Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොවිඩ් සමඟ තරගෙට පැතිරෙන යුරෝපයේ විරෝධතා රැල්ල!

 කොවිඩ්-19 වසංගතයට එරෙහි එන්නත්කරණය සාධනීය මට්ටමකින් යුරෝපා මහද්වීපයේ බොහෝ රටවල පසුගිය කාලයේ සිදු කෙරුණත්, එන්නත්කරණයේ සාර්ථකත්වය අභියෝගයට ලක් වූ කාල වකවානුවකට යුරෝපය ඇතුළු වෙමින් සිටිනවා. ඒ නව ආසාදන රැල්ලක භයානක පෙර නිමිති පහළ වීමත් සමඟ යි. මේ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කනස්සල්ලට පත් ව ඇති බව වාර්තා වෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙනුවෙන් යුරෝපා කලාපීය අධ්‍යක්ෂ ලෙස සේවය කරන වෛද්‍ය හාන්ස් ක්ලූජ්ට අනුව හදිසි පියවරක් නොගතහොත්, 2022 මාර්තු වනවිට මරණ 500,000-700,000 ක් අතර සංඛ්‍යාවක් යුරෝපයෙන් පමණක් වාර්තා විය හැකි යි. අදාළ කාල වකවානුව වනවිට ලොව පුරා රටවල් 49 ක දැඩි සත්කාර ඒකක ඉහළ හෝ ආන්තික ආතතිය හමුවේ අර්බුදයට ලක් විය හැකි බවත් පැවසෙනවා.

කලාපීය වශයෙන් කොවිඩ්-19 රෝගීන් වාර්තා වීමේ තත්ත්වය – www.bbc.com

උද්ගත ව ඇති වාතාවරණයට ඉක්මන් ප්‍රතිචාරයක් වශයෙන් යුරෝපයේ ඇතැම් රටවල් දැනටමත් අගුළු දැමීමේ කාල සීමාවකට ඇතුළු වීම ගැන සිතමින් සිටිනවා. ඒ අනුව මුලින් ම ක්‍රියාත්මක වූයේ ඔස්ට්‍රියාව යි. දින කිහිපයකට පෙර ඔස්ට්‍රියාව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු දෛනික කටයුතු පූර්ණ වශයෙන් නවතා දැමූ අතර, නිවසේ සිට රාජකාරී කටයුතුවල යෙදෙන මෙන් එරට රජය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබුණා. පෙර අවස්ථා වල මෙන් තවත් “ලොක්ඩවුන්” කාල සීමාවකට ඔස්ට්‍රියානුවන් කැමති වුණේ නැහැ. ඔවුන් රජයේ තීරණයට එරෙහි ව ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූවා. ඔස්ට්‍රියාව පමණක් නොව යුරෝපයේ රටවල් බොහෝමයක් වසංගතය හමුවේ පරිපාලනය ගන්නා ක්‍රියා මාර්ගවලට විරෝධය දැක්වූවේ නව අර්බුදයකට මඟ පාදමින්. 

එන්නත නීතිමය අවශ්‍යතාවක්

 ඔස්ට්‍රියාව පසුගිය සතියේ දී කොවිඩ් එන්නත නීතිමය අවශ්‍යතාවක් බවට පත් කළ පළමු යුරෝපීය රට බවට පත් වූ අතර, එම නීතිය එළඹෙන පෙබරවාරි මාසයේ සිට බලාත්මක වනු ඇති. අසල්වැසි ජර්මනියේ දේශපාලකයන් ද එවැනි ම ක්‍රියාමාර්ගයක් ගැන වාද විවාද කරමින් සිටිනවා. ඒ ඔවුන්ගේ දැඩි සත්කාර ඒකක අලුත් කොවිඩ්-19 රෝගීන් ගෙන් පිරී යන පසුබිම මැද යි. වසංගතය ආරම්භ වීමෙන් පසු ඔස්ට්‍රියාව අගුළු දැමෙන්නේ සිව්වැනි වතාවට යි. ඉන් පැන නඟින ආර්ථික පීඩනය තවදුරටත් දරා ගත නොහැකි මට්ටමකට ඔස්ට්‍රියානුවන් පත් ව සිටිනවා. පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත ජනයා ඔස්ට්‍රියාවේ වියානා අගනුවරට ඒකරාශී වී විරෝධතා පැවැත්වූවා. ජාතික ධජ සහ “නිදහස” ලෙස සටහන් කළ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් “ලොක්ඩවුන්” කාල සීමාවට විරුද්ධත්වය ප්‍රකාශ කළා.

ලොක්ඩවුන් කාල සීමාවට එරෙහිව ඔස්ට්‍රියාවේ පැවති විරෝධතාවයක් – www.bbc.com 

එන්නත නිසා ජනතා බෙදීමක්

හැට දෙහැවිරිදි රෙසින්ගර් හැරල්ඩ් පූර්ණ එන්නත්කරණයට ලක් වූ තැනැත්තියක්. සිව්වැනි වතාවටත් “ලොක්ඩවුන්” කාල සීමාවකට යටත් වෙන්න ඇයට කිසිදු අවශ්‍යතාවයක් නැහැ.

“කුඩා පරිමාණයේ ව්‍යාපාරවලට තමයි ලොකු ම හානිය සිදු වෙන්නේ. ඔවුන් දැඩි මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන්න පුළුවන්”

රෙසින්ගර් අනතුරු හඟවනවා.

“මෙතන තත්ත්වය ඇත්තට ම නොසන්සුන්. එන්නත් කළ සහ එන්නත් නොකළ මිනිසුන් අතර පැහැදිලි බෙදීමක් දකින්න ලැබෙනවා”

වසර දෙකකට පමණ පෙර වියනා නුවර පදිංචියට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් වෝල්, වියනාවේ පැවැත්වෙන විරෝධතා බාධාකාරී සහ විනාශකාරී ක්‍රියාවක් ලෙස දකිනවා.

ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් 65% ක් පමණ පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති අතර, එය බටහිර යුරෝපයේ අඩු ම එන්නත්කරණ අනුපාතයක් වීම විශේෂත්වයක්. එන්නත අනිවාර්ය කිරීම හෝ නීතිමය අවශ්‍යතාවක් බවට පත් කිරීම මානව හිමිකම් කඩ කිරීමක් ලෙස ඇතැම් ඔස්ට්‍රියානුවන් දකිනවා. එය පූර්ණ වශයෙන් පුද්ගලික කැමැත්ත මත සිදුවිය යුත්තක් බව ඔවුන්ගේ අදහස යි.  

සාමකාමී රටවල් ප්‍රචණ්ඩ වෙයි!

 දැඩි සීමා කිරීම්වලට එරෙහි විරෝධතා ඔස්ට්‍රියාවේ සිට මුළු යුරෝපාකරයට ම විහිදෙන අයුරු පසුගිය දින කිහිපය තුළ දකින්නට ලැබුණා. ඇතැම් විරෝධතා අතිශයින් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගත් අතර, ලෝකයේ ඉතා සාමකාමී සමාජ වටපිටාවක් ඇති ස්ථාන ලෙස නම් දරා සිටි ඇතැම් රාජ්‍ය සැණෙකින් අවුල් ජාලා බවට පත් වුණා. උදාහරණයක් ලෙස බෙල්ජියමේ බ්‍රසල්ස් හි දහස් සංඛ්‍යාත ජනතාවක් නගර මධ්‍යයේ විරෝධතාවක යෙදෙන අතරතුර පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත්තා. ආපනශාලා සහ විනෝදාස්වාදන ස්ථානවලට ඇතුළු වීම වලක්වමින් කොවිඩ් අවසර පත්‍ර‍යක් බෙල්ජියමේ පරිපාලනය නිකුත් කිරීම මෙම විරෝධතාවලට හේතුව වුණා. විරෝධතාකරුවන් අතර වැඩිපුර ම සිටියේ එන්නත ස්වකැමැත්තෙන් ම ලබා නොගත් පිරිස යි.

පා ගමනක් ලෙස සාමකාමී අයුරින් විරෝධතා ව්‍යාපාරය ඇරඹුණත්, ඇතැමුන් පොලිස් නිලධාරීන් වෙත ගල් ප්‍රහාර සහ ගිනිකෙළි ප්‍රහාර එල්ල කළ නිසා ගැටුම් ආරම්භ වුණා. එහිදී පිරිස විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා. ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් අගනුවර මධ්‍යයේත් පසුගිය සති අන්තයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය වී තිබූ අතර, ඩෙන්මාර්කයේ දහසක පමණ ජනතාවක් කෝපන්හේගන් නගරයට පැමිණියේ රාජ්‍ය සේවකයන්ට සේවා ස්ථානවලට ඇතුළු වීම සඳහා එන්නත්කරණය අනිවාර්ය කිරීමේ තීරණයට එරෙහිව යි.   

රොටර්ඩෑම් නගරයේ විරෝධතාකරුවන් රැස් වී සිටින අයුරු – www.ndtv.com

නෙදර්ලන්තයේ තත්ත්වය දරුණු අතට

 කොවිඩ්-19 තරමට ම වේගයෙන් පැතිරෙන යුරෝපයේ විරෝධතා රැල්ලේ උච්චත ම අවස්ථා වාර්තා වන්නේ නෙදර්ලන්තයෙන්. කොවිඩ් රෝගීන්ගේ වාර්තාගත වැඩි වීමත් සමඟ නෙදර්ලන්තය පසුගිය සති අන්තයේ දී සති තුනක කාල සීමාවක් සඳහා අර්ධ “ලොක්ඩවුන්” තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මිනිසුන්ගේ විනෝදාස්වාදය සහ නිදහසේ කාලය ගත කළ හැකි ස්ථානවලට යම් යම් සීමා පැනවුණා. නෙදර්ලන්ත පුරවැසියන් ඊට විරුද්ධ ව ප්‍රතිචාර දැක්වූයේ ප්‍රචණ්ඩත්වයෙන්.

 පසුගිය සතිය තුළ ජාත්‍යන්තර මාධ්‍ය සියල්ලම පාහේ නෙදර්ලන්තයේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටියා. යුරෝපයේ කොවිඩ්  විරෝධතා අතරතුර සිදු වූ වැඩි ම දේපල සහ පුද්ගල හානි නෙදර්ලන්තයෙන් වාර්තා වීම ඊට හේතුව යි.

“මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. ඒකයි අපි මෙතන ඉන්නේ!” 

විරෝධතා සංවිධායකයකු ලෙස ක්‍රියා කරන ජූස්ට් එරාස් , නෙදර්ලන්තයේ විරෝධතාවල පසුබිම පැහැදිලි කළේ එලෙසින්. දින තුනක් පුරා පැවති නොසන්සුන්තා හේතුවෙන් නෙදර්ලන්තයේ පුද්ගලයන් 145 ක් පමණ ​අත් අඩංගුවට පත් වුණා.

වසංගතය නිසා නෙදර්ලන්තයේ පැනවූ සීමාවලට පුරවැසියන් විරුද්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. නමුත්, මෙවර විරෝධතා අසාමාන්‍ය ලෙස ප්‍රචණ්ඩ වී තිබෙනවා. සාමකාමී නෙදර්ලන්තයේ මිනිසුන් මෙතෙක් යටපත් කරගෙන සිටි ආර්ථික පීඩනය, ඉදිරි වසංගත රැල්ලේ අවදානමත් සමඟ පුපුරා ගියේ අනපේක්ෂිත අන්දමින්.

කොවිඩ් -19 හමුවේ පැන වූ සීමා කිරීම් වලට එරෙහිව නෙදර්ලන්ත ජාතිකයන් ප්‍රතිචාර දක්වා තිබුණේ මේ අයුරින් – www.dw.com 

රොටර්ඩෑමයේ වෙඩි තැබීම්

 කොවිඩ්-19 සීමා කිරීම්වලට එරෙහි ව නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය කළ වෙඩි තැබීමකින් විරෝධතාකරුවන් තිදෙනෙක් බරපතළ තුවාල ලැබුවා. අදාළ ආන්දෝලනාත්මක සිදුවීම රොටර්ඩෑම් නගරාධිපති විස්තර කර තිබුණේ “ප්‍රචණ්ඩත්වයේ අශ්ලීල උත්සවය” නිසා ලැබූ ප්‍රතිඵලයක් ලෙසට යි. විරෝධතා අතරතුර කැරලිකරුවන් නගරයේ රථ වාහන ගිනි තබමින්, ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් නගරය පුරා ප්‍රචණ්ඩත්වය වපුරන්නට උත්සහ කළා. ආරම්භයේ දී පොලිසිය අනතුරු ඇඟවීමේ වෙඩි තැබීම් සහ ජල ප්‍රහාර වලින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රතිචාර දැක්වූවත්, පාලනය ගිලිහී ගිය තැන මර්ධනකාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට සිදු වුණා. රොටර්ඩෑම් සිදුවීමෙන් පුද්ගලයන් 51 දෙනකු අත් අඩංගුවට ගැනුණු අතර, ඉන් අඩක් පමණ වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයන් වීම විශේෂත්වයක්.  

නෙදර්ලන්ත මාධ්‍ය වාර්තාවලට අනුව රොටර්ඩෑම් කෝලාහලයෙන් එක් පොලිස් මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබූ අතර, තවත් පොලිස් රථයක ඉදිරිපස වීදුරුවට පා පැදියකින් පහර දී අලාභ හානි සිදු කොට තිබුණා. කලබල උත්සන්න වීමත් සමඟ නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානය වසා දැමීමටත් සිදු වුණා. 

හේග් නුවර විරෝධතාවයේ ප්‍රතිඵල – www.globaltimes.cn 

හේග් නගරයේ ගිනිගත් පා පැදි

 දිවා කාලයේ බොහෝ දුරට සාමකාමී අන්දමින් සිදු කරගෙන ගිය විරෝධතා ව්‍යාපාර බොහෝමයක් රාත්‍රී කාලයේ දී කෝලාහල බවට පත් වුණා. මේ හේතුවෙන් රොටර්ඩෑම් පමණක් නොව නෙදර්ලන්තය පුරා තැනින් තැන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වුණා. හේග් නගරයේ ඇති වූ කලබල අතරතුර විරෝධතාකරුවන් වීදිවල නවතා තිබූ පා පැදිවලට ගිනි තබමින් සිය විරෝධය පළ කොට තිබුණා. නෙදර්ලන්තයේ ගමනාගමන මාධ්‍යයක් ලෙස පා පැදි භාවිතය ජනප්‍රිය ව පවතින නිසා බොහෝ නගර වැසියන් මෙහි දී අපහසුතාවට පත් වුණා. රෝගීන් රැගෙන යන ගිලන් රථවලට ප්‍රහාර එල්ල කිරීමට තරම් විරෝධතාකරුවන් අශ්ලීල වූ බව නෙදර්ලන්ත පොලිසීය පවසනවා. පිටියට කඩා වැදුණු කැරලිකරුවන් හමුවේ පැවැත්වෙමින් තිබූ ප්‍රධාන පෙළේ පාපන්දු තරඟ දෙකක් කෙටි වේලාවකට නතර කළ සිදුවීමක් ද වාර්තා වුණා. නව කොවිඩ්-19 නීතිවලට අනුව නෙදර්ලන්තයේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණ තාවකාලිකව තහනම් කොට තිබෙනවා.

 නගරවලට සීමා වූ ප්‍රචණ්ඩත්වය, තුන්වැනි දිනයේ දී නෙදර්ලන්තයේ දේශ සීමා ආසන්න ප්‍රදේශවලට පැතිර යෑම ඇරඹුණා. දකුණු රසෙන්ඩාල් ප්‍රදේශයේ ප්‍රාථමික පාසලකට ගිනි තැබූ 15 දෙනෙකු අත් අඩංගුවට ගත් බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබූ අතර, තවත් ප්‍රචණ්ඩ විරෝධතාවක පෙර නිමිති පහළ වෙමින් තිබූ නිසා එන්ෂේඩ් ප්‍රදේශයේ වීදිවල රාත්‍රියේ ගැවසීම තහනම් කොට තිබුණා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති විරෝධතාවක් – www.euractiv.com

ලෝකය යළි අවදාමේ ද?

 යුරෝපයට පමණක් නොව මුළු ලෝකයට ම බලපෑ හැකි කොවිඩ්-19 රැල්ලක් යළි ඇති වීමේ අවදානමක් තිබෙනවා. අවදානමේ ආසන්නත ම රතු එළිය දැල්වුණේ දකුණු අප්‍රිකාවෙන්. ඒ අලුත් කොවිඩ්-19 ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් අනාවරණය කර ගැනීමත් සමඟ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම නව ප්‍රභේදය “ඔමික්‍රොන්” ලෙස නම් කර තිබෙන අතර, එය සැලකිල්ලට ගත යුතු ප්‍රභේදයක් ලෙස වර්ගීකරණය කොට තිබෙනවා. දැනටමත් බොහෝ රටවල් දකුණු අප්‍රිකාව සහ ඒ ආසන්නයේ ඇති රටවල්වලින් පැමිණෙන පුද්ගලයන් සීමා කොට තිබෙනවා.

 වසංගතයේ ආරම්භක අවධිය මෙන් නොව සංචරණ සීමා පිළිබඳ ව ලෝක ප්‍රජාව තුළ ඇති ආකල්ප දැන් වෙනස් වෙමින් පවතිනවා. යුරෝපය සහ අමෙරිකාවේ බොහෝමයක් දෙනා මෙම සීමා නිසා පුද්ගලික නිදහස ඇහිරෙන බව සිතනවා. ඇතැමුන් එය දකින්නේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් ලෙසට යි. නමුත්, මේ සියල්ලට ම වඩා බලපෑ සාධකය වන්නේ ආර්ථික පීඩනය යි.

යුරෝපයේ රටවල් කිහිපයක නව කොවිඩ් රැල්ලක පෙර නිමිති පහළ වෙමින් තිබෙනවා – www.bbc.com 

මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් ම සිටින රටවල පුරවැසියන්ට පවා එම පීඩනය දැන් වෙනසක් නැතුව ම දැනෙන බවක් පෙනෙන්නට තිබෙනවා. නෙදර්ලන්තය වැනි අතිශයින් සාමකාමී සහ ජීවන මට්ටම ඉහළ රටක් සුළු කාලයක් ඇතුළත ප්‍රචණ්ඩත්වය රජයන භූමියක් බවට පත් වීම සහ ඔස්ට්‍රියාවේ සංචාරක කර්මාන්තය දැඩි ලෙස පසුගාමී වීම ඊට හොඳ ම උදාහරණ ලෙස දැක්විය හැකි යි.

 ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට සිදු කළ හැක්කේ සෞඛ්‍ය මාර්ගෝපදේශන නිසි පරිදි පිළි පැදීම පමණ යි. එවිට ළඟ එන අවදානම හමුවේ දැනෙන ආර්ථික හා සමාජීය පීඩනය යම් තරමකින් හෝ කළමනාකරණය කර ගැනීමට අවකාශය ලැබේවි.

කවරයේ ඡායාරූපය: නෙදර්ලන්තයේ විරෝධතා වඩාත් ප්‍රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබුණා -www.aljazeera.com

මූලාශ්‍ර: 

www.bbc.com 

www.aljazeera.com

www.theguardian.com 

www.abc.net.au 

Related Articles