඳ නැගී එන විට දී අස්වනු සමයේ අවසානය සහ සරත් සමයේ ඇරඹුව සැමරීමට චීන වැසියන් පුරුදු වී ඇත්තේ ෂෑන් රජ සමයේ දී වන අතර ඒ සඳහා ඔවුන් සඳ දෙවිඳුන්ට සහල් සහ තිරිඟු පූජා කර තිබෙනවා. වර්තමානයේ දී පවා චීන සහ වියට්නාම් වැසියන් ‘අස්වනු සඳ’ උදෙසා විවිධ උත්සව පවත්වනවා. එවැනි සැණකෙළිවල දී බොහෝ විට සිදුවන්නේ වීදි දෙපස පහන් කූඩු යොදාගනිමින් අලංකාර කිරීම, ඥාතීන් සහ මිතුරන් සමග එක් ව ආහාර අනුභව කිරීම සහ පුරසඳ නැරඹීම යි.
පුරාණ ඉංග්‍රීසි ජාතිකයන් සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් තුති පිරීමේ උත්සව පැවැත්වීම අරඹා ඇත්තේ 4 වැනි සියවස තරම් ඈත කාලයේ දී වන අතර, සාම්ප්‍රදායික ව ‘අස්වනු සඳ’ නැග එන දිනට ආසන්න ම ඉරිදා දිනයේ දී අදාළ උත්සවය පවත්වා තිබෙනවා. පසුකාලීන ව ඇමෙරිකාවට ‘තුති පිරීමේ උත්සවය’ හඳුන්වා දී ඇත්තේ ද ඇමෙරිකාවේ ජනපද පිහිටුවා ගත් ඉංග්‍රීසි ජාතිකයන් විසින්. උතුරු ඇමෙරිකානුවන් වර්තමානයේ දී පවා සරත් සමයේ ආරම්භ සනිටුහන් කිරීම සඳහා ‘තුති පිරීමේ උත්සවය’ සමරනු ලබන අතර කාර්යාල සහ පාසල් නිවාඩුවට සමගාමී ව එය බොහෝ විට පවත්වනු ලබන්නේ නොවැම්බර් මාසයේ අන්තිම සතියේ දී යි.
උත්තරාලෝකය නැරඹීමට කදිම කාලයක්
උත්තර ධ්‍රැවය සමීපයේ පවතින රටවල වැසියන්ට සරත් සමයේ පළමු දිනය අස්වනු නෙළීමේ අවසානය සනිටුහන් කරනවාට අමතර ව තවත් පණිවිඩයක් රැගෙන එන බව පැවසීම වැරදි නැහැ. ඔවුන් සරත් සමය සලකන්නේ උත්තරාලෝකය නැරඹීම සඳහා වඩාත් සුදුසු කාලය ලෙස යි. සාමාන්‍යයෙන් උත්තරාලෝකය ඇති වන්නේ පෘථිවි වායුගෝලයේ ඇති පරමාණුවලට සූර්යයාගේ ආරෝපිත අංශු පහර දීම හේතුවෙන්. සරත් සමයේ දී පෘථිවි වායුගෝලයේ භූ චුම්භක කුණාටු වැඩි වශයෙන් ඇති වන බැවින් උත්තරාලෝකය වඩාත් දීප්තිමත් ව සහ වර්ණවත් ව දැක බලා ගැනීමට හැකියාව පවතිනවා.
කවරයේ පින්තූරය: © eventbrite.co.uk