Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉහළම ප්‍රජනන සීග්‍රතාවක් සහිත සතුන්

සත්ත්ව ලෝකයේ විවිධ සත්ත්වවලට අදාල ප්‍රජනක සීග්‍රතාවන් විශාල වශයෙන් එකිනෙකට වෙනස් වෙනවා. මීට විවිධ කාරණා හේතු වෙනවා. කෙටි ජීවිත කාලය, විශාල ලෙස විලෝපිකයින්ට ගොදුරු වීම, ජීවිත කාලයේ වැඩි කොටසක් ජනිතයන් බිහි කිරීමට නුසුදුසු තත්ත්වයේ පසු වීම වැනි කාරනා හේතුවෙන් සමහර සත්ත්ව විශේෂයන් තමන්ට හැකි අවස්ථාවන්හි දී විශාල වශයෙන් දුහිතෘ ජනිතයන් බිහිකිරීම සඳහා හැඩගැසී තිබෙනවා. ලොව සමහරක් සත්ත්ව විශේෂවල ප්‍රජනක සීග්‍රතාවයන් මිනිසුන් මෙන් සිය දහස් ගුණයකින් වැඩි වෙනවා.

සාවුන්

ක්ෂීරපායීන් විෂයෙහි වේගවත් ම ප්‍රජනක සීග්‍රතාවය ඇති විශේෂය ලෙස සැලකෙන්නේ සාවුනුයි. අතීතයේ සමහර ජනයා සාවුන් ‘සරු භාවයෙහි’ සංකේතය ලෙස හඳුන්වන්නට මෙය හේතු වුණා. සාවුන් සාමාන්‍යයෙන් උපතේ සිට මාස 3-4ක් තුළ ලිංගිකව පරිනතියට පත්වන අතර, එක් වරක් පැටවුන් බිහි කළ වහාම නැවතත් ගර්භණී වන්නට ඔවුන්ගේ ගැහැණු සතුන්ට හැකියාව තිබෙනවා. එමෙන්ම සාවුන් එක වරකට පැටවුන් විශාල ප්‍රමාණයක් බිහි කරන අතර එක් සමයක් තුළ දී සත් වරක් පමණ පැටවුන් බිහි කීරීමේ හැකියාව තිබෙනවා. 

සාවුන් ලොව ඉහලම ප්‍රජනන සීග්‍රතාව ඇති ක්ෂීරපායී සත්ත්වයා ලෙස සැලකෙනවා- phys.org

සාවුන්ට මේ තරම් වේගවත් ප්‍රජනක සීග්‍රතාවක් ලැබී තිබීමට හේතු කිහිපයක් බලපා තිබෙනවා. කෙටි ආයු කාලය, පහසුවෙන් රෝගවලට ගොදුරු වී මියයාම හා ඉතා පහසුවෙන් විලෝපිකයන්ට ගොදුරු වීම වනි කාරණා නිසා ඔවුන් මරණයට ලක් වීමේ සීග්‍රතාවය ද ඉතා ඉහළ යි. මේ නිසා මේ සා වේගවත් ප්‍රජනන යාන්ත්‍රණයක් නොතිබුණහොත් ක්‍රමයෙන් ඔවුන්ගේ වඳ වී යාම සිදුවිය හැකියි.

ප්‍රමාණය ඉක්මවා පැටවුන් බෝවීම වැලැක්වීමටත් සාවුන් තුළ යාන්ත්‍රණ තිබෙනවා. යුරෝපය සැලකීමේ දී සාවුන් ප්‍රජනන කාර්යයේ යෙදෙන්නේ වසන්ත හා ග්‍රීෂ්ම ඍතුවල පමණ යි. මේ නිසා ඔවුන් බෝ වීම යම්තාක් දුරකට පාලනය වී තිබෙනවා. කෙසේ නමුත් පසුකාලීනව මේ සතුත් ඕස්ට්‍රේලියාවට හා නවසීලන්තයට හඳුන්වාදීමෙන් පසු ඔවුන් වසර පුරාම පැටව් ගසන්නට පටන්ගත්තා. මේ නිසා උක්ත රටවල ඉතා සීග්‍රයෙන් සාවුන් බෝවන්නට පටන්ගත්තා. පරිසරයේ ඇති සම්පත්වල හා දේශගුණයේ වෙනස්කම් මෙන්ම ස්වභාවික සතුරන්ගේ අවම බව මෙයට හේතු වී ඇති අතර මේ තත්ත්වයම ඒවායේ මීයන් සම්බන්ධයෙනුත් ඇති වී තිබෙනවා. ඕස්ට්‍රේලියාව සැලකීමේ දී එහි මීයන් සාමාන්‍යයෙන් මසකට වරක් එන එක් මුරයක දී පැටවුන් සය දෙනෙක් පමණ බිහි කරන අතර මේ ප්‍රවණතාවය වසර පුරාම පවතිනවා. එහි ධාන්‍ය ගබඩා ආසන්නව මී ඝණත්වය හෙක්ටයාරයකට 2,000 ඉක්මවූ අවස්ථා තිබෙනවා.

ලොව වේගවත්ම ‘නිර්මාපකයෝ’

ලොව සමහර ජීවී විශේෂ සැලකීමේ දී ක්ෂීරපායීන්ගේ ප්‍රජනන සීග්‍රතා නොගිනිය හැකි තරම් කුඩා යි. ලොව වැඩිම ප්‍රජනන සීග්‍රතාව දරන ජීවී විශේෂය ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය යි. එය නිසි ලෙස ක්‍රියාකාරීව තිබූ කාලයේ සෑම වසරකම වසන්ත කාලයේ දී ඒ ආසන්න වෙරළතීරයන් රෝස පැහැයට හැරෙනවා. ඒ එහි ජීවත් වන කොරල් විශාල වශයෙන් ප්‍රජනක සෛල සාගරයට මුදා හරින නිසා යි.

කොරල් මඟින් මුදාහැරෙන ඩිම්බ- Gary Cranitch, Queensland Museum

මිනිසා වැනි ක්ෂීරපායී සත්ත්වයින් මෙන් නොව කොරල් ජීවීන්ගේ ඩිම්බ හා ශුක්‍රාණු සංසේචන ක්‍රියාවලිය සිදුවන්නේ සංසර්ග ක්‍රියාවලියකින් නොවේ. වසරේ එකම කාලයක දී විශාල වශයෙන් ඔවුන් ශුක්‍රාණු සාගරයට මුදාහරින අතර, එම කාලයේ දීම ඒවායේ ඩිම්බ මෝචනය වීම ද සිදුවනවා. කොරල් ජීවීන්ගේ ශුක්‍රාණු හා ඩිම්බ සාගර ජලය ඔස්සේ මහා බාධක පරය පුරාම විහිදා හැරෙන අතර මේ හේතුවෙන් ඉතා සාර්ථක ලෙස සංසේචන ක්‍රියාවලිය සිදුවෙනවා. එක් කොරල් ජීවියෙක් සාමාන්‍යයෙන් ‘සරු’ ව හෙවත් අභිජනනය සඳහා සුදුසුව සිටින්නේ වසරේ දින කිහිපයක් වැනි කුඩා කාලයක් නිසාත්, ශුක්‍රාණු මෙන්ම, ඒවා ඩිම්බ හා සංසේචනය වූ පසු ජනිත වෙන දුහිතෘ ජීවිනුත් බහුල ලෙස විනාශ වීමත් නිසා එක් වරකට මේ ජීවියෙක් ශුක්‍රාණු හා ඩිම්බ විශාල ප්‍රමාණයක් සාගරයට ජනිත කරනවා. එමෙන්ම එක් කොරල් ජීවියෙක් වරකට ඩිම්බ මිලියන ගණනක් උත්පාදනය කරනවා. මේවායින් ජීවීන් දහස් ගණනක් බිහිවනවා. මේ ප්‍රමාණය තවමත් නිසියාකාරව ගණනය කොට නැහැ.

සාගර ‘හිරු’ මත්ස්‍යයා

ඕෂන් සන්ෆිෂ්- Per-Ola Norman / Wikimedia Commons

ලොව වඩාත් ‘සරු’ පෘෂ්ඨවංශිකයා ලෙස සැලකෙන්නේ ඕෂන් සන්ෆිෂ් නම් මත්ස්‍ය වර්ගය යි. වටකුරු හැඩයක් සහිත, අඩි 10ක පමණ දිගින් යුතු මේ මත්ස්‍යයෙක් සාමාන්‍යයෙන් බරින් ටොන් දෙකක් පමණ වෙනවා. මේ වර්ගයේ ගැහැණු සතෙක් වරකට බිත්තර මිලියන 300ක් පමණ නිකුත් කරනවා. අගෝස්තු මස සිට ඔක්තෝබර් මස දක්වා ඔවුන් මේ ක්‍රියාව සිදුකරනවා. සාගරයේ නිසි සහකරුවෙකු සොයාගැනීමේ අපහසුතාව නිසා බිජු සංසේචනය වී ජනිතයන් බිහිවීමේ සම්භාවිතාව වැඩි කරගැනීම සඳහා මේ සා විශාල බිජු ප්‍රමාණයක් නිකුත් කෙරෙන බවට සැලකෙනවා.

ගෝවා කුඩිත්තන්

ගෝවා කුඩිත්තන්- sweethomenews.wordpress.com

උපනිවර්තන දේශගුණයක් සහිත පෙදෙස්වල දක්නට ලැබෙන ‘ගෝවා කුඩිත්තන්’ පලිබෝධකයින් වර්ගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ග්‍රීෂ්ම කාලයේ දී සෑම දිනකම පාහේ එම විශේෂයේ ගැහැණු සතුන් අලිංගික ප්‍රජනනයෙන් දුහිතෘ ජීවීන් 5-10 අතර ප්‍රමාණයක් බිහිකරනවා. මෙලෙස බිහිවන ගැහැණු සතුන් බිහිවන විටත් ඊළඟ පරම්පරාව බිහිකිරීම උදෙසා වූ කළල දරාගෙනම බිහිවීම සුවිශේෂී යි. ඔවුන් ද ඉතා කෙටි කලකින් දුහිතෘ ජීවීන් බිහි කිරීම ආරම්භ කරනවා. මේ ආකාරයෙන් සැලකීමේ දී එක් වර්ෂයක් තුළ තමන්ගෙන් පසු පරම්පරා ද ඇතුළත්ව මේ වර්ගෙහි එක් ජීවියෙකු ජනිතයන් මිලියන ගණනක් බිහි කරන්නට දායක වෙනවා. කෙසේ නමුත් මෙලෙස බිහිවන බොහෝ ජීවීන් ඉක්මණින්ම විවිධ හේතු නිසා මරණයට පත් වීම නිසා මොවුන්ගේ ගහනය කරදරකාරී ලෙස වැඩි වන්නේ නැහැ.

කුහුඹු වර්ග

කුහුඹු වර්ග ද ඉතා සීග්‍රයෙන් සිය වර්ගයා බෝ කරන අයවලුන් වෙනවා. African driver ant යන කුහුඹු වර්ග කොලනියක් විසින් සාමාන්‍යයෙන් මසකට බිත්තර මිලියන 3-4ක් පමණ නිපදවනවා. 

African driver ant- Flickr

විද්වතුන් පවසන අන්දමට සමහර කුහුඹු වර්ග එකිනෙකට බද්ධව පිහිටුවාගත්, අනු කොටස්වලට වෙන් වූ ජනාවාස උත්පාදනය කරනවා. උදාහරණ ලෙස ආජන්ටිනා කුහුඹුවන් මේ ආකාරයේ සුවිශාල බද්ධ ජනාවාස පිහිටුවාගන්නවා. මේවායින් මසකට බිහි කෙරෙන බිත්තර ප්‍රමාණය අති මහත්. මොවුන් විසින් සාදන විශාල ජනාවාස මධ්‍යධරණී මුහුද අවට වෙරළතීරයන්හි දී දැකගන්නට පිළිවන්.

කවරයේ පින්තූරය- australiapostcollectables.com.au

Related Articles