මායා කතාන්දරවල එන ඇතැම් අපූරු තැන් සොබාදහම තුළ සැබැවින් ම හමුවීම අහම්බයක්. කුඩා කල පටන් මායා කතාන්දරවලට ප්‍රිය කරන කාගෙ කාගේත් කුතුහලයට හේතු වන කරුණක් තමයි මායා කතාන්දරවල දැක්වෙන අමුතු පෙනුමක් සහිත වනාන්තර. මෙවන් වනාන්තරයක් පෝලන්තයෙන් හමුවීමත් සමග බොහෝ දෙනා කුතුහලයෙන් යුතු ව ඒ පිළිබඳ ව විපරම් කර බැලීමට පටන්ගත්තා. මෙය පයින් ගස්වලින් පිරුණු වනාන්තරයක්. නමුත් මෙම පයින් ගස් විශේෂිත යි. සාමාන්‍යයෙන් දක්නට ලැබෙන පයින් ගස් මෙන් නොවෙයි, මෙම පයින් ගස්වල දක්නට ලැබෙන්නේ වකගැසුණු ස්වභාවයක්. පෝලන්තයේ වයඹදිගින්, ජර්මානු දේශසීමාවට ඉතා ආසන්න ව, ග්‍රිෆිනෝ නගරයේ Nowe Czarnowo ගම්මානයේ පිහිටා තිබෙන මෙම වනාන්තරය වෙත බර්ලින් නුවර සිට ළඟාවීමට ගත වන්නේ හෝරා කිහිපයක් පමණයි. අමුතු ආකාරයට වක ගැසුණු මෙම පයිනස් ගස් 400කින් යුත් වන අරණ දකින ඕනෑම තැනැත්තෙක් එහි පවත්නා ගුප්ත ස්වභාවයෙන් එක්වන ම කම්පනයට පත්වීම වැළැක්විය නොහැක්කක්.
මෙය ස්වභාවික ව ගොඩනැගුණු වනාන්තරයක් නොවෙයි. මෙහි පවතින ගස් සිටුවා තිබෙන්නේ 1920 දශකයේ අගභාගයෙහි හෝ 1930 දශකයේ මුල් භාගයෙහි යි. අදාළ ප්‍රදේශයෙහි වාසය කළ පුද්ගලයන් විසින් මෙම වන රෝපණය සිදුකළ බව විශ්වාස කෙරෙනවා. මෙම පයින් ගස් විකෘති ස්වභාවයෙන් වැඩුණේ කෙසේ ද යන්න අදටත් ප්‍රශ්නයක්. බොහෝ දෙනා විශ්වාස කරන්නේ දෙවන ලෝක යුද සමයේ යුදමය ක්‍රියාකාරකම්වලින් මෙම ප්‍රදේශය මහත් සේ බලපෑමට ලක් වූ හෙයින්, එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවන් විකෘත වැඩීමක් සිදු වූ බව යි. සාමාන්‍ය පයිනස් ගස් මධ්‍යයේ පවතින මෙම අද්භුත පයිනස් ගස් 400, වැඩී තිබෙන්නේ අංශක 90ක නැම්මක් සහිත ව යි. මෙකී නැම්ම හටගෙන තිබෙන්නේ ශාකයේ මුල සහිත ප්‍රදේශයෙනුයි. මෙකී නැම්ම හේතුවෙන් ගසට ලැබෙන්නේ “C” අක්ෂරයක හැඩය යි. මෙම පරිසර පද්ධතිය මෙසේ සකස්වීම පිළිබඳ ව හේතු දක්වන න්‍යායන් ගණනාවක් ඉදිරිපත් වී තිබුණත් ඉන් එකක් හෝ ස්ථිර වශයෙන් මෙතෙක් තහවුරු වී නැහැ.
ඇතැම් පුද්ගලයන් පවසන්නේ මෙම ශාක පැළ කිරීමෙන් අනතුරු ව වසර 7ත් 10ත් අතර කාලයක් පුරා පොදුවේ මුහුණ දුන් කිසියම් හානියක් හේතුවෙන් මෙසේ වක ගැසී වැඩුණු බව යි. තවත් න්‍යායක් මඟින් දක්වන්නේ දෙවන ලෝක යුද සමයේ මෙම ප්‍රදේශය ආශ්‍රිත ව යුද ටැංකි නිරන්තරයෙන් ගමන් කළ බවත්, එවකට වැඩෙමින් පැවති කුඩා පයිනස් පැළ මතින් ද ඒවා ගමන් කිරීම හේතුවෙන් මෙම වක් බව ඇති වූ බව යි. තවත් පිරිසක් විශ්වාස කරන්නේ එවකට පැවති දරුණු හිම පතනයක් හේතුවෙන් වැඩෙමින් පැවති පයිනස් පැළැටි මතට එකී හිම කැටි වැටී ඇති කරන ලද පීඩනය හේතුවෙන් මෙම වකගැසීම සිදු වූ බව යි. සීත සෘතුවේ දී වැටුණු හිම වසන්ත සෘතුව එන තෙක් දිය ව නොයා, පැළවල කඳ මත රැඳී තිබීම හේතුවෙන් මෙවන් නැම්මක් සහිත ව අහසට යොමු වූ බව ඇතැමුන්ගේ අදහසක්. බැලූ බැල්මට මෙම වැඩුණු ශාකවල සැබවින් ම තිබෙන්නේ කලක් කිසියම් වූ අධික පීඩනයක් දරා හිඳ, මිදී ගත හැකි මාර්ගයකින් පැනවුත් ඉහළට එසවුණු ස්වභාවයක්. ඇතැම් විශේෂඥයන් දක්වන්නේ මෙම ශාක මෙසේ වක ගැසී වැඩීමට හේතුව වන්නේ ශාකවල ජාන විකෘතිතාවක් බව යි.
මැනිටෝබා විශ්ව විද්‍යාලයේ (University of Manitoba), ශාක පිළිබඳ විද්‍යාඥයෙකු වූ ආචාර්ය විලියම් රැම්ප්‍රේ, මෙම පිහිටීමට හේතු විය හැකි න්‍යායන් කිහිපයක් පිළිබඳ විස්තර නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි පවා පළ කළා. ඔහු පවසන්නේ තම වෘත්තීය ජීවිතය පුරා සිදුකරන ලද පර්යේෂණයන්හි දී ජාන විකෘතිතා හේතුවෙන් වකගැසී පහතට නැවුණු Canadian aspen tree ගණනාවක් සොයාගත් බවත්, ඒවා තමන් හොඳින් නිරීක්ෂණය කළ බවත්, මෙම තත්ත්වය ද ඒ හා සමාන විය හැකි බවත් ය. කෙසේ නමුත් මෙම මතය තව ම තහවුරු වීමක් සිදු වී නැහැ. බහුතරයේ අදහස වන්නේ මානව බලපෑමක් හේතුවෙන් මෙවන් වෙනසක් සිදු වූ බව යි. ආචාර්ය රැම්ප්‍රේ වුව ද එම මතය ප්‍රතික්ෂේප නොකරයි. එහෙත් ඔහුගේ අධික විශ්වාසය වන්නේ මෙය හුදෙක් පාරිසරික සාධකයක් මත සිදූ වූවක් මිස, මානව බලපෑමකින් සිදු වූවක් නොවන බව යි. මෙම සියලු ගස් උතුරු දෙසට හැරී තිබෙන්නේ ඇතැම්විට අහම්බයකින් විය හැකි බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.
ඉදිරිපත් වී ඇති මතයන් සහ න්‍යායන් අතරින් ඇතැම් ඒවා එතරම් විශ්වාස කළ නොහැකියි. වක ගැසී ඉහළට නැගුණු ගස් වටා සාමාන්‍ය ලෙස හොඳින් වැඩුණු ගස් ද දැකගත හැකි බැවින් ඉදිරිපත් වී ඇති ඇතැම් මතයන් ද විවාදිතයි. ගුරුත්වාකර්ෂණ විෂමතාවක් හේතුවෙන් මෙවන් විකෘති සහගත පෙනුමක් සහිත ව මෙම ශාක වැඩෙන්නට ඇති බව අද වන විට මූලික පිළිගැනීමක් බවට පත් ව තිබෙනවා. තවත් එතරම් අවධානයට ලක් නොවූ මතයක් වන්නේ මෙය පිටසක්වල බලපෑමක් සහිත ප්‍රදේශයක් වූ බවත්, ඒ හේතුවෙන් මෙවන් වෙනස් පෙනුමක් මීට ලැබී ඇති බවත් ය. කෙසේ නමුත් මෙම වන විකෘතිතාව පිළිබඳ පිළිගත හැකි වඩාත් සාධාරණ සහ තර්කානුකූල මතයක් ද ඉදිරිපත් වී තිබෙනවා. එයට අනුව මෙම ශාකවල විකෘතිතාව වන රෝපකයන් විසින් සිතාමතා ඇති කරන ලද්දක්. ඊට ඉතා හොඳ හේතු දැක්වීමකුත් ඉදිරිපත් වී තිබෙනවා.
දැව භාණ්ඩ නිර්මාණය කිරීමේ දී ස්වභාවික ව වක ගැසුණු දැව තිබේ නම් ඇතැම් නිර්මාණයන් සිදුකිරීම ඉතා පහසු වෙනවා. නමුත් බොහෝ විට ශාක ස්වභාවික ව එසේ වකගැසී වැඩෙන්නේ නැහැ. එසේ වැඩීමට නම් ශාකය වකගැසිය යුතු ආකාරයෙන් කිසියම් පීඩනයක් ඒ වෙත එල්ල කළ යුතු යි. උතුරු පෝලන්තය ඓතිහාසික වශයෙන් සිය වෙරළ තීරයෙහි පවත්නා නැව් තොටුපල සඳහා ප්‍රසිද්ධ යි. වක ගැසුණු පයිනස් කඳන් යාත්‍රා සැකසීම සඳහා සැපයෙන්නට ඇති බවත්, එසේ සැපයීම සඳහා අවශ්‍ය වකගැසුණු පයිනස් ගස් වන රෝපකයන් විසින් උපක්‍රමශීලී ව නිර්මාණය කරගන්නට ඇති බවත් මේ අනුව විශ්වාස කෙරෙනවා.