Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමෙරිකා ජනපති පුටුව 2024 දී ඉන්දියාවට ද?

ඉන්දියානු සම්භවයක් ඇති නිකී හේලි, 2024 දී පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණයේ අපේක්ෂිකාවක් ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර තිබෙනවා. ඇය අපේක්ෂිකාවක් ලෙසින් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් වන අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ අපේක්ෂකත්ව බලාපොරොත්තුව තවදුරටත් හීන කිරීමට එය හේතු වනු ඇති.

රිපබ්ලිකන් පක්ෂය යනු අමෙරිකානු ගතානුගතිකවාදය මුල්බැස ගත් දේශපාලන ප්‍රවාහයක්. පසුගිය කාලය තුළ ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයන් ගේ දේශපාලන නියෝජනය කොන්සර්වේටිව් කඳවුර වෙත වැඩි වශයෙන් කේන්ද්‍රගත වන ස්වභාවයක් පෙනෙන්නට තිබුණා. නිකී හේලි ගේ අපේක්ෂකත්ව බලාපොරොත්තුව එහි වැදගත් දිගුවක් ලෙස හැඳින්විය හැකි යි.

ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීමට නම් රිපබ්ලිකන් පක්ෂයේ නිල අපේක්ෂිකාව ලෙස නිකී හේලි තෝරාපත් කර ගත යුතු යි. එබැවින්, මෙය ඇරඹුමක් පමණ යි – www.pbs.org

අපේක්ෂකත්වය දිනා ගැනීම සඳහා වූ පක්ෂ ක්‍රියාවලිය ඇයට සාර්ථක කරගැනීමට හැකිවුණොත්, ජනපති සටන වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂය නම් කළ පළමු කාන්තාව සහ පළමු ආසියාතික අමෙරිකානුවා වශයෙන් නිකී හේලි ඉතිහාසගත වේවි. එපමණක් නොවෙ යි. පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය දිනා ජනාධිපතිවරණය ද ජයග්‍රහණය කළහොත්, ඇය අමෙරිකා එක්සත් ජනපද ඉතිහාසයේ ජනපති ධූරයට පත් ප්‍රථම කාන්තාව සහ ප්‍රථම ආසියානු සම්භවයක් ඇති පුරවැසියා වශයෙන් ද ඉතිහාසගත වනු ඇති.

විශ්වාසය සහ දක්ෂතාව

ජාත්‍යන්තර දේශපාලනය තුළ ඉන්දීය නියෝජනය වර්ධනය වන ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට ලැබෙනවා. එක්සත් රාජධානියේ අගමැති රිෂී සුනක්, එවැනි උදාහරණ අතරෙන් ප්‍රබලතමයා ලෙස හැඳින්විය හැකි යි. ගෝලීය මට්ටමේ ආර්ථික ගැටලු සමඟ සටන් කිරීමේදීත් ඉන්දීය ජාතිකයන් ඉදිරියෙන් ම සිටිනවා.

යුක්‍රේන-රුසියානු අර්බුදය හමුවේ ප්‍රබල රටවල් බොහෝමයක් ගැටලුකාරී වාතාවරණයකට මුහුණ දුන්න ද ඉන්දීය ආර්ථිකය සාධනීය මට්ටමකින් කළමනාකරණය වන අයුරු නිරීක්ෂණය කළ හැකි යි. ඒ දක්ෂතාව ඉන්දියාවට පමණක් සීමා වී නැහැ. ඉන්දියානු ජාතිකයන් ඩයස්පෝරාවක් ලෙස සංවිධානගත වී ලෝකය පුරා සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් තිබීම ඊට හේතුව යි.

ඉන්දීය සම්භවයක් ඇති මිනිසුන් ලොව පුරා පැතිර ගිය හැටි. 2001 සහ 2017 වශයෙන් සංසන්දනාත්මක ව ඉදිරිපත් කර ඇත – www.researchgate.net

ඉන්දීය සම්භවයක් ඇති මිනිසුන් ගොඩනඟා ගෙන යමින් සිටින මේ ධනාත්මක වාතාවරණය හේතුවෙන් ඔවුන් දේශපාලනයට ඇතුළු වීමේ දී ඒ ඒ රටවල සිටින ඡන්දදායකයන් ගේ විශ්වාසය දිනා ගැනීමටත් සමත් වී සිටිනවා. බටහිර රටවල ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂවල සාමාජිකත්වය සඳහා ඉන්දීය සම්භවයක් ඇති මිනිසුන් ඇතුළත් කර ගැනීමේ උනන්දුව යහපත් මට්ටමක පවතින්නේත් ඒ නිසා යි. යි. ඉතා ශක්තිමත් ව පවතින ඉන්දීය ඩයස්පෝරාවේ ඡන්ද පදනම ආකර්ෂණය කර ගැනීමටත් එමඟින් අවස්ථාව සැලසෙනවා.

උපක්‍රමික වෙනස්වීමක්

එක්සත් ජනපදයේ වෙසෙන ඉන්දීය සම්භවයක් ඇති මිනිසුන් සැලකීමේ දී රිපබ්ලිකන් පක්ෂයට ඔවුන් ගෙන් ලැබෙන්නේ අවම සහායක්. ඉන්දීය සම්භවයක් ඇති අමෙරිකානුවන් ඩිමොක්‍රටික් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගැනීමට වැඩි කැමැත්තක් දක්වනවා. රිපබ්ලිකන් පාක්ෂිකයෙක් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධූරයේ සිටි කාලයේ දී මේ දුරස්වීම වඩාත් කැපී පෙනෙන මට්ටමකින් වර්ධනය වුණා. නමුත්, දැන් තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආන්තික අදහස් කාන්දු වූ රිපබ්ලිකන් පක්ෂයක් නොවෙ යි. ඔවුන් පෙරට වඩා උපක්‍රමශීලි ව 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නරේන්ද්‍ර මෝදි – economictimes.indiatimes.com

ඉන්දියානු දේශපාලනයේ සිදුවන වෙනස්කම් ද මීට වක්‍රාකාරයෙන් බලපානවා. ලෝකයේ කුමන අන්තයක සිටියත්, තමා ගේ මූලය පවතින ඉන්දියාවේ සිදුවන දේශපාලන සහ සංස්කෘතික වෙනස් වීම්වලට සංවේදී වන පිරිසක් ඉන්දීය ඩයස්පෝරාව සතු යි. උදාහරණයක් ලෙස හින්දු ජාතිකවාදය සහ ගතානුගතිකවාදය මත ගොඩනැඟුණු භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජනප්‍රියත්වය ඉන්දීය ඩයස්පෝරාව වෙතටත් කාන්දු වූ අතර, තමා ජීවත් වන රටේ BJP දේශපාලන දෘෂ්ඨිවාදයට යම් තරමකින් හෝ සමපාත වන පක්ෂ වෙත ආකර්ෂණය වීමේ ප්‍රවණතාවක් ද ඔවුන් අතර වර්ධනය වුණා.

රිපබ්ලිකන් පක්ෂය මේ විපර්යාසය හඳුනා ගත් බව අනුමාන කළ හැකි යි. නිකී හේලි හරහා නව ප්‍රවණතාවේ වාසිය තම පක්ෂය වෙත යොමු කර ගැනීමේ අවස්ථාවක් දැන් රිපබ්ලිකන් ක්‍රියාකාරීන්ට උදා වී තිබෙනවා. 2016 තිබූ රිපබ්ලිකන් පක්ෂයේ ස්වභාවය, 2024 වනවිට උපක්‍රමිකව වෙනස්වේයැ යි අප පවසන්නේ ඒ නිසා යි.

හිටපු ආණ්ඩුකාරවරියක්

ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් නිකී හේලි ගේ ඉදිරිපත් වීම මත පිහිටා ඇති රිපබ්ලිකන් දේශපාලන පසුබිම එක් සාධකයක් පමණ යි. අනෙක් ප්‍රධාන සාධකය වන්නේ දේශපාලනඥයෙක් ලෙස නිකී හේලි මෙතෙක් උපයා ඇති අත්දැකීම් සම්භාරය යි. එය එක්සත් ජනපද දේශපාලන ධූරාවලියේ ඉහළ ම තනතුර දක්වා ඇය ඔසවා තැබීමට තරම් ප්‍රබලදැ යි දැන් සොයා බලමු.

ඇය 2024 දී ජනාධිපති අපේක්ෂකත්වය සඳහා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කළ පළමු රිපබ්ලිකන් සාමාජිකාව යි – www.vox.com

නිකී හේලි එක්සත් ජනපද දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් වී දැන් දශකයකටත් අධික කාලයක් ගත වී අවසන්. ඇය තම දේශපාලන දිවිය ඊට පෙර ආරම්භ කර තිබුණත්, 2010 දී දකුණු කැරෝලිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරධූරයට පත් වීමත් සමඟ ඇය වඩාත් කතාබහට ලක් වූ දේශපාලන චරිතයක් බවට පත් වුණා. ආණ්ඩුකාර ධූරයට පත් වනවිට ඇය ගේ වයස අවුරුදු 39 ක් පමණ යි. 2011 සිට 2017 දක්වා නිකී හේලි එම ධූරයේ කටයුතු කළ අතර, එම කාල පරාසයේ දී දකුණු කැරෝලිනාව වෙත ප්‍රධාන පෙළේ සමාගම් ආකර්ෂණය කර ගැනීමට ඇය උත්සහ කළා.

“ඔබ දකුණු කැරෝලිනාව වෙත පැමිණෙන්නේ නම්, ව්‍යාපාර සිදු කිරීමේ පිරිවැයත් අඩු වේවි. අපි අඩුම වෘත්තීය සමිති සහභාගීත්වයක් ඇති ප්‍රාන්තයක් බවට මෙය පත් කරනවා!”

ඇය වරෙක එසේ පවසා තිබුණා.

දේශපාලන ගමනේ සන්ධිස්‍ථානයක් කරා..

එතැන් පටන් නිකී හේලි ප්‍රසිද්ධ වූයේ කොන්සර්වේටිව් අදහස් දරමින් ව්‍යාපාර සඳහා ඉත හිතකර ආකල්ප දක්වන නායිකාවක් ලෙසට යි. ඉන්පසු ඇය ප්‍රසිද්ධ වූයේ නීති විරෝධී සංක්‍රමණ මැඩලීමේ පනතකට අත්සන් තැබූ දේශපාලනික ක්‍රියාකාරිණියක් ලෙසට යි. වර්තමානයේ පවා ඇය ජනාධිපති ජෝ බයිඩන් ගේ දේශසීමා ප්‍රතිපත්ති දෙස බලන්නේ විවේචනාත්මක දෑසින්. පුද්ගලික ආරක්ෂාව සඳහා ආයුධ ළඟ තබා ගැනීමේ ප්‍රතිපත්තියටත් ඇය සහාය දක්වනවා.

නිකී හේලි, සිය දරුවන් සහ සැමියා සමඟ – edition.cnn.com

2017 දී එවකට ජනාධිපතිවරයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ යෝජනාවකට අනුව එක්සත් ජාතීන් ගේ සංවිධානය වෙනුවෙන් එක්සත් ජනපද තානාපතිනිය වීමේ අවස්ථාව ලබා ගැනීමට නිකී හේලි තීරණය කළා. ඒ අනුව ඇය ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් වී 2018 දක්වා එම තනතුරේ රාජකාරි කටයුතු වල නියැළුණා. දැන් නිකී හේලි සිය වෘත්තීය ගමනේ ඉහළ ම සාර්ථකත්වය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිය දේශපාලන ගමන් මඟ නවමු මානයකින් අරඹා තිබෙනවා.

“මා සංක්‍රමණිය වූ පවුලක දියණියක් ලෙසත්, සටන්කාමී ප්‍රවීණයකු ගේ ආඩම්බර බිරියක් ලෙසත්, දරුවන් දෙදෙනකු ගේ මවක් ලෙසත්, ඔබ ඉදිරියේ පෙනී සිටිමි. මා දකුණු කැරෝලිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරිය වශයෙන් සේවය කර තිබෙනවා. එක්සත් ජාතීන් ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරයා ලෙසත් සේවය කර තිබෙනවා. ඒ සියල්ලට ම වඩා මම කෘතඥ පූර්වක අමෙරිකානු පුරවැසියෙක් වෙමි. අපි අපේ රට බේරා ගැනීමට එක්සත් වී සටන් කළහොත්, එක්සත් ජනපදයේ හොඳ ම දවස් එළඹීමට නියමිත බව මම විශ්වාස කරමි. මා මේ සටන වෙනුවෙන් මගේ ජීවිතය කැප කර තිබෙනවා. ඒ වගේම මේ ගමන ආරම්භ කළා විතරයි. ශක්තිමත් අමෙරිකාවක් වෙනුවෙන්, අභිමානවත් අමෙරිකාවක් වෙනුවෙන්, මා අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරයට තරග කරනවා!”

නිකී හේලි 2024 ජනපති සටනට පිවිසීමේ ආරම්භක සංඥාව ජනගත කළේ එලෙසින්. 

ඇය තම සංස්කෘතික උරුමය සමඟ තවමත් රැඳී සිටින තැනැත්තියක් – edition.cnn.com

සුදුත් නැති, කළුත් නැති!

නිකී හේලි තම ඉන්දීය සම්භවයත් අමතක කර නැහැ. ඇය බොහෝ අවස්ථාවල සිය පසුබිම ගැන අදහස් පළ කර තිබෙනවා. විවාහ වූ පසු “නිකී හේලි” යන නාමය භාවිත කළ ද ඇය ගේ සැබෑ නම සඳහන් වන්නේ නිම්රතා නිකී රන්ධවා යි. ඇය ගේ මාපියන් ඉන්දියාවේ පන්ජාබ් පෙදෙසෙන් සංක්‍රමණය වූ සික් ජාතිකයන් වන අතර, ඔවුන් සතු ව කුඩා විදේශීය භාණ්ඩ අලෙවිසලක් තිබුණා. පසුකලෙක එය ඉතා සාර්ථක ඇඳුම් ව්‍යාපාරයක් බවට පරිවර්තනය වුණේ නිකීට විශාල අත්දැකීම් සම්භාරයක් අත්කර දෙමින්.

නිකී හේලි සිය මාපියන් සමඟ – educationweb.com

ළමා කාලය පුරා තමන් ජාතිවාදී නින්දා අපහාස ඉවසා සිටීමට සිදු වූ බව හේලි පවසා තිබෙනවා. ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන පුවත ප්‍රසිද්ධ කිරීමේ දී පවා සුදු හෝ කළු නොවන එහෙත්, වෙනස් පුද්ගලයෙක් වශයෙන් තමාව හඳුන්වා දීමට නිකී හේලි ක්‍රියාකර තිබුණා.

“මා හැදී වැඩෙන විට අපි පිටස්තරයන් විදිහට තමයි හඳුනාගෙන තිබුණේ. එය අසාමාන්‍ය දෙයක් නොවෙයි. වෙනස් වූ මිනිසුන් ලෝකයේ සෑම තැනක ම සිටින්නේ පිටස්තරයන් වශයෙන්. නමුත්, අමෙරිකාව වෙනස් වන්නේ අපේ ප්‍රජාව අප පිළිගැනීමට පැමිණි නිසා යි.”

වර්ගවාදයේ වේදනාකාරී අත්දැකීම් විඳ තිබුණත්, එක්සත් ජනපදය ආයතනික වශයෙන් ජාතිවාදි නොවන බව නිකී හේලි ප්‍රකාශ කර තිබෙනවා.

පැරණි ප්‍රතිවාදියෙක්, නව මුහුණුවරක්

සාමාන්‍යයෙන් අමෙරිකානු ජාතිකවාදීන් වඩාත් සාන්ද්‍රගත වී ඇත්තේ රිපබ්ලිකන් පක්ෂය වටා යි. හේලි වරින්වර සිදු කරන මෙවැනි ප්‍රකාශ හේතුවෙන් රිපබ්ලිකන් පක්ෂයේ ඡන්ද පදනම කුමනාකාරයෙන් වෙනස්වේදැ යි තවම අනුමාන කළ නොහැකි යි. එහෙත්, සංක්‍රමණික ප්‍රජාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇති දැඩි ප්‍රතිපත්ති සමඟ ඉදිරි ගමනක් නොමැති බව රිපබ්ලිකන් පක්ෂය තේරුම් ගනිමින් සිටිනවා. නිකී හේලි හරහා එක්සත් ජනපදයේ සංක්‍රමණික ප්‍රජාව ගේ ඡන්ද ආකර්ෂණය කරගත හැකි නම් දැඩි ජාතිකවාදීන් ගේ අමනාපය රිපබ්ලිකන් පක්ෂයට විශාල හානියක් සිදු නොකරනු ඇති.

2017 අප්‍රියෙල් මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් අතරතුර සිරියානු රසායනික ප්‍රහාරයකට ගොදුරු වූවන්ගේ ඡායාරූප පෙන්වමින් – edition.cnn.com

රිපබ්ලිකන් පක්ෂ අභ්‍යන්තරය දිගින් දිගට ම නිකි හේලිට සහය පළ කළහොත්, එය බැරක් ඔබාමාට පසු සමාජීය වශයෙන් අමෙරිකානු දේශපාලනයේ සිදු වූ විශාල පෙරළියක් වේවි. මේ අන්දමින් සමාජීය සමානාත්මතාව සාර්ථක අන්දමින් දේශපාලන භාවිතයේ තබා ගැනීමට හැකි වුණේ ඩිමොක්‍රටික් පක්ෂයට පමණ යි. හාත්පසින් ම වෙනස් දේශපාලන දෘෂ්ටිවාදයක් තිබුණත්, දැන් රිපබ්ලිකන් පක්ෂයටත් එවැනි අවස්ථාවක් උදා වී තිබෙනවා. ඔවුන් එය 2024 ජනපති සටන දක්වා රැගෙන යාවි ද? නැතිනම් මඟ දී අත්හරීවිද?

කෙසේ හෝ වේවා 2024 දී ඩිමොක්‍රටික් පක්ෂය සමඟ සටනට පිවිසෙන්නේ පැරණි ප්‍රතිවාදියා ගේ නවමු මුහුණුවරක් බව නම් පැහැදිලි යි.

කවරයේ ඡායාරූපය: නිකී හේලි යනු රිපබ්ලිකන් පක්ෂයේ උපක්‍රමික වෙනස්වීමක් ද? - theweek.com

මූලාශ්‍ර:
www.bbc.com
Theswaddle.com
Edition.cnn.com
www.britannica.com

Related Articles